ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තියෙන උත්තරීතරම ආයතනයක් තමයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කියලා කියන්නේ. පාර්ලිමේන්තුවේ කාර්යභාරය වෙන්නේ නීති හදන එක. ඒ කියන්නේ රට කරන්න අවශ්‍ය කරන නීති සියල්ලම සම්පාදනය කරන්නේ මෙන්න මේ උත්තරීතර ආයතනයෙන්. ඒ නිසාම මේ උත්තරීතර ආයතනයේ ඉන්නා උදවිය, ඒ ආයතනයේ වැඩ කටයුතු කරන උදවිය සියලු දෙනාම උත්තරීතර අය කියලා අපි විශ්වාස කරනවා. එතකොට මෙතනට පත් කරලා යවන අය උත්තරීතර වෙනකොට එතන වෙන වැඩකටයුතුත් ඉතාම උත්තරීතර බවට පත් වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උත්තරීතර බවට හානි නොවෙනා ආකාරයෙන් ප්‍රශ්න කරන එක, ප්‍රශ්නවලට උත්තර දෙන එක, තම තමන්ව හදුන්වා දෙන එක වගේම තමන්ගේ සුදුසුකම් සපුරා ගන්න එකත් මේ උත්තරීතර ආයතනයට පත්වෙලා එන උත්තරීතර පුද්ගලයින්ගේ වැඩක්.
හැබැයි එහෙම උත්තරීතර තැනක් ගැන මේ වගේ ලිපියක් ලියන්න අවශ්‍ය වෙනවද කියන එක ගැනත් එක විදිහකට අපිට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වුණාට මේ උත්තරීතර තැනට උත්තරීතර පුද්ගලයෙක් පත් වෙලා යන්නේ ඔබේත් අපේත් උත්තරීතර ඡන්ද බලයෙන් නිසා අපිට කාටවත් වෙන කෙනෙක්ට ඇගිල්ල දික් කරන්න අයිතියකුත් නෑ. ඒකට හේතුව වෙන්නේ මේ බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන නීත්‍යනුකූල මැතිවරණයක නීත්‍යනුකූල ඡන්ද ප්‍රතිඵලයකින් නීත්‍යනුකූල මනාප ප්‍රතිශතයක් ලබාගෙන තේරී පත්වුණු අය.
මේ වර්ග කිලෝමීටර් හැටපන්දහස් හයසිය දහය ඇතුළේ ඉන්න කෝටි දෙකක ජනගහනය තමන්ව නියෝජනය කරන්න පත් කරගත්තු දෙසිය විසිපස්දෙනා ගැනයි අපි මේ කතා කරන්නේ. මේ දෙසිය විසිපස් දෙනාගෙනුත් එකසිය අනූහයදෙනෙක් විතරයි අපිට අපේ මනාපයෙන් පත් කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක ඒ තරම් ලොකු වැඩක් නෙමෙයි. කෝටි දෙකකට දෙසීයකටත් අඩු ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පත් කරලා යවන්න සිද්ධ වුණාම ඒ පත් කරලා යවන අය ගැන හොඳට හිතලා බලලා, හොඳට හොයලා බලලා, ඒ අයගේ හොඳ නරක, අධ්‍යාපන සුදුසුකම්, වෙනත් වැරදි හරි දේවල්, හොද දේවල්, නරක දේවල් තෝරලා, බේරලා පාර්ලිමේන්තු යවන්න පුළුවන් නිසා දැන් කිසිම කෙනෙකුට අයිතියක් නෑ තවත් කෙනෙකුට චෝදනා කරන්නවත් ඇඟිල්ල දික් කරන්නවත්. ඒත් ඉතින් පහුගිය සතියේ දවසක පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච මෙන්න මේ කතාබහ ගැන අපිට කතා නොකරම ඉන්න බැරි වුණා.
එහෙම කතා කරද්දී කෙනෙකුට දෙන්නෙකුට ඇඟිල්ල දික් වෙනවනම් උතුම් වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහජනතාවනි, මතක තියාගන්න ඒ දික්වෙන එක ඇඟිල්ල ඔබ විසින් පත් කරලා යවපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට හෝ තුමියට ඉලක්ක වෙනකොට ඉතුරු ඇඟිලි හතරම හැරිලා තියෙන්නේ ඔබේ පැත්තට කියන එක. මේ ලිපිය කියෙව්වට පස්සෙවත් ඊළඟ ඡන්දෙයේදිවත් පාර්ලිමේන්තුවට පත් කරලා යවන්න ඕනේ කාවද පත් කරලා යවන්න ඕනේ නැත්තේ කාවද කියලා ඔබට තීරණය කරන්න කියලා අපි නොකියන්නේ ඒක එහෙම කරන්න තරම් ඔබ උනන්දු නෑ කියලා අපි දන්න නිසා.
කොහොම නමුත් මේ මාතෘකාව තමයි අධ්‍යාපන සුදුසුකම් කියන එක. රට කරවන තැන ඉන්න කෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් කොච්චර හොඳ වෙන්න ඕනෙද කියන එක ගැන සාමාන්‍යයෙන් සරල අදහසක් ඔබටත් අපිටත් තියෙනවා. රට කරවන්න නෙමෙයි. දැන් අද වෙනකොටනම් කාර්යාල කාර්ය සහයක තනතුරක් ගන්නත් සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ සමත් වියයුතුයි. හැබැයි මේ සාමාන්‍ය පෙළ සමත් වීම කියන සුදුසුකම මත කිසිම රැකියාවක් ලැබෙන්නේ නෑ. සාමාන්‍ය පෙළ සමත් වීම කියන එකවත් අවම වශයෙන් තියෙන්න ඕනේ අද වෙනකොට මාර්ග කම්කරු තනතුරටත් ඉල්ලුම් කරන්න. එහෙම තියෙනකොට පහුගිය සතියේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන පෙළේ මන්ත්‍රීවරු දෙදෙනෙක් අතර කතාබහක් ඇතිවෙනවා. ඒ, ඕලෙවල් සමත් සහ අසමත් වීම ගැන. මේ කතාබහ ඇතිවෙන්නේ හරීන් ප්‍රනාන්දු හිටපු ඇමතිතුමා සහ නිමල් ලන්සා රාජ්‍ය ඇමතිතුමා අතර. කතාබහ සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුවේදී. කතාබහට හේතුව වෙන්නේ පාස්කු කොමිසමට අදාළ කතාවක්.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී කියනවා කාදිනල්තුමා කියලා තියෙනවා කියලා අධ්‍යාපන සුදුසුකමක්වත් නැති ඒ කියන්නේ සාමාන්‍ය පෙළවත් සමත් නැති කිහිප දෙනෙක්ව මේ පාස්කු කොමිසම සම්බන්ධව වැඩ කටයුතුවලට පත් කරලා තියෙනවා කියලා. එහෙම ඉන්නේ කවුද කියන එක ගැන කතාබහ කරන අතරතුරේ නිමල් ලන්සා රාජ්‍ය ඇමතිතුමා සහ හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අතර බහින් බස් වීමක් සිද්ධ වෙනවා. මේක ටිකක් උද්වේගකර තත්වයට පත් වෙනවා. සමහර වෙලාවට පුද්ගලික කාරණා ගැන පවා මෙතනදී තර්ක විතර්ක කරගන්නවා. සමහරුන්ට පිස්සෙක් කියලා කියන අතරතුරේ ඒ පිස්සෙක් කියපු වචනය හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කියලත් යෝජනා වෙනවා. මේ කතාබහවල හොඳ නරක ගැන අපිට කතා කරන්න අයිතියක් නැත්තේ මම අර කලින් කිව්වා වගේම මේ දෙන්නම ජනතා නියෝජිතයෝ නිසා.
මේ අය අතරින් මේ වතාවේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ජාතික ලැයිස්තුවෙන් පත් වුණත් ගිය වතාවේ විශාල මනාප ප්‍රමාණයක් අරගෙන බදුල්ලෙන් එතුමා පාර්ලිමේන්තුවට ආවා. නිමල් ලන්සා මන්ත්‍රීතුමා ගිය වතාවේ වගේම මේ වතාවෙත් ඉතාම විශාල මනාප ප්‍රමාණයක් අරගෙන ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. එහෙම වුණාම මේගොල්ලන්ට චෝදනා කරන්න අපිට අයිතියක් නැත්තේ මේගොල්ලන්ව පත් කරලා තියෙන්නේ අපිනේ. දැන් කොහොම වෙතත් මේ කතාබහේදී එක තැනකදී කියවෙනවා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා අතින් අධ්‍යාපන සුදුසුකම් නැති අය ඉන්නවා, ඕලෙවලුත් අසමත් අය ඉන්නවා. ඒ අය මෙතනට පත් කළේ කවුද? ඒ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා කියලා.
මේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට නිමල් ලන්සා නියෝජ්‍ය ඇමතිතුමා කියනවා “එහෙම අය පාර්ලිමේන්තුවේ ඉන්න බව ඇත්ත. ඒ අය අතරින් එක්කෙනෙක් තමයි ඔය හරීන් ප්‍රනාන්දු කියලා කියන්නෙත් කියලා. එහෙම කිව්වම හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා බොහොම කෝපයට පත්වෙලා කෙළින්ම කියනවා අධ්‍යාපන සුදුසුකම නැත්තේ මට නෙමෙයි. ඒ ඕලෙවල් අසමත් කෙනා නිමල් ලන්සා නියෝජ්‍ය ඇමතිතුමා. අවශ්‍ය නම් මම මගේ ප්‍රතිඵල ලැයිස්තුව මේ පාර්ලිමේන්තුවට සභාගත කරන්න සූදානම් කියලා. පුළුවන් නම් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස තමන්ගේ ප්‍රතිඵලය නිමල් ලන්සා මන්ත්‍රීතුමාටත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා අභියෝගයකුත් කරනවා. ඒ අභියෝගය භාර ගත්තද නොගත්තද කියන එක ගැන ඒ තරම් පැහැදිලි සඳහනක් නැති වුණත් අපි මේ ගැන නිමල් ලන්සා ඇමතිතුමාගෙන් වගේම හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගෙනුත් ප්‍රශ්න කරන්න සූදානම් වුණා.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා අපි ගත්ත ඇමතුමට පිළිතුරු දුන්නා. එතුමගෙන් අපි ඇහුවා “මන්ත්‍රීතුමා ප්‍රතිඵල සභාගත කළාද?” කියලා. හැබැයි ඒ වෙනකොට මේ කතාවට වැඩි කාලයක් ගිහිල්ලා නැති නිසා වගේම අපි කතා කරන දවස වෙනකොට පාර්ලිමේන්තුවේ ඒ සඳහා අවශ්‍ය වැඩසටහනක් නිර්මාණය වෙලා තිබුණෙත් නෑ. එදා දවස පාර්ලිමේන්තුව යොදාගෙන තිබුණේ ශෝක දිනයක් විදිහට. ඒ නිසා මේ ශෝක දිනයේදී ඒ කටයුත්ත කරන්න බෑ කියලා ඔහු අපිට කිව්වා. එතකොට අපි ඇහුවා.
“ඉතින් ඔබතුමාට බැරිද ඔබතුමාගේ ප්‍රතිඵල අපිත් එක්ක කියන්න” කියලා. එතැනදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කිව්වා,
“මගේ ප්‍රතිඵල මම සභාගත කරනවා. මම ඒක අදත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මම සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළත් පාස්.” කියලා.
ඊළඟට ඔහු තව කතාවක් කිව්වා.
“මගෙන් වගේම මීට අමතරව තවත් මන්ත්‍රීන්ගෙනුත් මේ අහන්න” කියලා.
කිව්වා වගේම හරීන් බ්‍රහස්පතින්දා තමන්ගෙ උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය ෆේස්බුක් එකේ දැම්මා හැමෝටම බලාගන්න.
අපි මේ කතාවට සම්බන්ධ අනෙක් පාර්ශවය වෙච්ච නිමල් ලන්සා නියෝජ්‍ය ඇමතිතුමාව අමතන්න උත්සහ කළත් ඒක සාර්ථක වුණේ නෑ. ඒත් නිමල් ලන්සා මන්ත්‍රීතුමත් තමන්ගෙ සාමාන්‍ය පෙළ ප්‍රතිපල සභාගත කරාවි කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි මේ කියන්නෙ කෙනෙක්ට රටේ ඉහළ තාන්න මාන්න ගන්න “විභාග ප්‍රතිපල” අත්‍යාවශ්‍යයි කියලා නෙමෙයි. අධ්‍යාපන සුදුසුකම් නැති ඕනෑ තරම් උදවිය ලෝකෙ හිතා ගන්න බැරි තැන් වල ඉන්නවා. ඒත් ඉතිං සාමාන්‍ය පෙළවත් නැතිබව පාර්ලිමේන්තුවේදී නිතරම පාහේ ඔප්පු කරලා පෙන්නනවා නං, ආන්න ඒකයි මන්ත්‍රීතුමා ප්‍රශ්නෙ.
ජීවන පහන් තිළිණ










