වියළි කලාපීය ප්‍රදේශවල බහුලව වැඩෙන ශාකයක් වන මුරුංගා එතරම් ශක්තිමත් ශාකයක් නොවුණද තෙත් කලාපයේද හොඳින් සාරවත්ව වර්ධනය වෙයි. හොඳ සූර්යාලෝකයක් පැවැතීම මුරුංගා ශාකයේ වර්ධනයට අත්‍යාවශ්‍ය සාධකයකි. වෙළෙඳපොළේ තරමක් මිල අධික එළවළුවක් වන මුරුංගා ඵදරසබට්ජැ්ැ කුලයට අයත් වන අතර, උද්භිද විද්‍යාත්මකව ඵදරසබට් දකැසfැර් ලෙස හඳුන්වයි. අක්‍ෂි, තීක්‍ෂණමූල, ශෝබාංජන, ශ්‍රිග්රද යනාදී පර්යාය පද රැසකින් හඳුන්වන මුරුංගා බහුවිධ ප්‍රයෝජන සහිත ශාකයකි. මෙම ශාකය සතු ඖෂධීය ගුණය නිසාම දෙවියන් විසින් මෙලොවට මැවූ මහානර්ඝ ශාකයක් ලෙසද පිළිගැනේ.
මුරුංගා වගාව සඳහා හොඳින් මෝරපු මුරුංගා අතු කැබැලි කිහිපයක් කපා නොසෙල්වෙන සේ තරමක් ඈතින් සිටුවාගත යුතුය. එම දඬු කැබැලි පැළවෙනතුරු දිනපතා උදය, සවස ජලය සම්පාදනය කරන්න. මුරුංගා ගස හොඳින් අතු ඉති දමා වර්ධනය වූ පසු මුරුංගා මල් හටගනී. සාමාන්‍යයෙන් මුරුංගා මල් හටගන්නේ කරල් සාර්ථකව වර්ධනය වන්නේත් වියළි කාලගුණික තත්ත්ව යටතේය. මුරුංගා වගාවේ විශේෂත්වය වන්නේ වගාව සඳහා විශේෂ සාත්තුවක් අවශ්‍ය නොවීමයි. උෂ්ණාධික බවින් ඉහළ ඉතාම රසවත්, ගුණවත්, පෝෂ්‍යදායී එළවළුවක් වන මුරුංගා දෛනික පරිභෝජනයට එක්කර ගැනීම තුළ මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග, අක්‍ෂි රෝග, ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝග, ඇදුම, පණු රෝග, කැස්ස මෙන්ම හන්දිපත් රුදාව ආදී රෝග ගණනාවකට හිතකරය. ශරීරයේ දුර්වලත්වය මඟහරවා ශරීරය ශක්තිමත් කරන ආහාර ජීර්ණය පහසු කර මල බද්ධය වළකන මෙන්ම අස්ථි වර්ධනයට පවා හිතකර මුරුංගා කුඩා දරුවන්ටත්, ගැබිනි මවුවරුන්ටත් එක සේ ගුණදායකය. මැල්ලුමක් ලෙස ඉතාම රසවත්ව සාදාගත හැකි මුරුංගා කොළවල ප්‍රෝටීන් මෙන්ම විටමින් ‘සී’ හා විටමින් ‘බී’ අන්තර්ගතය. ඊට අතිරේකව කැල්සියම්, කැරොටීන්, කොපර්, මැග්නීසියම්, පොස්පරස්, යකඩ හා ඛනිජ ලවණ අන්තර්ගතය. මැල්ලුමට අතිරේකව මුරුංගා කොළ යුෂ කැඳ ලෙසද ආහාරයට යොදාගත හැකිය.
මුරුංගා රසවත් ව්‍යාංජනයක් ලෙස ක්‍රම කිහිපයකටම සකසා ගතහැකි අතර, ගසේ පොත්ත ඖෂධයක් ලෙස විෂට යොදාගැනේ. සාමාන්‍යයෙන් අදටත් ගම්බද පෙදෙස්වල බල්ලන්, බළලුන්, ලේනුන්, මීයන්, මුගටියන්, දෙබර, බඹර, ගෝණුසු වැනි සතුන් සපා කෑ විට මුරුංගා පොතු මිටට කන හුනු සමඟ අඹරා අත් බෙහෙතක් ලෙස තුවාල වූ තැන ගැල්වීම සිදු කරයි. එලෙස බෙහෙත් ගැල්වූ ස්ථානය විවෘතව තබන අතර, මෙම ආලේපය විටින් විට සෝදාහැර නැවැත නැවැත ආලේප කිරීමද සිදුකරනු ලබයි. මේ සියල්ලට අතිරේකව මුරුංගා ගසේ කොළ හා දලු රසවත් බැදුමක් සේද සකසාගත හැකිය. විශේෂයෙන් ඉස්සන්, කකුළුවන් වැනි ව්‍යාංජන පිළියෙල කිරීමේදී මුරුංගා කොළ ටිකක් ඊට එක්කිරීම ගෘහිණියන්ගේ සාමාන්‍ය සිරිතකි. විශේෂයෙන් මුරුංගා කොළ විෂබීජ නාශකයක් නිසාවෙන් අජීර්ණය වැනි බඬේ අමාරු සෑදීම පවා වළකී.
ඥානය වැඩීමට හේතු වන එළවළුවක් ලෙස ඇතැමුන් අතර ජනප්‍රිය මුරුංගාවල අස්වනු නෙළීම ඉතාම පරෙස්සමින් කළ යුත්තකි. ඒ මුරුංගා ගස ශක්තිමත් නොවන නිසාය. එනිසා අස්වනු නෙළිය යුතු වන්නේ කෙක්කක් ආධාරයෙනි. සාමාන්‍යයෙන් මුරුංගා පලදාව සතියක් පමණ කල් තබාගත හැකිය. කෙසේ නමුත් අස්වනු නෙළා සතියක් ඉකුත් වෙත්ම මුරුංගා කරල් මේරීමට හා වේළීමට පටන්ගනී. එනිසා මුරුංගා මෝරා වියළී යන්නට පෙර ආහාරයට යොදාගත යුතුය.
කෙසේ නමුත් මුරුංගා කරලේ ස්වභාවය වන ප්‍රභේද 3ක් හඳුනාගත හැකි අතර, මුරුංගා මලේ පැහැය අනුවද ප්‍රභේද 3ක් හඳුනාගත හැකිය. මුරුංගා කරලේ ස්වභාවය අනුව හේන් මුරුංගා, මස් මුරුංගා හා වැටේ මුරුංගා ලෙස වර්ග කළ හැකිය. සාමාන්‍යයෙන් හේන් මුරුංගා කරල සිහින් වන අතර, සාපේක්‍ෂව මස් මුරුංගා කරල විශාලය. මහතය. මේ දෙවර්ගයටම සාපේක්‍ෂව වැටේ මුරුංගා කරල මධ්‍යම ප්‍රමාණයෙන් යුතුය. එසේම මුරුංගා මලේ පැහැය අනුව රතු, නිල් හා සුදු යනුවෙන් ප්‍රභේද 3කි. මෙම ප්‍රභේද අතරින් රතු සහ නිල් මල් සහිත මුරුංගා ප්‍රභේද දුර්ලභ වන අතර, සුදු මල් සහිත මුරුංගා ප්‍රභේදය ඉතාම සුලබය. කිසිදු සාරවත් බවක් නැති නිසරු පොළොවක වුවද වැවෙන මුරුංගාවල ඇට පිලිපීනය, ඉන්දියාව, බුරුමය ආදී රටවල ජල පවිත්‍රකයක් ලෙසද භාවිත වෙයි.
ආයුර්වේදයේදී මුරුංගා ගසේ කරල්, මල්, පොතු, පත්‍ර මෙන්ම ගසේ තුවාල වූ කඳින් හටගන්නා ලාටුද ඖෂධ ලෙස යොදාගැනේ. විශේෂයෙන් එදත්, අදත් ගෘහිණියන් අච්චාරු සෑදීමේදී අච්චාරු පැසවීම සඳහා මුරුංගා පොතු එක්කරනු ලබයි. එපමණක් නොව මුරුංගා පොතු වියළා කුඩුකර කුළුබඩුවක් ලෙසද දෛනිකව ව්‍යාංජන රසවත්කර ගැනීමට එක්කරගත හැකිය. තවද රුධිරයේ කොලෙස්ටරෝල් හා සීනි පාලනයටද මුරුංගා හිතකරය. වැට මායිමට පවා සිටුවන මුරුංගා බොහෝ දෙනෙක් දැනුවත් නොවූවාට දිව්‍යමය වටිනාකමක් ඇති ඖෂධීය ශාකයකි. ඒ නිසා ඔබත් අදම ඔබේ ගෙවත්තේ මුරුංගා ගසක් වවා පල ලබා ගැනීමට උත්සුක වන්න. එය ඔබට හැම අතින්ම වාසිදායක වී සුව සම්පත ගෙනදෙනු නියතය.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද











