• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

උතුරු වෙරළ දිගේ නැඟෙනහිර බලා

January 19, 2021
in Holiday
Reading Time: 8 mins read
A A
උතුරු වෙරළ දිගේ නැඟෙනහිර බලා
Share on WhatsAppShare on Facebook

සැබවින්ම මෙය බොහෝ කලක් සිතේ තිබුණු නමුදු විවිධ හේතු නිසාවෙන් කල්ගිය ගමනකි. නමුත් මේ ගමන හදිසියට ගිහින් තේරුමක් නොමැති බැවින් දින හතකින් යන්නට අපි තිරණය කළෙමු. ගමන සඳහා පස් දෙනකු එකතු වූ අතර ඒ වෙනුවෙන් මෝටර් සයිකල් තුනක් සහාය විය. රට වටේ ගමන් කිරීම ඕනෑම කෙනකුගේ සිහිනයක් වන නමුදු එය සැබෑ කර ගත හැක්කේ ඉතාම සීමිත පිරිසකට පමණි. අකුරු වලට පෙරළිය නොහැකි තරමටම සුන්දර ඒ චාරිකාවේ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ගන්නා පුංචි උත්සාහයකි මේ.
පළවෙනි දවස
පුදනකොටම කාපි යකා!
හා හා පුරා කියලා පිටත්වෙන්න හදනකොටම මොටර් සයිකලයක හටගත් අනපේක්ෂිත දෝෂයක් හේතුවෙන් එය සකසාගෙන මොරටුවෙන් පිටත් වනවිට උදේ නවයත් පසුවිය. පළමු දවසේ මන්නාරම වනතෙක් කිලෝමිටර් 300කට ආසන්න ගමනක් යෙදි තිබු බැවින් හලාවත වනතෙක් කිසිම විශේෂ ස්ථානයක් නොබලා අප ඉදිරියට ඇදුනේ මුහුදු හුළගේ කරිජ්ජ සිසිල හොඳින් විඳ ගනිමින්, හැකි තරම් මුහුද අද්දර අතුරු මාර්ග භාවිතා කරමිණි. හලාවත මුන්නේශ්වරම් කෝවිලද නරඹා පුත්තලමට පැමිණි අප පුත්තලම සුලං විදුලි බලාගරය බලන්නත් අමතක කරේ නැත. පුත්තලම- මන්නාරම මාර්ගය නඩත්තු කටයුත්තකට වසා තිබූ බැවින් අපි තෝරාගත්තේ නොච්චියාගම, තන්තිරිමලේ හරහා මන්නාරමට යන මාර්ගය වීමු. ඒ අතරතුරේ තබ්බෝව වැව අසළ නතර වී සිසිල් සුළඟ විඳ ගනිද්දී අමුතුම සනීපයක් ඇඟට දැනුණි. අවාසනාවකට අපිට මේ ගමනේදි විල්පත්තුව මැදින් යන ලස්සනම දර්ශනයක් මඟ හැරුනත් විකල්ප මාර්ගයෙත් සුන්දරත්වය වචනයෙන් විස්තර කරන්න බැරිතරම් සුන්දර විය. නොච්චියාගමින් පසු අප ගමන් කළේ රජරට ගම්බද ප්‍රදේශයක් හරහා වූ බැවින් එය ඉතා ලස්සන අත්දැකීමක් විය.

කුඹුරු, වැව්, හේන්, වනාන්තර මැද්දෙන් ගමන් කළ අප හට ඒ කොටසේදි ඇඟට අමුතුම සිසිලක් දැනුණි. තන්තිරිමලය විහාරයත් පසු කරගෙන ඉදිරියට ගිය අප කළුවර වෙන්න ඔන්න මෙන්න තියා මන්නාරම- මැදවච්චිය ප්‍රධාන පාරට අවතීර්ණ විය.
එතැනින් මඳක් ඉදිරියට ගමන් කරද්දි අලංකාරවත් වැව් පිටියක් අපට හමුවිය. අප සැමට අවශ්‍ය වූයේ එතැන රාත්‍රිය ගතකරන්නටය. නමුත් එම ස්ථානය නිතරම වල් අලින් ගැවසෙන පෙදෙසක් බව දැනගත් නිසා අපට අකමැත්තෙන් වුවත් එම අදහස අතහැරීමට සිදුවිම කණගාටුවට කරුණකි. දැන් නම් කළුවරත් වැටී ඇත. අපේ ගමනාන්තය ලෙස තෝරාගෙන තිබූ මන්නාරමට සැලකිය යුතු දුරක් ඉතිරිව තිබීම නිසා මඟ නවතිනවාද නැද්ද යන දෙගිඩියාවෙන් අප ඉදිරියට ගමන් කරන්නට විය. අප නවතින්න තැනක් සොයමින් ඉදිරියට ගියත් කිසිම නවාතැනක් හෝ කඳවුරු බැඳීමට සුදුසු තැනක් හමු නොවිණි. අවසානයේ මඩුපාර හන්දිය ආසන්නයේ පන්සලක් සොයාගත් අපි එහි නවාතැන් ගතිමු.

දෙවැනි දිනය
උදේ පාන්දර දෙකට පමණ දරාගන්න බැරි සීතලක් නිසා සැවොම අවදිවිය. ඇත්තටම කඳු මුදුනකදිවත් විඳ නොමැති අධික සීතලක් දැනුණේ ඒ ප්‍රදේශයේ ඇති අර්ධ කාන්තාර දේශගුණය ගැන ඉඟියක්ද සපයමින්ය. උදේ පාන්දරින්ම පිටත් වුණු අපේ මුල්ම නැවතුම වුණේ පොඩි දූපතක් එක්ක තියෙන විල්ලුවකි. එතැන ටික වෙලාවක් නිදහසේ සිටි අපි ඊළඟට යෝධ වැවට ගමන් කළෙමු. එයත් නරඹා උදෑසන 8 වන විට මන්නාරමට සේන්දු වීමට අපට හැකි විය. මන්නාරම කොටුව හා යෝධ බයෝ බැබ් ගස නරඹා නැවත කඩිනමින් පිටත් වූයේ දිගු ගමනක් ඉතිරිව තිබු බැවිනි. මෙම කොටසේදි කිලොමිටර් 10ක් පමණ සමනල රාජධානියක් මැදින් ගමන් කරන්න අපිට සිදුවිය. මීට පෙර කිසි දිනක එතරම් සමනල ගණත්වක් මා දැක නැත. මේ අහිංසක සතුන්ගේ දිවි බේරිමට ඉතාමත් සෙමින් මොටර් සයිකලය පදවන්නට සිදු විය. ඊලාම් යුද්ධයේ දරුණු සටන් ඇවිලුනු වෙඩිතලතිව්, ඉලුප්පායි, වෙලන්කුලන් හරහා පුනරින් වෙත පැමිණි අපගේ ඊළඟ නැවතුම වූයේ සංගුපිඩ්ඩි පාලමයි. අතරමඟදි ඉදිවෙමින් පවතින සුලං විදුලි බලාගාරයක්ද නරඹා අපි දහවල් වනවිට ගිනියම් යාපනයට ආවෙමු. යාපනයේ හඳුනන මිතුරෙකුගේ චමරියක බැක්පැක්, ටෙන්ට් තබා කැසුරිනා වෙරළට යන්න පිටත් වුණි. තල්මන්ඩි, කලපු මැදින් කැසුරිනා වෙරළට ආපු අපි ඇඟේ මහන්සිය යන්න හොඳට නාගත්තෙමු. ඉන්පසු අප ගමන් කළේ ගරාවැටුනු කරෙයිනගර් ප්‍රදීපාගාරය නරඹන්නටය. කැලෑ අස්සෙන් වැටුණු අඩිපාරකින් ගොස් අසීරුවෙන් එය සොයා ගැනීමට අප සමත් වීමු. ඉර බැසගෙන යද්දී එහි තිබූ සුන්දරත්වය වචනයෙන් විස්තර කිරීමට නොහැක. එය එතරම් අලංකාර වෙරළකි. නැවත එන ගමනේදි ප්‍රසිද්ධ රියෝ අයිස්ක්‍රීම් එකක රස බලන්නටත් අප අමතක කළේ නැත. එදා රාත්‍රියේ අපගේ නවාතැන මිතුරාගේ චමරිය විය. හඳුනන හා අළුත් මිතුරන්ගෙන් පිරුණු එම රාත්‍රිය කිසි දින අමතක නොවන ලස්සන මතකයකි.

රට වටා දින හතක් ගෙතුණු අපේ කතාවේ තෙවැනි සහ සිව්වැනි දිනයන්හි තොරතුරු බෙදා ගැනිමටය මේ සූදානම.
තෙවැනි දින උදෑසනින්ම අප පියමැන්නේ නිලාවරෙයි ළිඳ නැරඹීමටය. එය සැබැවින්ම යාපනේ පැමිණියහොත් නැරඹිය යුතුම ස්ථානයකි. ජනප්‍රවාද වලට අනුව පතුල නොමැති ලිඳ ලෙස හැඳින්වුවද සැබැවින්ම එහි පතුලක් පවතින බව නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් පරික්ෂණයක් සිදුකර තහවුරු කර ඇත. ඊට අමතරව ළිඳෙහි පතුලෙහි විශාල කරත්ත වල සුන්බුන් පවතින බවද ඔවුන් සොයාගෙන ඇත.
ඉන්පසු කන්කසන්තුරේ වෙත පැමිණි අපි මුහුදු වෙරළ හා ප්‍රදිපාගාරය නැරඹුවෙමු. මුහුදු වෙරළට කන්කසන්තුරේ සිමෙන්ති කම්හලෙහි දැවැන්ත සයිලොනයේ නටබුන්ද හොදින් දර්ශනය විය. කන්කසන්තුරේ දුම්රිය ස්ථානය වෙත ගොස් උතුරු දුම්රිය මගෙහි අවසානයද නරඹා අප පේදුරුතුඩුව බලා පිටත් විය.

මෙකී ගමනේ අතරමගදි අපට ලංකවේ උතුරු කෙළවර වන සක්කොටායි තුඩුව හමුවිය. අප සැවොම දන්නා පරිදි ලංකාවේ උතුරු කෙලවර පේදුරු තුඩුව වන නමුදු සැබවින්ම එය පේදුරුතුඩුව ප්‍රදේශයේ පවතින සක්කොටායි තුඩුව ලෙස නිවැරදි විය යුතුය. නමුත් තැපැල් දෙපාර්තමේන්තුව විසින් පිහිටවූ ලංකාවේ උතුරු කෙළවර නැමැති ලියුම් පෙට්ටිය ඇත්තේ කිලෝමිටර් හතරක් පමණ දුරකින් ඇති පේදුරුතුඩුව ප්‍රදිපාගාරය අසලය. අප ප්‍රදීපාගාරය අසලින් නික්මෙන විට දහවල පසු වී ඉර අවරට යැම ඇරඹී පැවතිණි. කුසට දැනුන අධික කුසගින්න නිවා ගැනිමට කන්කසන්තුරේ දමිළ මිතුරෙකුගේ නිවසට ගොඩවැදුණු අපට දමිළ ක්‍රමයට සැදු නිර්මාංශ කැම වේලක රස විඳීමට හැකිවිය. මිතුරාට සමුදී පේදුරුතුඩුවෙන් අප කඩිනමින් පිටත් වූයේ කන්තලේ දක්වා ගමන් කිරීමට සැලසුම් කර පැවැති බැවිනි.
අබිලි මාවත් ඔස්සේ අලිමංකඩට පැමිණි අප හසලක ගාමිණි විරුවාගේ ස්මාරකයද නරඹා මුලතිව් බලා පිටත් වුණි. පරන්තන් හන්දියෙන් මුලතිව් දෙසට හරවා එතරම් ජනාකීර්ණ නොවූ විශ්වමඩු, පුදුකුඩිඉරිප්පු හරහා පැමිණි අපි ප්‍රසිද්ධ වඩ්ඩුවාකල් පාලම ඔස්සේ මුලතිව් නගරයට සේන්දු වීමු. මුලතිව් සිට පුල්මුඩේ දක්වා ඉදිරි ගමනේදී කෝකිලායි කලපුවේ කැඩුණු පාලම අපට බාධාවක් විය. ධීවර බෝට්ටුවක යතුරු පැදි පටවා කලපුවෙන් එතෙරවිය හැකි වුවත් සවස් කාලයේ බෝට්ටුවක් සොයා ගැනිම අපහසු බව දැනගන්නට ලැබුණු බැවින් කොකිලායි කලපුව වටා ගමන් කර ජානකපුර හරහා පුල්මුඩේට ගමන් කිරිමට අපට සිදුවුණි. මෙකී කොටස රට වටා ගමනේ මාගේ සිත්ගත්ම ප්‍රදේශය විය. කිලෝමීටර් 10ක් පමණ ඝණ කැලැවක් මැදින් ගොස් ජානකපුර ගම්මානයට අප අවතීර්ණ විය. වැව්බැඳි රාජ්‍යයේ සුන්දරත්වයෙන් පරිපූර්ණ වූ එකී ගම්මානය සැබවින්ම සුරපුරයකි. ජානකපුර වැව් ඉස්මත්තේ මද වේලාවක් ගිමන් හැර ගමන් ඇරඹු අපට වැඩිපුරම ගමන් කිරිමට සිදුවුයේ මැටි පාරවල් වලිනි. මාර්ගයේ සැඟවී තිබූ කුඩා සපත්තු පාලමක් මතින් යනවිට අපගේ එක් සගයෙක් අඩියක් පමණ උඩට විසි වුවත් ඔහු නැවතත් යතුරු පැදියටම පතිත විය. මෙකී ත්‍රාසජනක අත්දැකීම්ද ලබමින් පුල්මුඩේට පැමිණෙන විට ඇඳිරි වැටී තිබිණි. පුල්මුඩේ නගරය සමීපව ඇති අරිසිමලේ වෙරල සොයාගෙන ගිය අප නැවතුනේ කරවල වාඩියකිණි. වෙරළේ මද වේලාවක් ගතකර ඉක්මනින්ම නැවත පිටත්වූයේ තව කිලොමිටර් 100ක් පමණ ගමන් කිරීමට පැවැති නිසාවෙනි. ඇදිරි වැටී පැවැති බැවින් කිසිම ස්ථානයක් නොබලා කන්තලේ වනතෙක් වේගයෙන් ඉදිරියට ඇදුණි. මේ නිසා අපට ගිරිහඩු සැය මගහැරුණි.

අපට නවාතැන් ගැනීමට ඉඳුනිල් අයියා කන්තලේ වැව් තාවුල්ලේ පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිවාඩු නිකේතනය සුදානම් කර තිබුණි. වාන් මට්ටමට පිරී තිබුණු වැව අසබඩ හද එළියෙන් නැහැවී තිබූ මිදුලට වී මධ්‍යම රාත්‍රිය වනතෙක් ගී නදින් මත්වී නින්දට ගියේ අමතක නොවන මතක ගොන්නක් එකතු කර ගනිමිණි. කන්තලේදි අපට උදව්කල ඉඳුනිල් අයියා විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය.
සිව්වැනි දිනය
මෙදින උදෑසන සිටම කාළගුණය අපට අකාරුණික විය. වර්ෂාවෙන් පැමිණි බාධක හා කලින් දින ගතේ තෙහෙට්ටුව නිසා අප පිටත් වීමට බෙහෙවින් ප්‍රමාද විය. අප කන්තලෙන් පිටත් වනවිටත් එකොලහ පසුවී තිබුණි. මෙදින අපි පළමුව කන්නියා උණු වතුර ළිං නැරඹීමට ගමන් කළෙමු. උණු වතුර ළිං නරඹා ත්‍රිකුණාමලයට පැමිණෙන විට දවල් 12 පසුවිය. දීර්ඝ සති අන්ත නිවාඩුවක් බැවින් විශාල සංචාරකයන් පිරිසක් ත්‍රිකුණාමලයේ දක්නට ලැබිණි. කෝනේෂ්වරම් කෝවිල හා ගෝකණ්ණ විහාරය වැඳ පුදාගෙන කඩිනමින් පැමිණි අප දවල් කෑම ලබා ගැනීමට ක්‍රීඩාංගනය අසළ ඇති සුපුරුදු හෝටලයට ගොඩවිය. ඉන්පසු අප කඩිනමින් ත්‍රිකුණාමලයෙන් පිටත් වූයේ ජනාකිර්ණ බවෙන් මිදෙන්න අවශ්‍ය වූ නිසාවෙනි. අපේ ඊළඟ නැවතුම සාම්පුර් ප්‍රදීපාගාරය විය. යුද්ධය නිමාවූ පසු ප්‍රතිසංස්කරණය කර ඇති ප්‍රදීපාගාරය හා අවට වෙරළ තීරය සැබවින්ම චමත්කාරජනකය. එතැන පැයක් පමණ ගතකර සේරුවාවිල යෑමට පිටත් වුවත් කාළගුණය නැවත අපට හරස් විය. මුතුර් සිට සාම්පුර් තෙක් ඇති අබලන් මාර්ගය හේතුවෙන් සාම්පුර් ගමනට නොදැනීම පැය තුනක් පමණ ගත වී තිබිණි. වැස්සෙන් පැමිණි බාධක හේතුවෙන් සේරුවාවිලට පැමිණෙන විට සවස 6ත් පසු වී තිබිණි. මේ නිසාවෙන් මඩකලපුවට යෑමට සැලසුම් කර තිබූ සැලැස්ම වෙනස් කර සෙරුවාවිල නවාතැන් ගැනීමට සිදුවිය. එදින රාත්‍රියේ සේරුවාවිල පන්සලට යනවිට එකවිට පාර මැදින් මතුවු අලියෙක්ගෙන් අප බේරුනේ පෙර වාසනාවකටය. එදින අප කලින්ම නින්දට වැටුණේ ඉදිරි දින දිගු ගමනක් යෙදි ඇති නිසාවෙණි.

රට වටා දින හතක් ගෙතුණු අපේ කතාවේ අවසන් දින තුනෙහි තොරතුරු බෙදා ගැනිමටයි මේ සූදානම.
පස්වැනි දිනය
පෙර දිනයේ මඟ හැරුණු කොටසත් ඉතිරිව ඇති හෙයින් මෙදින උදෑසනින්ම අප ගමන් ආරම්භ කළෙමු. වෙරුගල්, කදිරවේලි, වාකරේ හරහා ඉදිරියට ඇදුණු අපගේ මුල්ම නැවතුම සල්ලිතිව් දුපත විය. මෙම දුපතේ විශේෂත්වය වන්නේ මෙය ගොඩබිම හා වැලි වැටියකින් සම්බන්ධ වී පැවතීමයි. වැලි වැටිය දිගේ ඇවිදගෙන ගොස් දූපතට ගොඩවූ අපි එහි අලංකාරය මැනවින් විඳ ගත්තෙමු. මඳ වේලාවක් එහි ගත කර අපි පාසිකුඩා බලා පිටත් වීමු.
පාසිකුඩා වෙරළ දේශීය සංචාරකයන්ගෙන් පිරි පැවැති නිසාවෙන් අප ඉක්මණින් එතැනින් පිටත් වීමු. මඩකලපුව මිතුරෙකුගේ නිවසට ගොඩ වැදුණු අපට කදිම ආගන්තුක සත්කාරයක් හිමිවිය. එම මිතුරා සමඟ නගරයේ විශේෂ ස්ථාන නරඹමින් නගරය වටා ගමන් කිරීමට අපට හැකිවිය.
මේ අතරවාරයේදී බෝම්බ ප්‍රහාරයට ලක්වූ සියොන් පල්ලියද අපට දැකගත හැකිවිය. අවසානයේ සින්දු කියන මාළුන් සොයා අපි කල්ලඩි පාලම වෙත ගියෙමු. එහිදි අධික ජෙලි ෆිශ් මසුන් ප්‍රමාණයක් කලපුවෙහි සැරිසරණු දක්නට ලැබුණි. කල්ලඩි පාලම අසලින් මිතුරාගෙන් වෙන්ව අපි කාත්තන්කුඩි, කල්මුණේ හරහා ඕලුවිල් ප්‍රදීපාගාරය වෙත පැමිණියෙමු. එහි ඇති පොල් ගස් වල කුරුම්බා ටික අපි දිහා බලාගෙන හිටියේ මාව කඩන් බීපන් කියන්නාක් මෙනි. ප්‍රදීපාගාරය නැරඹීමට පැමිණි මිනිස්සුන් සිටින නිසා කුරුම්බා නොකඩා අකමැත්තෙන් එතැනින් පිටත් වුවත් හොර කුරුම්බා කඩන ආසාව නම් නැති නොවුණි. අක්කරේපත්තු හරහා ඉදිරියට පැමිණි අපි සංගමන්කන්ද තුඩුව සොයාගෙන මඩ පාරවල්වලින් පොල් වත්තක් මැද්දෙන් ගොස් අවසානයේ තුඩුව සොයා ගැනීමට හැකිවුවත්, තැපැල් පෙට්ටිය සොයා ගැනීමට නොහැකි විය.

පොල් වත්තේ වැටට විදුලිය යොදා තිබුණත් පාර හරහා දැමූ කම්බිය ගලවා ගෙන ගොස් කුරුම්බා කඩාගැනීමට අපට වැඩි වේලාවක් ගත නොවුණි. එතැනින් පිටත් වී කෝමාරි, විස්කි පොයින්ට්, පොතුවිල්, ආරුගම්බේ හරහා අපි කෙලින්ම ගමන් කළේ එලිෆන්ට් රොක් වෙතටය. හවසට එතැන ඇත්තේ පුදුම ලස්සනකි. එහි සෑහෙන්න වේලාවක් ගත කර ලස්සන ඡායාරූප කිහිපයක්ද රැගෙන අප පිටත් වීමු. පොතුවිල් වෙත එන අතරමඟදී මුහුදු මහාවිහාරය වෙතද ගොස් එයද වැඳ පුදා ගත්තෙමු. කඳවුරු බැඳීමට සුදුසු ස්ථානයක් සොයා ඉදිරියට ඇදුනත් වන අලි ප්‍රශ්නය හේතුවෙන් සුදුසු තැනක් සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ ළඟ පාත තානායමක් හෝ කඳවුරු බැඳීමට සුදුසු තැනක් සොයාගත නොහැකි විය. නවාතැනක් සෙවීමට ආපසු පොතුවිල් තෙක් හෝ ඉදිරියට සියබලාණ්ඩුව තෙක් යෑමට සිදුවී තිබිණි. සියඹලාණ්ඩුවට ගි හොත් ලාහුගල කැලේ මැදින් යන ලස්සනම කොටස කළුවර නිසා මඟ හැරේ. එම නිසා ළඟම ඇති මඟුල් මහා විහාරය පැත්තට ගිය අපිට විශ්‍රාම ශාලාවක් සොයාගැනීමට හැකි විය. නමුත් රෑට කෑම ගැනීමට කඩයක් හෝ ළඟපාතක නොතිබිණි. අලි සොයමින් කිලෝමිටර් ගානක් ආපහු ගොස් කෑමත් රැගෙන පැමිණ ඉක්මනින් නින්දට වැටුණි.

හයවැනි දවස
හිමිදිරි පාන්දරින්ම ලාහුගල කැලේ මැද්දෙන් එන විට නම් තෙත් කලාපයක සිටිනවා වැනි හැඟීමක් දැනුණි. පෙර දින රෑ වැටුණු වැස්සෙන් පනගසා ආ ගහකොල මැව්වේ අමුතුම අලංකාරයකි. වටේ ඇති ශේෂ කඳු දෙසත් නෙත් යොමාගෙන සියඹලාණ්ඩුව හරහා ඉදිරියට එන අපට මරගල කන්ද මොණරාගලට කිට්ටු බව ඉඟි කරන ලදී. මොණරාගලින් බුත්තලට පැමිණ කතරගම පාර දිගේ ඉදිරියට එන අපේ පාලු මැකුවේ පාර අයිනේ සිටි වල් අලි පමණි. වීඩියෝ කරන ගමන් අලියා ළඟින් යන්න ගොස් චාමික හොඩවැල් පාරක් නොකා බේරුණේ අනූ නවයෙනි. එක අලියෙක් නම් පලතුරු දෙනතුරු අයින් වුණේම නැත. අනුන්ගේ පහනින් එළිය බලාගෙන එතැනින් පැනගත්තු අප කතරගමට ඇවිත් කිරිවෙහෙර හා දේවාලයත් වැඳගෙන තිස්ස යන්න පිටත් විය. කිරින්දේ පන්සලටත් ගොඩ වී තවත් අලි මංකඩක් වන බූන්දල හරහා හම්බන්තොට ආ අපේ ඊළඟ නවාතැන වුණේ උස්සන්ගොඩය. එතැනත් හවසට හරිම ලස්සන තැනකි. එදා රාත්‍රියේ අපේ නවාතැන වුයේ මාතර මගේ ගෙදරය. රාත්‍රියේ මාතර ලයිට් හවුස් එක පැත්තේ රවුමක් දාන්නත් අපි අමතක කරේ නැත.
හත්වැනි දවසේ උදෙන්ම අපි දෙවුන්දර ප්‍රදීපාගාරය හා මාතර පරෙවි දූපත බලාගෙන මිරිස්සට ගියෙමු. ඉන්පසු අහංගම, හබරාදුව, තල්පේ හරහා ගාල්ලට පැමිණ ගාලු කොටුව හා ප්‍රදීපාගාරයද නරඹා ඉක්මනට පිටත් වූයේ සවස් වීමට පෙර කොළඹට යෑමට අවශ්‍ය වූ නිසාවෙනි. දවස් හතක් කිලොමිටර් 1910 ගියපු අපේ ගමන අමතක කරන්න බැරි මතක ගොඩක් සමඟින් අවසන් වූයේ එසේය. සැබවින්ම මෙය ජිවිතයේ එක්වරක් හෝ යා යුතුම ගමනකි.
තත්සර මුණසිංහ

SendShareShare
Previous Post

අලුත් අභියාචනාධිකරණ 4ක්

Next Post

සජිත් රන්ජන්ව පාර්ලිමේන්තුවට අරන් එයි (VIDEO)

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවය නියුතුව සිටියදී මියගොස් සිටි රංග නිශාන්තගේ මරණය තමන් විසින්ම කැපුම් තුවාල සිදු කරගත් නිසා...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.