ඔහු අපේ කලා ක්ෂේත්‍රයේ ආදරණීය යුවළක් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරුගේ වැඩිමල් පුත් ජනිත් වික්‍රමගේ. ජනිත්ගේ මල්ලි තමයි සංකේත් වික්‍රමගේ. හරි සුන්දරම පවුලක් තමයි මේ. කලාව වෙනුවෙන්ම කැපවුණ දක්ෂ නිර්මාණශීලී පවුලක්. ජනිත් පසුගියදා ලංකාවේ හීරෝ කෙනෙක් එක්ක ගේමක් ඉල්ලලා තියෙනවා. ඇත්තටම මොකක්ද මේ කතාව කියලා අපි හොයලා බැලුවා.
ඩිලීට පාරේ බැහැලා යන්න බැරි තරමට ප්‍රතිචාර ලැබෙන බව ආරංචියි?
ඩිලී චරිතය කළ මට විතරක් නෙමෙයි සිංහල සිනමාවට හැරවුම් ලක්ෂ්‍යයක් කියලා මම හිතනවා ‘රෂ්’ චිත්‍රපටය. මොකද සිනමා ශාලාවලින් ඈත්වෙලා ගිය ලොකු පිරිසක් නැවැත සිනමා ශාලාවලට ගෙන්වීමට ‘රෂ්’ චිත්‍රපටයට හැකි වුණා. ඉතින් ඒ හරහා ඩිලී ගැනත් හැමෝම කතාබහ කිරීම සතුටක්. ජැක්සන් ඇන්තනී මහතා පවා ඩිලී චරිතය ගැන අදහස් පළකර තිබුණා.
ජනිත්ගේ මේ හොඳම කාලය වෙන්න ඇති රිදී තිරයේ තාරකාවන් අතර වැජඹෙන්න?
මමත් එහෙම හිතනවා. මම සිනමාවට සම්බන්ධ වුණේ ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටය හරහා. ඉන්පසු චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වුණා. නමුත් ‘රෂ්’ චිත්‍රපටය වගේම සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කරන ‘ද ගේම්’ චිත්‍රපට මගේ ඉදිරි කලා දිවියට ලොකු ආලෝකයක් ලබාදෙයි කියලා මම විශ්වාස කරනවා.
‘ද ගේම්’ චිත්‍රපටයේ සිනමාවේ හීරෝ එක්ක රඟපාන්න ජනිත්ට බයක් හිතුණේ නැද්ද?
මම රංජන් අයියා එක්ක මෙයට කලින් ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටයේ වැඩ කළා. නමුත් එහි පොඩි දර්ශන තලයක තමයි රන්ජන් අයියා අපි සමඟ රඟපෑවේ. ‘ද ගේම්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මමත්, රංජන් අයියත් රඟපාන්නේ. හිතට බයක් නොතිබුණා නෙමේ. මම දර්ශන තලයට ගියෙත් ඒ චතිතය තියාගෙන. දර්ශන තලයේදී රංජන් අයියාගෙන් මට ලොකු සපෝට් එකක් ලැබුණා මගේ චරිතය ගොඩනඟා ගැනීමට.
SI අජේගේ වැඩකිඩ කවදාද අපිට දැකගන්න පුළුවන්?
‘ද ගේම්’ චිත්‍රපටයේ රූපගත කිරීම්වල අවසාන අදියරේ කටයුතු කරගෙන යනවා මේ දවස්වල. SI අජේ විතරක් නෙමේ SI විජේගේ වැඩ කිඩත් නොදැකපු පැත්තකින් ලබන වසරේ දැකබලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මමත් රංජන් අයියත් පොලිස් නිලධාරීන් දෙන්නෙක්. මම පළමු වතාවට පොලිස් නිල ඇඳුම ඇන්දේ.
ජනිත් විවිධ ප්‍රසංගවල සහාය වෙමින් වැඩ කරනවා. ඒත් තවම අදහසක් නැද්ද ඔබේ අම්මයි, තාත්තයි වෙනුවෙන් උපහාර උළෙලක් පවත්වන්න?
ඒක මගේ ලොකු ආශාවක්. මගේ මවුපියන් වෙනුවෙන් උපහාර උළෙලක් පවත්වන්න. එයාලට දෙයක් කළ යුතු තැන මමත් ඉන්නවා. ජීවත් වෙලා ඉන්න කාලේ අපේ ප්‍රවීණ ශිල්පීන් කිසිම කෙනෙක් ඇගැයීමට ලක්කරන්නේ නැති බව මමත් දකිනවා. එය ලොකු වැරැද්දක්. මේ ලෝකෙන් සමුගත්තට පස්සේ මොන උපහාර කළත් ඔවුන් සතුටු කරන්න බැහැ. ඉන්නකොට කිසිම වටිනාකමක් නැහැ. නැති වුණ කාලේට ඔවුන් වෙනුවෙන් විවිධ උපහාර කරනවා. ඉතින් මගේ මවුපියන් අපිට වටිනවා. ඒ නිසා මමත්, මල්ලිත් එකතුවෙලා අම්මයි, තාත්තයි වෙනුවෙන් දෙයක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
අපි දන්නා විදියට මවුපියන්ගේ සතුට ලේලිලා, බෑණලා, මුනුපුරාලා දකින්නයි. ඉතින් ජනිත්ගේ අම්මත් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ ඒ සිහිනය සැබෑකරගන්නද?
මොකද නැත්තේ. කාලයක් එක්ක හැමදේම සිදුවෙයි. මොකද නිසි සැලැසුමක් නැතුව වැඩ කරලා අමාරුවේ වැටෙන්න මම කැමැති නැහැ. මේ වෙලාවේ හැටියට මම මවුපියන් එක්කවත් ඉන්න කාලයක් නැහැ. ඉතින් මගේ වෘත්තිය තේරුම් අරගෙන මට වගේම මගේ මවුපියන්ටත් ආදරය කරන දුවෙක් හමුවුණදාට හැමදේම ඉටුවෙයි.
ජනිත් අද සමාජයේ බහුතරයක් කරන්නේ තව කෙනෙක් ගොඩයන්න හදනකොට කකුළෙන් අදින එකයි. මේ ගැන ඔබේ අදහස මොකක්ද?
මෙහෙමයි. අපි මේ ඇවිත් ඉන්නේ ඉතාම කෙටි කාලයකටයි. අප කළ යුත්තේ තව කෙනෙක්ට වළ කපන එක නෙමෙයි. ඔහුව ගොඩගන්න එකයි. හැබැයි දන්නෙම නැහැ අනුන්ට වළ කපන්න ගියාම තමන්ම නොදැන ඒ වළේ වැටෙන බව. අපි හැමෝටම හීන තියෙනවා. ඒ හීන බලාපොරොත්තු එක්ක තමයි මිනිසුන් ජීවත් වෙන්නේ. ඉතින් ඔවුන්ට ශක්තියක් නොවී ඒ හීන බොඳ කරන්න උත්සාහ කළාම දන්නෙම නැතුව ඔහුගේ ජීවිතයේ තිබෙන බලාපොරොත්තු හීන බොඳවෙලා යනවා.
වසන්ත විතාරණගේ











