ස්වර්ණපාලි යන නාමයට කිසිදු අසාධාරණයක් නොකරන තරමටම ඇය ස්වර්ණපාලියක් වූවාය. ලංකා ඉතිහාසයේ ජනප්‍රිය කාන්තාවන් අතර ස්වර්ණපාලියට ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. ඇය පණ්ඩුකාභය රජුගේ අග්‍ර මහේෂිකාව වූවාය. ඇය පිළිබඳ ජනප්‍රිය කතාපුවතක් ජනප්‍රවාද අතර එයි. පණ්ඩුවාසදේව රජතුමා මේ දෙදෙනාගේම මුත්තණුවන් වූ අතර පණ්ඩුකාභය චිත්‍රගේ පුතණුවන් වූයේය. චිත්‍රා යනු පණ්ඩුවාසදේවගේ එකම දියණියයි. ස්වර්ණපාලි කුමරිය ගිරිකණ්ඩසිවගේ දියණිය වූවාය. ගිරිකණ්ඩසිව යනු පණ්ඩුවාසදේවගේ පුතණුවෙකි.
පණ්ඩුකාභයගේ උපත නිසා ඔහුගේ මාමාවරුන්ට උරුම වන්නේ යහපතක් නොවන බව දෛවඥයන් ප්‍රකාශ කළදා සිට ඔවුන් සිටියේ පණ්ඩුකාභය ගැන යහපත් සිතකින් නොවේ. එනිසා අවස්ථා කිහිපයකදී කුමරුන් ඝාතනය කිරීමට වෙහෙස දැරුවද ඒ සියලු ප්‍රයත්න ගඟට කැපූ ඉනිමෙන් විය. ක්‍රමයෙන් තරුණ වයසට පත් ඔහු තමා සමඟ යුද්ධයට පැමිණි මාමාවරුන් ඝාතනය කොට ක්‍රමයෙන් අනුරාධපුර ජයදද නැංවීය.
පණ්ඩුකාභය ළමා කාලයේ ඉගෙන ගත්තේ පණ්ඩුල බ්‍රාහ්මණයා සමීපයේය. හොඳින් ඉගෙනගත් ඔහු අවසානයේදී පණ්ඩුකාභය තරුණයාට දුන් අවවාද දෙකක් විය. ඉන් එකක් නම් රජ වූ වහාම තම පුතණුවන් වන චන්ද්‍ර කුමරු පුරෝහිත තනතුරට පත් කිරීමත්, යම් තරුණියක් නුග පත්‍රයක් ස්පර්ශ කරන සැණින් එය රන් බවට පත්වේද ඒ තරුණිය විවාහ කරගන්නා ලෙසත්ය.
එක් දිනක් ගිරිකණ්ඩසිවගේ දියණිය පාලි කුමරිය ගොයම් නෙළමින් සිටින පියාණන් ඇතුළු පිරිසට ආහාර ගෙන යමින් සිටියාය. සේනාව පිරිවරා පැමිණි පණ්ඩුකාභය කුමරුට ඇය හමු විය. ඇය පැමිණි අශ්ව රථය අබිමුවට ගිය කුමරු ඇයගෙන් තොරතුරු විමසා සිටියේය. කුමරිය පිළිබඳ පුවත් ඇසූ ඔහු තමා හා ඇය අතර පවතින ඥාතීත්වයද ඇයගේ ලාලිත්‍යයෙන් සිත වසඟ වූ නිසාද ඇය හා ප්‍රේමයෙන් බැඳුණේය. ඇයද කුමරු ඇතුළු පිරිසට සංග්‍රහ කිරීමට පසුබට නොවූවාය. අසලින් ඇති නුග ගසෙන් පත්‍ර කඩා ගත් අතර එකී පත්‍ර ස්පර්ශ කළ සැණින් රන් බවට පත්විය. මේ අහඹු සිදුවීම පණ්ඩුකාභය කුමරුට පෙනිණි. ඔහුට පණ්ඩුල බ්‍රාහ්මණයා දුන් අවවාදය සිහිවිය. තමා අබිමුව සිටින්නේ තමාගේ සහකාරියම බව ඔහු තීරණය කළේය. ලැබූ සංග්‍රහයෙන් පසු එතැනින් කුමරු ඇතුළු සේනාව නික්ම ගියේය. ඔහු නික්ම ගියේ තනිව නොව පාලි කුමරියද සොරා ගෙනය. එකී සිදුවීමෙන් පසු ඇය ස්වර්ණපාලි නම් වූවාය.
තම දියණිය සොරා ගෙන පලා යන කුමරුට එරෙහි වූ ගිරිකණ්ඩසිව යුද්ධය ප්‍රකාශ කළේය. ඔහු අල්ලා ගැනීමට සේනාවක්ද පිටත් කර හැරියේය. එනමුත් එසේ කුමරු මැරීමට ගිය සේනාව කුමරුගේ සේනාව හමුවේ දරුණු පරාජයක් ලැබූයේය. එම ස්ථානය ‘කලහනගර’ යනුවෙන් පසුව ප්‍රසිද්ධ විය. එයින් නොනැවතුණු සිව තමාගේ සහෝදරයන් පස්දෙනෙකු පණ්ඩුකාභය සමඟ යුද්ධයට එවූ නමුදු ඔවුන් පස්දෙනාද එහිදී ඝාතනය විය. ඒ ස්ථානය ‘ලෝවාකඩ’ නමින් හැඳින්විය. සිදු වූ දේ පිළිබඳ පශ්චාත්තාප වූ ගිරිකණ්ඩසිවට කරගත හැකි දෙයක් නොවූයෙන් කුමරු සමඟ සමගි සමාදාන විය.
ක්‍රමයෙන් අනුරාධපුරයට පැමිණි කුමරු එහි රජ විය. ඔහුගේ පාදපරිචාරිකාව වූයේ ස්වර්ණපාලි කුමරියය. රාජ්‍යාභිෂේකයද විවාහ මංගලෝත්සවයද එකම දිනයේදී ගත් කුමරු මනා කළමනාකාරීත්වයකින් යුතුව රජය මෙහෙයවීය. ඔහුට දාව දරුවන් කිහිපදෙනකු වූ අතර ගණතිස්ස වැඩිමල් පුතු වූයේය. මුටසීව රජුද ඔහුගේ දෙවැනි පුතා විය. රාජ්‍යත්වයට පත් වූයේ මේ පුතුන් දෙදෙනා වුවද තවත් පුතුන් සිටින්නට ඇත. ස්වර්ණපාලි දේවිය තමාගෙන් ඉටු විය යුතු සියලු වත්පිළිවෙත් නොඅඩුව සිදු කළ අතර මියයන තෙක්ම ආදරයෙන් දෙදෙනා විසූහ.
පදියතලාවේ ඥාණවිමල හිමි











