පොලොන්නරුව පුරාවිදු බිමේ පිහිිටි ඉපැරණි ලංකාතිලක පිළිම ගෙයට පෙරේදා (19) පස්වරුවේ අකුණුසර වැදී ඇතැයි පුරාවිද්‍යා නිලධාරීහු කියති.
සවස් කාලයේ ඇතිවූ වර්ෂාවත් සමඟ මෙම අකුණු අනතුර සිදුව තිබේ.
එම අකුණුසර වැදී ඇත්තේ පිළිම ගෙයහි බටහිර දිසාවේ පිහිටි ගඩොල් බිත්තියකට බව එම නිලධාරීහු කීහ.
ඒ හේතුවෙන් එම බිත්තියේ අඩි 2ක් 3ක් පමණ ප‍්‍රමාණයක ගඩොළු කැට කිහිපයක් ගැලවී බිම ඇද වැටී ඇති බව පුරාවිද්‍යා නිලධාරීහු සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් විසින් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
ලංකාතිලක පිළිම ගෙයහි තැන්පත් කර තිබෙන ඉපැරණි බුද්ධ ප‍්‍රතිමාවට අකුණුසර නිසා හානි සිදුව නොමැති බවද කියති.
මෙම පුරාවිද්‍යා ස්මාරක සඳහා අකුණු සන්නායක යොදා නොමැති බවද ඒ නිලධාරීහු පැවැසූහ.
මහා පරාක‍්‍රමබාහු රජතුමා (1153-1186) විසින් කරවන ලදැයි සැළකෙන පොලොන්නරුවේ පිහිටි බෞද්ධ ස්මාරක අතුරින් මෙම ඉපැරණි පිළිමගෙය සුවිශේෂී නිර්මාණයක් ලෙස සැළකේ.
අකුණු පහර හේතුවෙන් හානි සිදුවූ බිත්තිය ප‍්‍රතිසංස්කරණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි විද්‍යාත්මක ක‍්‍රමවේදයන්ට අනුව සිදුකිරීමට බලාපොරොත්තුවන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරියෙකු අප කළ විමසුමකදී පැවැසීය.