• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පත්තිනි මෑණියන් ඔබේ නිවෙසට වඩින දවස

November 2, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
පත්තිනි මෑණියන් ඔබේ නිවෙසට වඩින දවස
Share on WhatsAppShare on Facebook

පත්තිනි දානය, කිරිඅම්මා දානය, කිරි දානය, කිරි දේව දානය යන පර්යාය පද ගණනාවකින් විවිධ ප්‍රදේශවල හඳුන්වනු ලබන කිරිඅම්මාවරුන්ගේ දානය පුරාණයේ සිට අද දක්වාම ලංකාව තුළ ඉතා ප්‍රචලිත බාරහාර ඔප්පු කිරීමකි. පත්තිනි මෑණියන්ගේ පිහිට, ආරක්‍ෂාව, රැකවරණය ලබාගැනීමට බාරවී එම බාරය ඔප්පු කිරීමට කිරි දානය දීම සිදුකරයි. මුල්කාලීනව කුඩා දරුවන් උදෙසා මෙන්ම ගැබිනියන් උදෙසා කිරි දාන බාර වුවද අද වෙත්ම මෙය බාල, වැඩිහිටි, තරුණ, මහලු යන සියලුම වයස් මට්ටම්වල අය සඳහාද බාර වීම දැකිය හැකිය.

පත්තිනි දේවිය උදෙසා දෙන කිරි දානය දෙවියන් නොසෑදුවද, දෙවියන් සාදනවා යැයි ජනප්‍රවාදයේ ඇති “දෙයියන්ගේ ලෙඩ’ එනම් සරම්ප, පැපොල, කම්මුල්ගාය, කක්කල් කැස්ස වැනි වෛරස් රෝග දුරුකර ගැනීමට මෙන්ම දරුවකු මවුකුස පිළිසිඳ ගැනීමේ සිට දරුවා ප්‍රසූත කරන තුරු ඇතිවිය හැකි ලෙඩ රෝග සමනයට පත්තිනි දේවියට පුදනු ලබයි. ඊට අමතරව ආර්ථිකය යහපත් කරගැනීමට වතුපිටි, ඉඩකඩම් ආරක්‍ෂා කරගැනීමට, කුඹුරු ගොවිතැන් ආදිය සරුකර ගැනීමට ඇස්වහ, කටවහ, හෝවහ, අඬෝඇඬියා, වස්දොස් ආදී දෝෂ හරණයට, අමනුෂ්‍ය බිය, අනවින, කෙඩිවින, හදි-හූනියම් ආදිය නැති කරගැනීමට මෙම පත්තිනි දේවිය උදෙසා දෙන කිරි දානය භාවිත කරයි. ඇතැම් නිවෙස්වල චාරිත්‍රයක් ලෙස වසරක් පාසා කිරි දානය දීමද දැකිය හැකිය. ඔවුන් එයින් නිවෙසට ශ්‍රියාකාන්තාව හෙවත් ලක්‍ෂ්මී දේවිය වැඩමකරවා ගැනීමට අපේක්‍ෂා කරයි.

කිරිඅම්මා දානය පත්තිනි දේවිය උදෙසාම පවත්වනුයේ පතිවෘත්තා බලය හේතුකොට ගෙනය. පුරාණයේ කිරිඅම්මා ලෙස පතිදම් රැකි පත්තිනි දේවිය හැරුණු කොට තවත් පතිදම් රැකි කිරිඅම්මලා කිහිපදෙනෙකි. එනම් වෙල්ලස්සේ කිරිඅම්මා, සලම කුමාරි කිරිඅම්මා, කුකුලාපොළ කිරිඅම්මා, උනාපාන කිරිඅම්මා, හඳුන් කුමාරි කිරිඅම්මා, ගෝනතලාවේ කිරිඅම්මා, ඉදිගොල්ලේ කිරිඅම්මා, කොස්ගම කිරිඅම්මා ලෙසය. මොවුන් විවිධ ප්‍රදේශවල පූජනීය කොට සැලකූ අය වෙයි. පුරාණ පොතපත අනුව හඳුන් කුමාරි කිරිඅම්මා හා සලඹ කුමාරි කිරිඅම්මා ලෙස හැඳින්වූයේ පත්තිනි දේවියට බවද සඳහන්ය. ජනප්‍රවාදවලට අනුව කුකුලාපොළ කුමාරි කිරිඅම්මා කුවේණිය ලෙසත්, කොස්ගම කිරිඅම්මා කොස්ගම දෙවිඳුන්ගේ දේවිය බවත් කියැවෙයි.

කිරිඅම්මා දානය සඳහා සහභාගි විය යුත්තේ පතිවෘත්තාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රකින ළඟදී දරුවන් බිහිකළ කිරි දෙන මවුවරුන්ය. එහෙත් අද නූතනයේ ළඟදී දරුවන් බිහිකළ මවුවරු සොයා ගැනීමේ අපහසුව නිසා දරුවන් සිටින වැඩිහිටි හෝ මහලු කාන්තාවන් මේ සඳහා සහභාගි කරගනී. නමුත් එය සාර්ථක ක්‍රියාවක් නොවන බවද දැනයුතුය. ඒත් කිරිඅම්මා කෙනකු එක් පත්තිනි දේවිය බැගින් නියෝජනය කරයි. එලෙස පත්තිනි දේවියන් 7 දෙනකු කිරිඅම්මාවරු 7 දෙනා නියෝජනය කරයි. ඒ නිසාම මෙම කාන්තාවන් චරිතය යහපත් අය විය යුතුය. එලෙස නියෝජනය වන පත්තිනි දේවීන් 7 දෙනා මෙසේය. සිද්ධ පත්තිනී, සලඹ පත්තිනී, අබ පත්තිනී, මල් පත්තිනී, ගිනි පත්තිනී, දේව පත්තිනී හා සත් පත්තිනී ලෙසය.

කිරිඅම්මා දානයට සහභාගි වන කාන්තාවන් පතිවෘත්තාව රකින අය වනවා සමඟම දරුවන් ඇති ස්වාමි භක්තිය ඇති හා ආගමානුකූලව ජීවත් වන අයද විය යුතුයි.
කිරිඅම්මා දානයට කිසිසේත්ම සහභාගි නොවිය යුතු පිරිසක්ද පුරාණ පොතපතේ සඳහන්ය. ඒ අතර ඉතා මහලු, හැරමිටියෙන් යන ස්ත්‍රීන්, සුවකළ නොහැකි රෝගවලින් පෙළෙන ස්ත්‍රීන්, අන්ධ, බිහිරි, ගොළු ස්ත්‍රීන්, වැන්දඹු ස්ත්‍රීන්, අංගවිකල ස්ත්‍රීන්, වඳ ස්ත්‍රීන්, අංශභාග හෝ අපස්මාර රෝගීන්, මත්ද්‍රව්‍ය භාවිත කරන ස්ත්‍රීන්, මස්මාංශ විකුණන ස්ත්‍රීන්, නිතර දබර කරන ස්ත්‍රීන්, කේලාම් කියන ස්ත්‍රීන්, ගණිකා වෘත්තියේ යෙදෙන ස්ත්‍රීන්, අවිවාහක ස්ත්‍රීන්, අශුද්ධ ස්ත්‍රීන් ප්‍රධාන තැනක් ගනී.

කිරිඅම්මා දානයෙන් පිදුම් ලබන පත්තිනී දේවිය විවිධ පර්යාය නම් රැසකින්ම හඳුන්වනු ලබයි. ඒ අතර කලඹ කුමාරි, හඳුන් කුමාරි, සිරිමා පත්තිනි, මහා පත්තිනි, තනක බසෝ, අම්මා දේවි, මා පත්තිනී, අඹ දේවි, ජානකී, පද්මිණී යන නම ප්‍රධාන වෙයි. මුල් කාලීනව සිද්ධ පත්තිනි දේවිය 12 වතාවක් මෙලොව උපන් නිසාවෙන් කිරිඅම්මා දානයට කිරි මවුවරු 12 දෙනෙකු සහභාගි කරගත් අතර, පහුකාලීනව සත්පත්තිනි මෑණියන් 7 වරක් මෙලොව උපන් නිසාවෙන් කිරි මවුවරු 7 දෙනෙකු සහභාගි කර ගත්හ.

රූපශ්‍රියාවෙන් අති සුන්දර දෙවඟනක් වන පත්තිනි දේවිය උදෙසා දෙන කිරි දානය දීමට, මුලින්ම දිනයක් තේරා ගතයුතුයි. ඒ සඳහා පුර පාර්ශ්වයේ කෙම්මුර දිනයක් වන බදාදා හෝ සෙනසුරාදා දිනයක් විය යුතුයි. දානය දීම සඳහා නිවැසියන් පේවිය යුතුයි. පේවීම අමාවක පසු වී දින 3ක පටන් සතියක පමණ කාලයක් කළ යුතුය. මෙම සතියක කාලය තුළ කිලි, කුණුවලින් තොරවීමද අනිවාර්ය වෙයි.

කිරිඅම්මාවරුන්ගේ දානය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා පූජා භාණ්ඩ ලෙස බුලත් කොළ 7, මැටි පහන් 7, පහන් තිර 7, පඬුරු 7, බුලත් විට 7, කපුරු පැකට් 1, කිරිබත් කෑලි 49, කැවුම් 49, කෙසෙල් ගෙඩි 49ක්, කිරියා කෑලි 49ක්, කෝපි කෝප්ප 7ක් දැක්විය හැකිය. වැඩිදුරටත් විස්තර කළහොත් කැකුළු හාල් 7නටක කිරිබත්, 2නටක හාල් කිරියා, 2නටක කැවුම්, කෙසෙල් ගෙඩි 49ක් කිතුල් හකුරු කෑලි 7, කෙසෙල් කොළ 7, කිරිඅම්මාවරු දානය ගත්පසු ඉතිරි කෑම රැගෙන යෑමට ලොකු බෑග් 7ක් ලෙසය.

දානයට අවශ්‍ය කැවිලි පිළියෙල කිරීමට ප්‍රථම අඩුක්කු වෙන්කර පොල් ගහක කොළ බැඳ කිරිඅම්මලාට දානයක් දෙන බවට පොරොන්දු වී පඬුරක් බැඳ දිනයක් වෙන්කර බාර වෙයි. පසුව බුලත් දී කිරිඅම්මලා 7 දෙනකු වැඩමවීමට ආරාධනා කරයි. දාන දීමට කොළ බැඳි පොල් ගහේ ගෙඩි කඩාගෙන නොඉඳුල් තෙල් හිඳ කැවුම් ප්‍රධාන කොට සාදන කැවිලි සියල්ල කිරිදානයට දිනකට පමණ පෙර සාදාගනු ලබයි. ඒ අතර කිරියා කෑලිද ප්‍රධාන වෙයි. කිරිඅම්මා දානය පැවැත්වීමට පෙර දින එළිමහනේ කැවිලි පිළියෙල කළයුතු අතර, නිවෙසේ ඇති මකුළු දැල් කඩා නිවෙස සෝදා පිරිසුදු කරගත යුතුය. සෝදාගත් නිවෙසට සඳුන් හා පොල්කිරි මිශ්‍ර කර සඳුන් කිරි පැන් සාදා කුඩා අඹ හෝ දෙහි අත්තකින් නිවෙස පුරා ඉසීම සිදුකරයි. ඉන්පසු කට්ටකුමංජල් දුම් ඇල්ලීමද සිදුකරයි. සඳුන් කිරි පැන් ඉසීම හා කට්ටකුමංජල් දුම් ඇල්ලීම නිවෙස තුළ පමණක් නොව මුළු වත්ත පුරාමද කළ යුතුයි. මෙසේ සිදු කළ පසු නිවෙස ඉදිරිපිට මල් පැලක්ද, නිවෙස තුළ මල් යහනක්ද සෑදීම සිදුකරයි. එළිමහනේ සෑදූ මල් පැලයේ කෙසෙල් කොළයක් එළා ඒ මත බුලත් කොළ 7ක් අතුරා මල්, පහන්, හඳුන්කූරු තබයි.

ගෙයි සාදන මල් යහන පුටුවක ගොක්කොළවලින් සරසා ඒ තුළ කෙසෙල් කොළයක් අතුරා බුලත් කොළ 12ක් අතුරනු ලබයි. ඊට සමන් මල් කැකුළු, ඊතණ, හෙල අඹ, සුනුසහල්, විලඳ යන දෙයින් සුසැදි ලද පස්මල් හා පිනි දිය ඉසිනු ලබයි. ඉන්පසු කපුරු, සුවඳ දුම් අල්ලා පත්තිනි දේවිය උදෙසා ගටගැසූ භාරයද එහිම තැන්පත් කරයි. නිවෙසින් පිට හා නිවෙස තුළ සාදන මල් පැල හා යහන ඊසාන දිශාවේ හෝ උතුරු දිශාවේ සෑදිය යුතු අතර, නිවෙසේ හෝ ඉඩමේ බ්‍රහ්ම පාදයට හසුනොවිය යුතුයි.

කිරිඅම්මාවරු සුදු ඇඳුමින් සැරසී එක පෙළට අදාළ නිවෙසට පැමිණේ. එසේ එන පළමු කිරිඅම්මා අතේ පත්තිනි දේවියගේ රූපයක් වෙයි. එක පෙළට පැමිණෙන කිරිඅම්මාවරු 7 දෙනා අදාළ නිවෙසේ ගේට්ටුව ළඟ නැවතී නායක කිරිඅම්මා දානයට පැමිණි බව කවියෙන් දැනුම් දෙයි. එවිට ගෙහිමියන්ගෙන් කෙනෙකු සුදුමල් වට්ටිය දී කිරිඅම්මාවරු දානයට පිළිගනී. ඉන්පසු කිරිඅම්මාවරු වට්ටියේ ඇති මල් මිදුලට දමමින් ගමන් කරයි. අවසන් කිරිඅම්මා වට්ටියේ ඇති සියලුම මල් බිම දමා පා සෝදන ස්ථානයට පැමිණෙයි. පා සේදීමට කහ හා දෙහි දියකළ වතුර බේසමක් ගෙට ඇතුළු වන තැන තැබිය යුතුය. මෙම කාර්යය සඳහා කුඩා දැරියක් තෝරා ගතයුතුයි. කොළ බැඳි පොල් ගහෙන් කපාගත් පොල් අත්තකින් වියූ ගොක් අතු කැබැල්ලක් උඩදී කුඩා දියණිය එම කිරි අම්මාවරු 7 දෙනාගේ පා දෝවනය කරනු ලබයි. පා දෝවනය කළ ස්ථානයේ සිට වාඩිවීම සඳහා සුදුරෙදි එළා තිබෙන පැදුර වෙත පැමිණීම සුදු පාවඩයක් මතින් සිදුවෙයි.

පහන් පැළ හා යහන තුළ ආහාර තැන්පත් කිරීම මීළඟ කාර්යය එහිදී එළියේ ඇති පහන් පැලේ මල්, සුවඳ දුම්, පහන් ආදිය දල්වා සෑදූ කිරිබත් ප්‍රමුඛ සියලුම කැවිලි වර්ග තබා බුද්ධ පූජාව තබනු ලබයි. ගෙතුළේ ඇති යහනේ නායක කිරිඅම්මා වඩම්මවාගෙන ආ පත්තිනි දේවියගේ රූපය තබා පත්තිනී දේවියට පූජා තබනු ලබයි.

පත්තිනි දේවියගේ පූජාවට තබන ද්‍රව්‍ය සම්මතයේ සඳහන් වන පරිදි මෙසේය.
ලද පස්මල්, අඩි 6ක් දිග මල් මාලා 7ක්, හත්මාලුවක්,
පලතුරු පූජාව ලෙස,
හොඳින් ඉදුණු සුවඳ හමන පලතුරු වර්ග 7ක්, කළු උක්, කෙසෙල්, අඹ, බෙලි, ඇස්ස කැපූ තැඹිලි ගෙඩියක්,
කැවිලි පූජාව සඳහා නොඉඳුල් කිරිබත් කෑලි, කිරියා කෑලි, අග්ගලා, කැවුම්, කෙසෙල්, තල, කැරලි, මුං කැවුම් ආදියෙන් එක් වර්ගයකින් කෑලි 7ක් බැගින් තැබීම සිදුකරයි.
බුදුන් උදෙසා හා දෙවියන් උදෙසා පූජාව තැබූ පසු කිරිඅම්මාවරු දානය පිණිස සුදුරෙදි එලූ පැදුර මත වාඩි වෙයි.

එවිට ඔවුන් 7 දෙනා ඉදිරියෙන් කෙසෙල් කොළය බැගින් තබා මුලින්ම කිරිබත් බෙදනු ලබයි. ඉන්පසුව කැවුම් 7ක්, හාල් කිරි කෑලි 7ක්, කෙසෙල් ගෙඩි 7ක්, හකුරු කැබැල්ලක්, බුලත්විටක් හා පඬුරු බෙදීම සිදුකරයි. ආහාර වලඳා අවසානයේ කෝපි කෝප්පයක් දීමද සිරිත වෙයි. ඉන්පසු කිරිඅම්මා දානය පැවැත්වෙන විට කිරිඅම්මාවරු උස පොල්තෙල් පහනකට තිර 7ක් දමා දල්වනු ලබයි. මෙහි එක් තිරයක් එක් කිරිඅම්මා බැගින් දල්වනු ලබයි. එම දැල්වූ පහන් දානය අවසානයේ කිරි අම්මාවරු නිවෙස බලා යෑමේදී කිරි පීරිසයක දමා නිවාදමයි.

කිරිඅම්මාවරු දානයට පැමිණ කරන වත්පිළිවෙත්වලද අනුපිළිවෙළක් ඇත. මුලින්ම කිරිඅම්මාවරු කරනුයේ සත්පත්තිනි පහනේ තිර 7 දැල්වීමයි. එය එක කිරිඅම්මා කෙනෙකු එක් තිරයක් බැගින් කිරි අම්මාවරු 7 දෙනා තිර 7 දල්වයි. මෙය ඇතැම් ප්‍රදේශවල මැටිපහන් 7ක් ලෙස දල්වා කිරිඅම්මා වාඩි වී සිටින පැදුරේ ඉදිරියෙන් තබාගනී. ඉන්පසු දෙවනුව කරනුයේ හඬනඟා පන්සිල් ගැනීමයි. ඉන්පසු පත්තිනි හෑල්ලේ කවි ගායනා කරයි. දානය වැලඳීම සිදුකරන්නේ ඉන්පසුවයි. ගාථා කියා දෙවියන්ට පින් දීම දානය ගැනීමෙන් පසු සිදුකරන ප්‍රධාන කාර්යයයි. ඉන්පසු සත්පත්තිනි පහනේ ඇති තමාට අදාළ තිරය බැගින් ගෙන කිරිඅම්මාවරු හත්දෙනාම ගෙදර සිටින සියලු දෙනාගේ හිසේ සිට පාදාන්තය දක්වා එම තිරය ගෙනයමින් සෙත් පැතීම සිදුකරයි. ඉන්පසු එම දැල්වෙන තිර පොල් කිරි භාජනයට දමා නිවාදමයි. ඉන්පසු තමාට බෙදූ ආහාරවල ඉතිරියක් ඇත්නම් ඒවා එකතු කර මල්ලක දමාගෙන කිරිඅම්මාවරු 7දෙනා පිටුපස නොබලා තම තමන්ගේ නිවෙස් කරා එක පෙළට ගමන් කරයි. කිරිඅම්මා දානයේ සියලු කටයුතු මිනිත්තු 50කට අඩු කාලයක් තුළ සිදුවිය යුතු බවද දැනයුතුය. තවද කිරිඅම්මා දානය පාන්දරම දී පාන්දරම ඉවර කළ යුතුය.

කිරිඅම්මා දානයෙන් පසු ගෙතුළ සැදූ මල් යහන ඉදිරිපිට කිරි ඉතිරවීම සිදුකරයි. ඒ සඳහා නැවුම් ගඩොල් කැට 3ක්, නැවුම මුට්ටියක් හා එළකිරි යොදාගනී. දහනය සඳහා සඳුන් දර, රත්හඳුන් දර, කුරුඳු දර වැනි සුවඳ හමන දර වර්ගයක් භාවිත කරයි. ළිප දල්වා එළකිරි පිරුණු මුට්ටිය ළිප මත තැබූ පසු ළිප ඇවිළීමට කටින් පිඹීම සිදු නොකළ යුතුයි. ඒ සඳහා වෙනත් උපකරණයක් භාවිත කළ යුතුයි. කිරි උතුරුවා අවසානයේ එම කිරිද දෙහි අත්තක් ආධාරයෙන් ගෙයි හා වත්තේ ඉසීම සිදුකරයි. ඇතැම් ප්‍රදේශවල එම ඉතිරි කිරි මුට්ටියේ කට බැඳ ගෙයි මැද ප්‍රධාන බාල්කයේ එල්ලීමද සිදුකරනු දැකිය හැකිය.

කිරිඅම්මා දානය අවසානයේ ඉතිරි වන කැවිලි කිරිබත්, කෙසෙල් ආදිය අසල්වාසී නිසේවලට දීම සිරිතයි. එහිදී ධන ධාන්‍යවලින් පොහොසත්, නිරෝගී පුද්ගලයන් ජීවත් වන ගුණවත්, සිල්වත් මිනිසුන් සිටින නිවෙස්වලට දීමෙන් බොහෝ සෙතක් හිමිවේ යැයි මතයයි. අපලයකට, උපද්‍රවයකට කිරි දානය දුනි නම් එයින් ඉතිරි වූ කැවිලි වැඩි දෙනකුට බෙදාදීමෙන් එම අපල උපද්‍රවයේ ඇති අසුබ ඔවුන් සමඟ බෙදී ගොස් අපල හිමියාට මහත් සහනයක් උදාවනු ඇත. ඒ නිසා කිරි දානයේ ඉතිරිය වැඩි පිරිසකට බෙදා දීමට වගබලා ගන්න.

කිරිඅම්මා දානයේ චාරිත්‍ර – වාරිත්‍ර ප්‍රදේශයෙන් ප්‍රදේශයට සුළු වශයෙන් වෙනස් වෙයි. සෙත් ප්‍රාර්ථනා කිරීමේදී, දෙවියන්ට පින් දීමේදී, දේව කන්නලව් කිරීමේදී, ගායනා කරන ස්තෝත්‍රවල වෙනස්වීම් දැකිය හැකිය. තවද යාදින්න කවි, ආරාධනා කවි, කිරි ඉතිරවීමේ කවි, පහන් නිවීමේ කවි, ජය පිරිත, මළගිය ඥාතීන්ට පින්දීම්, දෙවියන්ට පින්දීමේ ගාථා, සෙත්-ශාන්ති කවි, නවග්‍රහ ලග්න සඳහා කවි ආදිය කිරිඅම්මා දානයේදී කිරිඅම්මාවරු ගායනා කරයි. මෙම කවිවලද සුළු සුළු වෙනස්කම් ප්‍රදේශ අනුව දැකිය හැකිය.

කිරිඅම්මාවරුන්ගේ දානය පිළිබඳ හරියාකාරව නිවැරැදිව දැනගෙන පත්තිනි දේවිය කෙරෙහි ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව කිරිඅම්මා දානය සිදුකර සෙතක්, ශාන්තියක්, යහපතක්, ආශීර්වාදයක් ලබාගන්න.

ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

හෙළ සිනමාවේ සටන් සගයා

Next Post

කාර් එකෙන් මුහුදු යන්න උතුරෙන් ෆෙරියට නඟින්න

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.