වලව්වේ ඩිංගිරි අප්පොලාට මහතැන්වලට විශේෂ නීති…
කුල දූෂණවලට දැඩි දඬුවම්…
අතීතයේ ගැමියා සරල සුන්දර ජීවිතයක් ගත කළද එකල බොහොමයක් ගම් දනව් තුළ රදළ පෙළපතේ අණසක පැතිරී තිබුණා. එහෙමත් නැත්නම් ගමේ බහුතරයක් ගැමියන් සියලු කටයුතු සිදුකළ යුතුව තිබුණේ වලව්වේ ඇත්තන්ගේ මනාපයට අනුවයි. මේ තත්ත්වයට සමානම දැඩි කොන්දේසි සහිත යටහත් පහත් ජීවන රටාවක් වලව් පෙළපතේ කාන්තාවටද උරුමව තිබූ බව අතීතය දෙස බැලීමේදී හඳුනාගත හැකියි. එම කාන්තාවට අද මෙන් බහුතරයක් වරප්‍රසාද ලැබී තිබුණේ නැත. ඇය නිතරම වලව්වේ මූලිකයා නැතහොත් ප්‍රධානියාගේ වචනයට යටහත් පහත්ව ජීවත් විය යුතුව තිබිණි. එසේම වලව්වේ සියලු කාන්තාවන් පවුලේ ප්‍රධානියාගේ තීන්දුව අවිවාදයෙන් පිළිගත යුතුය.
උඩරට රාජධානිය අවසන් වුවද මෙරට වලව් සම්ප්‍රදායන් හැබැරව නොගිය හෙයින් ඒවා එලෙසම පැවැතිණි. එම වලව් සම්ප්‍රදායන් තුළ වලව්වේ ප්‍රධානියා හැඳන්වූයේ බණ්ඩාර හාමුදුරුවන් ලෙසිනි. එසේත් නැතහොත් ලොකු හාමු යනුවෙනි. බණ්ඩාර හාමුගේ බිරිය වලව්වේ මහතැන්, දියණිවරු ඩිංගිරි අප්පොලා ලෙස හැඳින්විණි. පිරිමි දරුවන් පුංචි අප්පොලා ලෙසින් හෝ පුංචි හාමු ලෙසින් හැඳින්විණි.
මේ බොහොමයක් වලව් යටතේ අක්කර සිය ගණනක නින්දගම් පැවැති අතර නින්දගමේ වාසය කරන ජනතාව සහ වලව් අතර පැවැති සම්බන්ධතා සියල්ලම පාහේ රදළ පෙළපතේ ප්‍රයෝජනයට වාසියට සකස් වී තිබූ ඒවාය. එහිදී බණ්ඩාර අප්පෝ අතින් නින්දගම්වාසී කාන්තාවක ඕනෑම මොහොතක ගැබ්බර විය හැකි අතර, ඊට එරෙහිව කොතැනකවත් කතා කිරීමට තීන්දු තීරණ ගැනීමට හැකියාවක් එම වැසියන්ට ලැබී නැත. එසේම නින්දගම්වාසී පිරිමියකු අතින් වලව්වේ මහතැන් කෙනකු හෝ ඩිංගිරි අප්පෝ කෙනකු ගැබ්බර වීමක් කිසිදු අයුරකින් සිදු නොවිය යුතු දෙයක් සේ සැලකිණි.
එවැනි දෙයක් සිදුවීම කුල දූෂණයක් සේ සලකා අදාළ වලව්වාසී ස්ත්‍රියට දඬුවම් පැමිණවීමේ ක්‍රමවේදයක් එවකට පැවැතිණි. එවැනි සිදුවීමකදී මහා වාඩියේ අසන නඩු වාරයකින් පසු ඩිංගිරි අප්පෝ වලව්වෙන් පිටමං කිරීම හෝ නෙරපා දැමීමට තීන්දු කෙරේ. මෙලෙස නඩු අසන රදළයන්ගේ රැස්වීම සබරගමුවේදී මහ වාඩිය ලෙසින් නම් කෙරුණද, නුවර කලාවියේදී මෙම තීන්දුව ගන්නා රදළයන්ගේ රැස්වීම හඳුන්වා ඇත්තේ වරිග සභාව ලෙසිනි.
මහ වාඩියේ මුලසුන ගන්නේ පළාතේ ප්‍රධානියා වන දිසාවේ කෙනකු හෝ රටේ රාළ කෙනකු හෝ බස්නායක නිලමේ කෙනකුය. යම් වලව්වක කුල දූෂණයක් වී ඇති බවට මහ වාඩියට පැමිණිල්ලක් ලැබුණු විගස සෙසු රදළයන් මහ වාඩියට කැඳවා නඩු ඇසීම සිදුකෙරෙයි. එලෙස අසනු ලබන නඩුවක තීන්දුවකින් වරදකාරිය වන තැනැත්තියක වලව්වෙන් නෙරපා දැමීමට තීන්දු කෙරුණහොත් ඇය පන්නා දමන තුරු එම වලව්වට තොවිල් තහංචිය පැනවෙයි. තොවිල් තහංචියක් යනු වලව්වක ඇත්තන්ට ඉතා අමිහිරි කාලසීමාවකි.
තොවිල් තහංචියක් පැනවූ දා සිට වලව්වේ අයට කිසිම නිවෙසකින් ගින්දර ලබාගත නොහැකිය. එය නීති විරෝධීය. කිසිම පොදු නාන මංකඩකින් දිය නෑම කළ නොහැකිය. කිසිම රදළයකුගේ මරණයකට, විවාහ කටයුත්තකට සම්බන්ධ විය නොහැකිය. එමෙන්ම කිසිම රදළයකුට ඔවුන් සමග කිසිදු ගනුදෙනුවක් සිදුකළ නොහැකිය.
අක්කර සිය ගණනක් සහිතව ඉතා උජාරු ජීවිතයක් ගතකළ වලව් පැලැන්තියේ අයකුට මෙවැනි කාලසීමාවක් පැනවීම යනු නින්දගම්වාසී ජනයා අතර ඔවුන්ව හාස්‍යයට ලක්වීමටද හේතුවකි. මෙතරම් තදබල බරපතළ තීන්දුවක් ගැනීම මගින් වලව් පැලැන්තියේ අයකු රදළයකු හැර වෙනත් අයකු සමග ආවාහා විවාහ සිදුකිරීම වළක්වාලීමට කටයුතු කර ඇත.
රදළ පවුලක තරුණියක ගැබ්බර විය යුත්තේ රදළ පවුලක පිරිමියකු අතින්මය යන්න එකම තීන්දුව වූ නිසාත්, එය කඩකිරීම තුළින් තම පවුලම කොන් කිරීමක් සිදුවන බව දන්නා නිසාත් වලව්වාසී තරුණියන් සෙසු තරුණයන්ගෙන් දුරස් කර තැබීමට රුකුලක් වී ඇත. ඉහත තීන්දුවට අවනත නොවන තරුණියක වේ නම් ඇයට මාගම් සෝලි පැනවීම සාමාන්‍ය සිරිතය. එවිට එතැන් සිට පියාගේ වාසගම භාවිත කිරීමේ අයිතිය අහිමි වෙයි. අවසන් තීන්දුව කුමක් වුවත් ඒ ඒ තීන්දු අනුව සිදුකෙරෙන තවත් කාර්ය ගණනාවකි. ඒ අනුව යම් තරුණියක රදළ නොවන පෙම්වතා සමග යන්නට තීන්දු කළහොත් ඇයව පිටමං කර යළි තම කුල අයිතිය ලබාගන්නට පනම් යනුවෙන් හඳුන්වන තවත් රැස්වීමක් කැඳවීම සිදුවේ.
පනම් පහ රැස්වීම අමුතුම එකකි. එයට නින්දගමේ වෙසෙන විවිධ කුලවල ප්‍රධානීහුද ආරාධනා ලබති. පනම් පහේ පිරිස ලෙස ඔවුහු සැලකෙති. ඒ වලව්වට විවිධ සේවා සපයන පිරිස්වල එකතුවකි. මෙම රැස්වීමට ඉහට උඩු වියන් සහ පයට පාවඩ දැමීම, එම වලව් හිමියන් විසින් කළ යුතුව තිබේ. රදළ නොවන පිරිසකට වියන් බැඳීම හා පාවඩ දැමීම යනු වලව් පැලැන්තියේ අයට වචනයෙන් කිව නොහැකි දඬුවමකි.
රැස්වීමට, අදාළ පෙම් යුවලටද ආරාධනා කරන අතර එහිදී ඇගේ කැමැත්ත විමසා ඇය පිටමං වීමට කැමැත්තේ නම් නෙරපීමේ ආඥා පනත කියවා පියාගේ වාසගම් භාවිතයට තහංචි දමා පිටමං කෙරේ. ඒ මොහොතේ ඇයගෙන් පොරොන්දු පත්‍රයකට අස්සන් ගැනීමද සිදුවන අතර අදාළ වලව්වට දඩයක්ද නියම කෙරේ. ඉන් අනතුරුව තොවිල් තහංචි ඉවත් කිරීම සිදුකෙරෙන අතර ඒ ගැන ලියැවුණු ලියැවිල්ල රටේ රාළට භාරදී වලව්ව සියලු තහංචිවලින් නිදහස් කෙරේ.
– කුමාර රත්නායක











