1911 තේ

උඩරට දුම්රිය මාර්ගය බදුල්ල දක්වා දිගුකිරීමෙන්ද කැලණිවැලි දුම්රිය මාර්ගය ඇතිකිරීමෙන්ද ඌව හා සබරගමු පළාත්වල තේ බහුල වශයෙන් වවන ලදී. මේ නිසා 1891දී තේ නිෂ්පාදනය වැඩිවී තේ මිල පහළ බැස්සේය. එහෙත් එයින් පසු අලාභ සහිත වතු අතහැර තේ නිෂ්පාදනය කිරීම නිසා තේ කර්මාන්තය යළිත් දියුණු විය. 1903දී රාත්තල් 149,200,000ක් වූ තේ නිෂ්පාදනය 1911දී රාත්තල් 186,000,000ක් දක්වා වර්ධනය වෙමින් තේ වගාව දියුණු තියුණු විය.
1910 පොල්

දහනව වැනි ශතවර්ෂය වන විට පොල් වේලා කොප්පරා කොට නරක් නොවී තබාගන්නා ක්‍රමය සොයාගැනීමත් සමග කොප්පරා හා පොල් තෙල් වෙළෙඳාම දියුණු විය. සබන් ආදී කර්මාන්ත සඳහා බහුලව පොල් තෙල් වුවමනා වීම හේතුවෙන් 1896දී පිටරට යවන ලද පොල් රු. 111,78,000ක් වූ අතර 1911 වන විට මෙය රු. 380,00,000ක් විය. 1870 ලංකාවෙන් පිටරට යවන ලද බඩුවලින් 4%ක් පොල් නිෂ්පාදන වූ අතර, 1910දී එය 24.5%ක් දක්වා වර්ධනය විය.
1911 රබර්

1876 කාලයේ විවිධාකාරයෙන් රබර් ගැන පර්යේෂණ කරමින් රබර් පැළ සිටුවීම කළද 1900 පමණ වන තුරු රබර් වැවිල්ල ගැන වැඩි අවධානයක් යොමු නොවීය. පසුව රබර් වැවීමට සුදුසු ආකාරය, උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සොයාගැනීමත් සමග 1900දී අක්කර 2,000ක රබර් වවා තිබිණි. 1910 වන විට අක්කර 200,000 දක්වා රබර් වැවීම ව්‍යාප්තව තිබිණි. 1903දී රු. 84,784ක් වටිනා රබර් පිටරට යවන ලද අතර 1911දී රු. 280,00,000ක වටිනාකමින් යුත් රබර් පිටරට යවන ලදී.











