ඉදිරි දෙසැම්බරයේදී බොහෝ දෙනකු තම කඳුළු සලනු ඇත්තේ, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මියයෑමේ පුවත අසාය. එම පක්ෂයේ ස්ථානය ඉන් පසුව ගනු ලබන්නේ අලුතින් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි. ලෝකයේ බොහෝ දේ සිදුවන්නේ ස්වභාවධර්මයාගේ බලපෑම මත වන අතර මෙවැනි දේශපාලන විකාශයන්ද එසේ සිදුවනු ඇත. ස්වභාවධර්මයේ නීතිය ඉදිරියේ එය කවුරුත් පිළිගත යුතුය. පරිණාමීය සාධක මත මෙවැනි දේශපාලනික පරිවර්තනයන්ද සිදුවෙයි. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු මූලික වශයෙන් ගත් කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙයි. මෙම පක්ෂ දෙකෙහිම අන්තර්ගතයන් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැරව ‘රාජ්‍යවංශික’ පවුල්වාදී දේශපාලනය කෙරෙහි යොමුවීම වන අතර එය මධ්‍යකාලීන ඉතිහාසයක්ද සිහිපත් කරවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඝාතනය ගැන ඉදිරි කාලයේදී දේශපාලන විශ්ලේෂකයන් මෙන්ම ඉතිහාසඥයන්ද දොස් පවරනු ලබන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙතය. එම පක්ෂයේ අවසානය සඳහා අවැසි වන පියවර ගණනාවකටම ඔහු වගකිව යුතුය. එසේම වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂද එම වගකීමේ කොටසක් භාරගත යුතු වන්නේ ඔහු එම පක්ෂය මතින් පවුල්වාදය සිදුකළ හෙයිනි. වසර 40ක් පුරා ශ්‍රීලනිපයේ සිටි මෛත්‍රිපාල සිරිසේන මේ දිනවල පක්ෂයේ අවශේෂ කොටස් පවා මුළුමනින්ම විනාශ කිරීමට අවසාන මරු පහරවල් එල්ල කරමින් සිටියි. ඔහු ජාතියට හෝ පක්ෂයට වීරයකු යැයි සිතීමට හැකි කරුණු කාරණා හෝ සාධක නොමැත. මෛත්‍රිපාල සිරිසේන තමන්ගේ ආරක්ෂාව පතා දැන් පොදුජන පෙරමුණ සමඟ සියලු ගිවිසුම් අස්සන් කර ඇත. ඔහු මහින්ද සහ රනිල්ට පිටුපසින් සිට පිහියෙන් ඇනීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි මළගම කරා ගෙනයෑම ගැන ද්‍රෝහියකු ලෙස ඉතිහාසයට එක්වනු ඇත. මෙය වර්තමානයේ පෙනෙන පැහැදිලි සත්‍යයකි.
මෛත්‍රිපාල සිරිසේන හෝ මහින්ද රාජපක්ෂ හෝ වේවා ඔවුන් එම පක්ෂයට සිදුකළ හානිය රාජ්‍යයට හා පොදු ජනතාවටද මහත් කනගාටුදායක තත්ත්වයකි. මහින්ද රාජපක්ෂ නිරන්තරයෙන්ම සිදුකළේ ඉතා අගතිගාමී ඥාති සංග්‍රහයක් සහ සහචර සංග්‍රහයක්ය. සිරිසේන බලයට පැමිණීමට වසර ගණනාවකට පෙර සිටදීම ඔහු එම විනාශය සිදුකළේය. මෙසේ ඥාති සහ සහචර සංග්‍රහය පැවැත්වීමෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීම තුළින් ඔහු ඉගෙනගත් පාඩමක්ද නැත. මහින්ද රාජපක්ෂගේ රජයට කිසිදු වටිනාකමක් එක් නොකළ මෙම පිරිස් නිසා ඔහු පරාජයටද පත්විය. ඔහු මේ පාඩම තවද ඉගෙනගෙන නැති අතර ඔහු දැනට සිදුකරන්නේද එම ක්‍රියාවලියමය. තවද ඔහු එම ඥාති සහ සහචර පිරිසම වටකරගෙන සිටින අතර එයම පෙරටත් වඩා බලගතු ලෙස සිදුකරයි. ඒ බැව් හොඳින්ම පෙනීයන්නේ තමන්ගේම සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම මඟිනි. මහින්ද, ගෝඨා, චමල්, බැසිල්, නාමල් මේ සියල්ලන්ම එදා සිටි ආකාරයෙන්ම අදද පෙනී සිටියි.











