ශ්‍රී ලංකාවට දැන් අලුත් පාලකයකු ලැබී තිබේ. ඒ මෙහි ජීවත්වෙන ජනතාවගේ ස්ව කැමැත්ත මත පමණක්ම ලබාදෙන සර්වබල ඡන්දයෙනි. රටේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා සිය ජනපති ධුරයෙන් විශ්‍රාම යද්දී අපේ රටේ අලුත්ම ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඒ අනුව ඔහුගේ හිස මත දැන් මුළු රටේම බර පැටවී තිබේ. සැබෑවටම අද රටක් පාලනය කිරීම හිතනා තරම් ලේසි පහසු නැත. එය දන්නේ රට පාලනය කරන්නා මිස ඔහුව එම රජ පුටුව වෙත යැවූ අප නොවේ. නමුත් බෞද්ධ විග්‍රහයට අනුව නම් රටක පාලකයකු නිසැක වශයෙන්ම ඉතාම දැහැමි අවංක පාලකයකු විය යුතුය. එය බෞද්ධ ඉගැන්වීමකි.
විශේෂයෙන්ම රටේ පාලකයා ඉතාම ධාර්මික වී ධර්මයම සිය පාලන නීතිය ලෙස සැලකිය යුතුය. මේ අතර සමස්ත මනුෂ්‍ය ප්‍රජාවට මෙන්ම සත්ව ප්‍රජාවටද ධාර්මික රැකවරණයක් සැලැසීම අනිවාර්යය අංගයකි. එසේ සිටිමින් පරමාදර්ශී රාජ්‍ය පාලනයක් බිහිකිරීම පිණිස පාලකයා ක්‍රියා කළ යුතුය. මෙය මෙදා විධිමත් බෞද්ධ ඉගැන්වීම් අතර හැඳින්වෙන්නේ දස සක්විතිවත් යන නමිනි. පහතින් අප සඳහන් කරන්නේද එම දස සක්විතිවත්ය.
(01) බිරිඳ දරුවන් ඇතුළු රජ පවුලේ පිරිසට දැහැමි රැකවරණය සැලසිය යුතුය.
(02) රට රකින බළ සෙනඟට දැහැමි රැකවරණය සැලසිය යුතුය.
(03) පරිපාලන කටයුතුවලට සම්බන්ධ ඇමැතිවරු ආදී අනියුක්ත පිරිසට දැහැමි රැකවරණය සැලසිය යුතුය.
(04) කෘෂිකර්මාන්තය ආදී ආර්ථික කටයුතුවල නියැළී සිටින බ්‍රාහ්මණ පිරිසට දැහැමි රැකවරණය සැලසිය යුතුය.
(05) නියම් ගම් වැසි මෙන්ම දනව් වැසි ජනයාට දැහැමි රැකවරණය සැලසිය යුතුය.
(06) ජනතාවගේ සදාචාර සංවර්ධනයට මඟ පෙන්වන ශ්‍රමණ බ්‍රාහ්මණ පූජනීය පිරිසට දැහැමි රැකවරණය සැලසිය යුතුය.
(07) සිව්පාවුන් පක්ෂීන් ආදී සියලු සත්ව ප්‍රජාවට දැහැමි රැකවරණය සැලසිය යුතුය.
(08) රටේ අපරාධ ඇති නොවන අයුරින් කටයුතු කළ යුතුය.
(09) රටෙහි වෙසෙන දිළිඳු ජනයාට ධනය ලබාදිය යුතුය.
(10) රටෙහි වෙසෙන සිල්වත් ගුණවත් වියත් මහණ බමුණන්ගේ අවවාද අනුශාසනා ලැබ රට පාලනය කළ යුතුය.
රට කුමක් වුවද එම රටේ පාලකයා සතර සංග්‍රහ වස්තුවෙන් සන්නද්ධ වීම වැදගත්ය. එය යම්කිසි රටක පාලකයකුට ආභරණයක් බඳුය. සතර සංග්‍රහ වස්තු වන්නේ දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව සහ සමානාත්මතාවයි. රටේ පාලකයාට මෙම අපූර්ව ගුණාංග අනිවාර්යයෙන්ම තිබිය යුතුය. යම් ලෙසකින් එසේ නොවන්නට රටේ ජනතාව ඒ පාලකයා පිළිකුල් කිරීම වැළැක්විය නොහැකිය.
රටක පාලකයකු සතර අගතියෙන්ද තොර විය යුතු බව බෞද්ධ ඉගැන්වීම් අතර ඇති සතර අගතිය නම් බෞද්ධ ඉගැන්වීම තුළ සඳහන් වෙයි. මෙම සතර අගතියට අයත් වන්නේ ඡන්දය, ද්වේෂය, භය, මෝහය යන ඒවාය. එම කිසිවක් පාලකයකුට සුදුසු නැත. එම සතර අගතිය පහත පරිදි අර්ථ විග්‍රහ කළ හැකිය.
(01) ඡන්දය
යම් යම් දේවල් පිළිබඳව තම පුද්ගල කැමැත්ත ඡන්දයයි. බොහෝ අවස්ථාවල ගනු ලබන තීරණයන් ඡන්දය අනුව සිදුවෙයි. එහෙත් එසේ ගන්නා ඒ තීරණ සියල්ලේම යුක්තිය මෙන්ම සාධාරණත්වයක් තිබිය යුතුය. මෙහිදී පාලකයා ඒ ගැන වඩා සැලකිලිමත් විය යුතුය. මේ ඡන්දය නමැති අගතිය යහපත් පාලනයක් ගෙනයෑමට බලවත්ම ප්‍රතිරෝධකයක් ලෙස බුදු සමය පෙන්වා දෙයි.
(02) ද්වේෂය
ද්වේෂයෙන් දූෂිත වූ පාලකයකුට රටක් පාලනය කළ නොහැකිය. ඊට හේතුව ඔහුට යුතුකම් වගකීම් සහ සාරධර්ම පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති වීමයි. රටවැසියා වැරදි කරනා විට ඔවුන්ට යම් සුදුසු දඬුවමක් දීම පාලකයකුගේ අයිතියකි. නමුත් පළි ගැනීමට සිතා එසේ නොකෙරිය යුතුය. යමකුට එසේ දඬුවම් කළ යුත්තේ ඔවුන්ව නිවැරදි මඟට ගැනීමටම පමණි.
(03) භය
පාලකයා සතුව භය නොමැතිවිය යුතුය. පාලකයා භය වූ විට රට අරාජික වෙයි. අද බොහෝ පාලකයෝ තමන්ට එල්ලවෙන විරෝධතා සහ අභියෝගතාවලට තැතිගෙන සිටිති. නමුත් එසේ විය යුතු නැත. බුදු දහම මෙම භය අගතියක් ලෙස සලකන්නේ මෙවැනි හේතු නිසාය.
(04) මෝහය
මෝහය යනු මෝඩකමයි. බුදු දහම මෙම මෝහය හඳුන්වන්නේ අයහපත් මනෝභාවයක් ලෙසිනි. තවද මෝහය සියලු වැරදි ක්‍රියාවන්ට මුල්වන එක් අකුසල මූලයකි. මෙම මෝහය නිසාවෙන් රටට වෙන හානියද බරපතළ එකකි. එනිසා පාලකයකු මෝහයෙන් නම් අන්ධ විය යුතු නැත.
රටක් පාලනයට සප්ත අපරිහානීය ධර්මය පිළිපැදීමක්ද ඉතා වැදගත්ය. රටේ පාලකයා මේ සප්ත අපරිහානීය ධර්ම පිළිපදියි නම් එම රට යන්නේ අනිවාර්යයෙන්ම යහපත් දිශාවටය. යහපත් පාලකයකු විසින් ගුරුකොට ගත් මූලධර්ම හතක් මෙසේ සප්ත අපරිහානීය ධර්ම ලෙස හැඳින්වෙයි. එදා බුදු රජුන්ගේ ප්‍රශංසාවට ලක් වූ මෙම ධර්ම හත වජ්ජි රජ දරුවන්ගේ රාජ්‍ය පාලනය පිළිබඳ විස්තරයේ දක්වා තිබේ. වජ්ජින්ගේ පාලන තන්ත්‍රයද විධිමත්ව සහ ස්ථාවරව පවත්වාගෙන යෑමට හේතු වූයේ මෙම මූල ධර්ම හතයි.
(01) නිතර නිතර රැස්වීම.
(02) සමගිව එක්ව සමගිව කටයුතු කර සමගිව විසිර යෑම.
(03) පෙර නොපැන වූ නීති නොපැනවීම සහ පැනවූ නීති කඩ නොකිරීම.
04) වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම.
(05) කාන්තාවන්ට කරදර නොකිරීම.
(06) පූජනීය ස්ථාන රැකගැනීම සහ නඩත්තු කිරීම.
(07) ආගමික පූජ්‍ය පක්ෂයට පහසුකම් සැලසීම.
සමස්තයක් ලෙස ගත් විට ඉහතින් අප සඳහන් කළ සියලු කරුණු ස්ථාවර රාජ්‍ය තන්ත්‍රයක සමාජීය යහපැවැත්ම සඳහා කොයිතරම් වැදගත්දැයි වටහා ගැනීම දුෂ්කර නොවේ. එසේම අප ඒ සඳහන් කළේ ප්‍රජාත්‍රන්තවාදී පාලනයක පැවැත්මට අතිශය උපකාරී වෙන දේවල්ය. තවද බුදු සමය රාජ්‍ය පාලනයේ ආර්ථික සමෘද්ධිය සහ සදාචාර සමෘද්ධිය එක හා සමාන වටිනාකමකින් අවධාරණය කරන බව අවසානයේ මතක් කළ යුතුය. එමෙන්ම තවත් විශේෂ කරුණක් කිව යුතුය. එනම් අපගේ රටේ පාලකයින් බෞද්ධ ඉගැන්වීම් අනුව දැහැමි අන්දමින් මෙරට පාලනය කළහොත් ලෝකයෙන්ම උතුම් රට ලෙස ශ්‍රී ලංකාව නැවතත් හෙට දින කිරුළු පලඳිනු ඇත.
රුවන් එස්. සෙනෙවිරත්න











