වසර ගණනාවක අත්දැකීම් තම ජීවිතයට පන්නරයක් කරගත් චමිලා පීරිස් වේදිකාවේ, ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වී හමාරයි. ඒ ලබපු අත්දැකීම් ඇසුරින් වර්තමාන නිර්මාණ කලාවට අත්වී ඇති ඉරණම ගැන ඇය අප සමඟ හෙළි කළේ මේ විදියටයි.
ඔබ කලා දිවියට පිවිසිලා වසර තිහක පමණ කාලයක් වෙනවා. ඒ ගැන මතකය අවදි කළොත්?
පාසල් වේදිකාවෙන් තමයි මම කලා ක්‍ෂේත්‍රයට යොමුවුණේ. බර්නාඞ්ගේ ‘සිපිරි ගේ’ වේදිකා නාට්‍ය තමයි මගේ පළමු වේදිකා නාට්‍යය. ඒ වේදිකා නාට්‍යයේ විශේෂත්වයවන්නේ කාන්තාවන් විතරයි චරිත නිරූපණය කළේ. 1991 තමයි එය වේදිකා ගතවූයේ. එහිදී මට සෝමලතා සුබසිංහ, කෞෂල්‍ය ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, ගයනා හෙට්ටිආරච්චි හඳුනාගන්න ලැබුණා. එහිදී මට වේදිකාව ගැනත් එහි රංගනය ගැන හොඳ අවබෝධයක් ලැබුණා.
ප්‍රසිද්ධ වේදිකාවේ සුවිශේෂී චරිත නිරූපණය කළ ඔබ ඒ ආරම්භයත් සමඟ වෙනස්ම ළමා ලෝකයට එකතු වුණා?
ඇත්තටම එය තවත් අපූරු අත්දැකීමක් කියන්න පුළුවන්. සෝමලතා සුබසිංහගේ ළමා නාට්‍යවල දෙබස් නැති, මල් කුරුල්ලන්, වඳුරන් වගේ විවිධ දෑ නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා.
ඒ ලබපු වේදිකා අත්දැකීම් එක්ක ඔබ ‘වන සරණක’ අතරමං වුණා?
තිස්ස අබේසේකර අධ්‍යක්‍ෂණය කළ ‘වන සරණක’ ටෙලිනාට්‍ය මගේ පළමු රංග චාරිකාව. ඇත්තටම කැමරාවක් ඉදිරියේ රඟ නොපාපු මට එහි සුළු චරිතයක් රඟපෑමේදී වුණත් කිසි බයක්, සැකයක් නැතුව නිරූපණයට හැකි වුණේ වේදිකාවේ ලබපු ආභාසය නිසා තමයි. තිස්ස අබේසේකරට අවශ්‍ය වුණේ රඟපෑමයි. නැතුව දෙබස් කියැවීම නෙවේ. ඔහු ඉතාමත් සූක්‍ෂ්ම ලෙස අප හැසුරුවා. එහිදී මේ ක්‍ෂේත්‍රයේ දැවැන්ත පිරිසක් සමඟ මට වැඩ කරන්න ලැබුණා.
එදා තිබුණු ටෙලිනාට්‍ය කලාවෙන් ඔබ අදට වඩා වෙනසක් අත්විඳින්න ඇති කියලා අප හිතනවා?
ඇත්තෙන්ම ඔව්. එදා අපි ටෙලිනාට්‍ය කරන්න කොළඹින් පිට මාස ගණන් ගිහින් ඉන්නවා. ඒ විතරක් නෙවේ හොඳ ආරක්‍ෂාවක් තිබුණා. අද වගේ එක දිගට වැඩ ගත්තේ නැහැ. දවසට සීන් දෙක තුනයි ගත්තේ. ඒකයි අදටත් ඒ ටෙලිනාට්‍ය ප්‍රේක්‍ෂකයන්ට මතක. හොඳ විනයක් ඇතිව ගෞරවාන්විතව වැඩ කළ නිසා එදා ටෙලිනාට්‍ය කර්මාන්තය රැකුණා.
කාලයක් තිස්සේ අපට ඔබව දැකගන්න ලැබුණේ නපුරු චරිත හරහා. එහෙත් දැන් සංකීර්ණ චරිතයක් නිරූපණය කරනවා?
නපුරුකම් කරපු මට තවත් සමහරු නපුරුකම් කළා. නපුරු චරිත කරපු නිසා ඔවුන්ට මාව එපා වෙන්න ඇති. මේ දවස්වල මම සංවේදී අම්මා කෙනෙක්ගේ චරිතයක් නිරූපණය කරනවා. ඇය ටෙලිනාට්‍ය හරහා දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්ගේ චරිතයක්. මම ඒ චරිතයත් එක්ක තවත් පැත්තකින් විඳවනවා. මෙවැනි අම්මලා අප අතරත් ඉන්නවා ඇති කියලා. එවැනි අම්මා කෙනකුට එවැනි තත්ත්වයකට මුහුණපාන්න ලැබෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඔබ ගත් දැනුම් සම්භාරය මතු පරපුරට දෙන්න සැලසුම් කළා නේද? පසුගිය කාලේ එයින් ප්‍රතිඵලයක් ලැබුණෙ නැද්ද?
මෙහෙමයි. මම අලුත් පරපුරට දෙන්නෙත් මම ලබපු අත්දැකීම් සම්භාරය තමයි. ලෝකයත් එක්ක ගත්ත අත්දැකීම්, ඒ වගේම වටපිටාවෙන් මම ලබපු අත්දැකීම් ඒ අතර තිබෙනවා. මමත් කාලයක් පැවසුවා අලුත් අයට හැදෑරීමක් ඇතිව යන්න කියලා. ඒත් ඔවුන්ගේ කිසිම වුවමනාවක් නැහැ. ඒ විතරක් නෙවේ නිර්මාණකරුවන් රූපෙට ශිල්පීන් තෝරා ගත්තාම ඔවුන් උත්සාහ කරන්නේ නැහැ හැදෑරීමක් කරන්න. හරිහමන් ක්‍රමවේදයකට ශිල්පීන් තෝරා ගත්තා නම් මේ ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ. ඒ නිසා අධ්‍යාපනය ගැන කතා කරලා වැඩක් නැහැ කියලා මම හිතන්නේ. චාන්දනී සෙනෙවිරත්න රංග පාසලකට ගියේ නැහැ. ඇය රංග වින්‍යාසය ගැන හොයා බැලුවා, හැදෑරීම කළා පොතපත ඇසුරෙන්.
ඔබ ගමින් ගමට වේදිකාවෙන් යනවා. ඈත පිටිසර ප්‍රේක්‍ෂකයන් වේදිකාවට ලොකු නැඹුරුවක් දක්වනවා?
පසුගියදා “අපි බල්ලොත් එක්ක බෑ 2” වේදිකා නාට්‍ය කුලියාපිටියේ වේදිකා ගතකළා. ශාලාව පිරෙන්න ප්‍රේක්‍ෂකයන් හිටියා. ඔවුන් කැමැති හාස්‍ය නිර්මාණවලට. ඔවුන් හිතින් හිතන දේ අපි නාට්‍ය හරහා ඔවුන්ට රසවිඳින්න දෙනවා. වේදිකාවේ ලොකු අඩුවකට තියෙන්නෙ මිනිසුන්ගේ ජීවිතවල තිබෙන සංවේදී කතා ඔවුන්ට රසවිඳීමේ අවස්ථාවක් නැති වීමයි. හාස්‍ය වගේම එවැනි නාට්‍යයක් ඔවුන්ට රසවිඳීමට ලබාදෙන්න සංවිධායකවරුන් මැදිහත් වෙනවා නම් ඔවුන්ගේ වේදනාව බෙදාහදා ගනීවි කියලා මම හිතනවා.
අද සමාජයේ ප්‍රේක්‍ෂකයන් විදේශ නිර්මාණ බලලා මනස අවුල් කරගන්නවා කියලා හිතෙන්නෙ නැද්ද?
ඇත්තටම එය කනගාටුවට කරුණක්. අවුරුදු 20ක් තිස්සේ ඉඳන් ප්‍රේක්‍ෂකයන් විදේශීය නිර්මාණවලට හුරුවෙලා. ඔවුන් එය ආසාවෙන් රසවිඳිනව. ඔවුන් ඒවායෙන් ගන්නේ වෛරය, ළමා අපයෝජනය, මිනීමැරුම්, පළිගැනීම් වගේ දේවල්. ඊට පස්සේ ඒවා තමාගේ එදිනෙදා ජීවිතයේ චරිත බවට පත්වෙලා. තවත් පැත්තකින් අපේ අය පාසල් ඇඳුමෙන් ආදර කතා හදල එයින් සමාජයට ලොකු හානියක් සිද්ධ වෙනවා. පාසල් ළමයින් අධ්‍යාපනයට වඩා ඒ ආදර කතාවට යොමුවෙලා. මෙයට වඩා හොඳ ගුණාත්මක නිර්මාණ හරහා අපිට සමාජයට හොඳ පණිවුඩයක් දුන්නොත් මේ අයාලයේ යන ජීවිත රැකගන්න පුළුවන් කියන තැන මම ඉන්නවා.
වසන්ත විතාරණගේ











