1950 සිට 2000 දක්වා වූ වසර පනහක කාලය තුළ අවස්ථා දෙකකදී අපේ රටේ මාඔය, දැදුරුඔය වැනි ඔයවල්වලද මහවැලි, කැලණි ආදී ගංගාවලද මළ සිරුරු (විශේෂයෙන්ම උපතේ පටන් සිංහල කතා කළ තරුණ තරුණියන්ගේ) පාවීගිය අන්දම මගේ දෑසින්ම දුටුවෙමි.
මාස හතර පහක කාල පරාසයක් තුළ දින දෙක තුනකට වරක් නැතහොත් දිනපතාම පාහේද ඇතැම් විට මිනී දෙක තුනක්ද නොඑසේ නම් දහ පහළොවක්ද දිය පහරට අසුව ගසාගෙන ගිය අන්දම මගේ මතකයෙන් කිසි දිනක අමතක නොවන සිද්ධීන්ය.
එසේ ගසාගෙන ගිය මළ සිරුරු ඒ ඇළ දොළ ගංඟාවල සිටි කබරයන්ට කිඹුලන්ට ගොදුරුවිය. එමගින් මළකුණු කෑමට පුරුදුවූ ඒ ජලචර සත්ව ගණත්වය වර්ධනය වූවා පමණක් නොව ඔවුන් ඒ සියලු ජලාශයන්හි ආධිපත්‍යයද නතුකර ගනු ලැබිණි. ඒ නිසා පසු කලෙක කිසිදු මිනිස් ප්‍රාණියකුට තබා සුනඛයකුට හෝ ඒ ජලාශවලට බසින්නට ඉඩ ලැබුණේද නැත.
ඒ සත්වයෝ ඔයට ගඟට බැස්ස කෙනා මොහාතකින් අල්ලාගෙන කන්නට පුරුදු වූහ.
මේ සිදුවීම් මාලාව යළි ආවර්ජනය වූයේ ඉන්දියාවේ ගංගාවල මළ සිරුරු මේ වන විට පාවෙන්නට පටන්ගෙන ඇති බැවිනි.
එ හෙත් මේ රටේ ගංගාධරයින්ට අත්විඳින්නට සිදුවූ ඒ දුර්භාග්‍යසම්පන්න ඉරණම භාරතීයයන්ට තබා මේ මිහිපිට කවරකුට හෝ අත්විඳින්නට සිදු නොවේවායි පතමු.
ඊශ්වරයාගේ ජටාවෙන් ආරම්භ වෙතැයි කියන“ගංගා”ගඟට උත්තර ප්‍රදේශයෙන් දැමූ බව කියන මළ සිරුරු 42ක් ගංගාවේ පහළ කොටසේදී ගොඩගසා තිබූ බව මාධ්‍ය මගින් අනාවරණ කෙරිණි.
“නර්මදා” නදියේද දින ගණනාවක් තිස්සේ මළ සිරුරු ගණනාවක් කුණුවෙමින් පාවෙමින් තිබූ බවද රූපවාහිනී නාලිකාවලින් අසන්නට දකින්නට ලැබිණි.

මේ රටේ (ශ්‍රී ලංකාවේ) කෝකටත් තෛලය වූ උද්ඝෝෂණවලදී නුදුුරු අතීතයේ මහමඟ දමා ටයර් පිළිස්සූ අන්දමින්ම අද ඉන්දයාවේ මහා මාර්ගවල අඩියෙන් අඩියට මිනී පුච්චන, මිනී දැවෙන දර සෑයවල් (චිතක) නොව ගිනිමැල (ගිනි ගොඩවල්)ය.
තම පියාගේ මළ සිරුර පිළිස්සෙන ගිනිමැලයට ළෙහි අත් ගසමින් පිනූ භාරත දියණියද දැවී අළුවී ගිය බවක්ද අසන්නට ලැබිණි.
ආදාහනාගාරවලට තම ඥාතියාගේ මළ සිරුර භාරදීමට දින ගණනක සිට සැතපුම් ගණන් දිග පෝලිම්වල ලැග සිටින පිරිස්ය.
බඩගින්නේ අඬන දරුවන්, බෙහෙත් උගුරක් නොලැබ මියැදෙන දරුවන් ඇකයේ හොවා වැළපෙන මව්වරුන්ය.
මේ බුදුන් උපන් දේශයේ අද සිදුවන සිද්ධි මලාවේ අංශු මාත්‍රයක් පමණි.
සැණකෙළි පැවැත්වීමට, ජෝගි නැටීමට අවසර දුන් තමන්ට බලය උදුරාගැනීමට “ජහ් මහ්” කියා, නොකියා ගවයන් දක්කන්නා සේ දේශපාලන රැස්වීම්වලට මහජනයා දැක්කූ බලලෝභී දේශපාලනඥයන්ට දැන්වත් රිසිසේ නින්ද යනවා විය හැකිය.
මේ ගැන සිතීමට අබ පියැල්ලක තරම් හෝ මොළයක් මේ මිහිතලය මත වෙසෙන “මහජනයා” යැයි කියන “ජහ මනයාට” නැති හැටියක්.
“මම කීපසැරයක්ම “මෝදිට” කීව එන පොට හොඳ නෑ. රට වහල දාන්න කියල” ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධාන වෛදා්‍ය උපදේශක ඇන්තනී පවුසි පසුගිය ඉරිදා (09) ඒ.බී.සී. ප්‍රවෘත්ති සේවයට කීවේය.
අසූහැවිරිදි වියේපසුවන ඇන්තනී පවුසි ජාත්‍යන්තර කීර්තියට පත් ඉමියුනොලොජිස්ට් හෙවත් ප්‍රතිශක්තිය පිළිබඳ විශේෂඥයෙකි. ඔහු ඇමරිකාවේ Allergy and Infectious Diseases ආයතනයේ අධ්‍යක්‍ෂවරයාය.
උපදේශකවරයා මෙසේද කීවේය.
“මම සෑහෙන කාලෙක ඉඳල ඒගොල්ලන්ට කීවෙ රට වහල දාන්න කියල. තත්ත්වය එන්න එන්නම දරුණු වෙනකොටත් කීවා. හැබැයි ඒ කීම පිළිගත් ඇතැම් ප්‍රාන්තවල නායකයන් ඒ ප්‍රදේශ “ෂට් ඩවුන්” කළා. අඩුම තරමින් මෝදිට පළාත් අතර සංචාරය හෝ නතරකරන්න තිබුණා. කුම්භමේලා වාගෙ සැණකෙළි, මැතිවරණ රැලි නැවැත්තුවා නම් මෙහෙම විපතක් වෙන්නෙ නෑ.
බටහිර ගුජරාටි ප්‍රාන්තයේ කීර්තිමත් පුවත්පතක් වන “සංදේශ්” පත්‍රයේ ප්‍රධාන සංස්කාරක “රාජේශ් පතාක්”ගේ බිරිය සිය දියණියද කැටුව පසුගිය අප්‍රේල් පළමුවැනිදා පළාතේ ප්‍රධාන රජයේ රෝහලට (ගාන්ධිනගර්) ගියාය.
ඇය එසේ ගියේ දියණිය කොවිඩි ආසාදිත දැයි දැනගැනීමට පීි.සී.ආර්. පරීක්‍ෂණයක් කරවා ගැනීම සඳහාය. ඔවුන් දෙදෙනා අවස්ථාව එළඹෙන තුරු පෝලිමේ දීර්ඝ වේලාවක් සිටි අවස්ථාවේ එම ශාලාවේ පසෙක යම් දෙයක් පුරවා බිත්තියකට හේත්තුකර තිබූ ලොකු ගෝනි දෙකක් දුටහ.
ඒ මත මැස්සන් රොත්තක් කර කැවෙනුද, වසා සිටිනුද දුටු රාජේශ් පතාක්ගේ බිරිය ඇතිවූ කුකුසෙන් “ඒ කුමක්දැයි” සේවකයකුගෙන් විමසුවාය. ඊට පිළතුර වූයේ මියගිය කොවිඩ් ආසාදිතයන් දෙදෙනකුගේ මළ සිරුරු බවය.
ඇය නිවසට ගිය වහාම සිය සැමියාට සිද්ධිය විස්තර කළාය. ඒ ඇසූ සංස්කාරකවරයා ඒ ගැන “ගාන්ධිනගර්” රෝහලේ බලධරීන්ගෙන් විමසා වහාම ප්‍රවෘත්තියක් ලියන ලෙස මාධ්‍යවේදියකුට උපදෙස් දුන්නේය.
මාධ්‍යවේදියා ඒ පිළිබඳ රෝහල් බලධාරීන්ගෙන් විමසීමේදී “ඒ දිනවල ගාන්ධිනගර් රෝහලේ කිසිම ආසාදිතයකු මියගොස් නැති බවත්, ඒ දිනයේදී සමස්ත ගුජරාටි ප්‍රාන්තයෙන්ම මියගොස් ඇත්තේ නවදෙනකු පමණක් බවත් රෝහල් කළමනාකරණය පවසා තිබේ.
කොවිඩ්-19 ආසාදිතයනට ප්‍රතිකාර කරන පළාතේ සියලුම රෝහල්වලට ගොස් මියගිය ආසාදිතයන් ප්‍රමාණය කොතෙක්ද යන්න ගැන නිවැරැදි සංඛ්‍යා දැක්වෙන සම්පූර්ණ වාර්තාවක් සකස් කරන ලෙසට සංස්කාරක “රාජේශ් පතාක්” පසු දිනම මාධ්‍යවේදීන් බණවා ඇත.
ඒ අනුව අහමදාබාද්, සූරත්, රාජ්කොට්, වදෝද්ද්‍ර, ගාන්ධිනගර්, ජම්නගර් සහ භාවනගර් රෝහල්වලින් ගත් දත්ත ඇතුළත් කර පුවත පළ කළේය. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති සංඛ්‍යාව රජය දක්වන සංඛ්‍යවට වඩා ඒ අනුව හත් අට ගුණයකින් වැඩිබවද එම පුවතින් අනාවරණ කෙරිණි.
“අපි ළඟ ඒ රෝහල්වලින් ගත්ත දත්ත තියෙනවා. මියගිය සංඛ්‍යාවත්, රජය පෙන්වන සංඛ්‍යාවත් එකිනෙකට පරස්පර විරෝධියි. ඒත් රජය අපේ ප්‍රවෘත්තිය වැරැදියි කියල මේ වනතුරු කිසිම ප්‍රකාශයක් කළේ නෑ “සංදේශ්” පුවත්පතේ ප්‍රධාන සංස්කාරක “රාජේශ් පතාක්” කීවේය.
ඉන්දියාව වසාගෙන පැතිරෙන “බී.1.617 වෛරසය” කොවිඩ්-19 මෙතෙක් හමුවූ වෛරස අතරින් ඉතා දරුණුම වෛරසය පමණක් නොව, එය මෙතෙක් මිහිතලය මත හමු වූ ඉතාම භයානක වෛරසය බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම පුවත හුවාදක්වන “රොයිටර්” සේවය පවසන්නේ පසුගිය වසරේ (2020) ඉන්දියාවෙන් වෛරසය හමුවූ බවය.
මීට පෙර පළමු වතාවට බි්‍රතාන්‍යයෙන්, දකුණු අප්‍රිකාවෙන් සහ බ්‍රසීලයෙන් හමුවූ කොවිඩ් වෛරස හා මේ වෛරසය සමාන බවක් පෙනුනත් මාරාන්තිකත්වයෙන් ඒ සියල්ල අභිබවා ඇදහිය නොහැකි අන්දමට ව්‍යාප්ත වන බව පරීක්‍ෂණවලින් තහවුරු වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්‍ෂණ අංශයේ ප්‍රධානි “මාරියා කර්ක්හෝව්” රොයිටර් පුවත් සේවය සමග පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කළාය.
ඇය වැඩිදුරටත් මෙසේද කීවාය.
ඉන්දියාව ලෝකයේ දෙවැනි ජනාකීර්ණ රටයි. එහි මරණ අනුපාතයත් ආසාධිත සංඛ්‍යාවත් පසුගිය සඳුදා (10) වන විට අදහාගත නොහැකි අන්දමට වර්ධනය වන බව පැහැදිලියි. අප රට වසාදමන හැටියට මෝදිට උපදෙස් දුන්නා.
මේ වෛරසය ප්‍රථම වතාවට ඉන්දියාවෙන් හඳුනා ගැනුණේ පසුගිය වර්ෂයේ (2020) දෙසැම්බර් මාසයේ. එහෙත් එවැනි වෛරසක් ඇති බවට මූලික ලක්‍ෂණ පහළ වූයේ ඒ වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිටයි. අප මේ සම්බන්ධයෙන් අනාවරණ කළ විට වෙනත් රටවල් සහ ජාතීන් ඉන්දියාව සමග සංචරණ සම්බන්ධතා අත් හිටෙව්වා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විශේෂඥවරිය වන සෞම්‍යා ස්වාමිනාදන් පැවසුවේ වෛරසයේ අධිවේගී ව්‍යාප්තිය සහ ප්‍රතිදේහකාරක පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වෙන බවයි.
වෛරසය බොහෝදුරට නිරීක්‍ෂණය තරගත හැකි වූ බවත්, එන්නත්කිරීම්වලින් පෘථුල ප්‍රතිපල අත්කරගත හැකි බවත් එමගින් තහවුරු වූ බවත් මේ සඳහා වෙනත් එන්නතක් සෙයාගැනීම අනවශ්‍ය බවත් මේ එන්නතම යෝග්‍ය බවත් ඇය ප්‍රකාශ කළාය.
අපි ඉන්දියාවට උදව්කිරීම සඳහා “භාරතය සමග අත්වැල් බඳිමු” යන තේමාව යටතේ වැඩසටහනක් ආරම්භ කළා. අපි එමගින් අපේක්‍ෂා කරන්නේ ඉන්දියාවේ සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය “ඔක්සිජන්, ඖෂධීය සහ සෞඛ්‍ය ආරක්‍ෂිත උපකරණ සැපයීම වෙනුවෙන් අරමුදක් රැස්කිරීමයි. මේ සඳහා ආධාර කරන ලෙසට ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටිනවා” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩ්හැනම් ග්‍රේබි්‍රයේසුස් කීවේය.
ඉන්දියාවේ “මධ්‍ය ප්‍රදේශ්” ප්‍රාන්තයේ සංස්කෘතික අමාත්‍යවරියවන ඌෂා ටාකූර් සිදුකර ඇති ප්‍රකාශයක් මේ වන විට ලෝක මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනයක් මවා තිබෙනවා. ගවයන්ගේ අසූචි හෙවත් ගොම සහ ගව මූත්‍රා යොදාගෙන කොවිඩ් 19 වසංගතය පාලනය කළ හැකි බවටයි ඇය පවසා ඇත්තේ.

ඇය වැඩිදුරටත් ජනතාව වෙත උපදෙස් දී ඇත්තේ නිවෙස තුළ ගොම පිළිස්සීමෙන් හටගන්නා දුම මගින් කොවිඩ් 19 වෛරසය තුරන්වන බවටයි. එක් වරක් ගොම පිළිස්සූ පසු නිවස පැය 12ක කාලයකට පිරිසිදු තත්ත්වයට පත්වන බව ඇයි ප්‍රකාශ කොට තිබෙනවා. ඇය පෙන්වා දෙන්නේ පැරණි ඉන්දීය වේද ග්‍රන්ථ තුළ මෙවන් පිළිවෙත් පවතින බවයි.
මධ්‍ය ප්‍රදේශ් සංස්කෘතික අමාත්‍යවරිය පමණක් නොව, “උත්තර් ප්‍රදේශ්” ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු ද වන සුරේන්ද්‍ර සිං පවසන්නේ ගව මූත්‍රවලට කොවිඩ් 19 වෛරසය මර්දනය කළ හැකි බවයි.
ඔහු එම ප්‍රකාශය වීඩියෝවක් මගින් සමාජ ජාල වෙතද එක් කර තිබෙන අතර එම වීඩියෝවෙහි ඔහු මෙලෙස පවසනවා.
“ඔබ සෑම උදෑසනම ගව මූත්‍ර මිලිලීටර 50ක් හිස්බඩ පානය කරමින් දිනකට 10 වරක් කහ අනුභව කළහොත්, කොරෝනා තුරන් වී යන බවට ඒකාන්තයි”
ඌෂා ටාකූර් සහ සුරේන්ද්‍ර සිං යන දෙදෙනාම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයින් වීම විශේෂත්වයක්. වසංගත තත්ත්වය හමුවේ භාරතීය ජනතා පක්ෂ පාලනය, ගත යුතු නිසි පියවර නොගැනීමෙන් ඉන්දියාව තුළ මෙතරම් විනාශයක් සිදුව ඇති බවටයි එරට ජනතාව මෙන්ම විදෙස් විචාරකයින් ද චෝදනා කරන්නේ.
ඉන්දියාවේ හින්දු බහුතරය තුළ ගවයා යනු ශුද්ධ වූ සංස්කෘතික සංකේතයක්වන අතර ගව මූත්‍ර පානය කිරීමට පවා ඇතැම් නූගත් සාම්ප්‍රදායික ඉන්දියානුවන් අතීතයේ සිටම පෙළඹී තිබෙනවා. එහෙත් වර්තමානයවන විට එවැනි සාම්ප්‍රදායික පිළිවෙත් සමාජයෙන් ටිකෙන් ටික තුරන් වුවත්, කොවිඩ් 19 වසංගතය ඉන්දියාව තුළ දරුණු ලෙස පැතිරීමත් සමග ග්‍රාමීය පළාත් තුළ ගව මූත්‍ර පානය කිරීම වැනි පිළිවෙත් යළි හිස ඔසවා ඇති බව වාර්තා වෙනවා. කොවිඩ් 19 වෛරසයෙන් බේරීමේ උපක්‍රමයක් ලෙස ගැමි ජනතාව මෙවන් පිළිවෙත් අනුගමනය කරන බවයි පුවත් වාර්තා සඳහන් කරන්නේ.
ඇතැම් පිරිස් කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිකාරයක් ලෙස ගොම සහ ගව මූත්‍රා එක්කොට සාදාගන්නා ද්‍රාවණයෙන් ස්නානය කරන බව ද වාර්තා වෙනවා. “ගුජරාට්” ප්‍රාන්තයේ එක්තරා ගම්මානයකින් වාර්තාවන තවත් පුවතක දැක්වෙන්නේ ගැමියන් ගව මූත්‍රා ස්නානය කොට එය වියැලෙන්නට හැරීමෙන් අනතුරුව එළ කිරි ස්නානය කර ඇති බවයි.
මේ පැතිරෙන විනාශය නවත්වන්නට වැට නොබැන්දොත් ඉදිරි තුන් මාසය තුළ මියයන සංඛ්‍යාව දස ලක්‍ෂය ඉක්මවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තියෙනවා.
“ඉතිහාසය යනු නැවත නැවත සිදුවෙන දේ” යැයි කෙනකු අර්ථකථනය කර තිබේ. එසේ නම් මේ සිදුවන්නේ එදා විශාලා මහනුවර සිදුවූ සිද්ධි දාමයම ද? ඒ සිද්ධි දාමය වීදාගම මහ නාහිමියෝ එදා බුදුගුණ අලංකාරය රචනා කරන කල්හි මෙසේ දැක්වූවෝය.
මුත වරල ඉස ඉස – හෙන කඳුළැලිය ඇස ඇස
සාගිනිය කුස කුස – කියන දුකුලවුම විය බස බස
දිය අගල ගැඹු රූ – මහා පවුරින් ඇති රූ
මළ මිනියෙන් පිරූ – වටා කළ වැනි අමුතු පවුරූ
දඹදිව තල අවට -උවදුරුතාක් එක්කොට
නො හැර ගෙන එකවිට – අවුත් මරු බට වැන්න එපුරට
ගොඩ ගොඩ ඇට සැකිලි – තැන තැන තැබූ බලි බිලි
මග මඟ රෙදි වැරලි – එපුර හැම තැන බලත් පිළිකුලි
දොර දොර මිනී බෙර – ගෙය ගෙය හඬය බියකර
පිල පිල අදින මර – දුගී ගිලනුන්ගෙන් නැතවසර
චන්ද්‍රසේන මාරසිංහ











