‘එකෙක්වත් හෙල්ලෙන්න එපා. උඹලා ඔය ඉන්න තැන්වලම හිටපල්ලා. මම මේ විහිළුවක් නෙවෙයි කරන්නේ. මේ බලාපල්ලා මගේ අතේ තියෙන්නේ මොනවද? මේ පෙට්‍රල් බෝතලයක්. අද උඹලා මම කියන දේ වහාම කරන්න ඕනෑ. මේ බැංකුවේ මම තැන්පත් කරලා තියෙන මගේ සල්ලි මට දීපල්ලා. උඹලගේ බැංකුවේ වෙන මුදල් සතයක්වත් මට එපා. මම මේ බැංකු කොල්ලකන්න ආපු හොරෙක් නෙවෙයි. මම ඉල්ලන්නේ මගේ සල්ලි. උඹලා මිනිස්සුන්ගෙන් සල්ලි ලක්ෂ ගණනින් අරගෙන, දැන් අද ඒවා දෙන්න බැහැ කියනවා. මේක මොන තරම් අසාධාරණයක්ද? ඒ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරගත්තු සල්ලි අද උඹලා ඒ මිනිස්සුන්ට දෙන්නෙ නැහැ. මම උඹලගේ බැංකුවේ තැන්පත් කරපු මගේ සල්ලි ඔක්කොම නෙවෙයි මේ ඉල්ලන්නේ. ඒ මුදලින් පොඩි ප්‍රමාණයක් තමයි අද මම ඉල්ලන්නේ. මගේ තාත්තා අසාධ්‍ය වෙලා රෝහලේ නතර කරලා ඉන්නේ. එතැන රෝහල් බිල ගෙවන්නයි මේ සල්ලි ඉල්ලන්නේ. මගේ මේ ඉල්ලීම ඉටුකරන්නේ නැතිනම් මම අද උඹලට වෙඩි තියලා මේ පෙට්‍රල් බෝතලේ හලාගෙන මම මෙතැනදීම ගිනි තියාගන්නවා. හොඳට මතක තියාගනිල්ලා. මේ විහිළුවක් නෙවෙයි මම කරන්නේ. ඔන්න එහෙනම් බලාගනිල්ලා…’
‘ඩෝං ඩෝං ඩෝං…’ තුවක්කුකරුවාගේ ස්වයංක්‍රීය තුවක්කුවෙන් වෙඩි තුනක් පිටවී බැංකුවේ ඇතුළත ප්‍රධාන ශාලාවේ වහලය මතට වැදුණේය. බැංකුවේ සේවකයන්ගේ සිහිය විකල් වී ගියේය. ඔහු මේ තනි අරගලය බැංකුව තුළ ගෙන යන විට බැංකුවේ ඉදිරි දොරවල් ඔහු විසින් අගුල් දමා වසා තිබිණි. එසේම ඔහු බැංකුවේ සේවකයන් අට දෙනකුත්, තවත් ගනුදෙනුකරුවන් දෙදෙනකුත් ප්‍රාණ ඇපයට ගෙන තම සටන අත් නොහරිමින් සිටියේය. එහෙත් සැණෙකින් සිදුවූයේ ප්‍රාණ ඇපයට ගත් එක් වැඩිහිටි ගනුදෙනුකරුවකු රෝගී තත්ත්වයකට පත්වීමය. තුවක්කුකරු එවිට වහාම සිදුකළේ එම රෝගී පුද්ගලයා ගිලන් රථයක් ගෙන්වාගෙන බැංකුවෙන් පිටතට යවා රෝහලට යැවීමය. මේ අතර පොලිස් නිලධාරීන් රැසක් ආයුධ ඇතිව බැංකුවෙන් පිටත තුවක්කුකරු ග්‍රහණයට ගැනීමට මාන බලමින් සිටියේය.
කුමක්ද මේ තිගැස්සෙන බිහිසුණු කතාන්දරය? මෙම වගතුග ඇසෙන්නේ කොතැනකින්ද? චිත්‍රපට ජවනිකාවක් බඳු මෙම කතාව ඇසෙන්නේ ලෙබනන් රාජ්‍යයෙනි. මෙයට දින කිහිපයකට පෙර ලෙබනන් රටින් ඇසුණු මේ වගතුග අද මුළු ලොවක් මහත් ආන්දෝලනයකට පත්කර ඇත. අප දන්නා තරමට මෙතෙක් අප සමාජය තුළින් අසා ඇත්තේ බැංකු කොල්ලකෑමට පැමිණි සොරුන් ගැනය. එහෙත් තමන්ගේම තැන්පතු මුදල් ඉල්ලා බැංකුවකට පැමිණ මෙසේ කුරිරු ක්‍රියාවක් සිදුකරන්නට මාන බලන මිනිසකු ගැන කිසි දිනෙකවත් අපට අසන්නට ලැබී නැත. කිසිසේත්ම සොරකු නොවන ඔහු මෙවැනි ශෝචනීය තත්ත්වයකට පත්ව සිටින්නේ ඇයි? එයට ප්‍රධානතම හේතුව නම් වර්තමානයේ ලෙබනන් රාජ්‍යය පත්ව ඇති මහා ආර්ථික අර්බුදයයි. අද වන විට ලෙබනනය යනු අතිශය දරුණු ආර්ථික සහ මූල්‍ය අගාධයකට පත්ව ඇති රටකි. මෙම හේතුව නිසා එරට ජනතාව එම රටෙහි බැංකුවල තැන්පත් කරන ලද තම මුදල් නැවත ලබාදීම තහනම් කර ඇත. ලෙබනනය මේ වන විට පත්ව සිටින්නේ විදේශ විනිමය සංචිත අතිශයින් සිඳීගොස් ඇති තත්ත්වයකටය. මේ නිසා විශේෂයෙන්ම තැන්පත්කරුවන් විසින් තැන්පත් කරන ලද මුදල් සියල්ලම මේ වන විට නැවත ලබාදීම අත්හිටුවා ඇත. මෙය අතිශය අසාධාරණ ක්‍රියාවලියක් වන අතර මේ වන විට මෙම සිදුවීම ගැන ලොව ජනතාව අතර දැඩි සංවේගයක් සහ පශ්චාත්තාපයක්ද ඇතිවී තිබේ. එසේම මෙය විශාල ආන්දෝලනාත්මක පුවතක් බවට ද පත්ව ඇත.
මෙලෙස කුරිරු ක්‍රියාවක් සිදුකිරීමට කටයුතු කළ තුවක්කුකරු 42 හැවිරිදි වියේ පසුවන තරුණයකු වන අතර ඔහුගේ නම බසාම් අල් රෂයික් ලෙසින් සඳහන් වෙයි. ඔහු ලෙබනනයේ ඇති ප්‍රකට බැංකුවක් වන ‘ෆෙඩරල් බැංකුව’ තුළ පසුගිය වසර 02-03ක පමණ කාලයක සිට තැන්පත් කරන ලද ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 02ක පමණ මුදලින් ඩොලර් 2,000ක් මෙසේ ආපසු ගැනීමක් ලෙස ඉල්ලා ඇත. එහෙත් එහිදී බැංකුව ප්‍රකාශ කර ඇත්තේ රටෙහි තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් කිසිදු තැන්පතු මුදලක් නැවත තැන්පතුකරුවන්ට ලබාදීම රජය විසින් අත්හිටුවා ඇති බවය. මෙම පුද්ගලයා අදාළ මුදල ආපසු ඉල්ලා ඇත්තේ තමන්ගේ රෝගී පියාගේ රෝහල් ගාස්තුවක් ගෙවීම සඳහාය. මෙවැනි මානුෂික තත්ත්වයක් යටතේ එම පුද්ගලයා වියරු පුද්ගලයකු බවට පත්ව ඇත. කෙසේ හෝ අවසානයේදී බැංකුව තුළදීම එහි ප්‍රධාන කළමනාකරු තවත් පාර්ශ්ව සමග කතාබස් කර එකඟතාවකට පැමිණ එම පුද්ගලයාට අදාළ මුදල ලබාදීමට තීරණය කර ඇත. කෙසේ හෝ එම තීරණය ගැනීම සඳහා බලධාරීන්ට පැය 05ක පමණ කාලයක් ගතවී ඇත. නිල රාජකාරි ක්‍රමය යටතේ රාජ්‍ය අවසරය මත ඔහු ඉල්ලා තිබූ ඇමෙරිකානු ඩොලර් 2,000ක මුදල ඔහුට ලබාදීමට කටයුතු කර ඇත. එම මුදල ඔහුට එහිදී මුදල්වලින් ලබාදුන්නේද, එසේත් නැත්නම් ඔහුගේ ගිණුමකට බැරකරනු ලැබුවේද යන්න ගැන නිසි තොරතුරක් වාර්තා වී නැත. එහෙත් ඔහුගේ මුදල ලබාදීම ස්ථිර ලෙසම සිදුවී ඇත. කෙසේ හෝ ඉන් පසුව යම් සාමකාමී තත්ත්වයකට පැමිණි තුවක්කුකරු තම අවි ආයුධ සමග බොහෝ සාවධානව පොලිසියට භාරවී ඇත. පොලිස් නිලධාරීන්ද ඔහුට කිසිදු හිරිහැරයක් සිදුකර නැති අතර මාංචු දමමින් අත්අඩංගුවට ගෙන ඇත. බැංකුව තුළදීම එසේ සිදුවී ඇත.
මෙයට දින කිහිපයකට ඉහතදී මෙම සිදුවීම ඇතිවූයේ ලෙබනනයේ අගනුවර වන බීරූට් නගරයේ සිට සමීප දුරකින් පිහිටි හම්රා නමැති ප්‍රාදේශීය නගරයකදීය. මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගලයකුට කිසිම ශරීරමය හානියක් සිදු නොවුණු බව ලෙබනනයේ රතු කුරුස සංවිධානය ප්‍රකාශ කර තිබිණි. බසාම් අල්-ෂෙයික් හුසේන් නමැති මෙම පුද්ගලයාගේ සහෝදරයකු බැංකුව පිටත සිටියදී මාධ්‍ය වෙත යම් ප්‍රකාශයක්ද සිදුකර ඇත.
‘මගේ සහෝදරයා කපටියෙක් හෝ ප්‍රයෝගකාරයෙක් නොවෙයි. එමෙන්ම ඔහු සොරකුද නොවෙයි. ඔහු ඉතා යහපත් ජීවිතයක් ගතකරන කෙනෙක්. බොහෝ අවස්ථාවල ඔහු තමන්ගේ මුදල් අසරණ මිනිසුන්ට දෙනවා. ඔහු මෙලෙස බැංකුවෙන් සල්ලි ඉල්ලුවේ අපේ පියා අසනීප වෙලා රෝහලේ ඉන්න නිසා රෝහලේ බිල්පතක් ගෙවන්නයි. බැංකුව මුදල් කිසිවක් දෙන්නේ නැහැ යැයි පැවසුවාම ඔහුට එය දරාගන්න බැරි වුණා. මේක හරිම ශෝචනීය සිදුවීමක්. අද ලෙබනනයට සිදුවෙලා තිබෙන දේ හරිම කනගාටුදායකයි. මේ තත්ත්වයට බලධාරීන් වගකියන්න ඕනෑ…’ යැයි ඔහු ප්‍රකාශ කර ඇත.
මෙම සිදුවීම බැංකුවේ සේවකයන් කිහිප දෙනකු තම ජංගම දුරකතනවලින් වීඩියෝගත කර ඇත. එහිදී පෙනෙන්නේ ඔහු බොහෝ විට තම ස්වයංක්‍රීය ගිනි අවිය බිමට හරවාගෙන බොහෝ සාවධාන අයුරින් තම ඉල්ලීම ප්‍රකාශ කරන ආකාරයයි. මුලින් ඔහු ශාලාවේ වහල දෙසට වෙඩි තුනක් තැබුවත් ඉන් පසුව කිසිදු වෙඩිල්ලක් තබා නොතිබිණි. කෙසේ හෝ මෙම සිදුවීම ඇරැඹීමත් සමගම පොලිසිය සහ හමුදා නිලධාරීන් රාශියක් බැංකුවෙන් පිටත වටලාගෙන සිට ඇත. එහෙත් තුවක්කුකරු බොහෝ යටහත් පහත්ව පොලිසියට භාරවීම හේතුවෙන් කිසිදු ප්‍රශ්නයක් ඇති නොවිණි. මෙම සිදුවීම ගැන විවිධ අදහස් ඉදිරිපත් කළ බොහෝ පාර්ශ්ව කියා සිටියේ මෙම පුද්ගලයා මෙසේ සිදුකිරීමෙහි කිසිදු වරදක් නොමැති බවය. තමාගේ පියාගේ රෝගී තත්ත්වය සඳහා තමන්ට මුදල් අවශ්‍ය වූ විට තමාගේ බැංකු තැන්පතුවෙන් එය ලබා නොදීම ඉතා අමානුෂික බවට මෙම පාර්ශ්ව අදහස් දක්වා ඇත. මෙම ක්‍රියාව මහජන මුදල් බැංකුව විසින් කොල්ලකෑමක් ලෙස ඔවුන් අර්ථකථනය කර ඇත. කෙසේ හෝ දැනට අත්අඩංගුවට පත්ව සිටින මෙම ලෙබනන් ජාතිකයාට එරෙහිව නඩු පැවරීමට නියමිතය. එම නඩුව ඉතා සුවිශේෂ එකක් වනු ඇතැයි පැවසෙයි.
කෙසේ හෝ මෙම කතාන්දරයේ තවත් රසවත් පිටු පෙරළෙන්නේ මෙතැනදීය. එනම් මෙම අරගලය සිදුකළ ලෙබනන් ජාතිකයා බැංකුව තුළින් එළියට ගන්නා විට බැංකුව අවට ප්‍රදේශය සහ මාර්ග ජනතාවගෙන් පිරී පැවැතීමය. තුවක්කුකරුවා ආරක්ෂක අංශ විසින් එළියට රැගෙන එන විටදී ජනතාව ඔල්වරසන් නගන්නට වූහ. ‘උඹ අපේ වීරයා, උඹ ජනතාවගේ වීරයා…’ යැයි කියමින් ඔවුහු කෑගැසූහ. ‘උඹ ලෙබනනයේ ඉතිහාසගත වන වීරයා’ යැයිද ඔවුහු හඬ නැගූහ. මේ අතර මෙම අපූරු මිනිසා කවුදැයි දැකබලා ගන්නට ජනතාව පොරකන්නට වූහ. මෙවැනි වීරයන් තවත් බිහිවේවා යැයිද ජනතාව කෑගසන්නට වූහ. ඉතා විශාල වාහන තදබදයක්ද එම අවස්ථාවේ පැවැති අතර ආරක්ෂක අංශ වහා තුවක්කුකරු එම ස්ථානයෙන් ඉවත් කරගෙන පොලිසියට රැගෙන ගියේය.
වර්තමානයේ ලෙබනන යනු ශ්‍රී ලංකාවටම සමාන ශෝචනීය ඉරණමක් අත්වූ රටක් ලෙස වාර්තා වෙයි. එනම් අපේ රටටම සමාන අතිශය උග්‍ර ආර්ථික සහ මූල්‍ය විනාශයක් හේතුවෙන් මේ වන විට ලෙබනනය දැඩි ලෙස පීඩා විඳියි. ඔවුන්ගේද ප්‍රධානම විනාශය වන්නේ අධික විදේශ ණය කන්දරාව සහ විදේශ සංචිත (ඩොලර්) දරුණු ලෙස පහත වැටීමයි. දැනට වසර තුනකට ආසන්න කාලයක සිට ලෙබනනයේ බැංකු සියල්ලම කඩාවැටීමකට ලක්ව ඇත. එම නිසා එම මූල්‍ය ආයතනය පසුගිය කාලයේ ඉහළ පොලී අනුපාතයන් මත ජනතාවගෙන් මුදල් තැන්පතු ලබාගත්තේය. මෙහිදී හෙළිවන අපූරු කතාන්දරය නම් මෙම කාලයේදී ශ්‍රී ලංකාවේද සිදුවන්නේ මෙවැනිම ක්‍රියාවලියක් වීමය. එනම් දැනට මාස තුනකට පෙර ශ්‍රී ලංකාවේද මහ බැංකුවේ උපදෙස් මත බැංකුව විසින් ඉහළ පොලී අනුපාතයන්ට ජනතාවගේ මුදල් ලබාගැනීම ආරම්භ කළේය. මේ අනුව මුදල් වත්මක් හොඳින් ඇති මිනිසුන් විශාල ප්‍රමාණයක් මෙරට බැංකුවල තම ධනය තැන්පත් කර ඇත. මෙම මුදල් රුපියල් හෝ ඩොලර්වලින් තැන්පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අවසර ලබා දුන්නේය. කෙසේ හෝ හෙට අනිද්දාම ශ්‍රී ලංකාව තුළද මෙවැනි අර්බුදයක් උද්ගත වේද? එනම් මෙරට බැංකුද ජනතාවගේ මුදල් නොදී සිටින තත්ත්වයකට පත්වේද? කෙසේ හෝ මෙවැනි තත්ත්වයන් නිතැතින්ම සිදුවන්නේ රට තුළ පවතින දරුණු ආර්ථික සහ මූල්‍ය අර්බුදය හේතුවෙනි. අද 2022 ජූලි මාසය වන විටදී ලෙබනනයේ සමස්ත උද්ධමනය 211.02%කි. එසේම 2022 ජූලි වන විටදී ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය 62.05%කි. අප රටද බොහෝ ඉක්මනින් ලෙබනනයේ තත්ත්වයටම වැටීමටද ඉඩ ඇත.
කෙසේ හෝ කාලයක් පුරා ඉතා සශ්‍රීක රටක්ව පැවැති ලෙබනනය, ඉතා දර්ශනීය භූගෝලීය පිහිටීමක් ඇති රටක් ලෙසද ප්‍රකටය. ලෝකයේ බොහෝ රටවලින් සංචාරකයන් මෙහි පැමිණෙන අතර ‘අරාබිකරයේ ස්විට්සර්ලන්තය’ ලෙසින් එදා අර්ථකථනය කළේ ලෙබනනයටය. එමෙන්ම මෙහි අගනුවර වන බීරූට් නගරයද ඉතා දර්ශනීය දියුණු නගරයක්ව පැවැති අතර එය ‘අරාබිකරයේ පැරීසිය’ ලෙස එකල හැඳින්විණි. මේ ආකාරයට ඉතා යහපත් සශ්‍රීක තත්ත්වයක් තිබුණු ලෙබනනය අවස්ථා දෙකකදී ඊශ්‍රායලයේ සහ සිරියාවේ ආක්‍රමණයන්ට යටත් විය. එහෙත් කෙසේ හෝ 2005 වසර වන විටදී මෙම විදෙස් හමුදා සියල්ල එරටින් බැහැරව ගොස් තිබිණි. ඒ අනුව එරට තුළ ශක්තිමත් ආර්ථිකයක් සහිත නිදහස් පරිසරයක් නිර්මාණය වී තිබිණි. දැන් එසේ නම් ලෙබනනයේ ආර්ථිකය කඩාවැටීම සිදුවන්නේ කෙසේද?
ලෙබනනයේ ආර්ථික හා සමාජයීය විනාශයට මුල් හේතුව වශයෙන් දේශපාලනික සහ ආර්ථික ක්ෂේත්‍රවල විශේෂඥයන් පෙන්වා දෙන ප්‍රධානතම කරුණ නම් රට තුළ වසර 29ක කාලයක් පැවැති සිවිල් යුද්ධයයි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේද වසර 30ක් පුරා පැවැති සිවිල් යුද්ධය හා සමානය. ශ්‍රී ලංකාවේ එකල තිබුණේ මුළුමනින්ම ත්‍රස්තවාදී ප්‍රශ්නයක් වුවද ලෙබනනයට ත්‍රස්ත ප්‍රශ්නයට අමතරව වෙනත් රටවල ආක්‍රමණයන්ද ප්‍රබලව බලපානු ලැබීය.
කෙසේ හෝ ලෙබනනයේ එම සිවිල් යුද්ධය මෙහිදී විස්තර කරන්නට ඉඩකඩ මදිය. එවැනි යුදමය වටපිටාවක් යටතේ ලෙබනනයේ ආර්ථිකය කඩාවැටෙන්නට තවත් ප්‍රධාන හේතුවක් ලෙස දක්වා ඇත්තේ එරට කාලයක් පුරා පාලනය කළ රාජ්‍ය නායකයන්ගේ අදූරදර්ශී පාලනය බව පැවසෙයි. ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන ආකාරයට යට කී සිවිල් යුද්ධය පැවැති සමයේදී ලෙබනනය පාලනය කළ අගමැතිවරුන් දෙදෙනකු විසින් මහා පරිමාණයේ දූෂණ වංචා සිදුකළ බව පැවසෙයි. 2005 සිට 2013 දක්වා දෙවරක් එරට අගමැති ධුරය දැරූ දේශපාලකයකු වන්නේ නජීබ් මිකාටි වන අතර, ඔහු මූල්‍ය වංචා රැසකට චෝදනා එල්ලවී ඇත. ලෙබනනය දියුණු කිරීම උදෙසා විදේශ රටවලින් මූල්‍ය ආධාර ආදිය ලබාදෙන විටදී ඔහු එම මුදල්වලින් කොටසක් තමන්ගේ සහ තම පවුල්වල සාමාජිකයන්ගේ සුඛ විහරණය සඳහා ලබාගෙන ඇත. එසේම රටේ සංවර්ධන ව්‍යාපෘති මගින් ඩොලර් මිලියන ගණනින් සොරකම් කර ඇත. ඔහු කොතරම් මුදල් වංචා කර ඇද්ද යත්, ඇමෙරිකාවේ එම්.ටී.එන්. ටෙලිකොම් ආයතනය ඩොලර් බිලියන 5.5කට මිලට ගත් බවද පැවසෙයි. ඔහු සමග ඔහුගේ සහෝදරයා වන තහා මිකාටි නමැති දේශපාලකයාද මෙම මහා වංචාවට සම්බන්ධ බව කියැවෙයි.
නජීබ් මිකාටි ලෙබනනයේ ඉතිහාසයට අනුව එරට බලයට පත්වූ දූෂිතම රාජ්‍ය නායකයා ලෙස සැලකෙයි. තවද මොහු බලයේ සිටියදී තම පවුලේ ඥාතීන් රැසකටම විවිධ උසස් දේශපාලන තනතුරුද ලබාදී ඇත. එහෙත් පුදුමයට කරුණ නම් මෙම දූෂිත දේශපාලකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමය.
මේ අතර ලෙබනනය වළපල්ලට ගෙන ගිය තවත් දේශපාලකයකු ලෙස සැලකෙන්නේ 1992 සිට 2004 දක්වා අගමැති ධුරය දෙවරක් දැරූ රෆීක් හරීරිය. ඔහුද අතිශය දූෂිත නායකයකු වූ අතර එරට සම්පත් රැසක් කොල්ලකෑ බව විදෙස් මාධ්‍ය පවසයි. මොහු අගමැති ධුරයට අමතරව එරට ප්‍රධාන අමාත්‍යාංශ පහක ඇමැති ධුරයන්ද දැරීය. ඔහු එසේ සිදුකර ඇත්තේ එම අමාත්‍යාංශ හරහා වංචා දූෂණයන් සිදුකිරීමට පහසු වීමටය. කෙසේ හෝ කලක් ගතවත්ම මෙම දේශපාලකයාට එරෙහිව ජනතා උද්ඝෝෂණ ඉතා උච්ච විය. අවසානයේදී විරුද්ධවාදී පාර්ශ්වයක් විසින් 2005 පෙබරවාරි 14 වැනිදා බීරූට් අගනුවරදී ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් විසි දෙදෙනකු ඝාතනය විය. ඒ සඳහා කිලෝග්‍රෑම් 1,800ක් බරැති බෝම්බ තොගයක් යොදාගෙන තිබිණි. මොහු මියයන විට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 11ක් බව වාර්තා විය.
මෑත සමයට අදාළව ලෙබනනයේ ආර්ථික සහ මූල්‍ය අර්බුදය ප්‍රබල ලෙස ඇරැඹෙන්නේ 2019 වසරේ අගෝස්තු මාසයේ සිටය. 2019 වසරට පෙර වසර දෙකක පමණ කාලයක් මෙවැනි අර්බුදයක් උද්ගතව තිබුණද, එය රජය විසින් බොහෝ සූක්ෂ්ම ලෙස වසන් කරනු ලැබුවේය. එම සටකපට ක්‍රියාවලිය සිදුකරනු ලැබුවේ ලෙබනනයේ මහ බැංකුව හරහාය. එනම් රාජ්‍ය පාලකයන්ගේ උපදෙස් මත ලෙබනන් මහ බැංකුවේ අධිපතිවරයා විසින් මෙම ක්‍රමවේදය සිදුකරන ලදී. මහ බැංකුව තුළ තිබෙන මූල්‍ය සම්පත් නිසි ලෙස කළමනාකරණය නොකිරීම මගින් මෙම අර්බුදය ටිකෙන් ටික උග්‍ර වන්නට ගත්තේය. බොහෝ නුදුරු කාලයකදී ආර්ථිකය කඩාවැටෙන බව දැන දැනත් ලෙබනන් මහ බැංකුව විසින් එම තොරතුරු වසන් කරන ලදී. 2022 මැයි මාසය වන විට ලෙබනනයේ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 43කට ආසන්න විය. මෙම මුදලට පොලී ප්‍රමාණයක්ද එකතු වූ විට ඩොලර් බිලියන 60කට ආසන්න වෙයි. මේ වන විට ශ්‍රී ලංකාව ගෙවීමට ඇති විදෙස් ණය ප්‍රමාණයද ඩොලර් බිලියන 53ක් පමණ වෙයි. හොඳින් බලන්න. මේ රටවල් දෙකම එකම අර්බුදයක පැටලී ඇති ආකාරය.
මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් යටතේ ලෙබනනයේ ජනතාව තම රාජ්‍ය පාලනයට එරෙහිව වීදි බැස දැඩි උද්ඝෝෂණවල නිරත වන්නට විය. දිගින් දිගටම මහමග ටයර් පුළුස්සමින් කලහකාරී ලෙස හැසිරෙමින් තරුණ පිරිස් රාජ්‍ය පාලනයට එරෙහිව නැගී සිටියහ. මේ අතර එරට මුදල් ඒකකය 90%කින් අවප්‍රමාණය වී, ආහාර උද්ධමනය ඉතා බියකරු ලෙස ඉහළ නැග්ගේය. බොහෝ මිනිසුන්ට එදිනෙදා ආහාර වේලක් ලබාගැනීමට පවා මුදල් නැතිව ගියේය. භාණ්ඩ හා සේවා මිල ගණන් ජනතාවට දරාගැනීමට නොහැකි තත්ත්වයකට පත්විය. මෙම තත්ත්වය යටතේ යහපත් තත්ත්වයක සිටි මධ්‍යම පන්තියේ මිනිසුන් ලක්ෂ 15ක් පමණ දූගී පන්තියට වැටෙන තත්ත්වයට පත්විය. මේ අතර රට තුළ ඉන්ධන අර්බුදය ඉතා උග්‍ර වී ජනතාව ඉන්ධන ලබාගැනීම සඳහා දින ගණන් පෝලිම්වල සිටින තත්ත්වයක් උදාවිය. ජනතාව ඉන්ධනහල් අසල කැරැලි ගසන තත්ත්වයකටද පත්විය. විදුලිය, ඉන්ධන පමණක් නොව පානීය ජලය ලබාගැනීමද දුෂ්කර විය. ඒ අතර ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව රෝහල් වසාදමන තත්ත්වයකට පත්විය. කිසිදු හව්හරණක් නැති දුප්පත් මිනිසුන් සරණාගත කඳවුරුවලට යවනු ලැබීය. විදෙස් සංචිත නැත්තටම නැතිවී යන තත්ත්වයට පත්විය. මේ අතර ජනතා විරෝධය මත එවක සිටි පාලන තන්ත්‍රය (අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය) ඉල්ලා අස්වී අන්තර්වාර ආණ්ඩුවක් පත්වූවේය.
කෙසේ හෝ ලෙබනනයේ අර්බුදයට කිසිදු විසඳුමක් ලැබුණේ නැත. පසුගිය 2022 ජූලි මාසය වන විටදී ලෙබනනයේ සමස්ත වාර්ෂික උද්ධමනය 211%ක් දක්වා ඉහළ ගොස් තිබිණි. එනම් ලෝකයේම රටවල් අතරින් 03 වැනි ස්ථානයට පත්ව තිබිණි. එවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය 62%ක් දක්වා වාර්තා වී තිබුණු අතර එය ලෝකයේ රටවල් අතරින් 05 වැනි ස්ථානයට පත්විය. මෙවැනි වටපිටාවක් ලෙබනනය තුළ තිබියදී රට ගොඩගැනීමට එකම විකල්පය ලෙස යෝජනා වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමය. ඒ සඳහා රජය තම අදහස් යෝජනා අයි.එම්.එෆ්. සංවිධානය වෙත ඉදිරිපත් කර සිටියේය. ඒ, මෙම 2022 වසරේ ආරම්භයේදීය. ඩොලර් බිලියන 03ක ණය මුදලක් ලබාදීම සඳහා අයි.එම්.එෆ්. සංවිධානය එකඟ වූ අතර එහෙත් ඒ සඳහා මූල්‍යමය සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවද ප්‍රකාශ විණි. කෙසේ හෝ පසුගිය අප්‍රේල් මාසයේදී මෙම ණය මුදල ලෙබනනයට ලබාදෙන බව අයි.එම්.එෆ්. නිවේදනය කර සිටියේය. එසේ වුවද මේතාක් එම මුදල ලබාදී නැත. අයි.එම්.එෆ්. අනුබද්ධිත ලෝක ණය දෙන්නන්ගේ මණ්ඩලය වෙතින් අවසාන අනුමැතිය ලැබීමට නියමිතව ඇත.
කෙසේ හෝ මෙම ලෙබනන් කතාවේ අපූරුම වගතුග හෙළිවන්නේ මෙතැනදීය. දැන් නැවතත් තෙවැනි වතාවටත් ලෙබනනයේ අගමැති ධුරයට පත්ව සිටින්නේ මෙම ලිපියේ ඉහත ඔබට ලියා තැබූ දූෂිත දේශපාලකයා වූ නජීබ් මිකාටිය. එනම් 2021 සැප්තැම්බර් නැවත ඔහු පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් අගමැති ධුරයට පත්විය. එසේ නැතිව මැතිවරණයකින් නොවේ. එහි අනෙක් අපූරුම වගතුග නම් පසුගියදා මෙම දූෂිත දේශපාලකයාගේ නම පැන්ඩෝරා පත්‍රිකාවලද සඳහන්ව තිබීමය.

ප්‍රියන්ත හෙට්ටිගේ








