• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ට ආණ්ඩුවෙන් කතා කරපු අය -අරලිය ගහ මැදුරේ ඇන්ටිජන් යුද්ධයක් (රාජ්‍ය රහස්)

June 1, 2021
in Exclusive, Rajya Rahas
Reading Time: 17 mins read
A A
සජිත්ට ආණ්ඩුවෙන් කතා කරපු අය -අරලිය ගහ මැදුරේ ඇන්ටිජන් යුද්ධයක් (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

වරාය නගර සංවර්ධන කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව නීතියක් බවට පත්වූයේ පසුගිය බ්‍රහස්පතින්දා (27දා) දිනයේදීය. ඒ, එදින පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම සම්මත වූ පනත් කෙටුම්පතට සිය අස්සන යෙදීමත් සමගය. මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වී මේ වන විට නීතියක් බවට පත්ව තිබුණත් ඒ අතරවාරයේ සිදුවූ ඇතැම් සිදුවීම් මේ වනතෙක් කිසිදු පුවත්පතක් හෝ වාර්තා කර නොතිබීම විශේෂ සිදුවීමකි. ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළමුවරට එසේ වරාය නගරය කෙටුම්පත සම්මත කර ගැනීමේදී සිදුවූ සිදුවීම් කිහිපයක් රටට අනාවරණය කිරීමට සූදානම්ය.

ඇල්ලේ හිමි- කාදිනල් හිමි එක පෙරමුණකට

මෙම වරාය නගර සංවර්ධන කොමිෂන් සභා කෙටුම්පත ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ කොරෝනා වසංගතයේ තුන්වැනි රැල්ල වේගයෙන් රට පුරා පැතිර යමින් තිබූ පසුබිමකය. ඒ නිසා විපක්‍ෂයේ බොහෝ පාර්ශ්වයන් ආණ්ඩුවට අවස්ථා කිහිපයකදීම දැනුම් දී සිටියේ මෙම කෙටුම්පත මේ අවස්ථාවේ සම්මත කරගැනීමට ඉක්මන් නොවී වසංගතය පාලනය කිරීමට ප්‍රමුඛතාව ලබා දෙන ලෙසත්, කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසුව කෙටුම්පත සම්මත කර ගැනීමට කටයුතු කරන ලෙසත්ය. විශේෂයෙන්ම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දින කිහිපයක් තියා ආණ්ඩුවට සහාය පළ කර සිටින ස්වාමීන් වහන්සේ නමක් ලෙස සැලකෙන ඇල්ලේ ගුණවංශ හිමියනුත්, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේත් ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් වරාය නගර කෙටුම්පත හදිසියේ සම්මත කර ගැනීමට කටයුතු නොකරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමට පියවර ගත්හ. එහිදී උන්වහන්සේලා සඳහන් කර සිටියේ මෙය කඩිමුඩියේ සම්මත කර ගැනීමට ආණ්ඩුව දරන උත්සාහය හේතුවෙන් සැක මතුවන බවය.

පක්ෂ නායක රැස්වීම උණුසුම්

කෙසේ වෙතත් විපක්‍ෂයද මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කළේ අවසන් වරට පැවැති පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමේදීය. මෙම රැස්වීමට විපක්‍ෂය නියෝජනය කරමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, එම්. ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම් ඇතුළු මන්ත්‍රිවරු කිහිප දෙනෙක්ද, ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු කිහිප දෙනෙක්ද එක්ව සිටියහ. මෙහිදී පක්‍ෂ නායක රැස්වීම ආරම්භ වූ සැණින් විපක්‍ෂ නායක සජිත් කතානායකවරයාගේ අවධානය යොමු කළේ මෙම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ආණ්ඩුවට ඇති හදිසිය පිළිබඳවය.

‘ඇයි මේ ආණ්ඩුව මේ කෙටුම්පත සම්මත කරගන්න මෙච්චර හදිස්සියක් පෙන්වන්නේ. දැන් රටේම කොරෝනා වසංගතය පැතිරිලා. දවසකට දහස් ගණනක් රෝගීන් මතුවෙනවා. සැලකිය යුතු ප්‍රමාණයක් මියයනවා. පාර්ලිමේන්තුව ඇතුළටත් මේ තර්ජනය දැන් ඇවිත්. දැන් පාර්ලිමේන්තුව තියෙන්නෙත් දොරවල් ඇරලා. ඉතින් අපි කියන්නේ මේ කෙටුම්පත දැන්ම නැතිව වසංගත තත්ත්වය පාලනය වුණාට පස්සේ ගේන්න කියලයි…’ යනුවෙන් කියමින් සජිත් කතානායකවරයාගේ අවධානය ඊට යොමු කිරීමට පියවර ගත්තේය.

අනුරත් සජිත්ගේ ස්ථාවරයේ

මෙහිදී සජිත් ගත් ස්ථාවරයම ගනිමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාද කතානායකවරයාට පෙන්වා දුන්නේ රටේ මෙතරම් අර්බුදයක් පැවැතියද හදිසියේම මෙම කෙටුම්පත විවාදයට ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි කියාය.

‘රටේ මේ වෙද්දි විශාල අර්බුදයක් මතුවෙලා තියෙනවා. ආණ්ඩුව කියනවා ජනතාවට ඒකරාශි වෙන්න එපා කියලා. එහෙම කියද්දී අපි පාර්ලිමේන්තුවේ 225 දෙනාටම එන්න කියල. එක තැනක වාඩි කරවලා මේ කරන වැඩේ සුදුසු නෑ. ඒ හින්දා මේක කල්දාන්න…’ යනුවෙන් අනුරද කතානායකවරයාට සිය මතය කියා සිටියේය.

කතානායකවරයා වෙන ස්ථාවරයක

සජිත්, අනුර ඇතුළු විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් කිහිප දෙනෙක්ද මේ කරුණ පිළිබඳ කතානායකවරයාගේ අවධානය යොමු කළද ආණ්ඩු පාර්ශ්වය පමණක් නොව කතානායකවරයාද සිටියේ ඒ සම්බන්ධයෙන් දින වකවානු නියම කර ඇති බැවින් විවාදය පවත්වා ඡන්ද විමසීම නියමිත පරිදි සිදුකළ යුතුය යන ස්ථාවරයේය. මේ නිසා කතානායකවරයා හා විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් අතර මේ සම්බන්ධයෙන් දෙපැත්තට අදහස් පළවන ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව එදින පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සකස් කරනවාට වඩා සංවාදයට බඳුන් වූයේ මෙම කරුණය.

සජිත් රැස්වීමක් කැඳවයි

කෙසේ වෙතත් විපක්‍ෂයේ මතයට ආණ්ඩුවේ නායකයන් පක්‍ෂ නායක රැස්වීමේදී එකඟ නොවුණු තැන එම රැස්වීම නිම වූ වහා සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් තවත් රැස්වීමක් ආරම්භ විය. එහිදී සාකච්ඡා කෙරුණේ මෙම කෙටුම්පත විවාදයට ගැනීම පමා කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයන් මොනවාද යන්න පිළිබඳවය. එහිදී බොහෝ දෙනා පෙන්වා දුන්නේ යම් හදිසි අවස්ථාවකදී කෙටුම්පතක් විවාදයට ගැනීම අත්හිටුවීමට අගමැතිවරයාට බලතල ඇතැයි කියාය. ඒ අනුව විපක්‍ෂ නායකවරයා ලෙස සජිත් අගමැතිවරයාට කතා කොට මෙම කෙටුම්පත මේ මොහොතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලීමක් කළ යුතු බව පිරිස සජිත්ට පෙන්වා දුන්හ.

සජිත් මහින්දට කතා කරයි

විපක්‍ෂයේ නායකයන්ගේ එම ඉල්ලීමට අනුව සජිත් වහාම කළේ අගමැති මහින්දට දුරකතන ඇමැතුමක් ගැනීමය. එසේ කතා කළ සජිත් මහින්දට රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කොට මෙම කෙටුම්පත පසු අවස්ථාවක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමට පියවර ගත්තේය.

මහින්දත් එකඟ වෙයි

‘රටේ දැන් තියෙන තත්ත්වය ගැන මම අමුතුවෙන් ඔබතුමාට කියන්න ඕන නැහැනේ. අගමැතිතුමා මේක විපක්‍ෂයට විතරක් නෙවෙයි ආණ්ඩුවටත් බලපාන ප්‍රශ්නයක්. පෝට් සිටි පනත මාසයක් විතර පහු කරල ඕන වෙලාවක පාර්ලිමේන්තුවට ගේන්න. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ මේ වගේ වසංගතයක් රට ඇතුළෙ තියෙන වෙලාවක මෙහෙම පාර්ලිමේන්තුවම එක්රැස් කරලා මේක කරන්න එපා කියලයි…’ යනුවෙන් සජිත් මහින්දට කියද්දී මහින්දද එය පිළිගනිමින් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය. මහින්දද එහිදී සජිත්ට කියා සිටියේ එය ඉතා හොඳ යෝජනාවක් බවත්, තමන් ඒ පිළිබඳව දිනේෂ් හා ජොන්ස්ටන් දැනුවත් කිරීමට කටයුතු කොට පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා කෙටුම්පත විවාද කිරීම කල් දැමීමට පියවර ගන්නා ලෙස දැනුම් දෙන බවත්ය. ඒ අනුව සජිත් වහාම කළේ මහින්දගේ මෙම ධනාත්මක ප්‍රතිචාරය වහ වහා විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ට දැනුම් දී සිටීමය.

මහින්ද කිව්වාද- තීන්දුව වෙනස් කළාද

ඒ අනුව තවත් පක්‍ෂ නායක රැස්වීමක් කැඳවෙනු ඇති බවට විපක්‍ෂයේ නායකයන් සිතා සිටියත් ඒ බවක් සිදුවන ලකුණු පාර්ලිමේන්තුව පැත්තෙන් දැකගන්නට ලැබුණේ නැත. ඒ වෙනුවට දැකගන්නට ලැබුණේ ආණ්ඩුව කලින් සැලසුම් කළ ආකාරයටම කටයුතු සිදුවන බවක්ය. ඒ අනුව මහින්ද සජිත්ට දැනුම් දුන් පරිදි වරාය පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල්දමන ලෙසට දිනේෂ්ට හා ජොන්ස්ටන්ට දැනුම් දුන්නාද, ඉන්පසුව එය ක්‍රියාත්මක වීම නැවතුණාද යන්න සම්බන්ධයෙන් අදටත් විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ට ඇත්තේ පිළිතුරු නොමැති ප්‍රශ්නයකි.

විදුර ජන්දය නොදෙයි

වරාය නගර සංවර්ධන කොමිෂන් සභා විවාදය ආරම්භ වූයේ මෙවැනි පසුබිමක් යටතේය. ඒ වන විටත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් මෙම විවාදයට සහ ඡන්ද විමසීමට අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු බවට ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන් දැන්වත් කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් ඡන්දය විමසන අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සභාගැබෙන් පිටව ගොස් තිබීම විශේෂ සිදුවීමක් විය. ඒ සම්බන්ධයෙන් විදුර කල් තියාම ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූ ජොන්ස්ටන් දැනුවත් කිරීමට පියවර ගත්තේය. තමන් එදින කොරෝනා එන්නත ගෙන තිබූ බැවින් යම් අපහසුතාවක් මතුව ඇති බවත්, එම නිසා පාර්ලිමේන්තුවෙන් පිටව යන බවත් සඳහන් කරමින් විදුර ඡන්දය විමසන අවස්ථාවේ සබා ගැබෙන් පිටව ගොස් තිබිණ. මීට අමතරව ආණ්ඩුවේ මන්ත්‍රිවරයකු වූ විජයදාස රාජපක්‍ෂ එදින පාර්ලිමේන්තු පැමිණ නොසිටීමද විශේෂ සිදුවීමක් විය. මේ හේතු මත මේ දෙදෙනාගේ ඡන්දය ආණ්ඩුවට නොලැබුණත් රිෂාඩ්ගේ පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙදෙනෙකු වූ අලි සබි්‍ර රහීම් සහ ඉෂාක් රහුමාන් යන මන්ත්‍රිවරුන් කෙටුම්පතට පක්‍ෂව ඡන්දය භාවිත කිරීමට පියවර ගත්හ. මේ හේතුවෙන් පසුව ඔවුන් දෙදෙනාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්‍ෂය පියවර ගෙන තිබිණ.

සජිත්ට කොරෝනා ආවේ පාර්ලිමේන්තුවෙන්?

මේ ආකාරයට විපක්‍ෂයේ විරෝධතා මැද වරාය නගර කෙටුම්පත සම්මත කරගැනීමට ආණ්ඩුව පියවර ගත්තද එහි ප්‍රතිඵල පැය 48ක් ඉක්ම යෑමටත් මත්තෙන් දැනගැනීමට ලැබුණේ හිටිහැටියේම විපක්‍ෂ නායක සජිත් කොරෝනා ආසාදිතයකු ලෙස වාර්තා වීමත් සමගය. ඊට පෙර සජිත්ගේ බිරිය වූ ජලනි ප්‍රේමදාස මහත්මියට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණ.

දෙන්නාම එකම කාමරයේ

ඒ අනුව සජිත්ද වහාම ‘පී.සී.ආර්.’ පරීක්‍ෂණයක් සිදුකර ගත් අතර, ප්‍රතිඵලවලින් කියැවුණේ සජිත්ටද කොරෝනා ආසාදනය වී ඇති බවකි. ඒ අනුව සජිත් කියා සිටියේ තමන්ටද බිරිය සිටින රෝහලේ කාමරයම සූදානම් කරන ලෙසටය. සජිත් සහ ජලනි එකම කාමරයේ හිඳ ප්‍රතිකාර ගැනීම සිදුවූයේ ඒ අනුවය. එමෙන්ම වහාම සිය ‘ට්විටර්’ ගිණුමේ පණිඩුවයක් තැබූ සජිත් කියා සිටියේ තමන්ට කොරෝනා ආසාදනය වී ඇති බවත්, පසුගිය දින කිහිපය තුළ තමන්ගේ ආශ්‍රිතයන් ලෙස කටයුතු කළ සියලු දෙනාම පරීක්‍ෂණයන්ට භාජනය වන ලෙසත්ය.

නරේන්ද්‍ර ආශ්‍රතයන් සොයයි

මේ ආකාරයට සජිත්ට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගත් වහාම පාර්ලිමේන්තුවේ නිලධාරීන්ද මහත් කලබලයට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව වහ වහා පාර්ලිමේන්තුවේ ‘සී.සී.ටී.වී.’ පරීක්‍ෂා කිරීම ආරම්භ කළ පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායම ඉකුත් දින කිහිපයේ සජිත් ඇසුරු කළ පුද්ගලයන් සොයා මෙහෙයුමක් ආරම්භ කිරීමට පියවර ගත්හ. ඒ අනුව විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලවල නිලධාරීන් කිහිප දෙනෙකුටම වහාම නිරෝධායනය වන ලෙස දැනුම් දීමටද නරේන්ද්‍ර පියවර ගත්තේය.

රනිල් -මංගලත් විද්දා

කෙසේ වෙතත් සජිත්ට කොරෝනා ආසාදනය වීමත් සමග බොහෝ දෙනා ප්‍රශ්න කරන්නට වූයේ එන්නත ලබා ගන්නා ලෙසට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට දැනුම් දී තිබියදී සජිත් එම එන්නත ලබා නොගත්තේ මන්ද කියාය. මන්ද යත් එම දැනුම් දීමට අනුව ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරුන් පමණක් නොව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ද බොහෝ පිරිසක් මෙම එන්නත ලබා ගැනීමට පියවර ගෙන තිබිණි. වෙනකක් තබා කිසිදු තැනක හිටපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට එන්නත් ලබා දෙන බවක් නොකියවුණත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය මලික් සමරවික්‍රම සහ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් පවා පෝලිම පැන එන්නත විදගැනීමට නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහල වෙත පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි විය.

සජිත් විද්දෙ නැද්ද

ඒ කොයි හැටි වෙතත් එන්නත විදගන්නා ලෙසට කළ දැනුම් දීමෙන් පසු පැවැති පළමු සමගි ජනබලවේගයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී සජිත් පැහැදිලිවම සිය මන්ත්‍රිවරුන්ට දැනුම් දී සිටියේ ජනතාවට එන්නත විද අවසන් වන තෙක් තමන් එන්නත ලබා නොගන්නා බවය. මන්ත්‍රි කණ්ඩායම් රැස් වීමේදී පමණක් නොව අවස්ථා දෙකකදීම සජිත් තමන් සිදු කළ ජංගම සේවාවන්හිදී මේ බව ප්‍රසිද්ධියේම කියා සිටීමට පියවර ගත්තේය. මන්ත්‍රීවරුන් එන්නත ලබා ගන්නා ලෙස සජිත්ට කොතෙක් ඇවිටිලි කළද ඒ සෑම අවස්ථාවකදීම සජිත් කියා සිටියේ ජනතාව අංක එකට තබා වැඩ කළ යුතු යැයි කියාය. සජිත් පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණද මුල සිටම කියා සිටියේ ජනතාවට ලබා දෙනතෙක් ජ.වි.පෙ. නියෝජිතයන්ද එන්නත ලබා නොගන්නා බවකි.

මඩ කැම්පේන් එකක් ඇරඹේ

කෙසේ වෙතත් සජිත් හා ජලනි මෙසේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබද්දී සමාජ මාධ්‍ය ජාලවල සහ ඇතැම් වෙබ් අඩවිවල විවිධ මඩ පුවත් ප්‍රචාරය වන ආකාරයක්ද දැකගත හැකි විය. එසේ ප්‍රචාරය කෙරුණු එක් පුවතක් වූයේ ජලනිට හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතුව ඇති බවත්, වෙන්ටිලේටර් ආධාරයෙන් ජලනිට ඔක්සිජන් ලබා දී ඇති බවත්ය. නමුත් එවැනි කිසිවක් සිදුව නොතිබූ අතර, දෙදෙනාම කිසිදු අපහසුතාවකින් තොරව එම දින කිහිපය ගත කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව මෙම සති අන්තයේ බොහෝ දුරට සජිත් – ජලනි සිය නිරෝධායන කාල සීමාව අවසන් කොට රෝහලෙන් නික්ම යනු ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෝඨාත් සජිත්ට කතා කරයි

මේ අතරවාරයේ රෝහල්ගතව සිටියද සජිත්ට ලැබෙන දුරකතන ඇමැතුම්වලින් නම් සීමාවක් නොවීය. සාමාන්‍යයෙන් සජිත්ගේ දුරකතනයට ලැබෙන සියලුම ඇමැතුම්වලට පිළිතුරු දෙනු ලබන්නේ සජිත් විසින්මය. රෝහල්ගතව සිටියා කියා සජිත් විවේකයෙන් කාලය ගතකිරීමට සූදානම් වූයේ නැත. වරින්වර පක්‍ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් සම්බන්ධ කර ගනිමින් සජිත් කළ යුතු කාර්යයන් පිළිබඳ උපදෙස් ලබා දුන්නේය. නලින් බණ්ඩාරට සහ බිරියට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගත් වහා ඔවුන්ගේ තත්ත්වය සොයා බැලුවේය.

මෙසේ දුරකතනය ඔස්සේ සජිත් පක්‍ෂයේ වැඩ රාජකාරි කරමින් සිටියදී විශේෂ ඇමැතුම් කිහිපයක්ම සජිත්ට පැමිණෙන ආකාරයක්ද දක්නට ලැබිණ. ඉන් එක් ඇමැතුමක් ගෙන තිබුණේ වෙන කවුරුවත් නොව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාය. සජිත්ට කතා කළ ජනාධිපතිවරයා ඔහුගේත්, ජලනිගේත් සුවදුක් විමසා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයාට අමතරව අගමැතිවරයාද, පක්‍ෂ නායකයන් සහ ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ මැති ඇමැතිවරුන් සියල්ලන්ම වාගේද සජිත්ට ඇමැතුම් ලබා දෙමින් සුවදුක් විමසා සිටීම විශේෂ සිදුවීමක් විය.

රැස්වීමක් කැඳවයි- -තීන්දු රැසක් ගනී

එමෙන්ම රෝහල්ගත වූ වහා අන්තර්ජාලය ඔස්සේ ‘Zoom’ රැස්වීමක් කැඳවූ සජිත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග කිහිපයක් සම්බන්ධයෙන් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් දැනුවත් කිරීමට පියවර ගත්තේය. එහි පළමු තීන්දුව වූයේ සියලුම මන්ත්‍රිවරුන් ‘පී.සී.ආර්.’ පරීක්‍ෂණයන්ට යොමු වීමය. මීට අමතරව විපක්‍ෂ නායක කාර්යාලය වසා දැමීමටද තීන්දු කෙරිණි.

මෙහිදී කිහිප දෙනෙකුම සජිත්ට පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවෙන් පිටතදී සජිත්ට කොරෝනා වැළඳී ඇති බවට කතානායකවරයා විසින් ප්‍රකාශ කොට ඇතැයි කියාය. ඒ හරහා සමාජ මාධ්‍ය ජාලවල මඩ ප්‍රචාරයක් යමින් පවතින බවද ඔව්හු සජිත්ට පෙන්වා දුන්හ. ඒ අනුව සජිත් කියා සිටියේ කොරෝනා තත්ත්වය හමුවේ කතානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වෙනම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටට කරුණු කිව යුතු යැයි කියාය. එතෙක් ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ලෙසට සජිත්ගෙන් රංජිත් මද්දුම බණ්ඩාරට උපදෙස් ලැබිණ. මීට අමතරව සියලුම මන්ත්‍රිවරුන් සමග ‘සූම්’ රැස්වීමක් පවත්වා තත්ත්වය සමාලෝචනය කරන ලෙසටද මද්දුමබණ්ඩාරට උපදෙස් ලැබිණ.

හර්ෂ රැස්වීමට නෑ

ඒ අනුව පසුගිය සතියේ එම ‘සූම්’ සාකච්ඡාව පැවැත්වීමට රංජිත් කටයුතු කළේය. මේ සඳහා සියලුම මන්ත්‍රිවරුන් සහභාගි වුවද විශේෂ සිදුවීම වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා එම සාකච්ඡාවට එක්ව නොසිටීමය. වරාය නගර කෙටුම්පත සම්බන්ධ සාකච්ඡාවලදී සහ පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ පක්‍ෂයේ මතයට පිටින් යමින් අදහස් දැක්වූ බවටත්, චීන තානාපතිවරයා පෞද්ගලිකව ගොස් මුණගැසී ඇති බවටත් හර්ෂට පක්‍ෂය ඇතුළෙන් චෝදනා එල්ල වී තිබීම ඊට හේතු වූවාදැයි කියන්න දන්නේ නැත.

රාජිත -ෆොන්සේකා වළියක්

කෙසේ වෙතත් මෙම ‘සූම්’ සාකච්ඡාවේදී එන්නත්කරණයේදී ඇති අඩුපාඩු දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එහිදී වරෙක රාජිත සේනාරත්න මහතා එන්නත්කරණය සඳහා හමුදාව යොදවා ගැනීම සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් එල්ල කළේය. නමුත් රාජිත දැක්වූ ඇතැම් අදහස් සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා එතරම් ප්‍රසාදයක් දැක්වූයේ නැත. ඒ අනුව ෆොන්සේකා කෙළින්ම රාජිතට විරෝධය පළ කරමින් ලොව ඕනෑම තැනක අර්බුදයක් මතු වූ අවස්ථාවලදී හමුදාව ‘පහසුකම් සපයන්නාගේ’ භූමිකාව නිරූපණය කරන බවත්, එහි කිසිදු ගැටලුවක් නොමැති බවත් පෙන්වා දුන්නේය. ඒ අනුව ෆොන්සේකා කියා සිටියේ විරෝධයක් පළ කළ යුත්තේ හමුදාවට නොව හමුදාව දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ට යැයි කියාය.

මද්දුමබණ්ඩාර මැද්දට පනී

නමුත් ෆොන්සේකාගේ මෙම අදහසට එරෙහිව රාජිතද අදහස් ප්‍රකාශ කරන්නට යෑමෙන් ‘සූම්’ සාකච්ඡාව තරමක් උණුසුම් වන ආකාරයක් දැකගන්නට ලැබිණ. දෙදෙනාම තම තමන්ගේ ස්ථාවරවල සිට අදහස් දැක්වීමට යෑම නිසා අවසානයේදී එය සමතයකට පත්කිරීමට මද්දුමබණ්ඩාරට පවා මැදිහත් වීමට විය. ඒ අනුව දෙදෙනාම අස්වැසූ රංජිත් ‘දැන් ඇති ඇති… අපි ඊළඟ මාතෘකාවට යමු…’ යැයි කියමින් එම මාතෘකාව අවසන් කිරීමට පියවර ගත්තේය.

ජන්ද අඩුවුණාද

මේ කියන්නට යන්නේ වරාය නගර කෙටුම්පතට ඡන්දය විමසීමෙන් පසු සිදුවූ කිසිදු මාධ්‍යයක පළ නොවුණු තවත් අතුරු කතාවකි. සිදුවීමට පාදක වූයේ විද්‍යුත් ක්‍රමවේදය අනුව කළ ඡන්ද ගණනය කිරීමේදී ආණ්ඩුවට ඡන්ද දෙකක් අඩු බවට ආණ්ඩු පක්ෂයෙන් එල්ල වූ චෝදනාවකි. ආණ්ඩුව පැත්තෙන් කියැවුණේ අලි සබි්‍රගේ සහ තවත් මන්ත්‍රීවරයකුගේ ඡන්දය ගණනය වී නැති බවයි. එම ඡන්ද දෙකද ගණනය වූයේ නම් පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වන බවත්, එම නිසා නැවත ඡන්දය ගණනය කිරීමක් අවශ්‍ය බවත් ආණ්ඩු පක්ෂයෙන් කියැවුණු අතර, එය නිල වශයෙන් කතානායකවරයා වෙත දැනුම් දීමද සිදුවිය.

පිටින් කමිටුවක් දමයි

ඒ අනුව කතානායකවරයාද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකොට නැවත ඡන්දය ගණනය කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමටද පියවර ගත්තේය. එම කමිටුව හිටපු පාර්ලිමේන්තු මහලේකම්වරයකු වූ ධම්මික කිතුලේගොඩ මහතා සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකුගෙන් සමන්විත විය.


කෙසේ වෙතත් කතානායකවරයා මේ ආකාරයට පාර්ලිමේන්තුවට පිටින් පුද්ගලයන් දෙදෙනකු මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළද ඒ වන විටත් පාර්ලිමේන්තුව ඇතුළෙන් වත්මන් මහලේකම් ධම්මික දසනායක මහතා ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමට පියවර ගෙන තිබිණි. ඒ සඳහා විශේෂ නිපුණත්වයක් ඇති ඉංජිනේරුවන්ගේ සහාය ලබාගැනීමට දසනායක මහතා කටයුතු කොට තිබිණි.

මහින්ද මහින්දට එපා කියයි

තත්ත්වය එසේ පැවැතියදී කතානායකවරයා අගමැතිවරයාද මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදීද කතානායකවරයා අගමැතිවරයාට දැනුම්දී සිටියේ යළි ගණනය කිරීමේ හැකියාවක් පවතින්නේදැයි සොයා බලමින් තිබෙන බවකි. නමුත් කතානායකවරයාගේ මෙම අදහසට අගමැතිවරයාගේ එතරම් ප්‍රසාදයක් තිබුණේ නැත. ඒ අනුව අගමැතිවරයා කියා සිටියේ එය අනවශ්‍ය කටයුත්තක් බවත්, එවැනි ආකාරයේ යළි ගණනය කිරීම් මින් පෙර සිදුව නැති බවත්ය. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කළ ඉල්ලීම අත්හිටවුණේ අගමැතිවරයාගේ එම ප්‍රකාශයෙන් අනතුරුවය.

මහින්ද විජේරාමෙන් අරලිය ගහ මැදුරට

මේ දිනවල රටේ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් අගමැතිවරයාටද සිය ගමන් බිමන් සහ පුද්ගල හමුවීම් සීමාකරන ලෙස සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස් රැසක් ලබාදී ඇත. සාමාන්‍යයෙන් අගමැතිවරයා ප්‍රසිද්ධව ඇත්තේ නිතරම අමුත්තන් මුණගැසෙන, ඔවුන් හා කතාබහ කරන, ප්‍රශ්න විසඳන චරිතයක් ලෙසටය. නමුත් ලද සෞඛ්‍ය උපදෙස් අනුව අගමැතිවරයා මේ වන විට විජේරාම මාවතේ නිල නිවෙසේ සිට අරලියගහ මන්දිරයේ තාවකාලිකව පදිංචියට යෑමට පියවර ගෙන ඇත. එමෙන්ම ආරක්ෂක අංශ විසින් අගමැතිවරයා මුණගැසීමට පැමිණෙන අමුත්තන් ප්‍රමාණයද සීමාසහිත කොට ඇති බව දැනගන්නට ඇත.

එමෙන්ම මේ වන විට ආරක්ෂක අංශ විසින් තවත් අලුත් අංගයක්ද සිය ආරක්ෂක ක්‍රමවේදය සඳහා එක් කොට ඇත. ඒ, අරලියගහ මන්දිරයට පැමිණෙන සියලුම අමුත්තන් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක්කොට ඇතුළට ගැනීමය. ඒ සඳහා වෙනම ඒකකයක් මේ වන විට අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.

ඇතුළේ ඇන්ටිජන් යුද්ධයක්

කෙසේ වෙතත් ඇතැම් නිලධාරීන් සහ අමුත්තන් මෙම ඇන්ටිජන් පරීක්ෂාවට එතරම් කැමැත්තක් නොදක්වන බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. විශේෂයෙන් පසුගිය සතියේ අගමැතිවරයා මුණගැසීමට අරලියගහ මන්දිරයට ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඊට සිය විරෝධය පළ කොට ඇති ආකාරයක් දැනගන්නට තිබේ. එහිදී පාදෙණිය පෙන්වාදී ඇත්තේ ඇන්ටිජන් කිරීම අනවශ්‍ය බවත්, දුරස්ථභාවය පවත්වා ගැනීම ප්‍රමාණවත් බවත්ය. අගමැතිවරයා සිටින්නේද එම ස්ථාවරයේමය. අගමැතිවරයා සිය ආරක්ෂකයන්ට උපදෙස් දී ඇත්තේ දුරස්ථභාවය ආරක්ෂා වන අයුරින් ආසන පනවන ලෙසත්, තමන් මුණගැසීමට පැමිණෙන අමුත්තන් අපහසුතාවට පත් නොකරන ලෙසත්ය.

කෙසේ වෙතත් අගමැතිවරයාගේ විවාහ සංවත්සරයද පසුගිය සතියට යෙදී තිබිණි. මේ පිළිබඳ බොහෝ දෙනකු දැන නොසිටියද වැඩේ පත්තු වූයේ නාමල් සිය පියාට සහ මවට සුබ පතමින් තැබූ ෆේස්බුක් සටහනක් සමගය. ඒ සමගම අගමැතිවරයාට දිගට හරහට ඇමතුම් ලැබෙන්නට වූයේ විවාහ සංවත්සරයට සුබ පතමිනි. මේ නිසාම සවස් වරුවේ පවුලේ කිහිප දෙනා පමණක් එක්වූ කුඩා විවාහ සැමරුම් උත්සවයක් පැවැත්වීමටත් අගමැතිවරයාට සිදුවිය.

බැසිල්ට මොකද වුණේ

මේ සියල්ල අතරතුර දැන් හැමෝම සොයන්නේ බැසිල්ට කුමක් වීද කියාය. මේ වන විට බැසිල් සති කිහිපයකට ඇමෙරිකාව බලා පිටත්ව ගොස් සිටින අතර, එහි සිට ලංකාවේ කටයුතු නිරීක්ෂණය කරමින් ඒ සඳහා උපදෙස් ලබාදෙන ආකාරයක් දැකගන්නට ඇත. පසුගිය සතියේ බැසිල් පක්ෂයේ නියෝජිතයන් සමග අන්තර්ජාලය ඔස්සේ ‘සූම්’ සාකච්ඡාවකටද එක්වීමට පියවර ගත්තේය.

ත්‍රස්ත ප්‍රහාරය ඇත්තද

කෙසේ වෙතත් බැසිල් ඇමෙරිකාවේ රැඳී සිටියදී ඇමෙරිකානු රජය ලංකාව සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනය හරහා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කොට තිබුණේ ලංකාව කොරෝනා වසංගතයේ 04 වැනි අදියරට පැමිණ ඇති බවත්, ඒ හේතුවෙන් ඇමෙරිකානු පුරවැසියන් ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්ය. මෙම නිවේදනයේ එම සඳහනට අමතරව තවත් විශේෂ කරුණක්ද මතු කර තිබිණි. ඒ, ඉදිරි කාලය ඇතුළත එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාව තුළ මොන යම් මොහොතක හෝ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවත්, සංචාරක හෝටල්, ආගමික ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, ගුවන් තොටුපොළ, අධ්‍යාපන ආයතන, සංස්කෘතික මධ්‍යස්ථාන, රෝහල්, සංස්කෘතික උත්සව එම ත්‍රස්ත ප්‍රහාරවල ඉලක්කය විය හැකි බවටත් එම නිවේදනයෙන් වැඩිදුරටත් අනතුරු අඟවා තිබිණි.
මෙම පුවත ඉකුත් අඟහරුවාදා (25) දින අප www.mawratanews.lk වෙබ් අඩවිය ඔස්සේ විශේෂ පුවතක් ලෙස වාර්තා කිරීමට පියවර ගත් අතර, අප පළ කළ පසු අනෙක් වෙබ් අඩවිද එම පුවත ඒ අයුරින්ම පළ කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.

කෙසේ වෙතත් අප මෙම පුවත පළ කළ පසු ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පවා කලබල වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවත්, ඇමෙරිකාව සාමාන්‍ය ක්‍රමය යටතේ නිවේදනයක් නිකුත් කොට ඇති බවත්, ලංකාවේ ආරක්ෂාව 100%ක්ම තහවුරු කොට ඇති බවත්ය.

තහනම බැසිල්ටත් බලපායිද

නමුත් මේ වන විට බොහෝ දෙනකුට මතුව ඇති ප්‍රශ්නය වී ඇත්තේ ඇමෙරිකාව ලංකාවට නොයන ලෙස සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති පසුබිමක ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියකු වශයෙන් සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා යළිත් ලංකාවට කෙසේ පැමිණෙනු ඇද්දැයි කියාය. බොහෝ දෙනා පවසන්නේ ඇමෙරිකාව එම සංචරණ සීමා ඉපත් කරන තෙක් බැසිල්ට ඇමෙරිකාවේ ගතකිරීමට සිදුවනු ඇති බවකි. නමුත් තවත් පවුලට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සති අන්තයේදී බැසිල් ලංකාවට පැමිණෙනු ඇතැයි කියාය.

බැසිල් යයි- විමල් එයි

කෙසේ වෙතත් බැසිල් ලංකාවෙන් පිටව යෑමත් සමග පසුගිය කාලය පුරා සැඟවුණු ජීවිතයක් ගත කළ ප්‍රධාන චරිතයක් හිටිහැටියේම එළියට පැමිණි ආකාරයක් දැකගත හැකි විය. ඒ වෙන කවුරුවත් නොව, අමාත්‍ය විමල් වීරවංශය. පසුගිය කාලය පුරා විමල්, බැසිල් සහභාගි වූ කිසිදු රැස්වීමකට පැමිණ සිටියේ නැත. එමෙන්ම 20 වැනි සංශෝධනයේදී ද්විත්ව පුරවැසිභාවය ඉවත් කිරීම සඳහා විමල් අසාර්ථක සටනක්ද දියත් කළේය.
නමුත් බැසිල් ඇමෙරිකාව බලා පිටත්ව යන තෙක්ම විමල් වෙනදා මෙන් එළියට පැමිණ වැඩිය කතාබහ කරන්නට පියවර ගෙන තිබුණේ නැත. නමුත් බැසිල් ඇමෙරිකා ගිය සැණින් එළියට පැමිණි විමල්, විපක්ෂයට දැඩි ප්‍රහාරයක් එල්ල කරන ආකාරයක්ද දැකගත හැකි විය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ස්පුට්නික් හොයන් කබ්රාල් රුසියා ගිහින්

Next Post

අපි චීනයෙන් සයිනොෆාම් ගත්තේ ඩොලර් 10ට – බංග්ලාදේශය තහවුරු කරයි

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.