• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇතුළට එන්නෙ කව්ද-ඇතුළෙ කරන්නෙ මොනවද? පෝට්සිටිය වෙනම රටක්ද?

May 4, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
‘හොංකොං’-‘මැකාවු’ ගිල්ලා වගේ වගේ පෝට්සිටියත් චීන රතුමකරා ගිලගනීද?
Share on WhatsAppShare on Facebook

අහස් කුස තම අණසකට ගත් අනේක විදියේ කුරුල්ලන් මේ අපූරු බිම්කඩ උඩින් පියාසර කරන්නේ මනහර දසුනක් මවමිනි. ගොඩබිම කුරුල්ලන් මෙන්ම, ජලජ කුරුල්ලන්ද එම කුරුලු රංචුවලට අයත් වෙති. නිල්වන් අහසත්, නිල්වන් සාගරයත් මේ දසුනේ තව තවත් උද්දීපනයට පත්කරයි. මෙයට කලකට පෙර එහි තිබුණු නිල්වන් සාගරය දක්නට නැතැයි කුරුල්ලන්ට සිතෙයි. උන්ට නිල්වන් සාගරය වෙනුවට දැන් පෙනෙන්නේ තඹවන් පැහැති විශාල වූ බිම්කඩකි. මේ අපූරු ‘තම්බපණ්ණිය’ කොතැනක සිට මෙතැනට ආවේ දැයිද කුරුල්ලන් සිතන්නට ගනියි. සැබෑ තම්බපණ්ණිය ඇත්තේ විල්පත්තු මහ කැලෑවේ සාගරයට ආසන්නවය. එසේ නම් කොළොම්පුරයට තවත් තම්බපණ්ණියක් ලැබුණේ කෙසේද? ගාලුමුවදොර නිල්වන් සාගරයේ විශාල තීරුවක් දූරිම්භූත කරමින් මතුවුණු මෙම ‘අපේ කාලයේ තම්බපණ්ණිය’ කුමක්ද? ‘කොළඹ වරාය නගරය’ තමයි මේ ‘අපේ කාලයේ තම්බපණ්ණිය. එසේත් නැතිනම් අප රටේ හුදීජනයා අද හොඳින් හඳුනන ‘පෝට් සිටි’ය තමයි මේ සුවිශේෂී බිම්කඩ. ‘කොළඹ වරාය නගරය’ හෝ ‘පෝට් සිටි’ යැයි මිනිසුන් වදන් තෙපලුවත් එහි මෙතෙක් දක්නට ඇති නගරයක් නැත. එහෙත් මේ බිම්කඩ මිනිසාගේ දෙඅතින්ම නිර්මාණය කර ඇත්තේ හෙට අනිද්දාම එහි මහා නගරයක් ගොඩනඟන්නටය. පසුගිය කාලයක් පුරාම මහා සාගරයේ පතුලේ වැලි කඳු ගොඩට ඇද දමමින් මෙම බිම්කඩ ලක, ලැහැස්ති කෙරුණේ, එතැන මහා නගරයකට ඉඩකඩ සලසන්නටය. අද එම තඹවන් වැලි තලාව මත යහන්ගත වන්නට එන්නේ සියලු සැප සම්පතින් ආඪ්‍ය වූ නවතම සුපිරි නගරයකි.

කොළඹ වරාය නගරය හෝ ‘පෝට් සිටි’ යැයි අමතන මෙම ස්ථානය තවත් ස්ථාවර නමකින් හඳුන්වන්නේ ‘කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය’ ලෙසිනි. මෙය අපගේ ගාලුමුවදොරින් හෙට අනිද්දාම පැනනඟින සුපිරි රාජ්‍යයයි. වර්ග කිලෝමීටර් 2.69ක, ‘තම්බපණ්ණිය’ මත මෙම අපූරු ජාත්‍යන්තර නව නගරය ගොඩනැඟෙනු ඇතිය. අද මෙරට විවිධ පාර්ශ්ව විසින් මෙම මහා ව්‍යාපෘතිය විවිධ ආකාරයෙන් අර්ථකථනය කරනු ලබයි. එනම් ඔවුහු එය යහපත් ආකාරයෙන් මෙන්ම අයහපත් ආකාරයෙන්ද අර්ථකථනය කරනු ලබති. මෙම තත්ත්වය කලින් කලට අපට අත්දකින්නට වූ අතර, මෙයට දින කිහිපයකට උඩදීද එම තත්ත්වය උද්ගත වූයේය. එය අපගේ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම දිවගිය හබයක් බවටද පත්වූයේ ඒ හෙයිනි. මෙයට වසර 06කට ඉහතදී එනම් 2014 වසරේදී සිටම මේ ආකාරයේ විවිධ අර්බුදයන් පැනනැග්ගේය. එහෙත් පසුගිය කාලයේ එම හබයන් සියල්ලම කාලීනව, ඉතා සාවධානව විසඳී ගියේය. මෙවර පැනනැඟී ඇති හබයද මෙතෙක් විසඳී නැතත්, එය යම් යහපත් විසඳුම් මාර්ගයකට යනු ඇතැයි මේ වන විට විශ්වාස කෙරෙයි. මේ වන විට ගතවන්නේ එම සංක්‍රාන්ති සමයයි. එය දෙස අප නෙත් යොමා සිටිමු.

එම කතාන්දරය අප මඳක් පසෙකට තබා මෙම කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරයේ ක්‍රියාවලිය දෙස අවධානය යොමු කරමු. මෙම වරාය නගරයේ ආරම්භය මුලින්ම සිදුකෙරුණේ 2014 වසරේදීය. මෙම ව්‍යාපෘතිය ගැන සැලසුම් වසර කිහිපයක සිට තිබුණද එහි නිල සමාරම්භක උත්සවය පැවැත්වුණේ 2014 වසරේදී වන අතර, එහි ඉදිකිරීම් කටයුතුද එදින සිටම ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතියේ නිල උත්සවය පවත්වන ලද්දේ චීනයේ වත්මන් ජනාධිපති වන ෂී ජින් පින් මහතාගේ සහ ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. වරාය නගරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සිදුකරන්නේ චීන රජයේ මෙහෙයවීම යටතේ වන අතර, ශ්‍රී ලාංකික රාජ්‍ය අංශ කිහිපයක්ම එයට දායක වෙයි. 2014 වසරේ ඇරැඹි මෙම සුවිශාල ව්‍යාපෘතියේ මූලික කාර්යභාරය වූයේ, ගාලුමුවදොර එක් පැත්තකට වන්නට සාගරය ගොඩකර නගරය සඳහා අවශ්‍ය වන ගොඩබිම සකස් කිරීමයි. ඒ සඳහා 2014 සිට 2017 දක්වා වසර 03ක කාලයක් සැලසුම් කර තිබිණි.

කෙසේ හෝ සාගරය ගොඩකර, ගොඩකිරීම ආරම්භ කෙරුණු අතර, එම කටයුතු 2017 වසර වන විටදී නිම කෙරිණි. මේ අනුව හෙක්ටයාර 269ක (අක්කර 660ක්) ප්‍රමාණයක සාගරය ගොඩකිරීම සිදුකරන ලදී. 99 අවුරුදු බදු ක්‍රමය යටතේ මෙම භූමිය ශ්‍රී ලංකා රජය විසින් චීනය වෙත ලබා දී ඇත. මෙම සුවිශාල ජාත්‍යන්තර නගර ව්‍යාපෘති සඳහා වැය වන සම්පූර්ණ මුදල වන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් වන අතර, ඉදිරියේදී එම මුදලද ඉක්මවා යනු ඇත. මෙම නගර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිම කිරීමට බලාපොරොත්තු වන්නේ 2041 වසරේදී වන අතර, එනම් තවත් වසර 20ක් එයට ගතවනු ඇතිය. වර්ග කිලෝමීටර් 2.69ක භූමි භාගයක් තුළදී නගරය සඳහා අවශ්‍ය ගොඩනැඟිලි සහ අනෙකුත් පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇතිය. 2014 වසරේදී වරාය නගරයේ කටයුතු ආරම්භ කළද, 2015 වසරේදී රාජපක්‍ෂ රජය පරාජයට පත්වීමෙන් පසුව මෙම ව්‍යාපෘතියේ කටයුතු නතර කරන ලදී. එහෙත් පසුව යහපාලන රජය බලයට පත්වී ටික කාලයකට පසුව නැවැත ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කළේය.

වරාය නගර ව්‍යාපෘතියේ එම සැලැසුම් කටයුතු ගැන ඔබට යමක් ලියා තැබුවේ යම් ආවර්ජනයක් සඳහාය. එය දීර්ඝව ලියා නොතබන අතර, දැන් අප සොයා බැලිය යුත්තේ මෙම සුවිශේෂී නගර ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතියෙහි වගතුගයි. දැනට නගර භූමිය සම්පූර්ණයෙන්ම සකස් කර ඇති මෙම ‘පෝට් සිටි’ බිම්කඩ මතට අනේක විදියේ සුපිරි ගොඩනැඟිලි සහ අනෙකුත් පහසුකම් ඇති විය යුතුය. ඒ සඳහා මෙම කාලය තුළදී ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් විදේශ පාර්ශ්වයන් විසින් විශේෂ වැඩපිළිවෙළක් දියත්කර ඇත. මේ වන විට මේ සඳහා විශේෂිතව වෙන්වුණු අංගසම්පූර්ණ ආයෝජන කාර්යාලයක්ද ‘පෝට් සිටි’ බිම්කඩ මතදීම පිහිටුවා තිබෙයි. ඒ අනුව දැනට විවිධ විදෙස් ධනවත් ආයෝජකයන් කිහිප දෙනෙකුම මෙම නගරය තුළ ආයෝජනයන් කිරීමට කැමැත්ත පළකර ඇත. ඒ අතරට ශ්‍රී ලංකාව තුළ සිටින ආයෝජකයන්ද මෙහි තමන්ගේ සුවිශාල ආයෝජනයන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙවැනි ආයෝජනයන් වරාය නගරය තුළදී ආරම්භ වූ පසුව විවිධ රැකියා අවස්ථා 85,000ක් පමණ උත්පාදනය වීමද සිදුවන බැව් පැවසෙයි. මෙහිදී ශ්‍රී ලාංකිකයන්ද විශාල ප්‍රමාණයකට එම රැකියා අපේක්‍ෂා හිමිවනු ඇතිය.

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය නොහොත් ‘පෝට් සිටි’ යන්න ආසියාවේ අතිශය සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මහා ව්‍යාපෘතියකි. දැනට මෙම ව්‍යාපෘතියෙහි නිම කෙරී ඇති කටයුතු පවා මේ වන විට ජාත්‍යන්තර ඇගැයීමට ලක්වී තිබෙයි. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මගින් 2020 වසරේ දෙසැම්බර් මාසයේදී නිකුත් කරන ලද විශේෂ වාර්තාවට අනුව මෙම කරුණු එළිදැක්වී ඇත. පරිසරය වැඩිදියුණු කරමින්, පරිසර දූෂණය අවම කරමින් හා සම්පත් ආරක්‍ෂා කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට වරාය නගර ව්‍යාපෘතිය ජාත්‍යන්තර සම්මානයටද ලක්ව තිබෙයි. ඒ අනුව දැනට වරාය නගරය ඉදිකිරීම සඳහා සම්පූර්ණයෙන් සකස්කර අවසන් කර ඇති බිම්කඩ මෙලෙස සම්මානයට පාත්‍රව ඇත.

– භූමි නිර්මාණ වාස්තු විශේෂඥයන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විශේෂ ගෞරව සම්මානයට පාත්‍රවීම.
– සිංගප්පූරුවේ භූමි නිර්මාණ වාස්තුවේදීන්ගේ ආයතනය- කරන ලද සිංගප්පූරු වාස්තුවේදී සම්මාන උළෙලේදී රිදී සම්මානයට පාත්‍ර වීම.
– යූආන් යේ නාගරික වාස්තු නිර්මාණ සම්මාන උළෙලේදී රිදී සම්මානයට පාත්‍රවීම.

මේ ආකාරයට ‘අපේ කාලයේ තම්බපණ්ණිය’ට හිමිවී ඇති ගරුබුහුමන් බොහෝය. කෙසේ හෝ ඒ අනුව මෙය පරිසරහිතකාමී ව්‍යාපෘතියක් ලෙස පිළිගෙන ඇත. එසේම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු, එක්ව ගනුදෙනු කිරීම, එක්ව ඉදිකිරීම සහ එක්ව බෙදාහදා ගැනීම යන මූලධර්ම මත පදනම් වූ ව්‍යාපෘතියක් ලෙස මෙම වාර්තාව යටතේ සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ ජනතාව සමග එක්වී පොදු සංවර්ධනය වෙනුවෙන් උනන්දු වන, උද්‍යොගිමත් පන්නරය ලබන, එසේම වගකීම්සහගත ප්‍රජාවක් නිර්මාණය කිරීමද මෙම ව්‍යාපෘතියේ ඉලක්කය යැයි එම වාර්තාව මගින් පෙන්වා දී ඇත. කොළඹ වරාය නගරය දකුණු ආසියානු කලාපයේ බිහිවන ජාත්‍යන්තර තලයේ නගරයක් බවටත්, එසේම ඉහළම තලයේ මූල්‍ය සහ ආර්ථික මධ්‍යස්ථානයක් බවටත් පත්කිරීම ඔවුනගේ ඉලක්කය වෙයි.

කෙසේ හෝ තවත් වසර කිහිපයකින් මෙම තම්බපණ්ණි බිම්කඩ සුවිශාල සුපිරි මන්දිර අහස උසට නැඟෙනු ඇතිය. මනසින් සහ දෙනෙතින් ගණන් කරන්නට බැරි තරමේ මහල් පිට මහල් ඇති එම මන්දිර වශීකෘත සුන්දරත්වයක් ඇති කරනු ඇතිය. සාප්පු සංකීර්ණ, හෝටල් සංකීර්ණ, නිවාස සංකීර්ණ, මූල්‍යමය ආයතන, රෝහල්, උසස් අධ්‍යාපනික ආයතන, විලාසිතා සහ රූපලාවන්‍ය මධ්‍යස්ථාන, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ ක්‍රීඩා ශාලා, ජාත්‍යන්තර කාර්යාල සංකීර්ණ, ක්‍රීඩා සංකීර්ණ, එළිමහන් විනෝද උද්‍යාන, ජලජ ක්‍රීඩා උද්‍යාන, පොලිසි සහ ආරක්‍ෂක මධ්‍යස්ථාන ආදී නොයෙකුත් පහසුකම් රැසකින් මෙම මහා නගරය ආඪ්‍ය වනු ඇතිය. කෙසේ හෝ මෙම සමස්ත නගරය කලාප 5කින්ද සමන්විත වනු ඇතිය. මූල්‍ය දිස්ත්‍රික්කය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, දූපත් දිවිය සහ සැහැල්ලු යාත්‍රාංගණය වශයෙන් එම කලාප නම්කර ඇත. වරාය නගරයේ මුළු හෙක්ටයාර 269ක භූමි ප්‍රදේශයක් තුළ මේ පහසුකම් සියල්ල ගොඩනැඟෙනු ඇතිය.

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය නොහොත් ‘පෝට් සිටි’ ගැන පසුගියදා උද්ගතවූ අර්බුදය ගැනද මෙහිදී යමක් සඳහන් කළ යුතුය. එයනම් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතයි. ශ්‍රී ලංකාව තුළ මෙම පනතට එරෙහිව පාර්ශ්ව කිහිපයක් හඬ නැඟූ අතර, ඔවුන්ගේ සමහර චෝදනාවන්ගෙන් කියැවුණේ ඉදිරියේදී වරාය නගරය යනු චීනය විසින් පාලනය කරනු ලබන ප්‍රාන්තයක් බවට පත්වනු ඇති බැව්ය. ශ්‍රී ලංකාවේ නීතියට පිටින් ක්‍රියාත්මක වන බදු සහන ලබා දෙමින් ‘කළු සල්ලි’ සංසරණය වන ස්ථානයක් වනු ඇතැයිද මෙම චෝදනාවලින් ප්‍රධාන වශයෙන් කියැවිණි. කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්‍ෂේප කරන රාජ්‍ය පාර්ශ්ව පවසා සිටින්නේ කොළඹ වරාය නගරය චීනය විසින් පාලනය කරනු ලබන ප්‍රාන්තයක් බවට පත්වනු ඇතැයි කියන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බැව්ය. වරාය නගර කොමිෂන් සභාව පිහිටුවන්නේ දෙස්, විදෙස් ආයෝජකයන්ගේ පහසුව සඳහා සියලු රාජ්‍ය ආයතන එක් ස්ථානයකින් සාර්ථකව සම්බන්ධීකරණය සඳහා යැයි රජය කරුණු අවධාරණය කර ඇත.

මෙම ජාත්‍යන්තර මූල්‍ය නගරයට පිවිසෙන සියලු විදේශිකයන්ට වීසා බලපත්‍ර ලබා දීම, බැංකු බලපත්‍ර ලබා දීම ඇතුළු අනෙකුත් සේවා අදාළ ශ්‍රී ලංකා රජයේ ආයතන විසින් මෙරට නීතියට අනුව ක්‍රියාත්මක කරන බැව් රජය ප්‍රකාශ කර ඇත. මෙම වරාය නගරය තුළදී ඉදිරියේදී විවිධ බදු සහන ලබා දීමටද රජය බලාපොරොත්තු වන අතර, එම බලය වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට ලබා දීමට බලාපොරොත්තු වන්නේ නව පනත මගිනි. දේශීය ආදායම් බදු, වැට් බදු, සුරාබදු, රේගු බදු, ඔට්ටු සහ සූදු බදු, විනිමය බදු, ව්‍යාපාර නියාමන බදු ආදී විවිධ බදුවලින් යම් සහන ලබා දීමට රජය බලාපොරොත්තු වෙයි. එමගින් දෙස්, විදෙස් ආයෝජකයන් විවිධ ආයෝජන සඳහා උනන්දු කරවීම සිදුකරනු ලබයි. මෙම ව්‍යාපෘතිය චීනය ප්‍රධාන කරගත් එකක් බැවින්, වරාය නගරය තුළ භාවිත කළ හැක්කේ චීන මූල්‍ය වර්ගය වන ‘යූආන්’ පමණක් බවට මතයක් ඇති වී තිබෙයි. එහෙත් එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර, මෙම නගරය තුළදී ලෝකය පිළිගත් ඕනෑම මුදල් ඒකකයක් භාවිත කළ හැකි බැව් රාජ්‍ය පාර්ශ්ව ප්‍රකාශ කර සිටියි.

ශ්‍රී ලංකා රුපියල් හෝ ඉන්දීය රුපියල් පමණක් නොව ඩොලර්, පවුම්, යුරෝ, යෙන්, ඩිනාර්, රූබල් සහ තවත් පිළිගත් මූල්‍ය ඒකක මෙහිදී භාවිත කළ හැකිය. ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකුට මෙම නගරයට ඇතුළු වීමේ අවසරය ඇත. එසේම වරාය නගරය තුළදී ලාංකිකයන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සහ අනෙකුත් සේවා ලබා ගැනීමටද කිසිදු තහනමක් නැත. එහෙත් මෙම මිලදී ගන්නා භාණ්ඩ ආදියට යම් තීරුබදු හෝ වෙනත් අදාළ බදු ගෙවීමට සිදුවනු ඇත. වරාය නගරය අයත් ආර්ථික කොමිෂන් සභා බල ප්‍රදේශය තුළදී ඇතිවන ආරවුල් විසඳාගත යුත්තේ ජාත්‍යන්තර බේරුම්කරණයක් තුළිනි. නිදසුනක් ලෙස ලංකා තෙල් සංස්ථාව හා ජාත්‍යන්තර සිටි බැංකුව සමග ඇතිකර ගත් ‘හේජින් ගිවිසුම’ පිළිබඳ ආරවුල සිංගප්පූරු බේරුම්කරණ මණ්ඩලයකට යොමු විය. එය රාජ්‍යයන් අතර ආරවුල් විසඳා ගැනීමට ක්‍රමයකි. එසේ වුවත් වරාය නගරය තුළ නීතිය බලාත්මක කරන්නේ ශ්‍රී ලංකා පොලිසය මගිනි. එසේම පොලිසියට අදාළ වූ නඩු කටයුතු ශ්‍රී ලංකා අධිකරණය තුළ විභාග කෙරෙයි.

චීන රජයේ පූර්ණ පාලනය යටතේ පවත්වාගෙන යන රාජ්‍යයන් දෙකක් මේ වන විට ලෝකයෙහි පිහිටා ඇත. එම දේශයන් දෙක නම් ‘හොන්ග් කොන්ග්’ සහ ‘මැකාවෝ’ වෙයි. මෙම රාජ්‍යයන් දෙක වෙනම පරිපාලනයකට යටත්ව පාලනය වන අතර, චීනයේ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විධායක පරිපාලකයන් දෙදෙනෙක් එහි වෙති. හොන්ග්කොන්ග් යනු වර්ග කිලෝමීටර් 1,110ක භූමියකින් යුත් රටක් වන අතර, මැකාවෝ යනු වර්ග කිලෝමීටර් 115ක ප්‍රමාණයකින් යුක්ත ඉතාමත් කුඩා රාජ්‍යයකි. ඒ අනුව බලන විට කොළඹ වරාය නගරය යනු වර්ග කිලෝමීටර් 2.69ක ඉතාමත් කුඩා ප්‍රදේශයක් වෙයි. එනම් මෙය වෙනම රාජ්‍යයක් ලෙස හෝ පාලනය කිරීමට තරම් විශාලත්වයකින් යුක්ත නොවෙයි. එය සැබෑ ලෙසම දිස්වන්නේ නගරයක් ලෙසින් පමණි. කෙසේ හෝ මෙම බිම්කඩ තවත් වසර කිහිපයකින් අතිශය, රමණීය, තේජවන්ත වූ තැනක් බවට පත්වනු නියතය. එය සැබෑ ලෙසම අතිශය සුපිරි නගරයක් බවට පත්වනු ඇතිය. සමහර ඇත්තන් කියන යකා එතරම් කළු නැත. එය හුඹස් බියක් පමණි.

අපේ කාලයේ රන්බිම, කොළඹ වරාය නගරයද?

පර්චසයක් ලක්ෂ 130යි

කොළඹ වරාය නගරයෙන් නොහොත් ‘පෝට් සිටි’යෙන් ඇසෙන මෙම කතාවද අතිශය අපූරු එකකි. එනම් මෙම සුවිශේෂී බිම්කඩෙහි ඉඩම්වල විකුණුම් මිල කුමක්ද? ශ්‍රී ලංකාවේ සෑම තැනකම දැන් ඉඩම් මිල අහස උසට නැඟ තිබෙන විටදී මෙම ජාත්‍යන්තර බිම්කඩේ පර්චසයක මිල කොපමණ වෙයිද? මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ මුල් සමයේදී මෙහි ගොඩකරන ලද හෙක්ටයාර 269ක් නොහොත් අක්කර 660ක බිම්කඩෙහි පර්චසයක මිල ශ්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 80කට පමණ තක්සේරු කෙරිණි. එහෙත් පසුව කාලය ගෙවීයත්ම දේපොළ වටිනාකම ඉහළ යන විටදී දැන් මෙහි පර්චසයක මිල රුපියල් ලක්‍ෂ 130ක් පමණ වනු ඇතැයි වරාය නගර ව්‍යාපෘති ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ වුවද එහි සිදුකරන ආයෝජනයේ ස්වරූපය අනුව ඉඩම් මිල වෙනස් වීම්ද සිදුවනු ඇතිය. දැනට අර්බුදයකට ලක්වී ඇති වරාය නගර කොමිෂන් සභා පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ විට මෙහි ප්‍රථම ආයෝජනය චීනයේ සුවිශාල බැංකුවක් විසින් සිදුකරනු ඇතිය. කෙසේ හෝ අනෙක් අපූරු වගතුග වන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම ඉඩම් මිල ඇත්තේ කොළඹ-07 වීමය. මෙහි පර්චසයක් දැනට රුපියල් කෝටි 2කි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

දඹුලු ආර්ථිකය හෙට සිට ඇරෙයි

Next Post

ජොනීට විපක්ෂනායකයන්ගේ ස්තූතිය!

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.