පසුගිය සති අන්තයේ බොලිවුඞ් සුපිරි තාරකාවන් බොහෝ දෙනෙක් දීපවාලී උත්සවය සමරමින් වෙනදාට වැඩි උනන්දුවකින් තම රසිකයන් සමඟ එහි සතුට සැමරූහ.
ඉතා අලංකාර සළුපිළිවලින් සැරසුණු ඇතැමුන් නවතම සේයාරූද සුබපැතුම් සමඟ සමාජජාල වෙබ් අඩවි ඔස්සේ බෙදාහදා ගන්නට තරම් සුහදශීලී විය.
මේ අතර ප්‍රධාන වශයෙන්, අමිතාබ් බච්චන්, අක්ෂේ කුමාර්, කාජල්, මල්ලිකා අරෝරා සහ ප්‍රියංකා චොප්රා පෙළගැසී සිටියහ.
කාජල්ගේ සුබපැතුම සියල්ලන්ටම වඩා සුවිශේෂී වූයේ ඈ ඉතා අපූරු කෝණයකින් තම සේයාරුව මුදාහැර තිබූ නිසාය.
නිලට හුරු සැහැල්ලු සාරියකින් සැරසී ඊට ගැළපෙන සුන්දර මාලයකින් ගෙල සරසා තිබිණි. නළලත රතු තිලකය, සුන්දර සිනහව, ගෙල පිටුපසට බැඳි කොණ්ඩ ගෙඩියද කාජල්ව හරි ලස්සනට හැඩකර තිබිණි. ඒ සැමට වඩා අපූරු වූයේ කාජල් පැත්තට හැරී හිස ඇලකොට නැඟූ සිනාවය.
“ඔබ සැමට සුබ දීපවාලියක් වේවා! සදා සතුට සමඟ සුබ හෙට දවසක් ප්‍රාර්ථනා කරමි. මෙතරම් හැඩට මේ සේයාරුව පළ කරන්නට මගේ රුව කැමරා කාචයට හසුකරගත් මා පුතු “යුග්’‘ටද මම ස්තුති කරමි.” යනුවෙන් කාජල් තම සේයාරුවට පහතින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහන් කළාය. වාව්, ලයික් සහ හදවතක පිළිතුරු දස දහස් ගණනක් එයට ලැබිණි.
බච්චන් පවුලේ ප්‍රධානියා වූ අමිතාබ් දීපවාලී සැමරුම වෙනුවෙන් සමාජජාල වෙබ් අඩවි හරහා තම සුබපැතුම් සටහන් කිරීමට සිය දියණිය ස්වේතා සහ බිරිය ජයා සමඟ එක්වූයේය.
ඒ සඳහා අමිතාබ් භාවිතයට ගෙන තිබුණේ ඉතාම සංවේදී පෙනුමක් සහිත හෘදයාංගම සේයාරූ එකතුවකි.
මීට වසර ගණනාවකට පළමුව තරුණ තාත්තා කෙනකු ලෙස කුඩා කෙල්ලක වූ ස්වේතා සමගත්, තරුණ ස්වාමියකු ලෙසින් බිරිය ජයා සමගත් අමිතාබ් දීපවාලී සැමරූ ආකාරය දර්ශනය වන එම සේයාරූ පෙළ ඉතාම සිත්කලු විය.
“එක් එක් අයට තනිව පිළිතුරු නොදීම ගැන ඔබ අමනාප නොවන බව දනිමි. සැමට සුබ දීපවාලියක් වේවා..ෟ පවුලක් ලෙස සතුටින් දවස ගෙවන්න. එවට මුළු ලෝකයම සොඳුරු වනු ඇත.”
අමිතාබ්ගේ දයාවන්ත සටහන එය විය…
එයට ලැබුණු ප්‍රතිචාර ඉතාම හැඟීම්බර විය.
අක්ෂේ දීපවාලී සැමරීම සඳහා සිය දයාබර නෑයන් සමඟ එක්වූයේ සෙනෙහසිනි. දියණිය සහ ට්වින්කල් සමඟ දීපවාලී නුවරට පැමිණි ඔහු පවුලේ සියල්ලන් සමඟ සුහද එමෙන්ම ආදරණීය සේයාරුවකට පෙනීසිටිමින් එය සිය ට්විටර් ගිණුමට එක්කළේය.
“පවුලේ අය සමඟ සතුටුදායක දීපවාලියකට එක්වුණෙමි. පාට පාට හැඩකාර ඇඳුම්වලට වඩා ජීවිතය සහ ලෝකය වර්ණවත් කරන්නේ දීප්තිමත් සිනහව සමඟ කිසිවකු නොරිදන අලංකාර වචනය,
ඉතින්..,
ඔබ සැමට සුබ දීපවාලියක් වේවා!”
සේයාරුවක පාමුල අක්ෂේ එසේ සටහන් කොට තිබිණි. ඥාතීන් සමඟ එක්ව සිටි ඔහුගේ ඒ මිත්‍රශීලී සේයාරුව බොහෝ දෙනකු අගය කොට තිබිණි.
මලිකා අරෝරා ද සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා සොඳුරු පැතුමක් සහිත වීඩියෝවක් බෙදා ගනිමින් සිය ප්‍රේක්‍ෂකයනට දීපවාලියට සුබපැතුවාය.
“ඔබ සැමට සතුට සමඟ සුවය පතමි. හැමෝටම ආයුබෝවන්. ඔබ සමඟ සිටින්නන්ට ආදරය කරන්න. එවිට ඉබේම ඔබට ඔබ සොයන ආදරය ලැබෙනු ඇත.” ඒ මලිකා අරෝරාගේ සෙනෙහෙබර සටහන විය.
ප්‍රියංකා චොප්රාගේ දීපවාලී සුබපැතුම ඉතාම ආකර්ෂණීය විය.
ප්‍රියංකා සුබපැතුමට එක්ව සිටියේ සිය තරුණ සැමියා වූ නික් ජොනාස් සමඟය.
සාරියකින් සැරසී සිටි ප්‍රියංකා වත්සුණු තවරා ඉතාම අලංකාරව ආසියානු කතකගේ ආකාරයට සිය පෙම්බර සැමියාට ඉතාම ආදරයෙන් සමීපව සිටින සේයාරුවක් සමාජජාල වෙබ් අඩවියක පළවිය.
සේයාරුවට පහළින් ප්‍රියංකා මෙලෙස සටහනක් තැබුවාය.
“දීපවාලී සමරන සැමට මමත්, මගේ සෙනෙහෙබර සැමියාත් සෙනෙහසින් සුබපතමි. මගේ සිට ඔබ දක්වාම මේ ප්‍රාර්ථනය විහිදේවා.
එලෙසම..,
මා අත්විඳින සතුට සහ අසීමිත ආදරය, ඔබ සෑම දෙනාටත්, මුළු ලෝකයටත් හිමිවේවා!”
ඒ අපූරු සටහනට බොහෝ සංවේදී පිළිතුරු ලැබී තිබිණි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











