• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

වීරයා සටනට එයි: කව්ද ‌මේ මහේෂ්

September 30, 2019
in News, Politics
Reading Time: 4 mins read
A A
වීරයා සටනට එයි: කව්ද ‌මේ මහේෂ්
Share on WhatsAppShare on Facebook

රණ වික්‍රම, රණ ශූර, විශිෂ්ට සේවා, උත්තම සේවා, මේ සියලුම රණවිරු ගරු සම්මානයන් ඔහුට හිමිය. වසර 36ක් පුරා මහා රණවිරු මෙහෙයක් ඉටුකළ ඔහු සැබෑ විරුවෙකි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඔහුගේ “මහගෙදර” තරම්ම ඔහුට සමීපය. කුරිරු කොටි ත්‍රස්ත අරගලයේදී ඔහු හෙළුෑ ලේ, කඳුළු, දහදිය අපමණය. එම වර්ගවාදී සිවිල් යුද්ධය දිනවන්නට ඔහු කළ මෙහෙයද අතිවිශිෂ්ටය. මේ මහා මෙහෙවර නිසාම ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉහළම පුටුවට පත්කළේ 2017 වසරේ මාර්තු 22 වැනිදාය. 1983 වසරේදී සාමාන්‍ය කැඩෙට් නිලධාරියකු ලෙස හමුදාවට බැඳුණු ඔහු ඊට වසර 34කට පසුව යුද හමුදාපතිවරයා ලෙස පත්වීම් ලැබීම කෙතරම ආශ්චර්යයක්ද? එය සැබැවින්ම ආශ්චර්යයක්ද නොවේ. එය මෙහෙවරක ඵලයකි.
මේ අපූර්ව මිනිසා දැන් ඔබ හොඳින් හඳුනනු ඇත. හිසකෙස් මුඩුකළ, කාළවර්ණ වූ, දේහධාරී ගතින් හෙබි ඔහු මහේෂ් සේනානායකය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු හමුදාපතිවරයාය. මේ රණකාමී සේනානයකයන් ගැන පසුගිය අප්‍රේල් පාස්කු ප්‍රහාරයෙන් පසුව තවත් බොහෝ කතාන්දර අසන්නට ලැබුණේය. ඒ ඔහු එම අවස්ථාවේදී යුද හමුදා මහ පුටුවේ වාඩිවෙමින් සිදුකළ මහා මෙහෙවර හේතුවෙනි. අතිශය කුරිරු, ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය කනවැකුණු සැණින් ඔහු තම පුටුවෙන් බැස මහා මාර්ගයට ආවේය. තමන්ගේ පිරිවර වහා අවැසි අයුරින් මෙහෙයවන්නට සෑම තත්පරයක්ම වැය කළේය. කුමන හමුදාවක් රටේ තිබුණත් මුලින්ම හැම ගැටුමකටම මුහුණ දෙන්නේ යුද හමුදාවය. ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් පසුවද සිදුවූ සෑම මෙහෙයුමකටම මෙම හමුදා විරුවෝ නොබියව මුහුණ දුන්හ.
මහේෂ් සේනානායක නමැති මිනිසා අපට සුවිශේෂී වන්නේ ඒ හෙයිනි. ඔහුගේ සැබෑ මෙහෙවර ජනතාව හඳුනාගන්නේද එම අවස්ථාවෙහිදීය. අද අපට මේ මිනිසා ගැන ලියන්නට වන්නේ ඔහු ගැන අද දිනයේ තවත් අපූරු කතාවක් අසන්නට හැකිවන හෙයිනි. ඒ අද රටම හඳුනන ජනාධිපතිවරණයේ දොරටුව ඉදිරියේ සිටගෙනය. මහේෂ් සේනානායක සහ ජනාධිපතිවරණයේ මෙම කතාව කුමක්ද? හිටපු හමුදාපතිවරයා වන මහේෂ් සේනානායක මහතා මෙවර ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයකු වශයෙන් ඉදිරිපත්වීම එම අලුත්ම වගතුගයි. පසුගිය මාස දෙකක පමණ කාලයක සිට මෙම “කසුකුසුව” සමාජයේ තිබුණද ඒ ගැන නිසි තොරතුරක් දැනගන්නට නොහැකි විය. එසේ වන්නේ එය සැබෑ ලෙසම අදාළ පාර්ශ්ව රහසක් වශයෙන් තබාගත් හෙයිනි. මේ කියන මොහොත දක්වාම එය තවද රහසක්ව පවතී. එහෙත් එහි කඩතුරා අද දිනයේදී විවර වනු ඇතිය.
“දූෂිත දේශපාලන මඩ ගොහොරුවෙන් මාතෘ භූමිය ගලවාගෙන පිරිසුදු කරනු පිණිස, ලක් ජනතාව අතරින්ම පැමිණෙන ජාතික අපේක්‍ෂකයා දේශයට ඉදිරිපත් කරන ඒ ඓතිහාසික මොහොත දැනගන්නට ඔබත් සූදානම් වන්න. සැප්තැම්බර් 29 දිනයේදී එය බලාපොරොත්තු වන්න.”
ඉතින් හරියටම සැප්තැම්බර් 29 දිනය අදය. ඉහත වදන් පෙළ දිස්වන්නේ අන්තර්ජාලයේ ඇති සමාජ මාධ්‍ය කිහිපයකය. “හිටපු හමුදාපති මහේෂ් ජාතික ජනතා ව්‍යාපාරයෙන් ජනාධිපතිවරණයට” යැයි වැඩිදුරටත් එම පුවත්වල සිරසින් දක්වා සිටියි. ජාතික ජනතා ව්‍යාපාරය කියන්නේ කුමක්ද? මෙය දේශපාලන පක්‍ෂයක්ද? මෙම ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ පසුගිය 2018 වසරේ දෙසැම්බර් මාසයේදීය. “රටට පැහැදිලි නායකත්වයක් උදාකර දීම සඳහා” යැයි පැවසෙන තේමාවක් යටතේ ප්‍රකට සංවිධාන දෙකක මූලිකත්වයෙන් මෙම ව්‍යාපාරය ආරම්භ කරන ලදී. “දේශෝදය” ව්‍යාපාරය සහ එක්සත් වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය එම සංවිධාන දෙක විය. ජාතික ජනතා ව්‍යාපාරයට මෙම වසරේ දෙසැම්බරයේදී වසරක් සපිරෙයි. මෙම ව්‍යාපාරය දේශපාලන පක්‍ෂයක් ලෙස පෙනී නොසිටින නමුත්, ඔවුන් මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා වෙනත් සම්බන්ධීකාරක පක්‍ෂයක් හරහා අපේක්‍ෂකයකු ඉදිරිපත් කරනු ලබයි. අද දිනයේ සිදුවන්නේ එම ක්‍රියාවලිය වෙයි.

ජාතික ජනතා ව්‍යාපාරය බිහිකිරීමේදී, ඒ සඳහා මූලික වී මහත් කැපකිරීමක් සිදුකළ නිර්මාතෘවරයකු සිටියි. ඔහු වත්මන් සමාජයේ බොහෝ දෙනකු හඳුනන සර්වෝදය ව්‍යාපාරයේ වත්මන් සභාපති, විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතාය. ඔහු සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ සහ හිටපු සභාපති ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ පුත්‍රයාය. දැන් සර්වෝදය සහ “දේශෝදය” ආයතනවල කටයුතු මෙහෙයවන්නේ වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතාය. තම පියාගේ අඩිපාරේ යමින් ඔහු එම උදාර මෙහෙවරට උරදී ඇත. කොළඹ නාලන්දා විදුහලේ ආදිසිසුවකු වන වෛද්‍ය ආරියරත්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුද වෙයි. අද ජාතික ජනතා ව්‍යාපාරය හරහා එළිදක්වන්නට යන ජනාධිපති අපේක්‍ෂකයාගේ වගතුග ගැන විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතාගෙන් විමසා සිටියෙමි.
ජාතික ජනතා ව්‍යාපාරය හරහා මෙම 29 වැනි දිනයේ නව ජනාධිපති අපේක්‍ෂකයකු නම් කරන්නට යනවා. මොකක්ද මේ සිදුවෙන්නට යන්නේ?
යම්, යම් නිර්ණායක මත අපි දැනට අපේක්‍ෂකයෝ දෙදෙනෙක් හඳුනාගෙන තියෙනවා. අපගේ ජාතික ජනතා ව්‍යාපාරය කියන්නේ බහුජන ව්‍යාපාරයක්. මේක දේශපාලන පක්‍ෂයක් නෙවෙයි. ඒ නිසා අපිට මේ ව්‍යාපාරය හරහා අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන්න බැහැ. අපි කරන්නේ අපේක්‍ෂකයා නිර්දේශ කරන එක විතරයි. අපි මේ වන විට එම ක්‍රියාදාමය සිදුකරගෙන යනවා. අවසානයේදී තමයි ඒ සුදුසු නිර්දේශය කරන්නේ.
එතකොට කුමන පක්‍ෂයක් හරහාද මෙම අපේක්‍ෂකයා ඉදිරිපත් වන්නේ? එවැනි පක්‍ෂයක් දැනට නම්කර තිබෙනවාද?
ඔව්. ලියාපදිංච පක්‍ෂයක් හරහා තමයි මෙම අපේක්‍ෂකයා ඉදිරිපත් වෙන්නේ. එහෙත් ඒ ගැන තවම අවසන් තීරණයකට ඇවිත් නැහැ. ස්වාධීනව නම් මැතිවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන් කලින් මන්ත්‍රීවරයකු වෙලා සිටිය කෙනකුට පමණයි. ඒ නිසා මේ අපේක්‍ෂකයන්ට එය කරන්න බැහැ. ඔවුන් ලියාපදිංචි පක්‍ෂයක් හරහාම ඉදිරිපත් වෙන්නට ඕනෑ. අද ප්‍රධාන පක්‍ෂවලටත් නිසි අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන්න බැරි තත්ත්වයක් උද්ගතවෙලා. අපි අද ප්‍රධාන ධාරාවේ තිබෙන පක්‍ෂ සියල්ලම ප්‍රතික්‍ෂේප කරනවා. දැනට පාර්ලිමේන්තු නියෝජනයක් නැති දේශපාලන පක්‍ෂ 3ක් පමණ මේ කාර්යය සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අනුව අපි සුදුසු පක්‍ෂයක් තෝරා ගන්නවා. මේ සඳහා අපි විශේෂ කමිටුවක් පත්රලා තියෙනවා. ඔවුන් මේ වන විට ඒ කටයුතු සිදුකරගෙන යනවා. අප ව්‍යාපාරයට මැතිවරණ ක්‍රියාදාමයකට සම්බන්ධ වන්නට බැහැ. අප සිදු කරන්නේ සුදුසු අf්පක්‍ෂකයා තෝරා දීම පමණයි. ඒ අනුව ඉතාමත් සුදුසු අපේක්‍ෂකයා මෙම සැප්තැම්බර් 29දා ප්‍රකාශයට පත්කරන්නට හැකිවේවි.
ඔබගේ ජාතික ජනතා ව්‍යාපාරයට දේශපාලන ක්‍රියාදාමයකට යෑමට නොහැකි බව ඔබ පවසනවා. එසේ නම් මෙවර ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට මෙතරම් උනන්දු වන්නේ ඇයි?
නව දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීමට අපට අවශ්‍යයි. එසේම නව දේශපාලන නායකත්වයක්ද රටට අවශ්‍යයි. අද සැබෑ නායකයන් නැති මුඩු බිමක් මේ දේශය. මෙහෙම ඉදිරියට යන්නට බැහැනේ. මේ තත්ත්වය පළාත් පාලන මට්ටමේ සිට කළයුතු දෙයක්. එහෙත් අවාසනාවකට ඉස්සර වෙලා ආවේ ජනාධිපතිවරණය. ඒ නිසයි මේ ක්‍රියාදාමයට අපගේ ව්‍යාපාරය සහයෝගය දක්වන්නේ.
ඉතින් ඇයි වෙනත් පක්‍ෂ හරහා මෙම අපේක්‍ෂකයා ඉදිරිපත් කරන්නේ? ඔබගේ ව්‍යාපාරයටම හැකිනේ පක්‍ෂයක් ලෙස ලියාපදිංචි වෙලා මෙම කාර්යය සිදුකරන්න?
අපි මේ ව්‍යාපාරය පටන්ගන්න කොටම ගත්තු තීරණයක් ඒක. අපි මේ ව්‍යාපාරය කිසි විටෙකවත් දේශපාලන පක්‍ෂයක් වශයෙන් ලියාපදිංචි කරන්නේ නැහැ. දේශපාලනයට වඩා එහා ගිය කාර්යභාරයක් මෙවැනි සමාජ ව්‍යාපාරයකට තිබෙනවා. අප ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය ඒකයි.
ඔබගෙන් ඍජුවම මේ පැනය අහනවා. දැන් සමාජයේ බොහෝ පිරිස්ද දන්නා ආකාරයෙන් හිටපු හමුදාපති ජෙනරල් මහේෂ් සේනානායක මහතා ඔබගේ ව්‍යාපාරයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා නේද?
ඔව්. හිටපු හමුදාපතිවරයාගේ නමත් මෙතැන ඉදිරිපත් වෙලා තියෙනවා. ඔහුගේ නමත් සමඟ තවත් නම් දෙකක්ද ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අය තමයි ගාමිණී විජේසිංහ මහතා සහ ආචාර්ය අජිත් කොලොන්නේ මහතා. මේ අය අතරින් සුදුසුම කෙනා ජනාධිපති අපේක්‍ෂකයා වශයෙන් තෝරාගන්නවා.
ඔබගේ ව්‍යාපාරය මෙසේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ගැන යම් පාර්ශ්ව ඉතාමත් දැඩි ලෙස පරිභවයට පත්කර විවේචනය කරමින් සිටිනවා. ජාතික නිදහස් පෙරමුණ ඉතාමත් තදබල චෝදනාවක් ගේනවා මේ ක්‍රියාවලිය ඇමෙරිකන් ගැති වැඩපිළිවෙළක් කියලා.
ප්‍රධාන කඳවුරුවලින් පිට කුමන හෝ අපේක්‍ෂකයකු ආවත් ඔය වගේ චෝදනා ගේනවා. ඔය චෝදනා පදනම් විරහිත ඒවා. ඕනෑම කෙනකුට ඕනෑම චෝදනාවක් ගෙන ඒමට නිදහස තිබෙනවා. අප එම තත්ත්වයන් ගැන කිසිම ආකාරයකින් කලබලයට පත්වන්නේ නැහැ. සත්‍ය තත්ත්වය අපි දන්නවා.
ඔබ එසේ පැවසුවත් ජාතික නිදහස් පෙරමුණ ප්‍රබල ලෙස චෝදනාකර සිටිනවා, ඔබ ව්‍යාපාරයේ මේ ක්‍රියාවලිය මඟින් දේශමාමක ඡන්ද කඩනවා, සිංහල හා තරුණ ඡන්ද කඩනවා කියලා. මේ සඳහා ඇමෙරිකාවෙන් මුදල් ආධාර පවා දෙනවා කියලා චෝදනා කරනවා.
ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණයක් තමයි කැමැත්ත කියන්නේ. කාටවත් කියන්න අයිතියක් නැහැ. මේක “අපේ ගොඩ” කියලා. ජනතාවට අවස්ථාව, නිදහස තියෙනවා තමන් කැමති කෙනකුට ඡන්දය දෙන්න. කාගේවත් ඡන්ද කඩන්න හෝ කොල්ලකන්න අපට කිසිම අවශ්‍යතාවක් නැහැ. අනෙක ඇමෙරිකාවෙන් ලැබෙන මුදල් අපිට නැහැ. අපේ ව්‍යාපාරයේ සිටින්නේ ඉතාමත් කැපවීමකින්, ස්වේච්ඡාවෙන් වැඩ කරන පිරිසක්. මේ අය තරුණ පිරිසක්. ඒ අයට සල්ලි දෙන්න කිසිම විදේශ රටක් නැහැ. අපගේ තිබෙන සුළු අරමුදල් කිහිපයක් හරහා තමයි මේ කටයුතු කරන්නේ. ඔය කියන ඇමෙරිකානු ආධාර මුදල් කතාවට අපට උත්තර දෙන්නත් අවශ්‍ය නැහැ. ඔය චෝදනාවලට කිසිම පදනමක් නැහැ.
ඔබගේ ජාතික ජනතා ව්‍යාපාරය යටතේ හිටපු හමුදාපතිවරයා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට ඔහු ප්‍රියමනාපභාවයක් දක්වා තිබෙනවාද?
ඔව්. එසේ ඉදිරිපත් වීම පිළිබඳ ඔහු අපගේ ව්‍යාපාරයේ එම කමිටුවට කැමැත්ත ප්‍රකාශ කර තිබුණා. ඒක ඇත්තටම රහසක් නෙවෙයි. එහෙත් අවසානයේදී ඒ ඒ නිර්ණායකවලට ගැළපෙන සුදුසු අපේක්‍ෂකයා තෝරාගන්නවා.
ඒ කියන්නේ හිටපු හමුදාපතිවරයාමද මේ සඳහා තෝරාගන්නෙ?
නැහැ. ඒක මට දැන් කියන්න බැහැ. මේක මගේ තනි තීරණයක් නෙවෙයි. ඒක එම කමිටුව අවසානයේදී තීරණය කරාවි. මෙම 29 වැනිදාට එම තීරණය තමයි එළිදක්වන්නට හදනනේ.
ඒ කියන්නේ 29 වැනිදාට එම සුදුසු අපේක්‍ෂකයා කවුද කියලා දැනගන්නට පුළුවන්ද?
ඔව්. අනිවාර්යයෙන්ම අපේක්‍ෂකයාගේ නම දැනගන්නට පුළුවන්. නව දේශපාලන ධාරාවක් සහ සංස්කෘතියක් මේ රටට අවශ්‍යයයි. මේ රටට යහපත් දේශපාලනික වාතාවරණයක් අවශ්‍යයයි. අපගේ ව්‍යාපාරයේ එකම අරමුණ වන්නේද එයයි.
සර්වෝදය සභාපති, විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා එම වැදගත් වගතුග කියා නිම කළේය. එහෙත් අපට පැනයන් කිහිපයක් අසන්නට තවත් ඇවැසිම පුද්ගලයකු ඇත. ඔහු වෙන කවරකුවත් නොව හිටපු හමුදාපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකය. ඔහුගේ ජනාධිපතිවරණ ආගමනය ගැන තවද නිශ්චිත කරුණු දන්නේ නැත. එය එළිපෙහෙළි වන්නේ අද (29දා) දිනයේදීය. ඒ හෙයින්දෝ ඔහු පසුගිය දිනවල මාධ්‍ය සමඟ කතාබස් කිරීමෙන් වැළකී සිටියේය. ඉතා සුළු ප්‍රකාශ කිහිපයක් හැරෙන්නට නිසි වගතුගක් මාධ්‍යයක දක්නට නොහැකි විය. එහෙත් මෙම ආන්දෝලනාත්මක චරිතය සමඟ යමක් දීර්ඝව කතාකිරීමට හැකිවන්නේ නම් කෙතරම් අනගිදැයි මට සිතෙන්නට විය. හිටපු හමුදාපතිවරයාගේ ජංගම දුරකතන අංකය මා අතට පත්විය. මාගේ දුරකතනය ගෙන කතා කරන්නට ගතිමි. ඔහුගේ දුරකතනය නාද වෙතත් පිළිතුරක් නැත. හරියටම තත්පර 33ක් ගෙවී ගියේය. පුදුමයකි. ඔහු කතා කරන්නට ගත්තේය.

ජාතික ජනතා ව්‍යාපාරය මඟින් මෙම සැප්තැම්බර් 29 වැනිදා ඔවුන්ගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ප්‍රකාශයට පත්කරනවා. මෙම ක්‍රියාවලියේදී ඔබගේ නම ප්‍රධාන වශයෙන් කතාවෙනවා. එහෙත් තවම ඔබගේ නම නිල වශයෙන් ප්‍රකාශ වුණේ නැහැ. මේ ගැන ඔබ කුමන ස්ථාවරයකද ඉන්නේ?
ඒක එම ව්‍යාපාරය ප්‍රකාශ කරන ආකාරයට තමයි සිදුවන්නේ. 29 වැනිදා ඒ ගැන කියාවි.
ඔබ මෙම ක්‍රියාවලියට සම්බන්ධ වන්නට බලාපොරොත්තු වන්නේ කුමන මතයක සිටද?
මම මේක සරලව කියන්නම්. මේ රටට පසුගිය අවුරුදු 71ක් තිස්සේ සිදුවුණු ශාපය වෙනස් කරන්නට හැකි උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ කණ්ඩායමකට මම සහයෝගය ලබා දෙනවා. ඒක තමයි මම දරන මතය. එහෙත් ඒකේ නායකයා මමද කියන එක තවම මට කියන්න බැහැ. මම මේ කියන්නේ ජනාධිපති සේනානායක ගැන නෙවෙයි.
ඔබ පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුව යුද හමුදාව මෙහෙයවීම තුළින් කැපීපෙනෙන කාර්යභාරයක් සිදුකළා. එය සැබැවින්ම ජනතාව අගය කළා. එය සැබෑ ලෙසම ඔබ ජනතා මෙහෙවරක් ලෙස ඉටුකළා. සමාජය ඉදිරියේදී ඔබ ගැන කුමන මතයක් දරාවිද?
අවුරුදු පහකට ඉස්සරවෙලා හොරුන් කියපු අය අද හොඳ වෙන්න බැහැනේ. මේ පාර හොරුන් යැයි කියන අයත් ඉදිරියේදී හොඳ වෙන්න බැහැනේ. ඒ ටිකවත් අපට තෝරාගන්න බැරිද? අපට අද විකල්පය කියන එක අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ නිසයි. මට කිසිම පක්‍ෂයක් නැහැ. ස්වාධීනව සිටින යම් පුද්ගලයකු ඉදිරිපත් වෙලා මේ නායකත්වය ලබාදිය යුතුයි කියලා කියන්නේ ඒ නිසයි.
ඔබ ඉදිරිපත්වන මෙම ක්‍රියාවලිය ගැන විවිධ පාර්ශ්ව චෝදනා කරනවා මෙය ඇමෙරිකානු බලවේගයකින් සිදුවන එකක් කියලා. මේ ගැන වෛද්‍ය ආරියරත්නත් අදහස් ප්‍රකාශ කළා. ඔබ එම චෝදනා භාරගන්නේ කෙසේද?
එහෙම දෙයක් මෙතන වෙන්නේ කොහොමද? ඔව්, “ෆේස්බුක්” එකේ දාල තියෙනවා මට මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලැබෙනවා කියලා. ඩොලර් මිලියන 100ක් රුපියල් 185න් වැඩි වුණාම කීයක්ද? ඒ ගණන සිතාගන්නවත් බැහැ. අඩු ගානේ ඒක දාන මිනිහා දැනගන්න ඕන ඒක ඩොලර් මිලියන එකක් හරි, දෙකක් හරි කියලා දාන්න. ඩොලර් මිලියන 100ක් තියෙනවා නම් ලෝකයේ මොනවා කරන්න බැරිද? බොරුවක් ලිව්වත් ඒක හරියට කරන්න ඕනෑ. ගණන් හිලව් දන්නේවත් නැති මිනිස්සු පල්හෑලි ලියනවා.
ඔබ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස තෝරාගත් පසුව ඔබට කියන්නට හැක්කේ කුමක්ද?
ස්වාධීන ජාතික ව්‍යාපාරයක් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ සිදුකරන විප්ලවයක් තමයි මේ සිදුකරන්නට යන්නේ. මේක සැබෑ ලෙසම නව දේශපාලනික සංස්කෘතියක් තුළින් සිදුවන ජාතික මෙහෙවරක්. එයට ජනතාව සහාය ලබාදේවි.
බොහෝ මාධ්‍යවලට අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි හිටපු හමුදාපතිවරයා අප පුවත්පත වෙනුවෙන් බොහෝ වැදගත් කරුණු කතා කළේය. මෙම ලිපිය ලියන විටදීද ඔහු ජනාධිපති අපේක්‍ෂයකු දැයි දන්නේ නැත. එහෙත් අද ඒ වගතුග හෙළිවනු ඇත.
බලන් කඩතුරා හැර දෑසේ…

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඇත්ත කියන්නේ ‌මෛත්‍රිද-රනිල්ද-සුමන්තිරන්ද?

Next Post

ගෝඨාට සදුදා ‌නොතීසි ‌නිකුත් ‌වෙයිද?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.