• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරීන් පත්තු කර ජනපති අවුලපු දේශපාලන ගින්න (රාජ්‍ය රහස්)

January 17, 2021
in Exclusive, Rajya Rahas, Uncategorized
Reading Time: 13 mins read
A A
හරීන් පත්තු කර ජනපති අවුලපු දේශපාලන ගින්න (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ගෙවුණු සතිය ආන්දෝලනාත්මක දේශපාලන සිදුවීම් කිහිපයකින්ම සමන්විත වූ එකක් විය. පසුගිය කාලය පුරා යම් ආකාරයකින් සීතලව පැවැති දේශපාලන පොරපිටිය පසුගිය සතිය තුළ සිදුවූ සිදුවීම් කීපයක් හේතුකොටගෙන එකවරම ගිනියම් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. මේ සඳහා බලපෑම ප්‍රධාන සිදුවීම් තුනක් දැකගන්නට ලැබුණු අතර, ඉන් පළමුවැන්න වූයේ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කොටගෙන පාර්ලිමේන්තුවේදී ප්‍රබල ප්‍රහාරයක් දියත් කිරීමය. දෙවැනි සිදුවීම වූයේ එම ප්‍රහාරය සිදුකොට දින කිහිපයකට පසු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම හරීන්ගේ නම සඳහන් කරමින් ඊට තරමක දැඩි ප්‍රතිචාරයක් දැක්වීමය. තෙවන සිදුවීම වූයේ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළේය යන චෝදනාව මත වසර හතරකට සිරගත කිරීමය.

හරීන් පාර්ලිමේන්තුවේ ගිනි තියයි

මෙහිදී පළමු සිද්ධිය වූ හරීන්ගේ සිදුවීම ආරම්භ වූයේ පාර්ලිමේන්තුවේ ඔහු සිදුකළ දැඩි කතාවකින්ය. එහිදී මේ රටේ අමුතු නීති රැසක් ක්‍රියාත්මක වන බවත්, මේ රටට සාප පහක් වැදී ඇති බවත් කියමින් හරීන් ආන්දෝලනාත්මක කතාවක් සිදුකළේය.
“මේ රටේ දැන් අමුතු අමුතු නීති තියෙනවා. එක නීතියක් රාජපක්ෂ නීතිය. අනෙක් නීතිය ගජමිතුරු නීතිය. අනෙක් නීතිය කොවිඩි නීතිය. අනිත් නීතිය දුප්පතුන්ගෙ නීතිය. අනෙක් නීතිය යුක්රේන ජාතිකයන්ට දෙන නීතිය.”
“අද මේ රට හසුරුවන්නේ එළිය ඉන්න වෙනම පස්දෙනෙක්. ඒ පස්දෙනා නිසා අද ආණ්ඩුවේ ඇමැතිවරු විතරක් නෙමෙයි හැටනම ලක්ෂයක්ම අනාත වෙලා ෆේල් වෙලා ඉන්නෙ. අද මේ රට පාලනය කරන්නෙ ප්‍රාදේශීය සභාවක් පාලනය කරල නැති නන්දසේන ජනාධිපතිතුමා.”
“මේ රටේ බැටන් එක ගෝඨාභය මහත්තයට දීල මන්ත්‍රිවරුත් එක්ක දුවද්දි සර් අන්තිමය වුණා. සර් ෆේල් වුණා. මේ රටේ පිළිගන්න මිනිස්සු ටිකක් ඉන්නවා. දෙවැනි අවුරුද්දෙවත් ඒ මිනිස්සු ටික ළංකර ගන්න. දෙවැනි වටයත් තනි විදිහට හිතාගෙන කාවවත් හම්බුවෙන්නෙ නැතිව තමන්ට ඕනෙ විදිහට කරන්න ගියොත් ඔබතුමා විතරක් නෙමෙයි ෆේල් වෙන්නෙ. රටම ෆේල් වෙනවා…”
යනාදී වශයෙන් කියමින් හරීන් ජනාධිපතිවරයාත්, ජනාධිපතිවරයාට සමීප ඇතැම් පුද්ගලයනුත් දැඩිව විවේචනය කරමින් කළ විනාඩි 19ක කතාව මොහොතක් යෑමට මත්තෙන් සමාජ මාධ්‍ය ජාලාවල ලොකුම ‘හිට්‘ එකක් බවට පත්විය. එමෙන්ම එදින රාත්‍රී සිරස රූපවාහිනී පුවත් විකාශය තුළ හරීන්ගේ මෙම කතාවට වැඩි ඉඩකඩක් ලබාදී තිබූ අතර, පසුව ඔවුන් විශේෂ දැනුම්දීමක් කරමින් කියා සිටියේ එදින රාත්‍රී 10.00ට හරීන්ගේ මේ පාර්ලිමේන්තු කතාවේ සම්පූර්ණ වීඩියෝව ප්‍රචාරය කිරීමට සැලැසුම් කොට ඇතැයි කියාය. ඒ අනුව එදින සවස් වන විට හරීන්ගේ මෙම කතාව රට ඇතුළේ දේශපාලන ගින්නක් බවට පත්ව තිබිණ.

ජනපති ගින්න තවත් අවුලුවයි

මේ ආකාරයට දේශපාලන ගින්නක් බවට පත්වූ හරීන්ගේ කතාව මහා ගිනි ජාලාවක් බවට පත්වුණේ ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වීමට පියවර ගැනීමත් සමඟය. අම්පාර ලාහුගල ප්‍රදේශයේ පැවැති ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහනට සහභාගි වෙමින් මහා වැස්සක් මැද ජනාධිපතිවරයා හරීන්ගේ මේ කතාවට දැක්වූ ප්‍රතිචාරයත් හරීන්ගේ කතාව හා සමානවම ආන්දෝලනාත්මක,සමාජ මාධ්‍ය ජාලාවල ‘හිට්’ එකක් බවට පත් විය.
“පහුගිය දවස්වල දැක්කනෙ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් කතා කරපු විලාසය. අර හරින් ප්‍රනාන්දු කියලා මන්ත්‍රීවරයෙක්. ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නෙ. නන්දසේන කියල කතා කළා. ඔව් මම නන්දසේන ගෝඨාභය. හැබැයි ඉතින් නන්දසේන ගෝඨාභයගෙ චරිත දෙකක් තියෙනව. සමහර වෙලාවලට හාමුදුරුවරු තාමත් මට කියනවා අපිට ඕනෙ ජනාධිපති ගෝඨාභය නෙමෙයි ආරක්ෂක ලේකම් ගෝඨාභය කියලා. මොකද පොඩ්ඩක් සැරෙන් ඉන්න ඕනෙ කියලා. ඒ ජාතියෙන් එනව නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්. දැක්කනෙ මට ආරක්ෂක ලේකම් හැටියට ඉද්දි බෝම්බයක් ගහලා ප්‍රභාකරන් වැඩ පටන්ගත්තා. මමත් ඒක අන්තිමට ඉවර කළේ හතරගාතෙ දාල නන්දිකඩාල් කලපුවෙ ප්‍රභාකරන් උස්සගෙන ඇවිල්ල. ඒ තත්ත්වෙට මට එන්නත් පුළුවන්. මම ඕනෙ දේකට සූදානම් චරිතයක්. හැබැයි මට අවශ්‍ය ජනතාවට වැඩ කරන්න. ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගන්න. විපක්ෂයත් දේශපාලනය කරන්න ඕනෙ. හැබැයි සාධාරණ දේශපාලනයක් ඕනෙ කරන්න…” යන්න එහිදී ජනාධිපතිවරයා කියා සිටි කතාව විය.

හරීන් වෙනුවෙන් සජිත්

මේ ආකාරයට ජනාධිපතිවරයා හරීන්ගේ නමත්, ප්‍රභාකරන්ගේ නමත් සඳහන් කරමින් අම්පාරේ කළ ප්‍රකාශයත් සමඟ දේශපාලන ක්ෂේත්‍රය එකවර කැළඹී ගිය ආකාරයක් දැකගන්නට ලැබුණේ ඒ සැණින් ඊට ප්‍රතිචාර දැක්වීමට සමඟි ජන බලවේගය ක්‍රියාකිරීමත් සමඟය. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලුත්ගම පැවැති රැස්වීමකදී අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රභාකරන් යනු ම්ලේච්ජ ත්‍රස්තවාදියකු බවත්, හරීන් යනු මානව හිතවාදී නායකයකු බවත්, ඒ දෙදෙනා පිළිබඳ එකවර සඳහන් කරමින් ජනාධිපතිවරයා කළ තර්ජනය හමුවේ හරීන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත්ය. එමෙන්ම හරීන්ගේ මයිල් ගහකට හෝ යම් හානියක් සිදුවුවහොත් ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් ඊට වගකිව යුතු බවද සජිත් කියා සිටියේය.

බදුල්ලේ ගෙදරට ගැහුවාද?

මීට අමතරව එදින රාත්‍රියේදී දේශපාලන ක්ෂේත්‍රයේ ගිය කටකතාවක් හේතුකොටගෙන තත්ත්වය තවත් උණුසුම් වූ ආකාරයක් දැකගත හැකි විය. එම කටකතාවෙන් කියැවුණේ හරීන්ගේ බදුල්ලේ පිහිටි නිවෙසට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කොට ඇති බවකි. ඒ අනුව වහාම මාධ්‍ය මේ පිළිබඳව සොයා බලද්දී ඔවුන්ට දැනගන්නට ලැබුණේ එවැනි කිසිදු සිදුවීමක් සිදුව නැති බවත්, අදාළ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්ය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් හරීන්ද සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටියේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවය.
එමෙන්ම මතුව ඇති මෙම තත්ත්වය පිළිබඳව සමඟි ජන බලවේගයේ ප්‍රධානීන්ද හදිසියේම රැස්වී හරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙනුත්, මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙනුත් සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කළේය. එහිදී විවිධ යෝජනා ඉදිරිපත් වූ අතර, ඉන් පළමුවැන්න වූයේ වහාම මේ සම්බන්ධයෙන් හරීන්ට ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපියක් යැවීමය. එම ලිපිය සියලුම තානාපති කාර්යාල වෙත යොමුකළ යුතු බවද එහිදී තීන්දු විය. මීට අමතරව ජනාධිපතිවරයාගේ කතාවට විරෝධය පා කොළඹ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීමටද යෝජනා විය. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස ඉල්ලා කතානායකවරයා වෙත ලිපියක් බාරදීමටද මෙහිදී සමඟි ජන බලවේගය තීන්දු කළේය.

හිරේ වැටිල්ල රන්ජන් දන්නෙවත් නෑ

මේ සිදුවීම්වලට අමතරව සතියේ ආන්දෝලනාත්මක තුන්වැනි සිදුවීම වූයේ රන්ජන් සිරගත කිරීමේ සිදුවීමය. ඇත්ත වශයෙන්ම රන්ජන් තමන් එදින සිරගත කරනු ඇති බවක්, විශේෂයෙන්ම වසර හතරකට සිරගත කරනු ඇති බවක් කිසිසේත්ම සිතා සිටියේ නැත. රන්ජන්ට ඊට හේතු කිහිපයක් තිබිණ. ඉන් එකක් වූයේ රන්ජන් වෙනුවෙන් නඩුවට කතා කරන නීතිඥයා වන පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් මහතා නිරෝධායනයේ සිටීම හේතුවෙන් එදින උසාවි නොපැමිණෙන බවට කල්තියාම දැනුම්දී සිටීමය. ඒ නිසා සුමන්තිරන්ගේ කණිෂ්ඨ නීතිඥවරයා ඊට පෙර දින රන්ජන්ට කතා කොට දැනුම් දී තිබුණේ සුමන්තිරන් නොමැති බැවින් අධිකරණය මගින් නඩුවට වෙනත් දිනයක් ලබාදෙනු ඇතැයි කියාය. මේ නිසා රන්ජන්ද තමන්ට කතා කළ සියලු දෙනාටම කියා සිටියේ නිසැක වශයෙන්ම තවත් දිනයක් ඒ සඳහා ලබාදෙනු ඇති බවකි.
නමුත්, නඩු තීන්දුව එදිනම ලබාදීමත් සමඟ තත්ත්වය කණපිට පෙරළිණ. එහෙත් එම අනපේක්ෂිත අවස්ථාවට ඉතාමත්ම සැහැල්ලුවෙන් මුහුණ දුන් රන්ජන් තමන් හිරේ යන්නේ හොරකම් කොට, මිනීමරා හෝ කුඩු විකුණා නොවන බවත්, ජනතාව වෙනුවෙන් ඇත්ත කතාකර බවත් කියා සිටියේය. එම නිසා තමන් කලින් කළ ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නේ හෝ තමන් කිසිවකුගෙන් සමාව ගන්නේ හෝ නැති බවත් රන්ජන් එහිදී පැහැදිලිවම උසාවි භූමියේදී කියා සිටියේය.

රුවන්ගේ පත්තරේ ගහපු කෙප්පය

එසේ වුවත් එජාපයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාට අයත් ඩේලි මිරර් පුවත්පත ඊට පසු දින මුල් පිටුවේ පුවතක් පළකරමින් අපූරු කතාවක් කියා තිබිණ. ඉන් කියැවුණේ රන්ජන් නඩු තීන්දුව ලබාදීමෙන් පසු එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට කතා කොට ඇති බවත්, එහිදී තමන් ජනාධිපති සමාව බලාපොරොත්තු වන බව රනිල්ට කියා ඇති බවත්ය. නමුත් ඩේලි මිරර් පුවත්පත එසේ වාර්තා කළත් රන්ජන් නඩු තීන්දුවෙන් පසුව බන්ධනාගාර බසයට රැගෙන යද්දීත් කියා සිටියේ තමන් කිසිවකුගෙන් සමාව නොඉල්ලන බවකි.
එමෙන්ම රන්ජන්ට මෙම නඩු තීන්දුව ලැබුණු දිනයේද එක්තරා විශේෂත්වයක් තිබේ. ඒ, එදිනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්ම දිනය යෙදී තිබීම හේතුවෙනි. ඒ අනුව රන්ජන්ට නඩු තීන්දුව ලබාදෙද්දී සජිත් සිටියේ බලන්ගොඩ ප්‍රදේශයේය. ඒ ‘සසුනට අරුණ’ වැඩසටහන යටතේ ඉදි කළ නව වැනි චෛත්‍ය රාජයාණන් වහන්සේ ශාසනයට පූජා කිරීමේ උත්සවයට සහභාගි වෙමින්ය. එහිදී සජිත් අසල සිටි මන්ත්‍රිවරයකු සජිත්ට දැනුම් දී සිටියේ “අන්න ආණ්ඩුව සර්ට හොඳ උපන් දින තෑග්ගක් දීලා. රන්ජන්ව අවුරුදු හතරකට හිරේ යවලා..” යැයි කියාය. මෙම තොරතුරෙන් මහත් කලබලයට පත් වූ සජිත් වහාම ඒ පුවත තහවුරු කරගෙන මුලින්ම කතා කළේ රන්ජන් වෙනුවෙන් නඩුවට පෙනී සිටි සුමන්තිරන්ටය. සජිත් එහිදී සුමන්තිරන්ට කියා සිටියේ රන්ජන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත්, පූර්ණ විනිශ්චය මණ්ඩලයක් මඟින් හෝ මෙම තීන්දුව සම්බන්ධයෙන් යළි සලකා බැලීමක් කළ යුතු බවත්ය. සුමන්තිරන්ද කීවේ තමන් තවමත් යාපනයේ සිටින බැවින් කොළඹ ආ විගසම හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු යැයි කියාය.

සුමන්තිරන්ට ලැබුණු උපදෙස

මෙහිදී සුමන්තිරන් සම්බන්ධයෙන්ද සඳහන් කළ යුතු කතාවක් තිබේ. සුමන්තිරන් මේ වන විට නිරෝධායනයට ලක්ව සිටින්නේ කොරෝනා වැළඳුණු රවුෆ් හකීම් මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුවය. ඒ අනුව සුමන්තිරන්ගේ නිවස ඉදිරිපිට පොලිසිය විසින් “මේ නිරෝධායනයට ලක්වන නිවසකි” යනුවෙන් සඳහන් ස්ටිකරයක්ද අලවා තිබේ.
එහෙත් පළමුපෙළ ආශ්‍රිතයෙක් වීමත් සමඟ පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සුමන්තිරන්ට කතාකොට ඒ පිළිබඳව දැනුම් දී වහාම පී.සී.ආර්. පරීක්ෂණයක් කරගන්නා ලෙස දැනුම්දී සිටියේය. එම කළ දැනුම්දීමට අනුව සුමන්තිරන් පී.සී.ආර්. පරීක්ෂණයක් කරගත් අතර එහි ප්‍රතිඵලය වූයේ ‘නෙගටිව්’ යන්නය. නැතහොත් සුමන්තිරන්ට කොරෝනා රෝගය වැළඳී නැතැයි කියාය. මෙම ප්‍රතිඵලය දැනගැනීමෙන් පසු නරේන්ද්‍ර නැවතත් සුමන්තිරන්ට කතා කොට පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන දිනය දැනුම්දෙද්දී සුමන්තිරන් කීවේ නිරෝධායනය වෙමින් සිටින බැවින් සහ නිවසේ නිරෝධායනය වන ස්ටිකරය අලවා ඇති බැවින් තමන්ට පිටතට පැමිණිය නොහැකි යැයි කියාය. ඊට නරේන්ද්‍ර දන්නේ අපූරු පිළිතුරකි.
‘එහෙම වෙන්නෙ කොහොමද? ඔබතුමාගෙ පී.සී.ආර්. නෙගටිව් නම් ඔබතුමාට කොරෝනා හැදිලා නෑනෙ. දැන් මේ පී.සී.ආර්. නෙගටිව් වෙච්ච මන්ත්‍රිවරුන් ඕන තරම් එළියට වෙලා ඉන්නෙ. ඔන්න ඔහෙ ඔබතුමා කොලේ ගලවල පක්ෂ නායක රැස්වීමට එන්න…” යනුවෙන් නරේන්ද්‍ර කළ කතාවට අනුව සුමන්තිරන්ද ඊට පසු දිනම කොළඹ බලා පැමිණීමට පියවර ගත්තේය. නමුත් ඒ එන අතරමගදී සුමන්තිරන්ට දැනගන්නට ලැබුණේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ රැසකටම කොරෝනා ආසාදනය වීම හේතුකොටගෙන බොහෝ රැස්වීම් සීමාකොට ඇති බවත්, පක්ෂ නායක රැස්වීම කල් දමා ඇති බවත්ය.

කැබිනට් පුටු පෙරළෙයිද?

පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි ආණ්ඩුව ඇතුළේ මෙන්ම විපක්ෂය ඇතුළේද මතුවෙමින් පවතින අර්බුද කිහිපයක් පිළිබඳවම අනාවරණය කිරීමට පියවර ගත්තෙමු. අප කළ මෙම අනාවරණයෙන් පසු පසුගිය සතියේ සමාජ මාධ්‍ය ජාලාවල මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේද වේගයෙන් පැතිරී ගිය කටකතාවකින් කියැවුණේ ආණ්ඩුව ඇතුළේ වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිත බවත්, හදිසි කැබිනට් සංශෝධනයක් පවා සිදුවීමට ඉඩ ඇති බවත්ය. ඒ අනුව බොහෝ දුරට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර අතිශය පෞද්ගලික හමුවක් සිදුවනු ඇති බවත් ඒ ගිය කටකතාවලින් තවදුරටත් කියැවිණ.

ජනපති-අගමැති දොරවල් වහගෙන සාකච්ජාවක

ඒ කටකතාවල යම් සත්‍යතාවක් තිබූ බවක් පෙනෙන්නට තිබුණේ පසුගිය අඟහරුවාදා හදිසියේම ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර අතිවිශේෂ සාකච්ඡාවක් පැවැත්වීමත් සමඟය. මෙම සාකච්ඡාවේ දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ වෙනත් කිසිදු පාර්ශ්වයක් හෝ වෙනත් කිසිදු පුද්ගලයකු නොමැතිව ජනාධිපතිවරයා, අගමැතිවරයා අතරම පමණක් මෙම සාකච්ඡාව සිදුවීමය. දොරගුළුලාගෙන පැය එකහමාරක් පුරා පැවැති මෙම සාකච්ඡාවේදී දෙදෙනා අතර කැබිනට් සංශෝධනය පිළිබඳව හෝ මතුව ඇති අලුත්ම තත්ත්වය පිළිබඳව හෝ ආණ්ඩුව ඇතුළේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳව හෝ සාකච්ඡා වූවාද යන්න පිළිබඳව නිල තොරතුරු නැතත් දැනට ලැබී ඇති නිල නොවන තොරතුරුවලින් දැනගන්නට ඇත්තේ කැබිනට් සංශෝධනයක් සිදුනොකොට යම් යම් තනතුරුවල වෙනස්කම් කිරීමට පමණක් සිදුකිරීමට එකඟතාවක් සිදුව ඇති බවකි. ඒ අනුව කැබිනට් සංශෝධනයක් නුදුරු අනාගතයේදී සිදුනොවනු ඇත.

බැසිල් එක්ක වෙනම එකක්

මෙම සාකච්ඡාව නිමාවීමෙන් පසු එදිනම සවස ජනාධිපතිවරයා විසින් තවත් විශේෂ සාකච්ඡාවක් පැවත්වීමට පියවර ගත්තේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම රැස්වීමට අගමැතිවරයාට අමතරව තවත් එක් විශේෂ නියෝජිතයෙක් පමණක් එක්කර ගැනීමටද ජනාධිපතිවරයා වගබලා ගත්තේය. ඒ වෙන කවුරුවත් නොව බැසිල් රාජපක්ෂ මහතාය. මෙම සාකච්ඡාවද කෙතරම් රහසිගත ලෙස පැවැත්වුණාද කියනවා නම් එහිදීද තිදෙනා අතර සාකච්ඡා වූ කරුණු පිළිබඳව නිල තොරතුරු මෙතෙක් මාධ්‍යයට අනාවරණය වී නොමැත. නමුත් මෙම පුවත් දෙකම අතිවිශේෂ පුවත් ලෙස මුලින්ම රටට හෙළිදරව් කිරීමට ‘මව්රටනිවුස්‘ වෙබ් අඩවිය එදිනම කටයුතු කළේය.

ඉහළ නගින වරායේ උණුසුම

ජනාධිපතිවරයා වරාය වෘත්තීය සමිති සමඟ කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පියවර ගත්තේ මෙම සාකච්ජාවෙන් අනතුරුවය. මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් කොරෝනා සඳහා කෙරෙන ඇන්ටිජන් පරීක්ෂාව සිදුකොට සාකච්ඡා සඳහා එක්කර ගැනීම විශේෂ සිදුවීමක් විය. කෙසේවෙතත් සාකච්ඡාව සම්බන්ධයෙන් එය අවසානයේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටියේ මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කොළඹ වරාය නොවිකුණන බවටත්, බදු නොදෙන බවටත් වෘත්තීය සමිති නියෝජිතයන්ට සහතිකයක් ලබාදුන් බවය. එසේම වරායෙන් සියයට 51ක අයිතිය ශ්‍රී ලංකා රජයටත්, ඉතිරි සියයට 49 ඉන්දියාවේ අදානි සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලැසුම බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇති බව මාධ්‍ය ඒකකය කියා සිටියේය.

සාකච්ජා අසාර්ථකයි

කෙසේ වෙතත් සාකච්ඡාව නිමා කිරීමෙන් අනතුරුව එළියට පැමිණි වෘත්තීය සමිති නියෝජිතයන් මාධ්‍ය හමුවේ පැවැසුවේ මීට හාත්පසින්ම වෙනස් කතාවකි. ඔවුන් කියා සිටියේ ජනාධිපතිවරයා සමඟ වරාය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අසාර්ථක බවත්, ආණ්ඩුව වරාය සංවර්ධන කටයුතු ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට තීන්දු කර ඇති බවත්ය. ඒ සඳහා විරෝධය පළකරන බවද එම වෘත්තීය සමිති නියෝජිතයෝ මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියහ.

යාපනය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටම යයි

මෙම සිදුවීම්වලට අමතරව පසුගිය සතියේ දේශපාලනමය නොවන සිදුවීමක්ද මාධ්‍ය අතර බොහෝ ඉඩක් දිනාගත්තේය. ඒ වෙන කිසිවක් නොව යාපන සරසවි පරිශ්‍රයේ පිහිටුවා තිබූ යුද ස්මාරකයක් අනවසර ඉදිකිරීමක් ලෙස හඳුන්වා දෙමින් එහි උපකුලපතිවරයා විසින් හිටිහැටියේ මහා රාත්‍රියේ ඩෝසර් කර දැමීමය. ඒ සමඟම කුපිත වූ සරසවි සිසුන් මෙන්ම උතුරේ දේශපාලකයන්ද එම ස්ථානයට පැමිණ ඊට එරෙහිව විරෝධය පළකරන්නට වූ අතර, සරසවි සිසුන් මධ්‍යම රාත්‍රියේදීම මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමටද පියවර ගෙන තිබිණ. එමෙන්ම මෙය කෙතරම් දුරදිග ගියාද කියනවා නම් තමිල්නාඩුව පවා ඊට එරෙහිව නිවේදන නිකුත් කරන්නටත්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වීමටත් සැලසුම් කර තිබිණ. මීට අමතරව උතුරු නැඟෙනහිර හර්තාලයක් පැවැත්වීමටත් තීන්දු වීම විශේෂ සිදුවීමක් විය.
මේ අතරවාරයේ මෙම සිද්ධිය ජාත්‍යන්තරය තුළ සාකච්ඡාවට ලක්වන තරම් දුරදිග යන සිදුවීමක් බවට පත්වන ආකාරයක් දැකගන්නට ලැබුණේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළද ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ වීමත් සමඟය. ඊට මූලිකත්වය ගෙන තිබුණේ 1977 සිට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මිචම් සහ මෝර්ඩන් ආසනය නියෝජනය කරන බි්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක වන ශිවෝන් මැක්ඩෝනාය. ඇය පසුගිය සතියේදී බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් යාපනය විශ්වවිද්‍යාලය තුළ පිහිටුවා තිබූ මුල්ලිවයික්කාල් අනුස්මරණ ස්මාරකය කඩාබිඳහෙලීම පිළිගත නොහැකි ක්‍රියාවක් බවත්, ඒ හරහා ලබන මාර්තුවේදී ජිනීවා නුවර ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේද ලංකාවට එරෙහිව බි්‍රතාන්‍ය රජය විසින් ප්‍රබල යෝජනාවක් රැගෙන ආ යුතු බවත් සඳහන් කර සිටියාය.

ජොන්සන් කරපු වැඩේ

මේ ආකාරයට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ලංකාවෙ සම්බන්ධයෙන් සාකච්ඡා වද්දී බි්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ද පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් විශේෂ තෛපොංගල් පණිවුඩයක් නිකුත් කිරීමට පියවර ගත්තේය. බි්‍රතාන්‍ය අගමැතිවරයකු තෛපොංගල් උත්සවයට සුබපතමින් මේ ආකාරයට පණිවුඩයක් නිකුත් කර තිබුණේ ඉතිහාසයේ පළමු වතාවට වීම විශේෂ සිදුවීමකි.

පවර්ට යළි පවර් ලැබෙයි

මෙම සිදුවීමට අමතරව ලංකාවට එරෙහිව පහුගිය කාලයේ දැඩිව ක්‍රියාත්මක වුණු එක්තරා කාන්තාවක්ද මේ වන විට යළිත් වතාවක් ජාත්‍යන්තර කරළියේ සිය මෙහෙයුම් ආරම්භ කර ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඇය වෙන කවුරුවත් නොව සමන්තා පවර්ය. සමන්තා යනු 2015ට පෙර මහින්ද රාජපක්ෂ රජයට බරපතළ ආකාරයේ මානව හිමිකම් චෝදනා එල්ල කළ ඇමෙරිකානු නියෝජිතවරියකි. යුද්ධය නිමාවීමෙන් පසුව ලංකාවට එරෙහිව ඇමෙරිකාව ගෙනගිය මානව හිමිකම් සටනේ ප්‍රබල චරිතයක් නිරූපණය කළේ මේ කියන සමන්තා පවර්ය. එමෙන්ම ඇය එකල පැවැති යහපාලන ආණ්ඩුවේ විදේශ ඇමැතිවරයාව සිටි මංගල සමරවීර මහතා සමඟද සමීප සබඳතාවයක් පවත්වාගෙන ගියාය. එම සබඳතාවය කෙතරම්ද කියනවාද යත් මංගලගේ ‘ඛේමාගේ කොලුවා’ පොතෙහි දොරට වැඩීමේ උත්සවයට පවා සමන්තා පවර් සහභාගිව සිටියාය.
කෙසේ වෙතත් ඇමෙරිකාවේ ට්‍රම්ප් පාලනය පැමිණීමත් සමඟ ඔබාමා යටතේ බලවත් චරිතයක් වූ සමන්තාගේ තටුද සිඳී ගියේය. නමුත් මේ වන විට නැවැතත් ඩිමොක්‍රොටික් පාක්ෂික ජෝ බයිඩන් බලයට පත්වීමත් සමඟ බොහෝ දෙනා සිතා සිටියේ සමන්තාට අමෙරිකානු රාජ්‍ය ලේකම් තනතුර හිමිවනු ඇතැයි කියාය. නමුත් එය සිදුනොවුණු තැන බයිඩන් රජය යටතේ සමන්තාට තැනක් නැතිවී ගොස් ඇති බවද මාධ්‍ය වාර්තා කරන්නට විය. නමුත් එය කණපිට පෙරළමින් පසුගිය සතියේදී එරට බලවත් ආයතනයක් වන යූ.එස්.ඒඩ් ආයතනයේ සභාපතිනිය වශයෙන් සමන්තා පත්කිරීමට බයිඩන් රජය පියවර ගත්තේය. එපමණක් නොව ඇය ඇමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයට පවා පත්කිරීමට බයිඩන් මේ වන විට පියවර ගෙන තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත්තේ 2015ට පෙර ලංකාව මුල්කරගෙන සමන්තා රැගෙන ගිය සටන නැවතුණ තැනින් නැවත ආරම්භ කිරීමට බයිඩන් රජය අවස්ථාව සලසා දී ඇතැයි කියාය.

මෛත්‍රිපාලට පහර දීම ඇරඹේ

මෛත්‍රිපාල සිරිසේන යනු බොහෝ කාලයක් නිහඬව සිට හිටිහැටියේම දේශපාලන බෝම්බ පත්තු කිරීමට සමත්කම් දක්වන චරිතයක් ලෙස ප්‍රකටය. ඒ අනුව පසුගිය කාලය පුරාම ආණ්ඩුව ඇතුළේ නොයෙක් කැපිලි කෙටිලිවලට මුහුණදුන් මෛත්‍රි හිටි හැටියේම ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ආණ්ඩුවේ ඇතැම් කටයුතු දැඩිව විවේචනය කිරීමට පියවර ගත්තේය. එමෙන්ම පක්ෂ මහලේකම්වරයා වන දයාසිරි ජයසේකර මහතාද ඉකුත් අවස්ථාවකදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ආණ්ඩුවේ ප්‍රධානීන් ශ්‍රීලනිප ප්‍රධානීන් ගණන් නොගන්නා බවත්, මේ හේතුව මත ශ්‍රීලනිප නියෝජිතයන් අසරණව සිටින බවත්ය. එමෙන්ම හිටපු මහලේකම්වරයා වූ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසද මෑතකදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ආණ්ඩුවේ ඇතැම් කටයුතු හේතුකොටගෙන ශ්‍රීලනිප නියෝජිතයන් කලකිරී සිටින බවකි.
මෙවැනි පසුබිමක් යටතේ පසුගිය සතියේ එක්තරා අපූරු සිදුවීමක් සිදුවිය. ඒ ආණ්ඩුවේ පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීන් අතරය. පොහොට්ටුව නියෝජනය කරන සියලුම මන්ත්‍රිවරුන් ඇතුළත් කොට වට්ස්ඇප් සමූහයක් නිර්මාණය කර ඇති අතර, එහි නිරන්තරයෙන්ම පොහොට්ටු සාමාජිකයන් දැනුවත් කරන පණිවුඩ, නිවේදන, දේශපාලන කතා, වීඩියෝ ආදිය ඇතුළත් කිරීම සිදුවේ. එමෙන්ම ඒවාට මන්ත්‍රිවරුන් විසින් විවිධ පණිවුඩ පිළිතුරු වශයෙන් තබන ආකාරයක්ද දැකිය හැකිය.

සීතා දාපු වීඩියෝව

පසුගිය සතියේ මෙම වට්ස්ඇප් ජාලයට එක්තරා මන්ත්‍රිවරියක විසින් වීඩියෝවක් ඇතුළත් කොට තිබිණ. ඒ මන්ත්‍රිවරිය වෙන කවුරුත් නොව සීතා අරඹේපොළ මහත්මියය. සීතා ඊට එක්කොට තිබුණේ මෛත්‍රිපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස පසුගිය ජනාධිපතිවරණ සමයේ කළ කතා ඇතුළත් වීඩියෝවකි. මෛත්‍රිගේ වීඩියෝවේ ඔහු සඳහන් කරන්නේ තමන් ජනාධිපති වීමෙන් අනතුරුව ජනාධිපති මන්දිරයේ හෝ අරලියගහ මන්දිරයේ සිට ආණ්ඩු නොකරන බවත්, තම ගම වූ පොළොන්නරුවේ සිට ආණ්ඩු කරන බවත්ය. සජිත්ගේ වීඩියෝවේ දැක්වුණේ තමන්ද ජනාධිපතිවරයා වීමෙන් පසුව ජනාධිපති මන්දිරවල සිට ආණ්ඩු නොකරන බවත්, මහ පාරේ සිට ජනතාව සමඟ එක්ව ආණ්ඩු කරන බවත්ය.
කෙසේ වෙතත් සීතා එක්කොට තිබූ මෙම වීඩියෝවට කිසිදු මන්ත්‍රිවරයකු සිය අදහස් එක්කොට නොතිබුණද මෙම වීඩියෝවෙන් එක් කරුණක් හොඳහැටි පැහැදිලිය. ඒ, පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ද මේ වන විට මෛත්‍රිපාල ඉලක්ක කර පහරදීම ආරම්භ කොට ඇති බවය.

රනිල් වෙනස් නොවී සියල්ල වෙනස් කරයි

මහ මැතිවරණ පරාජයෙන් පසු එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේම කියා සිටියේ පක්ෂය තරුණ නායකත්වයට භාරදෙන බවත්, දෙසැම්බර් 31න් පසුව තමන් නායකත්වයෙන් ඉවත්වන බවත්ය. ඒ අනුව අවස්ථා කිහිපයකදීම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් පවත්වා පක්ෂයේ තනතුරු වෙනස් කරන බව පෙන්නුවද රනිල් ඒ කිසිදු අවස්ථාවක පක්ෂය ඇතුළේ ලොකු වෙනසක් කරන්නට ගියේ නැත. කළ එකම වෙනස වූයේ මට මාස කිහිපයකට ඉහතදී පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය සිය මස්සිනා වූ රුවන් විජේවර්ධනට භාරදීම පමණය.
කෙසේ වෙතත් ඒ කිසිදු අවස්ථාවක රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට කටයුතු කළේ නැත. එමෙන්ම පසුගිය බදාදා දිනයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීද පක්ෂයේ සියලු තනතුරුවල වෙනසක් සිදුකිරීමට රනිල් පියවර ගත්තද සිය නායකත්වය තවදුරටත් තමන්ගේ අතේම තබාගැනීමට කටයුතු කර තිබීම විශේෂත්වයක් විය. මීට අමතරව තමන් සමඟ එදා සිටම එකට සිටි සාගල රත්නායකට පක්ෂයේ උප සභාපති ධුරයක්ද, අකිල විරාජ් කාරියවසම්ට එතෙක් රවි කරුණානායක දැරූ උපනායක තනතුරද ලබාදීමට රනිල් කටයුතු කර තිබිණ. වජිරට පක්ෂයේ සභාපති ධුරයද, මහලේකම් ධුරය රංගේටද ලබාදීමට කටයුතු කර තිබිණ.

රවීට මොනවත් නෑ

කෙසේ වෙතත් රනිල් ඊට පෙර පක්ෂ මහලේකම් ධුරය ලබාදෙන බව පොරොන්දු වී තිබුණේ රවි කරුණානායකටය. රවි ඒ බව සිය පාක්ෂිකයන්ට මෙන්ම හිතවතුන්ටද දැනුම් දී තිබිණ. නමුත් අවසන් මොහොතේදී රවිට දැනගන්නට ලැබුණේ පක්ෂ මහලේකම් ධුරය තමන්ට නොදී රනිල් රංගේ බණ්ඩාරට ලබාදීමට තීන්දු කර ඇති බවය. ඒ අනුව බදාදා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට ප්‍රථම රවි සිරිකොතට පැමිණ රනිල්ගේ කාමරයේදී රනිල්ව මුණගැසීමට පියවර ගත්තේය. එමෙන්ම තමන්ට දුන් පොරොන්දුව කඩ කරමින් පක්ෂ මහලේකම් ධුරය රංගේට ලබාදීම සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය රනිල්ට පළ කළ රවි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට හෝ සහභාගි නොවී සිරිකොතින් පිටව ගිය ආකාරයක් දක්නට ලැබිණ. මීට අමතරව එදින රැස්වීමට පක්ෂයේ ජාතික සංවිධායකවරයා වූ නවීන් පවා සහභාගි වී නොසිටීම විශේෂ සිදුවීමක් විය. නමුත් තවදුරටත් එම තනතුර නවීන්ට ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනා වුවද ඔහු එය භාර නොගන්නේ නම් එම තනතුරට වෙනත් අයකු පත්කිරීමටද රනිල් සැලැසුම් කොට ඇත.

කොරෝනා බය ඇමැති මණ්ඩලයටත්

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් අතර ද කෝව්ඩ් වසංගය පැතිර යාමට පටන් ගත්තේ පසුගිය සතියේය. මුලින්ම කොවිඩ් වැළඳුණේ රාජ්‍ය ඇමති දයාසිරිටය. පසුව හකීම්ටත් වාසුටත් කොවිඩ් වැළඳී ඇති බව තහවුරු විය. වාසුට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වූයේ පසුගිය සදුදාය. සදුදා සවස කැබිනට් මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතව තිබුණි. එහෙත් ඇතිවූ හදිසි තත්ත්වය මත කැබිනට් මණ්ඩලය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කෙරිණ. ඒ අනුව පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය සදුදා සවස 5.00 ට රැස්වූයේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේය.
ඇමති ඩලස් මෙවර ඔන්ලයින් කැබිනට් රැස්වීමට සම්බන්ධ වූයේ ඔහුගේ ජංගම දුරකථනය ඔස්සේය. ඩලස් දුරකථනය අල්ලා ගෙන සිටි ආකාරය නිසා අනෙත් ඇමතිවරුන්ට පෙනුණේ ඔහුගේ මුහුණ නොව නළලය. මේ අතර ඩලස්ගේ කැබිනට් පත්‍රිකාවක් සාකච්ජාවට ගැනිනි.
“කෝ මේ ඇමතිතුමා. ඉන්නවා නේද? ” ජනාධිපති ගෝඨාභය ඇසුවේය.
“එතුමාගේ පේන්නේ නළල” විමල් කීවේය.

ඩලස්ගේ නළල විතරයි

“සමාවෙන්න මම මේ ජංගම දුරකථනයෙන් සම්බන්ධ වෙලා ඉන්නේ’ ඩලස් කීවේය. ඒ කියන අතරතුර ඩලස් තමන් දුරකථනය අල්ලාගෙන සිටින ඉරියව්ව වෙනස් කරමින් ඇමති සගයන්ට සිය මුණ පෙන්වන්නට උත්සාහ ගත්තේය. ඩලස්ගේ උත්සහය සාර්ථක වූයේය.
“දැන් හරිද?” ඩලස් ඇසුවේය.
“හරි හරි… විජේවීර අල්ල ගත්ත කාලේ වගේයි හැබැයි මූණ නම්” විමල් කිවේය.
ඇමති ජී.එල්. මෙවර කැබිනට් මණ්ඩලයට පාසල් නිල ඇදුම් ලබා දීම සදහා වන යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.
“ඉස්කෝලේ පටන්ගන්නවාත් එක්කම නිල ඇදුම් ලබා දීම කරන්න ඕනෑ. මේ කොරෝනා ප්‍රශ්නය ඒකටත් බලපෑවා” යැයි ජී.එල්. කියද්දී “දේශීය කර්මාන්තකරුවන් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ නිල ඇදුම් දෙන්න. මේක හැකි ඉක්මනින් දෙන්න” යැයි ගෝඨාභය කීවේය.
වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රිකාවක් සාකච්ඡාවට ගත් අවස්ථා කිහිපයකදීම එය සාකච්ඡා කිරීමට නොහැකි වූයේ තාක්ෂණික දෝෂයක් නිසා ලොකුගේගේ හඬ කැබිනට් මණ්ඩලයට නෑසීම හේතුවෙනි.

ලොකුගේ අමාරුවේ වැටෙයි

“මේක ගන්නකොටමනේ මේ සද්දේ නැතුව යන්නේ” විමල් කිවේය.
“බන්දුල ඇමතිතුමා ළ`ඟපාතක ඉන්නවාද දන්නේ නැහැ. එයා මොනවාහරි කරලා ඇති සද්දේ නොඑන්න.” මහින්දානන්ද විහිලු කලේය.
“මම ළඟ හිටියානම් උදව් කරනවානේ” බන්දුල වහා කිවේය.
කීපවතාවක් ගාමිණි ලොකුගේ ඇමතිවරයා දෝෂය නිවැරදි කරගන්නට උත්සහ කළද එය හරි ගියේ නැත.
“ඇමතිතුමා වෙනුවෙන් මම පැහැදිලි කරන්නම්” කියමින් බන්දුල වහා ඉදිරිපත්ව කැබිනට් පත්‍රිකාව ගැන කරුණු ඉදිරිපත් කළේය.
යාපනය විශ්ව විද්‍යාලය අනවසර ඉදිකීරිමත් ඉවත් කිරීමේ සිද්ධියද පසුගිය සතියේ රට තුළ ලොකු ආන්දෝලනයක් ඇති කළේය. මේ ගැන කැබිනට් මණ්ඩලයේදී මතු කළේ ඩග්ලස් දේවානන්දය.
“මගෙන් ප්‍රෙස් එක මේ ගැන ඇහුවාම මම කිව්වා ඒක හැදුවේ මහ රෑ කැඩුවෙත් මහ රෑ කියලා. මේක අනවසර ඉදිකිරීමක්. මේ රටට විරුද්ධව මානව හිමිකම් යන අයට ආයුධයක්” ඩග්ලස් කීවේය.
“මේක යූ.ජී.සී. එකේ තීන්දුවක්. යූ.ජී.සී. එක තීරණය කර තිබෙනවා විශ්ව විද්‍යාලය තුළ තිබෙන නීති විරෝධි ඉදිකිරීම් අයින් කරන්න. යාපනයේ වුණෙත් ඒක.” ජනාධිපතිවරයා කිවේය.
“මේකට හමුදාව හෝ පොලිසියේ සම්බන්ධයක් නැහැ.” ඇමති සරත් වීරසේකර කීවේය.
“යු.ජී.සී. එක මේ තීන්දුව අද ඊයේ ගත්ත එකක් නෙවෙයි. ටික කාලයට කලින් ගත්ත තීරණයක් උප කුලපතිතුමා අද උදේ නැවත මුල් ගලත් තියලා තියෙනවා. ඒකටත් අපේ සම්බන්ධයක් නැහැ.” ජී.එල්. කිවේය.
“කලින් ගත්ත තීන්දුවක් හදිසියේ ක්‍රියාත්මක කිරීමත් ඒ තීන්දුව අකුලගෙන ආයේ උපකුලපතිතුමාම මේක හදන්න දුන්න එකත් ගැටලුවක්. මේක තවත් අනවශ්‍ය අර්බුදයක්” ඇමති විමල් කිවේය.

විමල්ට නිමල් පැටලෙයි

“විශ්ව විද්‍යාලයේ අනුමැතියක් නැතිව කිසිම නිර්මාණයක් හෝ ස්මාරකයක් කරන්න බෑ. ඒක තමයි නීතිය.” ජී.එල්. පැහැදිලි කළේය.
කැබිනට් රැස්වීම අමාත්‍යාංශයේ වෙනත් කරුණු යටතේ ඇමති චමල් කීවේ නිදහස් දිනයේදී මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ පිළිරුවට මල් මාලයක් පැළඳවීමට ඇමතිවරයෙකු නම් කර ගත යුතු බවය.
කිසිවෙකු ඊට ඉදිරිපත් නොවූ විට ඇමති විමල් විහිලුවට මෙන් කීවේ පත්තරේ දැන්වීමක් දාලා බලමු කියාය.
ඒත් කිසිවෙකු ඉදිරිපත් නොවූ තැන විමල් කිවේ “මේ අය තමන්ට මල් මාලා දමාගන්න කැමති අය මිසක් වෙනත් අයට මල් මාලා දාන්න කැමති අය නෙවෙයි. ඒකයි ඉදිරිපත් නොවෙන්නෙ” කියාය.
“මේක සම්ප්‍රදායක්.” චමල් කිවේය.
ජනාධිපති ගෝඨාභය “ඕකට විමල් ඇමතිතුමාම හොඳයි” කියා කිවේය. එය විමල්ට ඇසුණේ නිමල් කියාය.
“ඔව් ඔව් නිමල් ඇමතිතුමා නම් හොඳයි තමා” විමල් කීවේය.
“නෑ නෑ මම කිව්වේ විමල්” ජනාධිපතිවරයා කීවේය.
ඔය අතර පවිත්‍රා, ගාමිණි ලොකුගේ ඇමතිවරයාව යෝජනා කළේය. ලොකුගේ ඉතා කැමැත්තෙන් ඒ වගකීම භාරගත්තේය.
ඌන සේවා උපාධිදාරීන්ට රජයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙළට ඇතුළත් කර නොගැනීම පිළිබදව ගැටලුව මතු කළේ ඇමති විමල් වීරවංශය.
“600ක් විතර තමයි ඉන්නේ. රැකියා නැති නිසා තමයි ඔවුන් උපාධියට නොගැලපෙන රැකියාවලට ගිහින් තියෙන්නේ” විමල් පැහැදිලි කලේය.
“නැහැ නැහැ මම කිව්වා ඒ අයට අවස්ථාවට දෙන්න කියලා” ජනාධිපතිවරයා කීවේය.
“නමුත් ඒක වෙලා නැහැ ජනාධිපතිතුමනි. මෙතන ඉන්න විමල් ඇමතිතුමා කිව්වා වගේ දහසකට අඩු පිරිසක්. මේ අය රස්සාවලට ගියේ රස්සා නැති නිසා. විශේෂ තීන්දුවක් හරි අරන් මේ අයත් උපාධිධාරීන්ගේ වැඩපිළිවෙළට ඇතුළත් කර ගැනීම හොඳයි” ඇමති ප්‍රසන්න රණතුංග ද කිවේය.
“ඒ අය රජයේ රැකියාවක් කරමින් සිටි නිසා ඇතුලු වුණේ නැහැ.” යැයි කැබිනට් ලේකම් පැහැදිලි කළේය.
“ඒක අසාධාරණයි. ඒ අයට රස්සාවක් නැති නිසයි වෙනත් රැකියාවකට ගියේ” ඇමති ප්‍රසන්න යලි කිවේය.
“මම අනුමැතිය දුන්නානේ. මම ඒ ගැන බලන්නම්” ජනාධිපති එසේ කියමින් ප්‍රශ්නය අවසන් කළේය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

පොලිසියේ හිස් පුටු 6337ක්

Next Post

ඉම්රාන් ඛාන් ලංකාවට

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.