විජය රජු ලංකාවට ගොඩ බසින විට ජීවත්වී ඇත්තේ යක්ෂ ගෝත්‍රිකයන්ය. තම්මැන්නාවට ගොඩ බැස්ස විජය රජුට මුලින්ම හමුවී ඇත්තේ කුවේණි නමැති යක්ෂණියකි. එය ඉතිහාසයේ සඳහන් වෙයි. විජය රජු ක්‍රි.පූ. 505 සිට 543 දක්වා වසර 38ක් මේ රට පාලනය කළ බවට රාජාවලියේ සඳහන් වේ. ලංකාවේ මුල්ම රජු ලෙස සඳහන් වන්නේද විජය රජුය. විජය රජු කුවේණි සමඟ ජීවත්වුණ කතා පුවත් කිහිපයක් අසන්නට ලැබේ. විජය රජු අවසානයේ කුවේණිව එළවා දැමූ කතා පුවත අසන්නට ලැබෙන්නේ මාතලේ, ලග්ගල එලෝනා කන්දෙන් බවට ජනප්‍රවාදයේ සඳහන් වෙයි. එලෝනා කන්දේ ඉතිහාසය දිගහැරෙන විට වැදි ගෝත්‍රිකයන් ජීවත් වුණු ප්‍රදේශයක් ලෙස සඳහන් වෙයි.
එදා යක්ෂ ගෝත්‍රිකයන් විජය රජුට යහනක් තනාදුන් ගල් පර්වතයට ජනප්‍රවාදයේ යහන්ගල කන්ද කියා හඳුන්වයි. එය උඩත්තව ගම්මානයෙන් කිලෝමීටර් දහයක් පමණ කන්දට ගියවිට මෙම යහන්ගල පර්වතය හමුවේ. මෙය පිහිටා ඇත්තේ මහනුවර-මහියංගණය මාර්ගයේ හසලක නගරයේ හෙට්ටිපොළ මාර්ගයේ කිලෝමීටර් පහළොවක් පමණ ගිය විට උඩවෙල නමැති කුඩා කඩමණ්ඩියක් හමුවෙයි. එහි සිට උඩත්තව ගම්මානයට කිලෝමීටර් හතක් පමණ යා යුතුය. උඩත්තව ගම්මානයේ කෙළවරෙන් යහන්ගල කන්ද පටන් ගනියි. විජයබාහු රජු මුලින්ම කුවේණි සමඟ පැමිණ ඇත්තේ යහන්ගල කන්දටය. එහි කුවේණිට නෑකම් කියන යක්ෂ ගෝත්‍රිකයන් ජීවත් වී ඇත. යහන්ගල ගල් පර්වතයේ විජය රජුට යහනක් තනා දුන් නිසා යහන්ගල නමින් ප්‍රසිද්ධ විය. උඩත්තවත්-යහන්ගලත් අතර ඉතා පැරැණි වනගත ගම්මානයක් ඇත. එහි ජීවත්වන මිනිසුන් ආදිවාසීන්ය. ඔවුන්ට වසර සිය ගණනක අදීන ඉතිහාසයක් ඇත. මෙම ගම්මානය “මැද කැලේ” නමින් හඳුන්වයි. මෙම ගමේ පවුල් විස්සක් පමණ ජීවත් වෙති. ඔවුන්ගේ ප්‍රධාන ජීවන මාර්ගය ගොවිතැන හා කිතුල් පැණි, හකුරු නිෂ්පාදනයයි. පිටතින් පැමිණි කිහිප දෙනකු හැර ගමේ උපන් සියලු දෙනා ම පාහේ වැදි ගෝත්‍රිකයන්ය. ඔවුන්ට ලැබී ඇති පෙළපත් නාමයද යහන්ගල නාමයයි . බාල පරම්පරාව යහන්ගල මුදියන්සේලාගේ නමින් වාසගම යොදා ගෙන සිටිති.
යහන්ගල කන්දත්- එලෝනා කන්දත් අතර ලොකු සම්බන්ධයක් ඇත. එදා යක්ෂ ගෝත්‍රිකයන් මෙම කඳු දෙකෙහි ජීවත් වුණු බවට ජනප්‍රවාදයේ කතා අසන්නට ඇත.
“මැදකැලේ”පදිංචි යහන්ගල අප්පුවා දොඩමලු වූයේ මෙලෙසයි. මගේ වයස අවුරුදු 86ක් වෙනවා. අපි වැද්දෝ, කුවේණිගෙන් පැවැත එන අය. අපේ කිරි අප්පා මට හොඳට මතකයි කීවා විජය රජ්ජුරුවොයි කුවේණියි මේ යහන්ගල කන්දේ එකට හිටියා කියලා. යහන්ගල කියන නම ආවේ රජ්ජුරුවන්ට සැතැපෙන්න ක`ඵ ගලෙන් යහනක් හදල දුන්න නිසා. අපි මුලදි කෑවේ දඩමස්, මී පැණි. දැන් නිතරම ඒවා ලැබෙන්නේ නෑ. අපේ අප්පච්චිත් කිරි අප්පත් ඒ කාලයේ දඩයම් කරනවා. ගෝනෙක් මැරුවාම වරිගේ ඇත්තෝ සේරටම බෙදනවා. දෙවියන්ට පුදලා තමයි මස් ඉඳුල් කරන්නේ තව සතෙක් දෙන්න කියලා. ඒ කාලේ වරිගේ කාටහරි නිතරම සතුන් මරාගන්න ලැබෙනවා. දැන් නම් මාසෙකටවත් සතෙක් දකින්නට නැහැ. සතෙක් මරාගත්ත කෙනා හොයාගන්නත් නැහැ. මස් ටික නගරයට ගිහින් විකුණනවා. කඩෙන් ගෙනැත් තමයි කන්න වෙන්නෙ. එලෙස කියා පෑවා. අපේ මුත්තලා කිරි අප්පලා දඩයම් රස්සාව කළා කියන්නෙ යහන්ගල හා එලෝනා කඳුවල. විජය රජ්ජුරුවෝ කුවේණිව එළවා දැම්මේ ඔය කන්දෙන්. ඊට පසු එලෝනා කන්ද කියලා නම හැදුණා කියනවා. ඊට පසුව කුවේණිගේ අවතාරය තිබුණු බවටත්, එකල දඩයමේ ගිය මිනිසුන්ට විවිධ කරදරවලට මුහුණ පෑම සිදුවුණු අයුරුද අසන්නට ලැබුණා. විජය රජු විසින් කුවේණිව මෙම කන්දෙන් එළවා දැමීමෙන් පසු කුවේණි මියගියාද යන්න ජනප්‍රවාදයේ සඳහනක් නැත. එහෙත් පැරැණි ගෝත්‍රිකයන් ආදිවාසීන් පවසන්නේ කුවේණිගේ අවතාරය එලෝනා කන්දේ අදටත් තිබෙන බවයි.
හසලක-හෙට්ටිපොළ හරහා ලග්ගල මාර්ගයේ ගමන් කරන විටත් මහියංගණ සිට දඹුල්ල මාර්ගයේ ගමන් කරන විටත් හෙට්ටිපොළ නගරය පසුකර ලග්ගල දෙසට කිලෝමීටර් හතක් පමණ ගියවිට එලෝනා කන්ද හමුවේ. මෙම කන්ද නැඟ ලග්ගල නගරයට යා යුතුය. මෙම කන්ද නඟින හා බසින වාහන නිතරම අනතුරුවලට පත්වන බැවින් කන්ද නඟින තැනම පඬුරු දමා යෑමට ස්ථානයක් සකස් කොට ඇත. මෙම මාර්ගයේ එලෝනා කන්ද නඟින හැම වාහනයක්ම පඬුරු දමා පිටත්ව යයි. කන්ද බසින වාහනද පඬුරු දැමීමට අමතක නොකරයි. අදත් කුවේණි සිහිවීමට ඇති ශ්‍රී ලංකාවේ එකම සාක්ෂිය එලෝනා කන්ද බවට වාදයක් නැත. එලෝනා කන්ද නඟින සහ බහින හැම අයකුටම සිහියට එන්නේ විජය රජු හා කුවේණිගේ ඉතිහාසයයි. සිංහල ජාතියේ මුල්ම ආරම්භයයි. අප රටේ බොහෝ දෙනකු මෙය නොදන්නවා විය හැකිය. එහෙත් විජය රජු අවසන් වරට කුවේණි එළවා දැමුවේ මේ කන්දෙන් නිසාම මෙය එලෝනා කන්ද බවට ප්‍රබල සාක්ෂියකි.
වීගොඩ හේමපාල











