සතුරු ආක්‍රමණ කාලවලදී දළදා වහන්සේ ආරක්ෂාව පිණිස තැන්පත් කරලා තිබුණු ස්ථාන බොහොමයක් ලංකාව පුරා තියෙනවා. එහෙම තවත් එක් ස්ථානයක් සොයාගෙනයි අපි මහනුවර, හඟුරන්කෙත හරහා රිකිල්ලගස්කඩ නගරයට ආවේ. රිකිල්ලගස්කඩ ඉඳලා හේවාහැට පාරෙ කිලෝමීටර් 06ක් විතර දුරක් යද්දි මුණගැහෙනවා රහතුන්ගොඩ විදුහල ළඟ මංසන්ධිය. එතැන ඉඳන් කිලෝමීටර් 03ක් විතර දුරින් තමයි අද අපි යන වෑගම ලෙන් විහාරය පිහිටා තියෙන්නෙ.
රහතුන්ගොඩ පාසල ළඟින් පහළට ඇදෙන මාර්ගයේ වම් පැත්තෙන් හෙල්මළු කුඹුරු යායත් මුල් ඔය නිම්නයත් එතැනින් එහාට විහිදිලා යන උස් කඳුපන්තියත් දැකගන්න ලැබෙනවා. වටපිටාවෙ දර්ශනය නම් හරිම අලංකාරවත්. මේ මාවත ඊටත් පස්සෙ ඇතුළු වෙන්නෙ මහා පයිනස් වනාන්තරයකට. ඈතින් ඈතට විහිදී යන පයිනස් යායයි ඒ මැදින් දිවෙන පාරයි අපූරු හුදෙකලා සුන්දරත්වයක් ගෙන එනවා. පයිනස් වනාන්තරයෙන් පස්සෙ හමුවෙන්නෙ එළිමහන් භූමි ප්‍රදේශයක්. පාර දෙපැත්තෙ ගල්තලාවන් අතරෙ නෙල්ලි වගේම ඇඹුල්පේර ගස් පිරිලා. ඈතින් පෙනෙන දර්ශනයත් හරිම සුන්දරයි. මේ එළිමහන් ප්‍රදේශය පසුකරනවාත් එක්කම දකුණු පැත්තෙන් ගල් තලාව පාමුල පිහිටා තියෙන වෑගම ලෙන් විහාරය හමුවෙනවා.
කටාරම් කොටපු මේ ලෙනේ බාහිර පෙනුමත් හරිම සුවිශේෂයි. එකක් උඩ එකක් විදියට පිහිටපු ගල් තට්ටු කීපයක් යට ලෙන පිහිටලා තියෙන ආකාරයක් තමයි ලෙනට ඉදිරියෙන් ඉඳලා බලන කෙනකුට පෙනෙන්නෙ. ජනප්‍රවාදවලට අනුව නම් මේ විහාරයේ ඉතිහාසය වළගම්බා රාජ යුගය දක්වාම ඈතට දිවෙනවා. ඒ කාලෙ ඇතිවුණු බැමිණිතියා සාය වෙලාවෙදි සිතුල්පව්වෙ වැඩහිටිය රහතන්වහන්සේලා ඇතුළු අනෙක් භික්ෂුන්වහන්සේලා මහා කඳු තරණය කරමින් ගන වනාන්තරය මැදින් වෑගමට වැඩම කළ බව කියැවෙනවා. මේ ගමේ සරුවට හැදිලා තිබුණු කර කොළ වළඳමින් උන්වහන්සේලා ජීවිත රැකගත් බවත් සඳහන්.
වෑගම ගමේ නම හැදිල තියෙන්නෙත් වළගම්බා රජතුමාට සම්බන්ධ ජනප්‍රවාදයකින්. රජතුමා මෙහෙ වාසය කරපු කාලෙ ඉදිකරපු වළගම් වැව පිහිටා තිබුණු ගම පස්සෙ කාලෙ “වෑගම” වුණා කියලා කියනවා. රජතුමා ඒ කාලෙදි භික්ෂුන්වහන්සේලා වෙනුවෙන් මේ ලෙනේ විහාරය කරවපු බවත් සඳහන් වෙනවා.
ඊට බොහෝ කාලයකට පස්සෙ ගම්පොල යුගයේදි මේ ලෙනේ විහාරයක් කරවලා තියෙන්නෙ හෙණකඳ බිසෝ බණ්ඩාර දේවිය විසින්. එතුමියගේ ප්‍රතිමාවක් ලෙන් විහාරයේ පිටත මාලයේ අදත් දැකගන්න ලැබීම විශේෂත්වයක්. ඒ ප්‍රතිමාව කිහිප වරක්ම සොර සතුරු උවදුරුවලට ලක්වෙලා විනාශ වුණත් අද නැවතත් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඇය ඉදිකරපු බව කියන සමාධි බුද්ධ ප්‍රතිමාවත් මේ විදියටම විනාශවීමෙන් පස්සෙ ප්‍රතිසංස්කරණය කරලයි තියෙන්නේ.

මහනුවර සමයෙදි මුලින්ම දෙවැනි විමලධර්මසූරිය රජතුමත්, අනතුරුව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමත් වෑගම ලෙන් විහාරය ප්‍රතිසංස්කරණය කරවපු බව සඳහන්. විහාරයට පැමිණෙන මාවත ඉදිකර තියෙන්නෙ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා බවයි කියැවෙන්නෙ. ඉන් පස්සෙ ප්‍රධාන වශයෙන්ම මේ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී වගේම විහාරාංග තැනවීමෙදි මූලික වෙලා තියෙන්නෙ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්. තමන්ගෙ මියගිය බිසව සිහිපත් කරමින් රජතුමා ඒ කටයුතු සිදුකළ බවයි පැවසෙන්නෙ. ගම්පොල වගේම මහනුවර යුගයට නෑකම් කියන බිතු සිතුවම් මේ ලෙන් විහාරය ඇතුළෙදි දැකගන්න පුළුවන්. පස්සෙ කාලෙදි පැරැණි විහාර මන්දිරයට වම්පසින් නව විහාර මැඳුරකුත් ඉදිකර තිබෙනවා.
1802 අවුරුද්දෙදි ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො ඉංග්‍රීසීන්ගෙන් බේරෙන්න හඟුරන්කෙතට පලා ආ බව කියැවෙනවා. ඒ වගේම දළදා වහන්සේ ඉංග්‍රීසීන්ගෙන් ආරක්ෂා කරගන්නටත් මෙතුමා මහත් වෙහෙසක් දරලා තියෙනවා. ඒ වෙනකොට කිතුල්පේ රන්පත්ගේ විහාරයේ තැන්පත් කරලා තිබුණු දළදා වහන්සේ වැඩි ආරක්ෂාව සඳහා වන ගහනයෙන් යුතුව තිබූ වෑගම ගල් ලෙනට වැඩමවන්නට එතුමා කටයුතු කළා. දළදා විත්තියේ සඳහන් වන තොරතුරුවලට අනුව නම් දින තුනක පමණ කාලයක් තමයි මෙතැන තැන්පත් කරලා තියෙන්නේ. විහාර බිමේ තිබුණු සපු ගහක දළදා වහන්සේ සඟවලා තිබුණු බවකුත් කියැවෙනවා. විශේෂම දෙයක් වෙන්නෙ ඒ සපු ගහ අතුපතර විහිදී වැඩුණු මහා ගහක් විදියට අදත් වෑගම ලෙන් විහාර භූමියෙදි දැකගන්න ලැබීමයි.
ලෙන් විහාරයට පහළින් තියෙනවා දැවැන්ත මීඅඹ ගහක්. දළදා වහන්සේ මෙහෙ තැන්පත් කර තිබුණු කාලෙදි පූජා කරපු මීඅඹ ගෙඩියකින් මේ ගහ හැදුණු බවයි ජනප්‍රවාදයෙ තියෙන්නෙ. ලෙනට ඉහළින් පොහොය ගෙයක් වගේම දාගැබත් දැකගන්න පුළුවන්. ඒ අසලම තමයි බෝධීන් වහන්සේත්, ධර්ම ශාලාවත් පිහිටා තියෙන්නෙ. ලෙන් විහාරයට ඉදිරියෙන් සඳකඩපහණක් දැකගන්න ලැබෙනවා. විහාර මන්දිරයට පිටතින් ගල් පර්වත මුහුණතෙහි නෙළපු සිරිපතුලකුත් දැකගන්න පුළුවන්.
කාලෙකට ඉස්සර මේ ප්‍රදේශයේ මහා නායයෑමක් සිදුවෙලා තියෙනවා. ලෙන ඇතුළෙ තිබුණු හෙණකඳ බිසෝ බණ්ඩාර දේවියගේ ප්‍රතිමාවේ වම් උරහිසේ රඳවා තිබුණු බව කියන හෙණරාජ තෛලය ඇතුළත් රන් පත්ඉරුවක් සොරකම් කිරීම හින්දා මේ විනාශය සිදුවුණා කියල විශ්වාසයකුත් ගම්වාසීන් අතර තියෙනවා. පස්සෙ කාලෙ කළ ප්‍රතිසංස්කරණ හින්දා ලෙන් විහාරය ඇතුළෙ තිබුණු ප්‍රතිමා වගේම සිතුවම් වෙනස්කම්වලට ලක්වෙලා තියෙන බවක් පේනවා. ඒ වගේම මෑත කාලෙදි නිසි අලුත්වැඩියාවක් කරලා නැති නිසා සිතුවම් විනාශ වෙමින් පවතිනවා.
අතීතයේදී වගේ මහා වනාන්තරයෙන් වටවෙලා නොතිබුණත් මේ විහාරස්ථානය පිහිටා තියෙන ගම්මානය අදත් බොහෝ හුදකලාවයි පවතින්නේ. ඒ වගේම බාහිරින් මෙහෙ යන එන අය ඉතාමත් අඩු බවත් තොරතුරු දැනගෙන මේ විහාරය දැකබලාගන්න කෙනෙක් එන්නෙ කලාතුරකින් බවත් දැනගන්න ලැබුණා. එහෙම වුණත් දළදා වහන්සේටද රැකවරණ ලබාදුන් ඓතිහාසික වැදගත්කමක් ඇති වෑගම ලෙන් විහාරය දැකබලාගෙන වැඳපුදා ගතයුතු තැනක් බව සඳහන් කළ යුතුයි.
මහේෂ් ඉන්දික විජේතිලක











