හොඳම නළුවා විදියට සම්මාන හත් වතාවක් හිමිකර ගැනීමත් දුර්ලභ අවස්ථාවක්. ඒ විතරක් නෙමේ එයට වඩා එදා මෙන්ම අදටත් ජනතා සම්මාන හිමිකරගත් කලාකරුවන් අතර සුවිශේෂී ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් තමයි ඔහු. ඔහුගේ ඒ කුසලතාව වචනයෙන් කියා හමාර කිරීමට නොහැක. විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙක් වෙමින් වේලාවට කලාවට වැඩ කරන දේ හරියට කරන ඔහු තමයි සම්මාන ලාභී ජනප්‍රිය රංගන ශිල්පී ජනක ප්‍රේමලාල්.
ඔබ දැන් දකින දකින ටෙලි නාට්‍යවල චරිත මවනවා මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි මගේ වාසනාවක් තමයි ඉතින්. මම කලා ක්ෂේත්‍රයේ ලබපු අත්දැකීම්, ඒ විතරක් නෙමේ සමාජයේ ලද අත්දැකීම් ගොන්නක එකතුවක් තමයි අද ඔබ මේ විවිධ චරිත හරහා දකින්නේ.
දුර කතාවකට මුල පුරන්නට කලින් මේ දවස්වල ඔබ හමුවන ඒ ටෙලි පෙළහර ගැන මුලින් සඳහන් කළොත්?
‘මායාරාජිණී’ නාට්‍යයේ එහි ගුරුන්නාන්සේගේ චරිතය රඟපානවා. ‘හාරත හේරා’, ‘ඇය’, ‘අඩෝ’ සහ නීල පබළු නාට්‍යවලත් ජාතික රූපවාහිනියේ ‘හිස් අහස යට’ ටෙලි නාට්‍යයේත් එකිනෙකට වෙනස් චරිත තමයි කරන්නේ.
ටෙලිනාට්‍ය ගොන්නකම ඔහොම හිරවුණාම වේදිකාවෙදි ඔබ අතරමං නේද?
මේ හැමදේම සූක්ෂම ලෙස කාලය කලමනාකරණයෙන් හොඳ අවබෝධයකින් කරනකොට කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ‘රාජකපුරු’, ‘අබුද්දස්ස කෝලම’ එයට අමතරව අලුත් වේදිකා නාට්‍යයක් පුහුණුවීම් කරගෙන යනවා. වේදිකාව මගේ ජීවිතය. එය කවදාවත් අතරමං කරන්නේ නැහැ. ඒ විතරක් නෙමේ මම දෙයක් භාරගත්තොත් මම හරියට කරනවා. ඒ නිසා කවුරුත් අපහසුතාවයට පත්වෙන්නේ නැහැ.
මේ තරම් වැඩ කොටසක් සූක්ෂමව කරන්න ඔබගේ සැඟවුණ රහසක් ඇති. ඒ ගැන සඳහන් කළොත්?
දිනපොත තමයි මගේ ප්‍රධානම මෙවලම. එය හරියට සැලැසුම් සහගතව කළමනාකරණය කළ යුතුයි. මෙහෙම හිතමු. මම අනුරාධපුරේ රූපගත කිරීමක ඉන්නේ කියලා. හෙට කොළඹ ෂූටින් නම් මම කරන්නේ හෙට දවල් 12න් පස්සේ වෙලාව දෙනව. අද කොළඹ ෂූටින් තිබිලා හෙට දුරක රූපගත කිරීමක් තිබුණොත් මම අද හය වෙනකම් විතරයි වැඩ කරන්නේ. එහෙම හරියට සැලැසුම් කළාම කවුරුත් අපහසුතාවකට පත්වන්නේ නැහැ. අද මේ ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් අතර ඔය කාලය කළමනාකාරීත්වය නැතිවීම තුළ ප්‍රශ්න මතුවෙනවා. ඒත් කවදාවත් මගෙන් එහෙම වෙලා නැහැ. ඒ නිසා මම එක්ක ගොඩදෙනෙක් වැඩ කරන්න කැමැතියි. තවත් කරුණක් මම අවුරුදු 30ක් ගුරු වෘත්තියේ හිටියේ. 2014 මම විශ්‍රාම ගත්තා. මම පූර්ණකාලීනව කලාව වෙනුවෙන් යොමුවෙලා ඉන්නේ.
ඔබ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්. ඒත් ඔබ කොහොමද මෙහෙම ටෙලිනාට්‍ය රැසක එකිනෙකට චරිත හරහා වෙනස් වෙන්නේ?
පළපුරුද්දත් එක්ක ආපු දෙයක් තමයි. 90 දශකයට වඩා අද බලන විට හැමදේම වෙනස් වෙලා. අමුඬේ ගහලා චරිත රඟපානවා. ඇමැති චරිත, ව්‍යාපාර චරිත, සැර පරුෂ චරිත, අහිංසක චරිත, උදේ එක චරිතයක් රඟපාලා හවස තවත් ටෙලිනාට්‍යයක වෙන චරිතයක් රඟපාන අවස්ථා තියෙනවා. ගොඩදෙනෙක් කරන්නේ චරිතය තමන්ගේ ඇඟට දාගෙන රඟපාන එකයි. එයින් වෙන්නේ එකම විදිහට රඟපාන එක තමයි. ෂාරුක් ඛාන් චිත්‍රපට 100ක රඟපෑවත් රඟපාන්නෙ එකම විදියට. ඉතින් මම විවිධ චරිත ලක්ෂණ හඳුනාගෙන ඒ චරිතවලට මම ඇතුළු වෙනවා. එතකොට නිකම් ඇඟට ඇවිත් ඉවරයි. නිකම් පිටපතක දෙබසක් කටපාඩම් කරන්න කිව්වා කියලා රඟපෑමක් එතැන නැහැ.
ඔබ පැවැසූ විදියට අද බිහිවෙන බහුතරයක් ශිල්පීන්ගේ අපි එකම රූපරාමුවක් ඒකාකාරී බවක් දකින්නේ?
එයට ප්‍රධානම හේතුව කිසිම කෙනෙක් කලාව කියන විෂය හදාරන්නෙ නැතිකම. ඔවුන්ට හරියට දුක්මුසු අවස්ථාවක්, හිනාවක්, වේදනාවක් හරියට කරන්න බැහැ. පළපුරුද්දක් නැති වුණාම ඔය ප්‍රශ්නය සිදුවෙනවා. අඩු තරමේ ප්‍රවීණ නළු නිළියන් රඟපාන විදියක්වත් බලාගෙන ඉන්නේ නැහැ. ඔවුන් කරන්නේ ඔවුන්ගේ කොටස කළා පැත්තකට ගියා. ජංගම දුරකතනය එක්ක සෙල්ලම් කරන එක තමයි. එහෙම වෙනකොට කොහොමද දෙයක් හදාරන්නේ. අඩු තරමේ ප්‍රවීණ ශිල්පීන් එක්කවත් කතා කරලා මේ විෂය ධාරාව ගැන අහලා දැනගන්නේ නැහැ.
ගොඩදෙනෙක් හිතාගෙන ඉන්නේ චරිතයක් කරන එක කිරිකජු කනවා වගේ කරන්න පුළුවන් කියලා තමයි. ඔබ රූපගත නිමවීම අතරතුර මොකද කරන්නේ?
රූපගත කිරීම් අවසන් වුණාම අධික වෙහෙසක් තමයි දැනෙන්නේ. එවෙලේ පාඩම් කරලා පස්සේ තවත් ජවනිකා කිහිපයක් ලැබෙනවා. ඒ විතරක් නෙමේ කැමරා කිහිපයකින් රූපගත කිරීම් කරනවා. ඒ හැමටම ඔළුව තිබිය යුතුයි. වතුරක රූපගත කිරීමක් තිබුණොත් පැය ගානක් වතුරෙ ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ සියල්ල අමතක කරලා මම කරන්නේ විවේක ගන්න එක තමයි. මානසික ආතතිය නැතිකර නොගත්තොත් වැඩ කරන්න අපහසුයි.
ඔබ ලද පළපුරුද්ද මතු පරපුරට දෙන්න අදහසක් නැතිද?
මොකද නැත්තේ. මම ගොඩක් අය බිහිකළා. ඉස්සර අපිට සම්පූර්ණ පිටපතක් ලැබෙන්නේ අවසානය නිමි කියලා. එවිට මම පිටපත කියවන විට අතිරේක චරිත හමුවුණාම මම කරන්නේ අධ්‍යක්ෂගෙන් විමසීමක් කරලා, මේ චරිතයට කවුරුහරි ඉන්නවද කියලා තැන කිව්වොත් වේදිකාවෙ හොඳ ශිල්පීන්ගෙ දක්ෂතා මම හඳුනගෙන චරිතයට සුදුසු කෙනා තෝරලා දෙනවා. ඊට පස්සේ ඔවුන් හොඳට රඟපාලා තවත් හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙනවා. ඒත් දැන් එහෙම කරන්න බැහැ. පිටපතක් කියලා හරියට ලැබෙන්නෙ නැහැ. අපි දන්නෙත් නැහැ කවුරු රඟපානවද කියලා. ඔහේ හිතවත්කමට අලුත් පිරිස ක්ෂේත්‍රයට ඇවිත් රඟපානවා. අවසානයේ අපිත් අමාරුවේ. කිසි පළපුරුද්දක්, ක්‍රමවේදයක් නැතිව හැදෑරීමක් නැතුව මේ වෘත්තිය කරන්න බැහැ.
අද ශිල්පීන් ගොඩදෙනෙක් නාළිකාවල කොටුවෙලා සුදුසු කෙනාට අවස්ථාව නැහැ නේද?
ඔව්. ඒක ඇත්ත මම නාළිකාවලට දොස් කියනවා නෙමේ. නාළිකාවල තිබෙන තරගකාරීත්වය, ඒ වගේම ඒ නාළිකාවල රසවිඳින රසිකත්වය මෙයට බලපානවා. සමහරු කියනවා චරිත කතා වෙනස් කරනවා කියලා. එහෙම වෙන්නේ සමීක්ෂණ වාර්තා අනුව වැටීමක් තිබුණොත් තමයි. ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව ඔවුන්ට වැටහුණොත් චරිත හොඳ නැහැ, එහෙමත් නැතිනම් කතාව හොඳ නැහැ කියලා එවිට කරන්නේ වෙනස් කිරීම් තමයි. ඔවුන් අවශ්‍ය ජනප්‍රිය කරවීමට. එවිට සාරවත් චරිත නැති වෙන්න පුළුවන්. නාට්‍යය හොඳ නම් නාට්‍ය නවත්වන්න දෙන්නේ නැහැ. ව්‍යාපාර මාෆියාවක් එක්ක තමයි මේ හැමදේම. නාළිකාව බලාගෙන ඉන්නේ තව නාට්‍යයක් ගැලවෙනකම්. මොකද ඒ රසික පිරිස ඒ නාළිකාවට කාවද්දගන්න. තරගකාරී ලෝකේ නිර්මාණ අතරත් තරගයක්.
වසන්ත විතාරණගේ











