ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදාක තමිල්නාඩු බලා පිටත්ව ගියේ, එහි පැවැති සුවිශේෂ උත්සව අවස්ථාවකට සහභාගි වෙන්නයි. මෝදි තමිල්නාඩුවට ගිය එකවත් එහිදී උත්සවයකට සහභාගි වීමත් සාමාන්‍ය සිදුවීමක් මිස මහා ලොකු කතාවක් නොවුණත්.., ලියන්නට යන මේ කතන්දරයට නම් ඒක හරි වැදගත් පොයින්ට් එකකි.
ලියන්නට හදන මේ කතන්දරයේ ප්‍රධානම මාතෘකාව වන්නේ ලංකාවේ උතුරු කොනේ පිහිටි කච්චතිව් දූපතය.., දැන් මෙය කියවන ඔබ හිතනවා ඇති ‘කච්චතිව් දූපතයි… මෝදිගේ තමිල්නාඩු ගමනයි අතර තියෙන සම්බන්ධය මොකක්දයි කියලා.
ඒ කාරණය මෙහෙම පහදන්නම්..,
නරේන්ද්‍ර මෝදි තමිල්නාඩුවේ උත්සවයට සහභාගි වෙන මොහොතේ ප්‍රසිද්ධ වේදිකාවේදී හඬනඟලා මෙහෙම කියා හිටියලු..,
‘ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් විශාල අකරතැබ්බයකට මුහුණ පාලා තියෙනවා. මේ වෙලාවේ අපි ඔවුන්ගේ සුබසාධනය පිණිස අපට හැකි උපරිමය කළ යුතු වෙනවා..,
‘මේ අවස්ථාවේ මේ විදියට හැමෝම ඉදිරියේ මම ප්‍රසිද්ධියේ කියා හිටිනවා මම බොහොම මනාපයි ලංකාවට උදව්, උපකාර කරන්න. ඒ උදව් උපකාර මම කරන්නේ ඒක කරදරයක්, අවහිරයක් කියලා හිතාගෙන නෙවෙයි කියලා මේ මොහොතේ තමුන්නාන්සේලා ඉස්සරදී කියා හිටිනවා.
උත්සව අවස්ථාවේදී තමන්ට කතා කරන්නට ලැබුණු විරාමයේදී මෝදි ලංකාව ගැන තමා තුළ වන සත්ව කරුණාව ඒ විදියට තමයි ඉන්දීය රාජ්‍ය නායකයන් හමුවේ ප්‍රකාශයට පත්කළේ. කතාවේ හැටියට නම් මෝදි ලංකාවට තමන්ගේ මිත්‍රත්වයේ අත දිගු කරලා තියෙන්නේ කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුවයි. පෙනෙන හැටියට මේ අසල්වැසි දේශපාලන හිතවතාල, තම අල්ලපු රටට උදව් උපකාර කරන්න හදන්නේ දකුණතින් දෙන දේ වමතටවත් නොදැනෙන ආකාරයටයි.
ඇත්තටම කියනවා නම් ඒක හොඳ මනුස්ස ගතියක්. තවත් විදියකට කියනවා නම් උතුම් දේව ගතියක්. හැබැයි ඒ විදියට කිසිම ලාබයක් නැතුව උදව් උපකාර කරන මිනිස්සු ඉන්නේ බොහොම ටික දෙනයි. තවත් පැහැදිලි කරනව නම්, මීයක් පරෙස්සමට කඩන්නේ අත ලෙව කාලා සැනසෙන්නයි කියන තියරියට උදව් කරන අය අද ලෝකේ කොතැනකවත් නැහැ. ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ.
තමිල්නාඩුවේ මහ ඇමැති ස්ටාලින් කියන්නෙත්, නිකමට මීයක් කඩන මිනිහෙක් නෙවෙයි. කොටින්ම එයා තමාගේ ළඟ ඉන්න මිනිහෙකුටවත් මීය කඩලා අත ලෙව කාලා සැනසෙන තියරියට කටයුතු කරන්න ඉඩ දෙන්නෙ නැහැ. ඒ හින්දා තමයි මෝදි ලංකාවට උදව් කරන කතාව කියන කොටම ‘කච්චතිව් දූපතේ පලහිලව්ව’ ඔහුගේ හිතට ආවේ. මෝදි තමාගේ අදහස අර විදියට කියන කොට ස්ටාලින් ඒ දේශ සීමා යෝජනාව හනිකට ඉදිරිපත් කළේ ගහෙන් ගෙඩි එන තාලෙටයි. ඔහු ඒ වෙලාවෙම මෝදිට කියා හිටියා..,
‘ඔන්න අපට ඇවිදින් තියෙනවා හොඳ අවස්ථාවක්. ටිකක් හිතල බලන්න… අහිමිව ගිය කච්චතිව් දූපත නැවැත අපට අයිතිකර ගන්න මීට වැඩිය හොඳ වෙලාවක් ආයේ නම් එන එකක් නැහැ.
ස්ටාලින්ගේම වචනවලින් කියනවා ඔහු එතැනදී ප්‍රසිද්ධියේම කරපු ප්‍රකාශය එයයි.
මොකක්ද මේ ‘කච්චතිව් දූපතේ’ කතාව. ඒක ඒ තරම් වටිනා වස්තුවක්ද..?
ඔව්… හරියටම කියනවා නම් ‘කච්චතිව්’ කියන්නේ තමිල්නාඩු රජය බොහෝ ඈත කාලයක ඉඳන් කෙළ හලාගෙන ඉන්න… මහා වස්තුවක්. එහෙමත් නැත්නම් මිල කරන්න බැරි මහා නිධානයක්. ස්ටාලින් කියන්නේ වත්මන් මහ ඇමැති ලෙස තමිල්නාඩු රජය හොල්ලගෙන ඉන්න ශූර පාලකයෙක්. ඔහුගේ පියා හිටපු තමිල්නාඩු මහ ඇමැති කරුණානිධි. කරුණානිධිගේ හිතේද ඒ දවස්වල කච්චතිව් දූපත ගැන ලොකු තණ්හාවක් තිබ්බ, කොයි මොහොතේ හරි කච්චතිව් දූපත තමිල්නාඩුවට ලියාගන්නා කුරුමානම තුළ කරුණානිධි අල්ලපු අඩව් සහ කස්තිරම් අප්‍රමාණයි. සමහරවිට ඔහු මියයන්නට ඇත්තේද ‘කච්චතිව් දූපත’ ගැන වූ අසීමාන්තික තණ්හාව හිත කොනක තියාගෙන වෙන්නැති… තාත්තා කළ දේ පුතා නොකළොත් ඒ පුත්‍ර රත්නය අර කාගෙද පුතා කිව්වා වාගේ තාත්තාට ඉටුකර ගන්නට බැරිව ගිය හීනේට දැන් ඔන්න ස්ටාලින් පුත්‍රයා මැදිවෙලා ඉන්නවා.
කච්චතිව් දූපතේ අතීත කතාව හරියට සුරංගනා කතාවක් වාගේ..,
සරලව කෙටියෙන් එයින් බිඳක් කියනවා නම් කච්චතිව් දූපතේ උපත ඇතිවෙලා තියෙන්නේ 14 වැනි සියවස තුළ ඇති ගිනිකන්දක් පුපුරා යෑමෙනුයි. ඉතිහාස කතාවේ හැටියට ගිනිකන්ද පුපුරා යෑමෙන් ඇති වූ මුහුදුු ඛාදනය මත තමයි කච්චතිව් දූපත හැදුණේ. අක්කර 28ක පමණ වටප්‍රමාණයක් ඇති මේ අපූරු දූපත අවුරුදු 110ක් විතර පරණයි. ශාන්ත අන්තෝනි මුනිතුමාට කැපවුණු දේවස්ථානයක්ද මේ දූපතේ තියෙනවා. දේවස්ථානය ඒ කාලේ හදලා තියෙන්නේ තමිල්නාඩුවේ වැසියෙක් වෙච්චි සිරිනිවාසන් නම් දමිළ කිතුනුවෙක්. අවුරුදු ගණනක් පරණ මේ පල්ලියේ බොහොම හාස්කම් එහෙමත් තියෙනවලු.
උතුරේ ධීවරයන්ට වාගෙම, තමිල්නාඩුවේ ධීවර වැසියන්ටත් කච්චතිව්වල මාළු අල්ලන්නත් පල්ලියට ගිහින් වන්දනාමාන කරන්නත් අයිතිය තිබුණා. කච්චතිව් දූපත මේ දෙගොල්ලොම තම තමන්ගේ රාජධානිය කරගෙන යකා නැටුවා. ඒ කාලේ ඉඳන්ම උතුරේ දමිළයන් වාගෙම තමිල්නාඩුවේ දමිළයන්ද ‘මේක අයිති අපට’ යැයි කියමින් නිතර නිතර රණ්ඩු සරුවල්ද ඇතිකර ගත්තා. ඒ අයිතිය සනාථ කරගන්න දොගොල්ලන්ගේ කඹ ඇදිල්ල ජයටම කෙරීගෙන ගියා.
කඹ ඇදිල්ල අවසානයක් වුණේ, 1974 අවුරුද්දේ එවකට ඉන්දියාවේ අගමැතිනියව හිටපු ඉන්දිරා ගාන්ධි මැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සමග ඇතිකරගත් සුහද කතාබහකින් අනතුරුව කච්චතිව් දූපත ලංකාවට අයිතිකර දීමට රාජකීය ගිවිසුමක් ගැසුවාට පසුවයි.
තමිල්නාඩුවේ වැසියන් සහ මහ ඇමැති කරුණානිධිව දෙවැනි කොට ඉන්දිරා ගාන්ධි එහෙම ගිවිසුමක් ගැසුව හේතුව..,
ඉන්දිරා සහ සිරිමා අතර තිබ්බ යහළුකම හරිම අතීසාරයි. අඹ යහළුවන්ටත් වඩා කදිම, අපූරු යාළුකමක් මේ ආසියානු නායිකාවෝ දෙන්න අතර තිබුණා. විටෙක ඒ යහළුකම හරිම පුදුමාකාර යැයි කාටත් හැඟුණා. නැත්නම් ඉතින් තමිල්නාඩුව සහ එහි නායක තැන අච්චර හර්තාල් දානකොට කච්චතිව් දූපතේ අයිතිය ලංකාවට දෙයිද..?
කොහොම නමුත් කරුණානිධි හිටියේ මලපැනලයි. ඔහු ඉන්දිරා ගාන්ධි හමුවට ගිහින් හැකි තරම් ‘කණිපින්දම්’ කළා. නාහෙන් ඇඬුවා… බැගෑපත් වුණා..,
‘මේක කරන්න හිතන්නවත් එපා… මෙය තමිල්නාඩු රජයට වැඩි අයිතියක් තියෙන අසීමාන්තික වටිනාකමක් තියෙන මහා වස්තුවක්, නිධානයක්. ඔබ කච්චතිව් දූපත ලංකා රජයට ලියා දීමෙන් තමිල්නාඩු වැසියන්ට කරන්නේ මහා ලොකු අසාධාරණයක්.’
එවකට තමිල්නාඩු මහ ඇමැතිව සිටි කරුණානිධි ඉන්දිරා ගාන්ධි අබියස එහෙම කන්නලව් කර හිටියා.
ඉන්දිරා ගාන්ධි කියන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක වාගෙම හිතුවක්කාර ගතිගුණ ඇති හිතූමතේ වැඩ කරන තීරණ ගන්න මුරණ්ඩු චරිතයක්. දෙන්නා පෑහුණෙත් ඒකනේ. ඉතින්.., ඒ හිතුවක්කාර කම නිසාම වෙන්නැති ඉන්දිරා කරුණානිධිගේ ඉල්ලීම පයිසෙකටවත් ගණන් නොගත්තේ.
ඒ විදියට කච්චතිව් දූපත ගිවිසුමකින් ලංකාවට අයිති වුණා. ‘මේක අපේ… අපටයි අයිති’ කියන තමිල්නාඩු වැසියන්ගේ ගෝරි බෝරිත් එහෙම්ම යටපත්ව ගියා. හැබැයි.., කරුණානිධිගේ හිතේ එදා ඇතිවුණු ගින්න සහ කෝපය නම් යටපත් වුණේ නැහැ…’ නිහඬ, සීතල යුද්ධයක්’ විදියට තමිල්නාඩුවේ අනෙකුත් රාජ්‍ය නායකයන් අතරද ‘කච්චතිව් දූපතේ’ ඔවුනට අහිමිව ගිය අයිතියේ පරාජිත සිතුවිලි අළුයට සැඟවුණු ගිනිපුපුරු වාගේ වරින්වර මතුව ආවා.
ඒ ගිනිපුපුරුවල එක පුපුරා යෑමක් වුණේ, 1991 තමිල්නාඩුවේ ප්‍රාන්ත පාර්ලිමේන්තුව ‘කච්චතිව් දූපතේ අයිතිය තමිල්නාඩු රජය සතුයි. නැවත එය ඔවුනට හිමිකර දෙන්නැයි’ කියා යෝජනාවක් සම්මත කරගැනීමයි.
ආයෙම ඔන්න ඉතින් කච්චතිව් අයිතිකර ගැනීමේ සීතල යුද්ධය හිස ඔසවන්න ගත්තා… ‘ ඒක අපේ… අපටයි අයිතිය…’ කියන සටන්පාඨද ඇහෙන්න ගත්තා.
ඒ අතර වාරයේ, 2008 අවුරුද්දේ එවකට මහ ඇමැතිනියව හිටපු ජයලලිතාද ඉන්දිරා ගාන්ධි සහ සිරිමාවෝ අතර සිදුවූ ගිවිසුම අවලංගු කරන්නය කියලා උසාවි ගියා. ඒ අතර ජයලලිතා මෝදි හමුවන්නට ගිහිල්ලා ‘කච්චතිව්’ අයිතිය තමිල්නාඩු රජයට ගන්න උදව් කරන්නැයි කියා ඉල්ලීමක් කර තිබුණා.
‘මේක තමිල්නාඩු වැසියනට සිදුවූ මහා අසාධාරණයක්… ඒ අසාධාරණයට විරුද්ධව නැඟී සිටින්න අපට උදව් කරන්නැ…යි’
කියා ජයලලිතා මෝදිට කියා සිටියා.
ඒ සියලුම සිදුවීම් අතරේ 2014 දී ඉන්දියාවේ නීතිපති දන්වා සිටියා අග්‍රවිනිශ්චයකරුට ‘හිතන තරම් ලෙහෙසියෙන් නම් කච්චතිව් දූපත නැවැත ඉන්දියාවට අයිතිකර ගන්න නම් ලැබෙන්නේ නැහැ’ කියලා… එහෙම අයිතිකර ගන්නවා නම් මහා යුද්ධයක් ඒ සඳහා කළ යුතුය කියාද නීතිපති ඒ මොහොතේ තවදුරටත් සඳහන් කළා.
ඒ සියල්ල ඊයේ දවසට හෝ නුදුරු අතීතයට අයත් සිදුවීම් වේ.
අපි ආයෙම මේ කතන්දරය තුළ වර්තමානයට එමු..,
අද දවස තුළ ‘කච්චතිව් දූපත’ ගැන අහන්න, දකින්න තියෙන විස්තර අනුව පෙනී යන්නේ ඉහත සඳහන් කළ තමිල්නාඩුවේ පැවැති උත්සව අවස්ථාවේදී කච්චතිව් නැවැත අයිතිකර ගැනීමේ යුද්ධයට අවැසි පළමු වෙඩිමුරය මෝදි ඉදිරිපිටදීම ස්ටාලින් විසින් පත්තුකර ඇති බවය.
සත්තකින්ම කියනවා නම් ස්ටාලින්ගේ කූට අදහසට අනුව යුද්ධයකුත් අවැසි නැති ගානය… ඔහු පවසන අන්දමට ලංකාව ඉන්දියාවට ගෙවන්නට නියමිතව තිබෙන දරාගන්නට බැරි ණය වෙනුවෙන් කච්චතිව් දූපත හිලව්වට ගැනීම මහා ලොකු දෙයක් නෙවේය.
තමිල්නාඩු මහ ඇමැති ස්ටාලින් මෙහිදී සාධාරණයිද..?
සාධාරණ, අසාධාරණකම කෙසේ වෙතත් ඔහු කී ආකාරය අනුව ලංකාව ඉන්දියාවට දරන්නට බැරි තරම් ණය වී හමාරය. කොටින්ම කියතොත්, ලංකාවට දැන් උදව් කරන්නට ඉන්න එකම රට ඉන්දියාවය. තෙල් ටික සපයන්න වගේම… තව තව නිෂ්පාදන බොහොමයක ගැටලු විසඳා ගන්න ලංකාවට අතහිත දෙන්නෙ ඉන්දියාවය. තවත් පැහැදිලිව කියනවා නම් ලංකාව දැන් හුස්ම ගන්නේ… මේ දුවන විදියටවත් දුවන්නේ ඉන්දියාවේ ආධාර නිසාය.
ඒ කියන්නේ ස්ටාලින් ‘කච්චතිව් දූපත්’ අල්ලා ගන්නට දරන වෑයම හරියයිද..?
තවම කියන්නට දන්නේ නැත.., කොහොම නමුත් බොහෝ කාලයක ඉඳන් තමිල්නාඩුව ගිලගැනීමට මාන බලන මහා නිධානයක් බඳු වූ කච්චතිව් දූපතෙහි සටන නැවැත ආරම්භ වී ඇත.
මොනවයින් මොනවා වෙයිද..?
ඉන්දියාව කෙළ හලහලා බලා සිටින මේ වටිනා දූපත ලංකාවට අහිමිව යයිද..?
බලා සිටිනවා මිසක කුමක් කරමුද..?
බොහෝ විට දේශපාලනීය වූ ගනුදෙනු සහ ගිවිසුම්වලට මැදිහත් වීමේ අයිතිය ඡන්දදායකයාට කවදත් තිබුණේ නැත.
කෙසේ වුවද, ස්ටාලින් හරි තැන බලා වෙඩි මුරයට ගිනි තබා ඇත. යටපත්ව එහෙ මෙහෙ වෙමින් තිබුණු කච්චතිව් දූපතේ ඔහොයියාව නැවැත ඒ වෙඩිමුරය හරහා කෑමොර දෙන්නට ගෙන ඇත.
ඉන්දියාවේ ප්‍රධානතම මතයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති කාරණයක් වේ..,
ඒ කච්චතිව් දූපත අයිතිකර ගතහොත් තමිල්නාඩු ඉලෙක්ෂන් එක ජයපහට දිනාගන්නට එය හොඳ චාන්ස් එකක් වන වගය..,
සියලු අලකලංචි අතර කච්චතිව් දූපතේ වන ශාන්ත අන්තෝනිතුමාගේ පල්ලිය අලුතෙන් නැවැත ඉදිකිරීමට උතුරේ වසන ව්‍යාපාරිකයකු සූදානම් වන බවද ආරංචිය.
අවසානය කුමක් වේද..?
‘අනේ මන්දා…’ යන උත්තරය ඒ සඳහා දීම වඩා සුදුසුය.
කෙසේ වුවද..,
අනේ ඉතින් සිරි ලංකාවට දෙවියන්ගේ පිහිට මිස වෙන කාගේ පිහිටද..?
දමයන්ති රේණුකා ප්‍රනාන්දු










