කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට ඉඩ ලබා දිය යුතු බව කොටුවේ පොඩි හාමුදුරුවන් ලෙස ප්‍රසිද්ධ අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සදහන් කර සිටිති.
මෙම ප්‍රශ්නය තවත් දිග්ගැස්සවිය යුතු නොවන බවද අවධාරණය කරන උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ මීට වඩා අවධානය යොමු කළ යුතු ප්‍රශ්න රාශියක් රටේ පවතින බවයි.
“අනිවාර්යයෙන්ම මුස්ලිම් මළ සිරුරු භූමදානයට ඉඩ දිය යුතුයි. ඒක රජයේ නීතීන්ට යටත්ව ඒගොල්ලන්ගේ ප්‍රදේශවල සිදු කළ යුතුයි කියලයි මම කියන්නේ. හැබැයි ඒවා වෙන කොහෙවත් වළලන්න බැහැ. නාවන්න දෙන්නත් බැහැ. ඒගොල්ලන්ගේ ප්‍රදේශවල ඒගොල්ලන්ගේ සුසාන භූමිවල කොන්ක්‍රීට් වළක හරි දාලා ඒක කරන්න ඉඩ දෙන්න ඕනෑ. දැන් වෙන රටවල් එකසිය අනූ ගාණක මේක කරනවා කියලා කියනවනේ. ඒ නිසා මේක දැන් ඉවර කරන්න ඕනෑ. මේ නාඩගම දැන් ඇති. මීට වඩා දහසකතුත් ප්‍රශ්න මේ රටේ තියෙනවා.” යනුවෙන් යූ ටියුබ් නාළිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින් කොටුවේ පොඩි හාමුදුරුවෝ එලෙස පැවසූහ.
මෙම ප්‍රශ්නය දැන් දේශපාලනික වී ඇති බවද සඳහන් කළ උන්වහන්සේ එහිදී ඉල්ලා සිටියේ මෙම ප්‍රකාශය අසා තමන් මුස්ලිම් ජනතාවගේ මුදල් ගෙන කතා කරන බවට චෝදනා එල්ල නොකරන ලෙසය.
“මේක අහලා මට බනියි. මගෙ තට්ටේ පලන්න ඕනෑ කියයි. මම මුස්ලිම් මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන කියයි. ඒත් මේක දැන් ඇති. කොයි විදියට හරි මේක ඉවර කරන්න ඕනෑ. ඒකයි මම කියන්නේ.” ඒ උන්වහන්සේගේ අදහස්ය.
මේ අතර මළ සිරුරු භූමදානය කිරීම මුස්ලිම් ආගමිකන්ගේ අයිතියක් බව පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති. බොදුබල සේනා සංවිධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ එය මුස්ලිම් ජනතාවගේ සංස්කෘතියද වන බවය.
“මුස්ලිම් අයගේ ආගමික අයිතියක් ඒක. මොකද ඒ අය විශ්වාස කරනවා මේ ජන්මය ලබන්නේ මේ පසෙන් කියලා. ඒ නිසා පසටම පොහොර වෙන්න ඕනෑ කියලා ඒ අය විශ්වාස කරනවා. ඒක මුස්ලිම් අයිතිය. ඒක සංස්කෘතිය. හැබැයි ඒ ආගමික අයිතිය වලදාන කොට සියළු දෙනාම පිච්චෙනවා. ඒකයි භයානක කම.” ඥානසාර හිමියන් අදහස් දැක්වූයේ එසේය.
දෙමළ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් මෙන්ම මුස්ලිම් ප්‍රශ්ණය ආගමික ප්‍රශ්නයක් වන බවද සඳහන් කළ උන් වහන්සේ ආගමික ප්‍රශ්න ඉතා සංවේදී බවද සඳහන් කළහ.










