ගල්ඔය ජාතික වනෝද්‍යානයටම මායිම් වෙලා තියෙන නිල්ගල කැලේ එහෙම නැත්නම් නිල්ගල රක්ෂිතය ගැන තමයි අද අපි කැලෑ කොලමෙන් කතා කරන්නේ. මෙය හෙක්ටයාර 26000කින් යුතු රක්ෂිත වනාන්තරයක්.
සේනානායක සමුද්‍රයට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වන ගල්ඔය ගලා යන්නේ මේ නිල්ගල රක්ෂිතය මැදින්. අතීතයේ නිල්කන්ද ලෙසින් හැඳින්වූ මෙය පසුව නිල්ගල බවට පත් වූ බව තමයි ජනප්‍රවාදයේ දැක්වෙන්නේ. පහතරට වියළි මිශ්‍ර සදාහරිත ශීත වනාන්තරයක් ලෙස නිල්ගල හඳුන්වන්න පුළුවන්. නිරිත දිග මෝසම් වර්ෂාවෙන් පෝෂණය ලබන නිල්ගල වනාන්තරය මැදින් ගල්ඔයට අමතරව පෙත්මැඩිල්ල ඔයත් ගලා බසිනවා.
කොළඹ සිට ගමන් කරන කෙනකුට බිබිල, ඉඟිනියාගල මාර්ගය ඔස්සේ නිල්ගලට ළඟා වෙන්න පුළුවන්. වනජීවී දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන කඳවුරු භූමි හතරක් සහ එක් බංගලාවක් නිල්ගලට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් පවත්වා ගෙන යනවා. සීනුක්ගල, මහදොරොව්ව, පරෙවියන් ආර සහ අප පසුගිය සතියේදී කතා කළ මකරය එම කඳවුරු භූමි ලෙස හඳුන්වන්න පුළුවන්.
නිල්ගල රක්ෂිතයට පැමිණෙන සංචාරකයන්ට මාර්ග තුනක් හරහා සංචාරය කිරීමේ අවස්ථාව තියෙනවා. නමුත් මෙහි සංචාරය කළ හැක්කේ 4 අයැැක වාහනයක පමණක් බවත් මතක් කළ යුතුයි. නිල්ගල මකරය මාර්ගය, පොතු ලියද්ද, මුල්ලේගම, තුම්බේරුණු හරහා කැබෙල්ලබොක්ක මාර්ගය සහ මහ වෙල හරහා දිඹුල් දෙන කොටබෝව මාර්ගය එම මාර්ග ලෙස හඳුන්වන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින විශාලම ඖෂධ වනාන්තරය ලෙස නිල්ගල හඳුවන්න හැකියාව තියෙනවා. අරළු, බුළු, නෙල්ලි වැනි ඖෂධ වර්ග වැඩිම ප්‍රමාණයක් එකට දැක ගත හැකි එකම වනාන්තරය වන්නේ නිල්ගල පමණයි. ඊට අමතරව කුඹුක්, කෝන්, කරුවල වැනි වියළි කලාපීය ශාක රාශියක් මෙහිදී දැක ගන්න පුළුවන්. ඒ වගේම කුඩුම්බේරිය, කුකුන මාන, ඉලුක් මාන සහ පංගිරි මාන වැනි තෘණ විශේෂත් මෙහිදී බහුලව දැක ගත හැකියි.
කුරුලු පාරාදීසයක් ලෙස ප්‍රසිද්ධියට පත් වී ඇති නිල්ගල මෙරටට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ රැසක් ජීවත් වෙනවා. තිත් උස් වටුවා, වන පඳුරු වටුවා, පෙරදිග රන් පිළිහුඩුවා, වයිර ගුරු කොහා, මහ කවුඩා, හබන් කුකුළා වත රතු මල් කොහා වැනි දුර්ලභ පක්ෂි විශේෂ මෙන්ම ශ්‍රී ලංකාවේදී ඉතාම කලාතුරකින් දැක ගත හැකි රන් පා බට ගොයාත් නිල්ගල සැරිසරනවා. ඊට අමතරව අලි ඇතුන් ඇතුළු තවත් බොහෝ සත්ව විශේෂ රාශියක් නිල්ගල තම නිජභූමිය කර ගෙන තියෙනවා. විශේෂයෙන්ම සවස් කාලයට සේනානායක සමුද්‍රයට යන අලි රංචු ගමන් කරන්නේ නිල්ගල මැදින්.
නිල්ගල පිහිටා ඇති යහන් හෙළ කන්ද මෙන්ම ඒ ආසන්නයේ පිහිටා ඇති ධානිගල, යකුන් හෙළ, කහට අතු හෙළ සහ මාකද කන්ද එහි ස්වභාව සෞන්ධර්යය වැඩි කරවන විශේෂ ස්ථාන ලෙස හඳුන්වන්න පුළුවන්. ස්වභාවික සම්පත්වලට අමතරව පුරාවිද්‍යාත්මක අතිනුත් නිල්ගලට හිමිවන වටිනාකම ඉතා ඉහළයි.
නිල්ගල වනාන්තරය තුළින් හමු වී ඇති එක් ස්ථානයක් ගල් ඇතිරූ කරත්ත පාරක් ලෙස සැලකෙනවා. ඒ සම්බන්ධයෙන් ඇති ජනප්‍රවාද කිහිපයක්ම සොයා ගන්න පුළුවන්. ඉන් එක් කතාවක කියවෙන්නේ එය දුටුගැමුණු රජු යුද්ධය සඳහා සේනාව ගෙනි යද්දී සෑදුව කරත්ත පාරක් බවයි. එමෙන්ම එය බුද්ධදාස රජු භාවිතා කළ කරත්ත පාරක් බවට තවත් ජනප්‍රවාදයක් තියෙනවා. කොහොම වුණත් එය දුටුගැමුණු රජුගේ කාලයට සම්බන්ධ එකක් කියන එක තමයි බොහෝ දෙනාගේ පිළිගැනීම.
ඊට අමතරව නිල්ගල සිට මකරය දක්වා දිවෙන මාර්ගයට නුදුරින් පිහිටා ඇති මුක්කරු සොහොන නම් ස්ථානය ඉතාම සුවිශේෂී පුරාවිද්‍යා පරිශ්‍රයක්. ඒ අවට විසිරී ඇති ගල් කණු 25ක් පමණ අදටත් දැක ගන්න පුළුවන්. ඒ වගේම කහටඅත්තලෙන නැමැති පුරාතන ලෙන් විහාරයත් මෙහි පිහිටා ඇති තවත් පුරාවිද්‍යා පරිශ්‍රයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කෙසේ නමුත් මේ වන තෙක්ම නිල්ගල රක්ෂිතය තුළ නිසි පුරාවිද්‍යා පරීක්ෂණයන් සිදු කර නැහැ. එලෙස නිසි පරීක්ෂණයක් සිදු කරන්නේ නම් තවත් සැඟවුණු තොරතුරු රාශියක් සොයා ගත හැකි බව නම් විශ්වාසයි.
නිල්ගල රක්ෂිතයේ එක් කොටසක් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් වීමත්, තවත් කොටසක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වීමත් හේතුවෙන් පරිපාලනමය වශයෙන් යම් යම් බාධා ඇති වෙලා තියෙනවා.
කොහොම වුණත් නිල්ගල කියන්නේ ස්වභාව සෞන්දර්යය විඳින්න කැමැති ඕනෑම කෙනකු වසඟයට පත් කරවන ස්ථානයක්. විශේෂයෙන්ම මකරය ආසන්න ප්‍රදේශයේදී දැනෙන සුන්දරත්වය, නිහැඬියාව වෙන කිසිම තැනකදි විඳින්න බැරි දෙයක්. බාහිර ලෝකය සමඟ සබඳතා මොහොතකට නතර කරලා ජීවිතේ සුන්දරත්වය උපරිමයෙන් විඳින්න නිල්ගල කියාපු තැනක්.
ඒ අතරේ මේකත් මතක් කළ යුතුයි. නිල්ගල ගම්මානය තවමත් වාණිජකරණයට ලක් නොවුණු ප්‍රදේශයක්. ඒ හින්දා වර්තමානයේ මීමුරේට අත් වෙලා තියෙන ඉරණම නිල්ගලට උරුම කර නොදීම එහි සංචාරය කරන සියලු දෙනාගේම වගකීමක්. ඒක අමතක කරන්න එපා.
සමන් හල්ලොලුව











