අපි කාටත් පුංචිම කාලේ පටන් සිහින, බලාපොරොත්තු තියෙනවා. ඒ සිහින මල්ඵල ගන්වන්නට ඒ වෙනුවෙන් කැපවීමයි වැදගත්. කතාවටත් කියනවනේ උත්සාහවන්තයා ජයගනී කියලා. ඉතින් එහෙම සිහින සැබෑ කරගනිමින් පසුගියදා සෙංකඩගල පුරවරයේ කොල්ලො සෙට් එකක් ජයගත්තා. දෙරණ රූපවාහිනිය සංවිධානය කළ Derana Battle of the Bands රියැලිටි තරගාවලියෙන් එසේ ජයගත් Back to Back සංගීත කණ්ඩායමේ නායක සුරංග මධුර අප සමඟ කෙටි පිළිසඳරකට එකතුවුණේ මේ විදියට.
Back to Back මේ දිනවල ඉහළ ප්‍රතිචාර භුක්ති විඳිනවා. ඒ සතුට ගැන අපිටත් කියන්න කැමතිද?
පසුගියදා දෙරණ රූපවාහිනී නාළිකාවෙන් ඉදිරිපත් කළ වැඩසටහනෙන් ජනප්‍රියම සම්මානය අපට හිමිවුණා. ඉතින් අපි හිතුවේ නෑ අපිට මේ වැඩසටහනින් ජනප්‍රිය කිරුළ දක්වා තරග කරන්න පුළුවන් වෙයි කියලා. ජනතාවගේ කැමැත්ත මත ඒ ජය කිරුළ අපට හිමිවුණා.
සංගීත කණ්ඩායම් විශාල ප්‍රමාණයක් අතර Back to Back ජනප්‍රිය කිරුළ හිමිකර ගැනීමට විශේෂත්වයක් තිබුණාද?
මේ තරගය සඳහා ලංකාවේ ජනප්‍රිය තලයේ සංගීත කණ්ඩායම් ඉදිරිපත් වුණා. හැබැයි අපේ කණ්ඩායම ආරම්භයේදීම ගායනා කළ ‘හාදවෙලා යමන් පනේ’ සින්දුව වෙනස්ම විදියකට සංගීතය මුසු කරමින් ගායනා කළා. ඒ සින්දුවට පුදුම විදියට ප්‍රතිචාර ලැබුණේ. ප්‍රවීණ ශිල්පීන් පවා අපිට ඒ පළමු වැඩසටහන නරඹලා සුබ පැතුවා.
කන්ද උඩරටට හිමිවුණ පළමු ජය කිරුළ ලෙස මේ සම්මානය හඳුන්වන්න පුළුවන් නේද?
ඇත්තටම මමත් හිතන විදියට සෙංකඩගල පුරවරයට ජනතාවගේ කැමැත්ත මත මෙවැනි සම්මානයක් ලැබිලා නැතුව ඇති. අපට ගොඩක් සතුටුයි ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් අතරට Back to Back සංගීත කණ්ඩායමත් එකතු වීම ගැන.
ජයග්‍රාහි කිරුළ හිමිකර ගන්න පැමිණි ගමනේදී විවිධ ගැටලු ප්‍රශ්නත් මතුවෙන්න ඇති?
පසුගිය කාලේ රටේ ඇතිවුණ බෝම්බ ප්‍රහාරය නිසා සංගීත ප්‍රසංග නැතුව හිටියේ. අපේ කණ්ඩායමේ දෙන්නයි රැකියාවන් කළේ. අනෙක් සියලුම ශිල්පීන් සංගීත කණ්ඩායමෙන් තමයි ජීවත් වුණේ. අපට මේ තරගය වෙනුවෙන් යන්න එන්නත් මුදල් තිබුණේ නැහැ. අපගේ අසීරු තත්ත්වය තේරුම් ගෙන සමහරු අපිට සහාය දැක්වූවා. ගොඩාක් අභියෝග මැද සියලුම දෙනාගේ ආශීර්වාදය මැද සුන්දර පරිසරයකට අපි අඩිතාලම හදාගත්තා.
පසුගිය කාලේ සංගීත කණ්ඩායම්වල ශිල්පීන් එහා මෙහා මාරුවීම් සිදුවුණා. එවැනි තත්ත්වයන්ට මුහුණපෑමට Back to Back සිදුවුණාද?
තරගයට මුහුණදීමට දවස් කිහිපයකට කලින් අපේ කණ්ඩායමෙන් දෙන්නෙක් ඉවත් වුණා. අපි ඒ වෙනුවෙන් අලුතෙන් දෙන්නෙක් සම්බන්ධ කරගෙන තමයි තරගයට ඉදිරිපත් වුණේ. අපි අද දම්වැල් පුරුක් මෙන් එකිනෙකාට බැඳිල තමයි ඉන්නේ.
Back to Back වාදක මණ්ඩලය ගැන සඳහාත් නොකළොත් එතැන හිස්තැනක් වෙන්න පුළුවන්?
ඩ්‍රම්ස් සමීර ප්‍රසාද්, පෑඞ් සමීර කරුණාරාච්චි, කීබෝඞ් සුරංග මදුර, ලීඞ් ගිටාර් ඇලෙක්ස් බී, රිදම් ගිටාර් ගිහාන් කිරින්ද, ගායන ශිල්පින් සුරාන් මධුසංඛ, රශ්මික චතුරංග, අනුරුද්ද රුවන්.
ජනප්‍රිය කිරුළත් එක්ක ලැබෙන ඉල්ලීම් ඉටුකරන්න ඔබේ සංගීත කණ්ඩායම සූදානම්ද?
අපි රසික රසිකාවියන් වෙනුවෙන් වෙනසක් කරන්න තමයි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ. එහෙමයි කියලා ප්‍රසංගවලට අය කරන මිල වැඩි කිරීමක් කරන්නේ නැහැ. එහෙම කරලා ප්‍රසංග කලාව පවත්වාගෙන යන්න අපහසු බව අපි දන්නවා. සියලුමදෙනාට සරිලන විදියට සාධාරණ මුදලක් තමයි අපි අය කරන්නේ.
විදේශ ප්‍රසංග සඳහා ඇරැයුම් ලැබුණේ නැතිද?
ජයග්‍රහණයෙන් පස්සේ අපට ප්‍රසංග සඳහා ආරාධනා ගලාගෙන ආවා. ලබන වසරේ මුල ඉතාලි ප්‍රසංගයක් සහ ඩුබායි ප්‍රසංගයක් සඳහා Back to Back අපට ආරාධනා ලැබුණා.
මේ ජයග්‍රහණය කිරුළ පිටුපස ශක්තියක් වුණ දැවැන්තයො පිරිසකුත් ඇති නේද?
දෙරණ නාළිකාවේ ගරු සභාපතිතුමා දිලිප් ජයවීර මැතිතුමා, උප සභාපති ලක්සිරි වික්‍රමගේ මැතිතුමා ඇතුළු දෙරණ රූපවාහිනි නාළිකාවේ සියලුම දෙනාටත්, ඒ විතරක් නෙමේ අපි මෙතරම් ජනප්‍රිය තැනකට ගෙනාව දෙස් විදෙස් සියලුම ජනතාව ඒ වගේම ගම්වාසීන් සියලුම දෙනාට ස්තුතිය පුදකරනවා. මේ අය හිටියේ නැතිනම් අපි අද මෙතැන නැහැ.
වසන්ත විතාරණගේ











