අප අද කතාබහ කරන දීඝවාපිය සැලකෙන්නේ ශ්‍රී ලාංකේය සොළොස්මස්ථාන අතරින් ප්‍රමුඛම මෙන්ම පූජනීය ස්ථානයක් ලෙසිනි. මෙදා අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුවට ආසන්නව දීඝවාපී නම් ග්‍රාම සේවා වසම තුළ සමන්තුරය හා අක්කරපත්තුව අතර පිහිටි දීඝවාපිය සැබෑවටම අයත්වන්නේ මෙරට නැඟෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයටය. මෙයද ගෞතම බුදුන් වහන්සේගේ පහසින් අති පූජනීයත්වයට පත් වූ නිසාම සුවිශේෂී වූ පුදබිමක් වශයෙන් අද හැඳින්විය හැකිය. අතීතයේදී “දිඝන්ඛ්” හෙවත් “දිඝානක” ලෙසින් හඳුන්වා ඇති මෙම දීඝවාපී නම් පුදබිම ක්‍රි.පූ. 3 වැනි සියවස දක්වා දිවෙන දිගු ඉතිහාසයකට උරුමකම්ද කියනා පුරාවිද්‍යාත්මක වටිනාකමින් පරිපූර්ණ බෞද්ධ සිද්ධස්ථානයකි. පාලි සහ සංස්කෘත භාෂාවෙන් මෙම “දීඝ” යන වචනයේ අර්ථය “දිග” වෙන අතර “වාපි” නම් වචනයේ අර්ථය වන්නේ “ජලාශය” යන්නයි. මේ අනුව දීඝවාපිය යන්නෙහි සරල අර්ථය දිග ජලාශයයි. ඉතින් අපේ අද කතාවද “දීඝවාපිය” ගැනයි.
දීඝවාපියේ ඒ ඉතිහාසය ගත් කල මෙම දීඝවාපිය සම්බන්ධ ඉතිහාසමය තොරතුරු පස්වැනි සියවසේ ලියන ලද අපේ පුරාණ වංශ කතාවක් බවට සැලකෙන මහාවංශයේද ඊට පළමුව ලියන ලද ථූපවංශයේ සහ පරම්පරාගත කතාවලත් ජනප්‍රවාදයේත් දැක්වෙයි. ඊට අනුව මහාවංශයේ දීඝවාපිය වෙත එදා ගෞතම බුදුන් වහන්සේ වැඩම කර තිබෙන බවත් උන්වහන්සේ එදා භාවනානුයෝගීව වැඩ සිටි ස්ථානයෙහි පසුකාලීනව බෞද්ධ මහා දාගැබක් ඉදිකළ බවත් සඳහන් වෙයි. මේ අතර දීපවංශය සහ තවත් වැදගත් පාලි ලේඛනයක් වන සමන්ත පාසාදිකාවේද දීඝවාපිය ගැන තොරතුරු ඇතුළත් වෙයි. මේ අතර මෙම වංශ කතාවන්හි සඳහන් වන්නේ එම ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් “යක්ෂ” යන නමින් හඳුන්වා ඇති බවයි. දීඝවාපියේ වැදගත්කම ඒ ප්‍රදේශයට බුදුන් වැඩම කිරීම හා සම්බන්ධව පැහැදිලි වෙන අතර එම ප්‍රදේශයේ දේශපාලනික ආර්ථික සහ සමාජයීය කරුණුද එතුළින් පැහැදිලි වෙයි.
රටම එක්සේසත් කළ වීර දුටුගැමුණු රජතුමාගේ පියා වූ කාවන්තිස්ස රජතුමාගේ රාජ්‍ය සමයේදී මෙම දීඝවාපිය ප්‍රදේශය රුහුණු රාජධානියේ කොටසක් වී තිබුණු බවටද ඓතිහාසික ශිලා ලේඛන ගත කරුණු අනුව පැහැදිලි වෙයි. පසුකාලීනව දුටුගැමුණු රජුගේ සහෝදරයා හෙවත් කාවන්තිස්ස රජුගේ බාල පුතු වූ සද්ධාතිස්ස රජතුමා මෙම ප්‍රදේශයේ පාලනය ගෙන ගොස් තිබේ. එහෙත් එක් අවස්ථාවකදී දුටුගැමුණු හා සද්ධාතිස්ස කුමරුන් අතර පැවති සහෝදර ගැටුමේදී දීඝවාපියේ පාලනය ඔහුගේ අතින් ගිලිහී ඇත. නමුත් එම ගැටුම සමථයකට පත්වූ පසු සද්ධාතිස්ස කුමරු නැවතත් දුටුගැමුණු කුමරුගේ නියෝගයක් මත මෙම දීඝවාපිය පාලනයට යැවූ බව සඳහන් වෙයි. මේ අනුව එදා දීඝවාපිය දාගැබ කරවා ඇත්තේ මෙම සද්ධාතිස්ස රජතුමා විසිනි. ඒ බව මහාවංශයේ පැහැදිලිව සඳහන් කර තිබේ. ඒ ක්‍රි.පූ. 137-119 යන සද්ධාතිස්ස රජු රාජ්‍ය කටයුතු කළ කාල පරාසය තුළය. එදා මෙම දීඝවාපිය දාගැබට සත් රුවන් සැට්ටයක් කර පලඳවා රියසකක් පමණට මලින් අලංකාර කරමින් පූජා කළ බව අපගේ මහාවංශය තුළ සඳහන් වෙයි. මේ අතර වංශකතාවන්හි සඳහන් වන්නේ මෙම දාගැබේ නිදන් කර ඇත්තේ ගෞතම බුදු රජුන්ගේ නිය ධාතුව බවයි.
ගෞතම බුදුන් වහන්සේ දීඝවාපිය වෙත වැඩම කළ බවට සඳහන් වන්නේ උන්වහන්සේගේ තෙවැනි ලංකා ගමනේදීය. එදා දිවා ගුහාවෙහි දිවා විහරණය කිරීමෙන් අනතුරුව එදා මෙම දීඝවාපියට වැඩම කළ උන්වහන්සේ දීඝවාපී දාගැබ සමීපයට පැමිණ සමවත් සුවයෙන් වැඩ සිටි බව පැරණි වංශකතාවන්හි සඳහන් වෙයි. සැබෑවටම දීඝවාපිය යනු එවකට තිබූ ඉපැරණි ශාක්‍ය ආර්ය ජනපදයකි. එවකට දීඝායු කුමරු විසින් ගල්ඔය නිම්නයේ ගොඩනංවන ලද දීඝ නම් ජනපදය මෙය බව ඇතැමුන්ගේ මතයයි. ධාතු වංශයට අනුව මෙම ප්‍රදේශය “දිඝා වැව” ලෙසද හඳුන්වා ඇති අතර දීඝවාපිය පසු කලෙක “දිගාමඬුල්ල” වශයෙන් ප්‍රකටව තිබේ. එදා මෙහි මහා වැවක් තිබූ බවත් එය කරවූයේ කාවන්තිස්ස රජු බවටත් පැවසෙයි. මුලදී අප සඳහන් කළ පරිදි මෙම ප්‍රදේශය දීඝවාපිය ලෙස නම් වන්නේද එම මහා වැව නිසාය. මෙම දීඝවාපී දාගැබ පූජාවලියේ හඳුන්වන්නේ “දීඝානඛා වෙහෙර” යනුවෙනි. මහනුවර යුගයේ වංශ කතා තුළ එය “නඛ වෙහෙර” යනුවෙන්ද හඳුන්වා තිබේ. එදා මලියදේව මහා රහතන් වහන්සේ මෙහි සිට ධජග්ග සූත්‍රය දේශනා කළ අතර එය ඇසූ භික්ෂූන් වහන්සේලා හැට නමක් රහත් ඵලයට පත්වූ බවද සඳහන් වෙයි.
එදා සද්ධාතිස්ස කුමරු අනුරාධපුරයේ රජවීමෙන් පසුව දීඝවාපිය පාලනය කිරීම හිමිවන්නේ ඔහු පුත් ලජ්ජතිස්ස කුමරුටය. එහෙත් එම කුමරුගෙන් පසුව දීඝවාපී ප්‍රදේශය අභාවයට ගිය බව සඳහන් වෙයි. මේ අතර මහනුවර යුගයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මෙම දීඝවාපිය ප්‍රදේශයට පැමිණ දීඝවාපී දාගැබ වැඳ පුදා ගත් බව මහාවංශයේ සඳහන් වෙයි. කෙසේ හෝ දීඝවාපිය ප්‍රසිද්ධව පැවති සමයේ දීඝවාපී විහාරයට සහ දාගැබට දිගින් දිගටම එදා රාජ්‍ය අනුග්‍රහයද ලැබී තිබේ. මේ අතර පසුව මෙම ප්‍රදේශය පෘතුගිසී මෙන්ම ලන්දේසි ආක්‍රමණවලට පවා නතුවෙන්නට විය. නමුත් වර්තමානයේදී දීඝවාපිය පුරාවටම පුරාවිද්‍යා කැණීම් කරන්නට වූයේ ඉපැරණි අතීතය යළිත් ගොඩට ගෙන බැලීමටය. එහිදී වැදගත්ම තොරතුරු අනාවරණය වූ අතර ඒත් සමඟින් දීඝවාපියේ වටිනාකම තවත් ඉහළ යන්නට විය. ඒ අනුව දීඝවාපී දාගැබ වටා ප්‍රාකාර බැමි දෙකක් තිබුණු බවත් ඊට මැදිව කලාත්මක හා අපූර්ව වාහල්කඩක් තිබූ බවත් තහවුරු විය. ගරාවැටුණු එම වාහල්කඩ සුන්බුන් අතර තිබී පසුව රන් කරඬු තුනක් සහ රන්පත් ඉරු සන්නසක්ද හමුවිය. එම සන්නස එදා ක්‍රි.ව. 2 වැනි සියවසට අයත් බව පසුව හෙළි විය.
එසේ පසුකාලීනව දීඝවාපිය අවට සිදුකළ කැණීම් අතරින් තවත් සුවිශේෂී අංගයන් රැසක් හමුවී ඇත. ඒ අතර අඩි හතර හමාරක් පමණ උසැති කවන්ධ එනම් හිස නැති හිටි පිළිම වහන්සේ නමක් සහ කුඩා ඔත් පිළිමයක් සොයා ගැනුණි. මේ අනුව එහි පිළිම ගෙයක් තිබූ බවට සැකයක් පහළ විය. ඉන් පසුව දිගින් දිගටම කැණීම් සිදුකළ අතර එහිදී ඉතා පැරණි බෝධිඝරයක ආවාස ගෙයක ගෘහයක මෙන්ම ආරෝග්‍ය ශාලාවක නටබුන්ද හමුවිය. එවකට අක්කර දොළොස් දහසක පමණ වූ දීඝවාපියට අයත් භූමියෙන් එසේ නටබුන් රැසක් හමුවෙද්දී එයින් අක්කර පන්සියයකට පමණ අයත් භූමියෙන් ආරාමික නටබුන් පවා මතුවෙන්නට විය. මෙම සියලු පුරාවිද්‍යා සාධකයන්ට අනුව අද අපට පැහැදිලි වන්නේ පැරණි දීඝවාපිය පුදබිම ඉතා පුළුල් බෞද්ධාගමික මධ්‍යස්ථානයක් බවයි. එමෙන්ම එය අතීතයේදී ඉතා ප්‍රසිද්ධව පැවති බවද අද එම හමුවූ නටබුන්වලින් පෙනෙන්නට තිබේ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් වර්තමානය වෙන විට දීඝවාපිය සෙමෙන් සෙමෙන් අභාවයට යන බවක් පෙනෙන්නට තිබේ. එය නම් මහත් කනගාටුවට කරුණකි.
රුවන් එස්. සෙනවිරත්න











