විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මීට සතියකට ඉහත බ්‍රහස්පතින්දා (19දා) කැඳවූ හදිසි කැබිනට් රැස්වීම මහා ගාලගෝට්ටියකින් අවසන් වූ බව හැමෝම දන්නවා. පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඒ සිදුවීම් පෙළගැසුණු ආකාරය රටට අනාවරණ කළා. නමුත් මේ ගැන යළිත් ආන්දෝලනයක් ඇතිවූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාතලේ පැවැති රැස්වීමකදී කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පවා කඩකරමින් කැබිනට් රහස් හෙළිකිරීමට කටයුතු කිරීම නිසයි. එහිදී ජනාධිපතිතුමා විධායකය අහෝසි කිරීමට ඒ විශේෂ කැබිනට් රැස්වීම කැඳවූයේ රනිල් වික්‍රමසිංහ මහතා බව කියමින් බෝලය අගමැතිවරයාගේ පිටට දැමීමට කටයුතු කළා. නමුත් අගමැතිවරයාත් කලකට පසු ජනාධිපතිතුමාගේ කතාව අසත්‍ය බව කියමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා. ඒ විතරක් නෙවෙයි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාත් පසුව මේ ගැන විශේෂ ප්‍රකාශයක් කළා. මොකද මේ විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වීමට එතුමාත් තිරය පිටුපස කිසියම් කාර්යභාරයක් කරලා තිබුණු නිසයි. ඒ නිසා මේ සිද්ධියේදී අපි දන්නේ නෑ ඇත්ත කියන්නේ ජනාධිපතිතුමාද, අගමැතිතුමාද, සුමන්තිරන් මන්ත්‍රිතුමාද කියලා. හැබැයි ඒක ජනතාවට තීන්දු කරන්න පහසු වෙන්න අපි ඒ කතා තුනම මේ විදියට පළකරනවා.
මේ මුලින්ම ජනාධිපතිතුමා මාතලේදී කරපු කතාව.
ඊළඟට මේ දවස්වල යන කතාවක්. මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ හදිසියේ කැබිනට් මණ්ඩල රැස්වීමක් තිබුණා ගිය බ්‍රහස්පතින්දා. සෙනසුරාදා පත්තරවලත් මුල් පිටුවේ තියෙනවා, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කියලා විශේෂ ඇමති මණ්ඩල රැස්වීම කැඳෙව්වේ ජනාධිපතිතුමාගේ වුවමනාවට කියලා. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ කතාව කියන්නේ කලිසමක් කමිසයක් ඇඳල ද කියලා මට අහන්න වෙනවා. මට බ්‍රහස්පතින්දා උදේ කතා කළා. අපේ විදුලිබල ඇමතිතුමා. රවී කරුණානායක ඇමතිතුමා. උදේ 6ට කතා කරලා මගෙන් ඇහැව්වා, සර් මේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවගන්න අපිට ඕන, අගමැතිතුමයි අපි ඔක්කොම සාකච්ඡා කළා අගමැතිතුමා කීවා, ජනාධිපතිතුමාට කියන්න කියලා, ඒක නිසා අද කොහොම හරි කැඳවලා දෙන්න පුළුවන්ද කියලා. මම කිව්වා රවී ඔයා කීවට හරියන්නේ නෑ. අගමැති මගෙන් ඉල්ලීම කරන්න ඕන කියලා. එතනින් ටෙලිෆෝන් එක තිබ්බා. විනාඩි 10ක් 15ක් ගිහිල්ලා රවී කරුණානායක දෙවෙනි සැරේටත් ගත්තා. අරගෙන කිව්වා සර් අගමැතිතුමායි ඔක්කොම කියනවා සර්ට කැබිනට් රැස්වීමක් කැඳවන්න කියලා. එහෙනම් අගමැතිතුමාට කියන්න මට කතා කරන්න කියලා මම කිව්වා. එහෙන් නෑ උත්තරයක්. මමම අගමැතිතුමාට කෝල් එකක් ගත්තා.
අරගෙන කිව්වා රවී කරුණානායක කියනවා අගමැතිතුමා කියනවා කියලා කැබිනට් රැස්වීමක් කැඳවන්න කියලා හදිසියේම අද. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවක් කැබිනට් එකේ සම්මත කරන්න. එහෙම අවශ්‍යතාවයක් තියෙනවද, ඕනද කැබිනට් රැස්වීමක් කැඳවන්න. එතකොට අගමැතිතුමා මට කිව්වා. ඔව් ඔව් අපි සාකච්ඡා කළා, ටී.එන්.ඒ., ජේ.වී.පී., අපේ පක්ෂ ඔක්කොම කැමතියි. දැනුත් කාලය ඇති. ජනාධිපතිතුමා අද හවස 2යි 4යි අතරේ අපිට කැඳවලා දෙන්න කියලා කිව්වා. මම වෙලාව දැම්මා 3ට.
විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම තිබ්බා. හැබැයි දවල් 12 විතර වෙනකොට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් කැබිනට් සංදේශය කැබිනට් ලේකම්ට ගියා, රනිල් වික්‍රමසිංහ මහත්තයා අස්සන් කරපු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව කැබිනට් එකට ඉදිරිපත් කරන එක. කැබිනට් ලේකම් මට කතා කරලා කිව්වා අගමැතිතුමාගෙන් ඇවිල්ලා තියෙනවා කැබිනට් පත්‍රිකාවක්. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන්. සිංහල ඉංග්‍රීසි 2ක් තියෙනවා. සිංහල එකේ අස්සන් කරලා නෑ. ඉංග්‍රීසි එකේ අස්සන් කරලා තියනවා කියලා. මම කිව්වා එහෙනම් ඕක ඇති දාන්න කියලා. 3ට වාඩිවුණා කැබිනට් මණ්ඩලය. වාඩිවෙන කොටම අගමැතිතුමා කැබිනට් ලේකම් ළඟට ගිහිල්ලා මට ඇහෙනවා කියනවා, අර මම එවපු කැබිනට් පත්‍රිකාව දාන්න එපා මෙතනට ඒක තියාගන්න කියලා කිව්වා. මම ඇහුනේ නෑ වගේ හිටියා. කැබිනට් රැස්වීම පටන් ගත්තා, මගෙන් විශේෂ ඉල්ලීමක් කළා කැබිනට් රැස්වීමක් කැඳවන්න කියලා. දැන් ඉතින් කැඳෙව්වා. මොකක්ද කාරණය. ඔබතුමාලා කියන්න. එතකොට අගමැතිතුමා පටන් ගත්තා. මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන. මේක ජනාධිපතිතුමාත් දුන්නු පොරෝන්දුවක්. මම කිව්වා මගේ ප්‍රශ්නයක් නෑ. මම හැමදාම කියන්නේ අහෝසි කරන්න ඕන කියලා. තමුන්නාසේලාගේ පාර්ලිමේන්තුවනේ කළේ නැත්තේ. ඒ නිසා තමුන්නාන්සේලාට ඕන දෙයක් කරන්න කියලා.
රනිල් වික්‍රමසිංහ මහත්තයට ඒ ටික විතරයි කියන්න ලැබුණේ. එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු, අනෙක් සුළු පක්ෂවල, එතන ඇවිත් හිටපු ඇමතිවරු මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, දිගම්බරම්, තලතා අතුකෝරළ, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර, චම්පික රණවක, හරින් ප්‍රනාන්දු, ඔක්කොම නැඟිට නැඟිට අගමැතිතුමාගේ යෝජනාවට විරුද්ධව කතා කළා. දැන් ලොකු යුද්ධයක් කැබිනට් මණ්ඩලයේ. මම කිව්වා, මට මේවා බේරන්න බෑ. කැඳවන්න කීව නිසා කැබිනට් මණ්ඩලය කැඳෙව්වේ. ඒ නිසා මේවා ඔයගොල්ලන්ගේ පක්ෂය තීන්දු කරන්න. එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, තමුන්නාන්සේලාගේ විධායක සභාව, ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම. දැන් මා හමුවන්න කලින් පූර්ව කැබිනට් මීටින් තියලා තියෙනවා. කරුණාකරලා යන්න. මෙහෙ ගහගන්න බැ. ඔයාලගෙ උවමනාවට කැඳෙව්වේ. ජයවේවා යන්න පුළුවන් කියලා මම කැබිනට් රැස්වීම නැවැත්තුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අද කියනවා පත්තරවල ජනාධිපතිතුමාගේ වුවමනාවට තමයි කැඳෙව්වේ කියලා. වෙන්න තියෙන ඒවා ඔක්කොම කරගෙන වැඬේ බකල් වෙලා, හොඳටම නාගෙන. මේක දැන් මගේ ඇඟේ ගහන්න හදනවා.
මේ ජනාධිපතිතුමාගේ කතාවට උත්තර දෙමින් අගමැතිවරයා කරපු කතාව.

පසුගිය සතියේ සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් මා හමුවී අපේ ආණ්ඩුව කළ කටයුතු හා කිරීමට අතපසු වූ කටයුතු ගැන අදහස් දැක්වූවා. අපේ පක්ෂය 2014 වසරේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට යෝජනාවක් සම්මත කර ගත් බවත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් අපි තව දුරටත් පෙනී සිටින බවත් මම ඔවුන්ට දැන්වූවා.
එවිට ඔවුන් ඉල්ලා සිටියේ 20 වැනි සංශෝධනය සඳහා සහාය දීමේ කැබිනට් තීරණයකට එළැඹෙන ලෙසයි. ඒ අනුව කැබිනට් මණ්ඩලය වෙත යොමුකිරීම සඳහා සැකසූ කෙටුම්පතක් ඔවුන් 16 වැනිදා මට ලබාදුන්නා.
අනෙකුත් දේශපාලන පක්ෂවල සහාය ලැබීමෙන් තොරව 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නොහැකි බව මම සිවිල් සංවිධාන නියෝජිතයන්ට පෙන්වා දුන්නා. ඒ නිසා අනෙකුත් දේශපාලන පක්ෂවල අදහස මා වෙත දැනුම් දෙන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.
17 වැනිදා පාර්ලිමේන්තුවේදී සුමන්තිරන් මන්ත්‍රීතුමා මට පැවසුවේ විධායක ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා පැවැත්වූ බවයි. ඒ වගේම ජනාධිපතිතුමාටත් 20 වැනි සංශෝධනය ගෙන ඒමට අවශ්‍ය බව ජනාධිපතිතුමා තමාට දැනුම් දුන් බව මන්ත්‍රීතුමා වැඩිදුරටත් දැන්වුවා. එතැනදී මම සුමන්තිරන් මන්ත්‍රීතුමාට පෙන්වා දුන්නේ මේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නම් පොදුජන පෙරමුණේ සහයෝගයද අවශ්‍ය බවයි.
සුමන්තිරන් මන්ත්‍රීතුමා මේ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ ප්‍රකාශය කිසිවකු ප්‍රතික්ෂේප කර නැහැ.
19 වැනිදා උදේ අටයි දාසයට ජනාධිපතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා. 20 වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට කැබිනට් රැස්වීමක් කැඳවන්නද කියා එතුමා මගෙන් විමසුවා. සිවිල් සමාජය මේ පිළිබඳ ඉල්ලීමක් කළ බව මම ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ස්ථාවරය සුමන්තිරන් මන්ත්‍රීතුමා මට දැනුම්දී තිබුණා. ඒ නිසා කැබිනට් මන්ඩලය කැඳවා සාකච්ඡා කිරීම සුදුසු බව මම ජනාධිපතිතුමාට කිව්වා. බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා ඒ රැස්වීම කැඳවීම පහසු බවත් මම පැවසුවා.
එදින රවි කරුණානායක මහතා මට දුරකතන ඇමතුමක් දුන්නේ නැහැ.
උදේ නවය පමණ වෙද්දී කැබිනට් ලේකම්වරයා මගේ ලේකම්වරයාට එදින සවස තුනට කැබිනට් රැස්වීම පැවැත්වෙන බව දන්වා තිබුණා. ඉන් පසු මගේ ලේකම්වරයා සිවිල් සමාජය විසින් ඉදිරිපත් කරන ලද කෙටුම් පත අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා කැබිනට් ලේකම්වරයා වෙත යොමු කළා.
සවස 02 ට ඇමැතිවරුන් කැඳවා මම මේ ගැන දැනුම් දුන්නා. ඒ සාකච්ඡාව ඉතා උණුසුම් වුණා. සියලුදෙනා විවෘතව අදහස් පළ කළා. එහිදී 20 වැනි සංශෝධනය සඳහා එකඟත්වයක් ලැබුණේ නෑ.
මම කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර ජනාධිපතිතුමාට ඇමැතිවරුන් අතර එකඟත්වයක් නැති බව දැනුම්දුන්නා. රැස්වීම ආරම්භයේදී මම ජනාධිපතිතුමා ඉදිරිපිටදීම කැබිනට් ලේකම්වරයාට දැනුම් දුන්නේ, ඇමැතිවරුන් අතර එකඟත්වයක් නැති නිසා කැබිනට් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පලක් නොවන බවයි. ඇමතිවරුන් දැක්වූ අදහස් මම ඒ රැස්වීමේදී සම්පිණ්ඩනය කළා. ඇමැතිවරු විවිධ අදහස් පළ කළා. අවසන් තීරණය ගැනීම එක් එක් පක්ෂවලට භාරකිරීම සුදුසු බව අප නිගමනය කළා.
කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ප්‍රකාශ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් එය සාකච්ඡා කළ යුත්තේ කැබිනට් මණ්ඩලය තුළදීයි. එසේ නොකිරීම කැබිනට් සම්ප්‍රදාය කඩකිරීමක්. ඒ නිසා මම මෙතැනදී පෙන්වාදෙන්නේ සිදුවුණු කරුණු පමණයි.
ඒ නිසා කිසිවකුට අවලාද නගන්නට හෝ දොස් කියන්නට හෝ මම කටයුතු කරන්නේ නැහැ.
මේ කතා දෙකටම පස්සේ සුමන්තිරන් මන්ත්‍රිතුමා කිව්වේ මෙහෙම කතාවක්.

2018 ඔක්තෝබර් නොවැම්බර් කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව සිදුවුණු ක්‍රියාවලියට පස්සේ, නැවත එජාප ආණ්ඩුව පිහිටුවීමට ඉස්සර වෙලා, දෙමළ ජාතික සන්ධානය එක්සත් ජතික පක්ෂයෙත්, එක්සත් ජාතික පෙරමුණෙත් නායකයන් සමග සාකච්ඡා කළා.
එම සාකච්ඡාවේදී අපේ මූලික අරමුණ වුණේ ඒ වන විට පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සකස් කරමින් තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරියට ගෙනයන්නේ කොහොමද කියන එක ගැනයි. ජනවාරි මාසේ එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට පක්ෂ නායකයින් අපට සහතික වුණා.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවලිය 2019 ජනවාරි 11 වැනිදා ගරු අගමැතිතුමා විසින් දෙවැනි අන්තර්වාර වාර්තාව හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඒ අනුව තමයි.
ඒ යෝජනාවලියේ ඇතුළත් වුණේ කරුණු තුනයි.
පළමුවැන්න විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි.
දෙවැන්න බලය බෙදීම මගින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීමයි.
තුන්වැන්න ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීමයි.
මෙය ඉදිරිපත් කළාට පසුව ආණ්ඩුව අපට කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම සඳහා 2/3ක බහුතර බලයක් අවශ්‍ය නමුත්, දැන් මෙම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන්න අවශ්‍ය බහුතර බලය ආණ්ඩුවට නොමැති බවයි.
මේ නිසා අපි පෙබරවාරි මාසයේ හෝ මාර්තු මාසයේදී ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළා. අග්‍රාමාත්‍යතුමා, අමාත්‍යවරුන් කිහිප දෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකවරුන් කිහිප දෙනෙක් මේ රැස්වීමට අප සමග වාඩිවී මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යනුවෙන් සාකච්ඡා කළා. සාකච්ඡාවෙන් පසු සතර දෙනකුගෙන් යුක්ත කමිටුවක්ද පත් කළා. මාත් එම කමිටුවේ සාමාජිකයෙක්. එහිදී අපි බලය බෙදීමේ කටයුතු ඉදිරියට ගෙනයන්නේ කොහොමද කියා යෝජනා කළත්, එය ඉදිරියට ගියේ නැහැ. අපි වරින් වර මේ ගැන ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කළා.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම තමා ජනතාවට දුන් පොරොන්දුවක් බැවින් එතුමාගේ ධුර කාලය අවසන් වීමට පෙර ජනාධිපති ධුරය අහෝසි කිරීම යන යෝජනාව වත් ක්‍රියාත්මක කළ යුතු බව එයින් එක සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මට කියා සිටියා. ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ඉදිරිපත් කළ 20 වැනි සංශෝධනය දැන් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ තිබෙන බවත්, ඕනෑම වේලාවක එය ඉදිරිපත් කළ හැකි බවත් එවිට මම කිව්වා.
මේ ගැන මම ජනතා විමුක්ති පෙරමුණ සමග මෙයට මාස තුනකට කලිනුත් කතා කළා. ඉන් පසුව මාසයකට කලිනුත් අපි සාකච්ඡා කළා. එහිදී මම ඔවුන්ට කිව්වේ එම යෝජනාව ඉදිරිපත් කරන ලෙසයි. දැන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් සියයට අනූවකටත් වඩා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පක්ෂපාතීත්වය පළ කොට ඇති අය බැවින් ඔවුන් මෙයට ඡන්දය දෙනු ඇතැයිද, යම් කෙනෙක් එසේ ඡන්දය ප්‍රකාශ නොකරන්නේ නම්, ජන වරමට විරුද්ධව කටයුතු කරන ඒ කණ්ඩායම් ගැන ඉදිරි මැතිවරණවලදී ජනතාව තීරණයක් ගනු ඇතැයිද මා ඔවුන්ට කිව්වා.
නමුත්, ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ අඩු ගණනේ ආණ්ඩුව මෙයට සහාය දෙන බවට ඔවුන්ට සහතිකයක් අවශ්‍ය බවයි. ඒ නිසා කැබිනට් මණ්ඩලය මෙයට සහාය දෙන බවට සහතිකයක් ලැබෙන්නේ නම් 20 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ අපට ප්‍රකාශ කළා.
ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පිළිබඳ මම ජනාධිපතිතුමාට දැනුම් දී මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට පුළුවන් බව කියා සිටියා. ඒ බව අගමැතිතුමාටත් ප්‍රකාශ කළා. සැප්තැම්බර් 19 දා කැබිනට් රැස්වීම පැවැත්වුණේ මේ පසුබිම යටතේයි. ඒ සඳහා වෙලාව පවා යොදාගත්තේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කතා කරලයි. සෙනසුරාදා උදේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වුණු අවස්ථාවේදී මම ඒ අයටත් මේ විස්තර සියල්ල දැනුම් දුන්නා. මේ පිළිබඳ ඉදිරියට කටයුතු කොට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා කටයුතු කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම මට අවසර දුන්නා. ඉතින් මම මේ ක්‍රියාවලියට සම්බන්ධ වුණේ එම බලය මත තමයි.
අපගේ ස්ථාවරය නම් අවුරුදු 25කට වැඩි කාලයක් තිස්සේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනතාව විසින් ජනවරමක් ලබා දී තිබෙන බැවින්, සුදුසු අවස්ථාවකදී එය කළ යුතු බවයි. කළ හැකි පළමු අවස්ථාවේම එය කළ යුතුයි. ඉතින් දෙමළ ජාතික සන්ධානයේ අපත්, ජනතා විමුක්ති පෙරමුණත් බලාපොරොත්තු වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහාය දෙනවා යැයි ප්‍රකාශ කළ අය ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවයි.
නමුත්, අවාසනාවකට සැප්තැම්බර් 19 දින කැබිනට් රස්වීමේදී මෙය කුමන්ත්‍රණයක් බවත්, මෙම යෝජනාව මේ අවස්ථාවේ ගෙන එන්නේ වෙනත් හේතුවක් මත බවත් කියමින් සමහරුන් ඉදිරිපත් කළ වැරැදි මතය මම අභියෝගයට ලක් කරනවා. තවමත් අපගේ ස්ථාවරය වන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි වියයුතු බවයි. නමුත්, ඒ සඳහා වෙලාව මෙය නොවෙයි කියන අයට මගේ අභියෝගය වන්නේ මෙයයි. ඔබ මෙම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ යෝජනාවට ජනාධිපතිවරණයෙන් පසුව සහයෝගය දෙනවා යැයි ප්‍රකාශ කරන්නේ නම්, ඒ සඳහා දෙන අත්තිකාරමක් වශයෙන් දැන් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට සහයෝගය දෙන්න. අපි පළමු පියවර පාර්ලිමේන්තුවේදී මෙම යෝජනාව සම්මත කරමින් ගත් බවත්, එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බවටත් ජනතාවට සහතිකයක් දෙන්න. එයවත් කරන්නට බැරි නම් ඔබගේ ප්‍රතිපත්තිය ඇත්තක්මද යන්න ගැන අපට සාධාරණ සැකයක් මතුවෙන බවත් කිව යුතුයි. ඒ නිසා ජනාධිපතිවරණයට පෙර මෙය සම්මත කරගැනීමට වෙලාවක් නැති බව යමකු ප්‍රකාශ කරනවා නම්, දැන් පාර්ලිමේන්තුවේදී යෝජනාව සම්මත කරගෙන පසුව එය ක්‍රියාත්මක කිරීමට පුළුවන්. මා මේ අභියෝගය කරන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අපගේ ප්‍රතිපත්තිය වුවත්, එයට වෙලාව මෙය නොවන බව ප්‍රකාශ කරන අයටයි.











