ශ්‍රී ලංකාවේ දැවැන්ත රාජ්‍ය ආයතන යුගලයක් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හා ලංකා බැංකුව එක්ව සිය සබඳතාව වඩාත් ශක්තිමත් කරමින් පාරිභෝගික යහපැවැත්ම සහ පහසුව සහතික කිරීම සඳහා ලංකා බැංකුවේ මුදල් රහිත QR ගෙවීම් පහසුකම BOC SmartPay හරහා ජීවිත රක්ෂණ වාරික ගෙවීමේ පහසුව සලසා දෙයි.
රට තුළ පවතින වසංගත තත්ත්වය මධ්‍යයේ පාරිභෝගිකයන්ට අඛණ්ඩ රක්ෂණ සේවාවන් ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමේ වැදගත්කම අවබෝධ කරගනිමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ලංකා බැංකුව එක්ව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට මෙම පහසු සහ සුරක්ෂිත ගෙවීමේ ක්‍රමය හඳුන්වා දෙන ලදී. මෙම ගෙවීම් පහසුකම මගින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ඩිජිටල් මාධ්‍ය ඔස්සේ වේගවත් සහ ආරක්ෂිත ගෙවීම් කිරීමට හැකියාව ලැබේ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව තාක්ෂණික දැනුම ඔස්සේ වඩාත් ඵලදායී පාරිභෝගික සේවාවක් ලබාදීම සඳහා නිරන්තරයෙන් උත්සාහ දරන අතර එහි දිගුවක් ලෙස පාරිභෝගිකයන්ට රක්ෂණය යන සංකල්පය සමීප කිරීම සඳහා නව තාක්ෂණය ඔස්සේ ඔවුන්ට ආයතනය සමගින් සම්බන්ධ විය හැකි මාර්ග පුළුල් කිරීම සිදුකරයි.











