බැලූ බැල්මට ඔහුට නපුරු පෙනුමක් ඇති බව ඔබට දැනෙනු ඇත. ඔහු ඒ ලෙසට නපුරුකම් කරන්නේ ඔබට නොව ඔහුගේ චරිතයේ සාර්ථකත්වය වෙනුවෙනි. රංගනයෙන් බැහැරව හිතට එකඟව චරිතයට පණ දෙන ඒ සංවේදී හදවත තමයි බුද්ධික ජයරත්න. චිත්‍රපට ගණනාවකට චරිත මවමින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඔහු අද සැඟවිලා ගිහින්. ඉතින් ඔහුගේ ඉදිරි කලා දිවිය ගැන අපි සමඟ කතා බහ කළේ මේ විදියට.
බුද්ධික ඉතින් කොහොමද ජීවිතේ?
ජීවිතේ මල් තමයි ඉතින්.
ජීවිතය මල් යහනක් වුණාට තරු අතර තරුවක් වුණු ඔබ දැන් දකින්න නැත්තේ ඇයි?
කරපු නිර්මාණ කිහිපයක්ම තිරගත වෙන්න තියෙනවා. ඒ ටික තිරගත වෙනකම් බුද්ධික සතුටින් බලාගෙන කලාව වෙනුවෙන් යමක් කරමින් ඉන්නවා.
ඒ ගැන පැහැදිලි කළොත්?
2020 වසර මගේ සිනමා ජීවිතයේ සන්ධිස්ථානයක් වෙයි. ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්වය, සුපර්ණ, කවුරුත් දන්නේ නැහැ, සුරංග ද අල්විස්ගේ ‘ද ගේම්,’ ශ්‍රී සිද්ධා චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා. එකිනෙකට වෙනස් චරිත හරහා මා දැක බලා ගන්නට පුළුවන් මගේ ආදර රසික, රසිකාවියන්ට.
ඔබ සිනමාවේ විතරක් නෙවේ 2020 පුංචි තිරයත් ආක්‍රමණය කරන බව ආරංචියි. ඇත්තද මේ කතාව?
එය ගැන මම දැන්ම කියන්න කැමැති නැහැ. දැවැන්ත ටෙලි නිර්මාණයක් නුදුරු දිනයකදීම සිදුවෙයි. එය කවුරුත් කතාබහට ලක්කරන විදියේ එකක්. අපි කිහිප දෙනකු එකතුවෙලා එහි සැලසුම් කටයුතු මේ දවස්වල කරගෙන යනවා.
ගොඩ දෙනෙක් ඔබව දන්නේ දුෂ්ට නළුවෙක් විදියට. ඔබ ඔබව හඳුනාගත්තේ මොන විදියටද?
මගේ රංග චාරිකාවේ වීරත්වය වගේම ප්‍රතිවීරත්වය දෙකම තිබුණා. දුෂ්ට චරිත මම ප්‍රතිනිර්මාණය කළේ නැහැ. මම කළු-සුදු චරිත රඟපෑවේ නැහැ. මම රඟපෑවේ අළු පාට චරිත තමයි. ප්‍රේක්ෂකයා මාව හඳුනාගත්තේ කළු චරිත විදියට තමයි. එහි සාර්ථකත්වයක් දැක්ක නම් මම චරිතයට සාධාරණයක් කළ බවයි මට දැනෙන්නේ.
විදේශීය ටෙලිනාට්‍ය රැල්ල නිසා අපේ නිර්මාණවලට දක්වන ප්‍රතිචාරය අඩුයි නේද?
මම රඟපාපු ටෙලිනාට්‍යයක් බලන්නවත් මට වරම් නැහැ. විදේශ නාට්‍ය ජාතික ප්‍රතිපත්තියක් වෙලා. දැන් විදේශීය නාට්‍ය කලාව රූපවාහිනිය ආක්‍රමණය කරගෙන. අපේ ගෙදර අය පවා එයට හුරු වෙලා. ඉතින් අපේ හොඳ නිර්මාණයක් බලන්නේ කොහොමද? හොඳ නිර්මාණයක් සිදුවන්නේ ඉතා කලාතුරකින්. මුලදී නාට්‍යයක නිර්මාණයක අයිතිය තිබුණේ අධ්‍යක්ෂට සහ තිර පිටපත් රචකයාට. ඒත් දැන් චැනල්වලට යටවෙලා. ශිල්පීන් චැනල්වලින් තමයි තෝරාගන්නේ. පරිපාලනයක් නැති වෙලා. අපි විදේශීය ‘හඬකැවීම්’ ටෙලිනාට්‍යවලට අපේ අය හුරු කළාම එයින් ඔවුන්ව ගලවගන්න බැහැ. ඉතින් අපේ තියෙන නිර්මාණ කලාව එතැනින්ම වැළලිලා යන එක කනගාටුවක්. ප්රේකක්ෂකයන් විදේශීය නිර්මාණවලින් ගලවාගෙන අපේ දෙයට හුරුකර ගැනීමයි වැදගත්.
ඔය ප්‍රශ්නෙට කළ යුත්තේ කුමක්ද?
අදහස් පළ කර තියෙනවා. නමුත් අදහස් පළකළත්, ඒ කිසිවක් ක්‍රියාත්මක වෙන්නැති එක තමයි ප්රශ්නය. මට කියන්න තේරෙන්නෙත් නැහැ. මේවා කාගේ වුවමනාවට ක්‍රියාත්මක වෙනවාද කියලා. සංස්කෘතිය ආක්‍රමණය වෙලා ඉවරයි. දඬුබස්නාමානය, කඩවර, වෙද හාමිනේ, දිමුතු මුතු බලපු අපේ හදවත්වලට අද වෙලා තියෙන්නේ කොපි අනුකරණයට රැවටිලා විදේශීය ටෙලිනාට්‍ය රසවිඳින්නයි.
මේ විකාශනය වන විදේශීය නිර්මාණත් එක්ක ලාංකේය ශිල්පීන්ට අත්වන ඉරණම කනගාටුවක් විය හැකියි නේද?
කලාවක් නැති රටක බිහිවන්නේ උන්මත්තකයො. කලාකරුවන් විනාශ කරලා ඔවුන්ට ඔවුන්ගේ වෘත්තියෙන් ජීවත් වෙන්න අවස්ථාවක් නැතිවෙලා. කලාකරුවො කියන්නේ හොඳට කාලා, බීලා සතුටින් හිටපු පිරිසක්. දැන් කලාකරුවා මතක් වෙන්නේ දේශපාලනයට. එය අවසන් වූ සැණින් එහෙම පුද්ගලයෙක් හිටියද කියලා මතක නැහැ. අපේ මහත්වරු ඡන්දෙට මොන ලැයිස්තුවෙ හිටියත් දිනුවට පස්සේ මොන ලැයිස්තුවේවත් නැහැ. ඉතින් කලාකරුවාට අත්වන ඉරණම ගැන කවර කතාද?
වසන්ත විතාරණගේ











