• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

අල්ලපු කුඩු කෝ: දැන් කුඩු නැද්ද: කළ මෙහෙයුම් බොරුද: ඊළග මෙහෙයුම මොකද්ද? EXCLUSIVE

January 3, 2021
in CID, Exclusive, Uncategorized
Reading Time: 10 mins read
A A
අල්ලපු කුඩු කෝ: දැන් කුඩු නැද්ද: කළ මෙහෙයුම් බොරුද: ඊළග මෙහෙයුම මොකද්ද? EXCLUSIVE

Sri Lankan police officers in protective costumes prepare to destroy a haul of seized cocaine during a ceremony at an industrial facility in Katunayaka, outskirts of Colombo, Sri Lanka, Monday, Jan. 15, 2018. Sri Lankan authorities have destroyed more than 900 kilograms of cocaine that was part of the country's largest single seizure of the illegal drug. (AP Photo/Eranga Jayawardena)

Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග සෞභාග්‍යයේ දැක්ම මැතිවරණ ප්‍රකාශය යථාවත් කිරීම සදහා පොලීසිය දැවැන්ත මෙහෙයුමක් දියත්කරන්නේ මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිවය. බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් සිදුවුණු එම පොලිස් මෙහෙයුම්වලට මත්කුඩු ජාවාරම් කරුවන් යැයි සඳහන් පුද්ගලයින් දහ පහළොස් දෙනෙක් දිනකට කොටු කර ගැනීමට පොලීසියට එතරම් අපහසු කටයුත්තක් නොවීය.

අල්ලන කුඩ්ඩන්ට මොකද වුණේ

රූපවාහිනී පුවත් විකාශයන්වල මත්කුඩුවලට එරෙහි පොලිස් මෙහෙයුම් වාර්තා කිරීමට වෙනම කාලයක් පවා වෙන්කර තිබුණේ එබැවිනි. ඒ අල්ලා ගන්නා සෑම මත්කුඩු ජාවාරම්කරුවෙක්ටම අන්වර්ථ නාමයන්ද පැවතුණි. අන්වර්ථ නාමයන් නැති අයට පොලීසිය අන්වර්ථ නාමයන් දැමුවේය. ඒ මාධ්‍යයේ වැඩි ඉඩක් වෙන්වූයේ එවැනි අන්වර්ථ නාමයන් ඇත්තන්ට වූ බැවිනි. මත්කුඩු ජාවාරම්කරුවන් යැයි සඳහන් කරමින් පොලීසිය ඒ අල්ලාගත් පිරිස සිය දහසකට වැඩිය. මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව පොලීසිය කළ ඒ මෙහෙයුම්වලට අනුව දැන් අපේ රටේ මත්කුඩු බිඳක් බෙදන්නට අයෙක් නැති විය යුතුය. ඒ තරමට මත්කුඩු ජාවාරම්කරුවන් යැයි සඳහන් වූ පුද්ගලයන් අල්ලාගත්තේය. හැබැයි ඒ අය සතුව මත්කුඩු කිලෝ ගණන් තිබුණේ නැත. තිබ්බේ ග්‍රෑම් ගණනින්ය. පොලිස් ලොක්කෝද පොලිස් පොඞ්ඩෝ සමග එක්ව කැමරා කාච ඉදිරියේ එම මත්කුඩු පරීක්ෂා කරමින් රඟපෑම්වල නිරතවන්නට වූයේද කිලෝ සිය ගණනක් මත්කුඩු අල්ලාගෙන ඇති අයුරිනි.

1300 කුඩු පැකට් එක 400ට බැස්සේ කොහොමද

රූපවාහිනී කැමරා ඉදිරියේ කළ මත්කුඩු ජාවාරමට එරෙහි පොලිස් මෙහෙයුම් සැබෑ ලෙසම මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව දියත්වූවක්ද නැති නම් ඉහළ පොලිස් නිලධාරීන් මෙන්ම දේශපාලන අධිකාරිය රැවටීමකට කළ රඟපෑම්ද යන්න පිළිබදව මේ වන විට ඇත්තේ උභතෝකෝටික ගැටලු රැසකි. ඒ එම මෙහෙයුම් දියත්වන විට මත්කුඩු ලෝලීන් භාවිතා කරන සාමාන්‍ය මත්කුඩු පැකට්ටුවක මිල රුපියල් 1300 සිට රුපියල් 400 දක්වා මේ වන විට පහළ බැස තිබීම නිසාය. මෙම මිල පහළ යාම ආරම්භ වන්නේ පොලීසියේ මෙහෙයුම්වලට සමගාමීවය. එහිදී පොලීසිය කොටුකර ගත්තේද තෝරාගත් මත්කුඩු ජාලයකට සම්බන්ධ පිරිසක් පමණක් බව ප්‍රසිද්ධ රහසකි. පොලීසියට මග හැරුණු එම ජාවාරම්කරුවන් කිහිප දෙනාට නිදහසේ මත්කුඩු ජාවාරම කරගෙන යාමට අවස්ථාව උදාවීම කොතරම් පොලිස් වැටලීම් දියත් වූවත් මත්කුඩු සුලබ වීමටත් මත්කුඩු මිල පහළ යාමටත් බලපෑ බව දන්නෝ දනිති. එම මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණයන් යටතේ පැවැති නඩු විභාගයන්ද දැන් ඇත්තේ විසිවය. ඒ ඔහු සත්ගුණවත් දානපති ව්‍යාපාරිකයෙක් බවට නීතිය ඉදිරියේ භෞතිස්ම ලබමිනි.

හිරගෙදර කුඩු සෙල්ලමත් තවමත් ජයටම

පොලිස් මෙහෙයුම්වලට සමගාමීව බන්ධනාගර පද්ධතිය ශුද්ධ කිරීමේ මෙහෙයුමක්ද දියත් විය. ඒ මත්කුඩු ජාවාරම බන්ධනාගාර කේන්ද්‍රකර ගනිමින් සිදුවන්න බව කාලයක් තිස්සේ බුද්ධි අංශ විසින් එල්ල කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනි. දරුණු ගණයේ අපරාධකරුවන් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවන් වෙනම ආරක්ෂිත බන්ධනාගාරවල හුදෙකලාව සිරගත කර කරන්නට පියවර ගැනෙන්නේද ඒ අනුවය. එසේ බන්ධනාගාර පද්ධතිය ශෝධනය කිරීමට ගත් උත්සහයෙන්ද තවමත් බන්ධනාගාර පද්ධතිය තුළ සිදුවන මත්කුඩු හුවමාරුව සැළකිය යුතු තරමින් පාලනය වී ඇති බවක් දක්නට නැත. මේ සියල්ලටම හේතුව මත්කුඩු ජාවාරම්කරුවන් මේ වන විට කණ්ඩායම් වශයෙන් බෙදී වෙන්වීමකින් තොරව එකට එක්ව ගතව මත්කුඩු ජාවාරමට එරෙහි මෙහෙයුම්වලට සාර්ථකව මුහුණ දීමට පටන්ගෙන ඇති බැවිනි. ඒ සියලුම මත්කුඩු ජාවාරම්කරුවන් සිටින්නේ මෙරටින් බැහැරවය. ඒ ඩුබායි, එංගලන්තය, ප්‍රංශය සහ ඉතාලිය යන රටවල් අශ්‍රිතවය.

මුජහිඩ්-කුඩු ලාල්-මොරිල්-අංජු-විදුර

මේ සම්මුතිය ගොඩ නගා ඇත්තේ මොහොමඞ් මුජහිඞ් නැමැති මෙරට අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවාය. දුටුතැන අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීස් රතු නිවේදනයක් පවා නිකුත්කර ඇති ඔහු එම රතු නිවේදනයට පයින් ගසා යුරෝපය පුරා සැරිසරමින් සිටින්නේ විවිධ වෙස් ගෙනය. මේ වන විට ඩුබායි හී රැඳී සිටින ඔහු සම්මුතිගත කර සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් අතර ඉහළින්ම සිටින්නේ එංගලන්තයේ සිටින කුඩු ලාල්, ඩුබායිහී රැඳී සිටින මොරිල්, ප්‍රංශයේ රැදී සිටින අංජු, ඉතාලියේ රැඳී සිටින රත්ගම විදුර යන පකිස්තානයේ සිට එකවර මත්කුඩු කිලෝ සිය ගණන් ඇනවුම් කරන්නන්ය. මත්කුඩු මිල පහළ බස්සවා ඇත්තේද මේ අය විසිනි. ඒ වැඩි වශයෙන් අපේ රටේ තරුණ පරපුර මත්කුඩු භාවිතයට ඇබිබැහිකරවන්නටය.

ලොක්ඩවුන් කළ පැතිවලත් කුඩු

කොවිඞ් 19 දෙවැනි රැල්ලේ ව්‍යාප්තිය අස්සේ ලොක්ඩවුන් කළ ප්‍රදේශවල පවා සුලබ ලෙස අඩු මිල ගණන්වලට මත්කුඩු ලෝලීන්ට මත්කුඩු මිලදී ගැනීමට හැකියාව ලැබී ඇත්තේද ඒ නිසාය. ඒ කටයුතුවලට එම ජාවාරම්කරුවන්ගේ සාක්කුවලට වැටී සිටින දූෂිත නිලධාරීන්ගෙන් ලැබී ඇත්තේ මහත් පිටුවහලකි. පොලීසියභාර අලුත් ඇමති සරත් වීරසේකර පොලීසියේ සියයට 10ක් පමණ පිරිසක් මත්කුඩු ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් ඇතැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් පවා කරන්නට ඇත්තේ ඒ නිසා විය හැකිය.
පොලිස් නිලධාරීන් ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පවත්වන බවට උදාහරණ ඕනෑතරම් පසුගිය මාස කිහිපය තුළ පැහැදිලිවම දකින්නට ලැබුණි. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීයෙක් සිය සහෝදරයාගේ වඩුමඩුවේ සඟවා තිබුණු හොරොයින් කිලෝ තිහද ඒ අතර එකකි. එම නිලධාරියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සහ ගනිද්දී ඔහු බෝට්ටුවකින් පළාගොස් මතුවන්නේ ඉන්දියාවෙනි. ඉන්දියානු වෙරළ ආරක්ෂක බළකාය විසින් ඔහුව අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා පළවූවත් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට එතරම් උනන්දුවක් පොලීසිය තුළ නැත්තේ ඔහුව මෙරටට රැගෙන ඒමෙන් පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේම රෙදි ගැලවෙන නිසා වන්නටද පුළුවන. මාකදුරේ මධුෂ්ද මෙරට මත්කුඩු ජාවාරම හා බැඳී සිටි පොලිස් ලොක්කන් කිහිප දෙනෙක් ගැන මෙන්ම දේශපාලනඥයන් රැසක් ගැනම තොරතුරු හෙළිකළත් මධුෂ්ගේ මරණයත් සමග ඒ සියල්ල වැළලී ගොස් ඇත්තේ ජාවාරම්කරුවන්ගේ බලවත්කම නිසා බව දන්නෝ දනිති.

නිලධාරීනුත් වැඩේට සෙට් වෙලා

මෙරට සිදුවන මත්කුඩු ජාවාරම දැන් අපේ රටට පමණක් සීමා වී නැත. එය ජාත්‍යන්තරය දක්වාම විහිදෙමින් ඇත්තේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අපේ රට පත්කරගනිමිනි. සීෂෙල්ස්, මාලදිවයින, ඕස්ටේ්‍රලියාව සහ අප්‍රිකානු රටවල්වලට මත්කුඩු බෙදා හැරෙන්නේ අපේ රට කේන්ද්‍රකර ගෙනය. යහපාලන ආණ්ඩුව පැවැති සමයේදී අල්ලාගත් සීනි තොග අස්සේ සැඟවුණු බ්‍රසීලයෙන් ගෙන්වන ලද කොකේන් පවා සූදානම් කර තිබී ඇත්තේ මෙරට සිට වෙනත් රටවල්වලට රැගෙන යන්නටය. එම ජාවාරම පිටුපස සිටියේ යැයි හෙළිවන්නේ පොලිස් ලොක්කෙකුගේ මස්සිනාය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඒ ගැන එකල කළ පරීක්ෂණ අදටත් ඇත්තේ ඇනහිටය. ඒ අදාළ පොලිස් ලොක්කාට යහපාලන ආණ්ඩුවේ ඉහළ දේශපාලන හයි හත්තිය පැවැති බැවිනි. දැන් එම පොලිස් ලොක්කා සිටින්නේ විශ්‍රාම ගොසිනි. අද ඔහු ලක්ෂ ගණනක වැටුප් ලබන සමාගම් සේවකයෙකි.
මේ වනවිට සම්මුතිගතව සිටින විදෙස්ගතව සිටින මත්කුඩු ජාවාරම්කරුවන් සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දූෂිත නිලධාරීන්ට තිබී ඇත්තේ සමීප සම්බන්ධයකි. එම මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මත්කුඩු බෙදාහැර ඇත්තේ එම නිලධාරීන්ය. ඒ අයගෙන් කොටසක් දැන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. තවත් කිහිප දෙනෙක් සිටින්නේ මහ උළු ගෙදරය. ඒ ඔවුන් කාලයක් තිස්සේ කළ එම ජාවාරම මෑතකදී හෙළිවීම නිසාය. ඒ පිටුපස ඇත්තේද ජවාරම්කරුවන් සමග එම නිලධාරීන් අතර පැවැති ගැටුමකි. එසේ නොවන්නට අදටත් මේ ජාවාරම සිදුවන්නේ හොර රහසේය.

වෙලේ සුදා එක්ක ගහපු ගේම

මේ අය මරණිය දණ්ඩනය නියම වී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ වෙළේ සුදා සමගද සම්මුතිගතව මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති බව කියති. වෙලේ සුදාගේ ඔත්තුවෙන් යැයි කියමින් මත්කුඩු කිලෝ සිය ගණනින් අල්ලාගන්නා අතර ඊට වඩා වැඩි කොටසක් පිට පාරෙන් පන්නා වෙලේ සුදාගේගේ ගෝලයින් අතටම පත්කරන බව දැන් හෙළිවී හමාරය. පොලීසියත් මත්කුඩු ජාවාරම්කරුවන් අතරත් අන්‍යෝන්‍ය සම්බන්ධය ගොඩනැගී ඇත්තේ ඒ ආකාරයටය. එය අදටත් එසේමය. මේ තත්වයට මුල්වී ඇත්තේ මත්කුඩු විශාල වශයෙන් අල්ලා ලකුණු දා ගැනීමට ඇති පොරකෑමකි. ඒ තුළින් සිදුවූයේ සෑම විටම දූෂණයකි. එකී අනවශ්‍ය තරගයට නැවතීමේ තිත තබමින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට දැවැන්ත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් මේ වන විටත් අවශ්‍ය පිඹුරුපත් සකස් කරමින් සිටිති.

අලුත් කුඩු සටනට ආයතන 4ක් එක් කරයි: එක්සත් ජාතීන්ගේ සහායත්

ඒ මත්කුඩු ජාවාරම්කරුවන් සම්මුතිගතව මත්කුඩු ජාවාරම් මැඩලීමට එරෙහිව පෙළ ගැසී ඇති ආකාරයට මෙරට මත්ද්‍රව්‍ය මෙහෙයුම්වල නිරතව සිටින සියලුම ආරක්ෂක අංශ ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීමට පෙළ ගස්සවමිනි. ඒ අනුව මුහුදු තරණය කරමින් මෙරටට රැගෙන එන මත්කුඩු තොග සමග ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, රාජ්‍ය බුද්ධි සේවය, නාවික හමුදාව, වෙරළ ආරක්ෂක බළකාය ඇතුළු අංශ කිහිපයක්ම එක මේසයකට ඉකුත් සතියේ රැස්විය. ඔවුන්ට එම මෙහෙයුම් සදහා තාක්ෂණික සහය එක්සත් ජාතින්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබද කාර්යාලයෙන් ලබාදීමට මේ වන විටත් කැමැත්ත පළකර හමාරය. පකිස්තානයේ සිට ජාත්‍යන්තර මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය පැටවූ යම් යාත්‍රාවක් ගමන් කරන්නේ නම් මෙම කාර්යාලයේ චන්ද්‍රිකා දත්ත නිරීක්ෂණයෙන් ගැලවී යන්නට බැරිය. මත්කුඩු ජාවාරම්කරුවන් යැයි සඳහන් කරමින් ග්‍රෑම් ගණනින් මත්කුඩු ලෝලීන් අල්ලා හිර ගෙවල් පුරවනවා වෙනුවට මේ අලුත් මෙහෙයුම මගින් සිදුවන්නේ ශ්‍රී ලංකා මුහුදු තීරයත් ශ්‍රීලංකාවට යාබද ජාත්‍යන්තර මුහුදු තීරයත් ඔස්සේ කෙරන ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමට ප්‍රහාර එල්ල කරන්නටය. ඒ මෙරට මත්කුඩු ජාවාරමට තිත තැබීමේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත්කිරීමේ හැකියාව ඇත්තේ ඒ තුළින් බව මේ වන විටත් බලධාරීන් අවබෝධ කර ගෙන සිටීම හේතුවෙනි.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ ශ්‍රීලංකාව කේද්‍රස්ථානය වූ අයුරු

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව කේන්ද්‍රකර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතව සිටින බව මුලින්ම හෙළිවන්නේ වර්ෂ 1960දීය. ඒ පර්සියාවේ සිට කොළඹ වරායට පැමිණි ජෙහිලා නැමැති නෞකාවේ සඟවා අබිං තොගයක් හමුවීමත් සමගිනි. එම අබිං තොගය ප්‍රවාහනය කරන්නට සැලසුම් කර තිබෙන්නේ ශ්‍රී ලංකාව හරහා ඕස්ටේ්‍රලියාවටය.
නැවතත් ශ්‍රී ලංකාව කේන්ද්‍රකර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම වන බවක් හෙළිවන්නේ ඕසටේ්‍රලියාවෙනි. ඒ එරට කැන්බරා වරායට ශ්‍රී ලංකාවෙන් පැමිණි නෞකාවක සඟවා තිබූ ගංජා තොගයක් එරට බලධාරීන්ට හමුවීමත් සමගිනි. එම ගංජා තොගය හසුවන්නේ 1981 වසරේ අප්‍රේල් 20 වෙනිදාය. ඕස්ටේ්‍රලියානු ආරක්ෂක අංශ විසින් ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ ගංජා තොගය නැව් ගතකර ඇත්තේ ලංකාවෙන් බවය. ඒ අනුව එකී ගංජා තොගය නැව්ගත කළ ප්‍රධාන ජාවාරම්කරු කොස්ලන්දේදී අත්අඩංගුවට ගන්නේ අපේ රටේ පොලිසියයි.
ශ්‍රී ලංකාව කේන්ද්‍රකරගෙන ජාත්‍යන්තර වශයෙන් හෙරොයින් බෙදාහැරීම් සිදුවන බව මුලින්ම හෙළිවන්නේ 1989 වසරේදීය. ඒ හෙරොයින් කිලෝ 37ක් සමග නයිජීරියාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා නයිජීරියානුවන් තිදෙනෙකුගෙනි. ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ හොර රහසේ ප්‍රවාහනය කර තිබුණු එම හොරොයින් තොගය ඔවුන් නයිජීරියාවට රැගෙනගොස් තිබුණේ යුරෝපීය රටවලට බෙදා හරින්නටය.
මේ වකවානුවේදීම කොළඹ වරායට සේන්දු වූ හෙන්රිච් නැමැති විදේශීය නෞකාවකින් කොකේන් කිලෝ 04කුත් හෂීස් කිලෝ 11කුත් හෙරොයින් කිලෝ 01කුත් හමුවන්නේ ශ්‍රීලංකාව කේන්ද්‍රකර ගනිමින් සිදුවන තවත් එක් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් අනාවරණය වෙමිනි. එම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබෙන්නේ නෞකාවේ පිටත බඳෙහි සවිකර තිබුණු අඩි 10 ක් පමණ වන සිලින්ඩරයකය.
නැවතත් 1990 වසරේදී නයිජීරියානු කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනෙන්නේ හෙරොයින් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සමගිනි. ඉන්දියාවේ සිට ඇය එම හෙරොයින් තොගය මෙරටට රැගෙන විත් තිබුණාය. එම හෙරොයින් තොගය ඇය රැගෙන යන්නට සූදානම් වූයේ යුරෝපයේ රටකටය. එම වකවානුවේදීම ඕස්ටේ්‍රලියානු ජාතික යුවලක් අත්අඩංගුවට ගන්නේ රහස් ප්‍රදේශවල සඟවාගෙන ඕස්ටේ්‍රලියාවට හෙරොයින් රැගෙන යන්නට සූදානම්ව සිටියදීය. හෙරොයින් ඔවුන් රැගෙනවිත් තිබුණේ බැංකොක් සිටය. මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම හෙළිවන්නේ ඕස්ටේ්‍රලියානු කාන්තාව ගුවන් තොටුපොළේදි හදිසියේම රෝගී වී රෝහල් ගත කිරීම හේතුවෙනි. වාර්තාවලට අනුව ඇගේ රහස් තැන්වලින් පිටතට ගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 200කි.
ශ්‍රී ලංකා මුහුදු තීරය ඔස්සේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම සිදුවන බව මුලින්ම හෙළිවන්නේ 1996 වසරේ දෙසැම්බර් 22 දාය. ඒ හෂීස් ප්‍රවාහනය කළ කුඩා නෞකාවක් හලාවත මුහුදු තීරයෙන් අත්අඩංගුවට ගැනීමත් සමගිනි. හෂීස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ දස දහස් හත්සිය හතළිහක් (10740ක්) එකී නෞකාවේ තිබී සොයා ගත්තේය. එය මෙරට ඉතිහාසයේ එතෙක් මෙතෙක් කළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස ඉතිහාස ගතවීද හමාරය.
ශ්‍රී ලංකාව පසුගිය කාලය පුරා පත්ව තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් බවටය. අපේ කලාපයේ රටක් වන ඇෆ්ගනිස්ථානයේ නිෂ්පාදනය කරනු ලබන හෙරොයින් පකිස්තානය හරහා ශ්‍රීලංකාවට රැගෙනවිත් ලොව පුරා බෙදා හරින බව ඉන්දියානු මත්ද්‍රව්‍ය කාර්යාංශය පවා මෙරටට නිල වශයෙන් මේ වන විටත් දැනුම් දී හමාරය. ඒ 2017 වසරේ අග භාගයේදී මෙරටට රැගෙන එන්නට සූදානම් කර තිබුණු හෙරොයින් කිලෝ 1500ක් පුරවන ලද බෝට්ටුවක් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී වෙරළාරක්ෂකයන්ට හසුවීමත් සමගිනි.
අපේ රටේ තේ දල්ලට ඇති කීර්ති නාමයද මත්ද්‍රව්‍ය ජාවාරමට යොදා ගනිමින් සිලෝන් ටී නමින් හෙරොයින් අසුරා යුරෝපීය රටවල්වලට බෙදා හරින ජාවාරමක්ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හෙළිකර ගත්තේය. මැදපෙරදිග රටවලට හෙරොයින් රැගෙන යන්නේ එම රටවවල ගෘහසේවයට යන කාන්තාවන් යොදා ගනිමිනි.
මාලදිවයිනටත් , ඕස්ටේ්‍රලියාවටත්, අප්‍රිකානු රටවල් රැසකටත්, යුරෝපීය රටවල් කිහිපයකටත්, මැදපෙරදිග රටවලටත් මත්ද්‍රව්‍ය බෙදාහරින කේන්ද්‍රස්ථානය බවට ඒත් එක්කම පත්ව තිබිණි. සීනි කන්ටේනර්වල සඟවා මෙරටට කොකේන් කිලෝ සිය ගණනින් රැගෙන ආවේද ඕස්ටේ්‍රලියාවට සහ යුරෝපීය රටවල් රැසකට බෙදා හරින්නටය. එම මත්ද්‍රව්‍ය ජාලයන්ට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයන් ගොන්නක්ම මේ වන විට ඉන්දියාව, ප්‍රංශය, ඉතාලිය, ඩෙන්මාර්කය, කැනඩාව, ජර්මනිය, සවුදි ආරාබිය, දෝහා කටාර්, ඇමරිකාව, ඕස්ටේ්‍රලියාව, පකිස්තානය, සිංගප්පූරුව, ස්වීඩනය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නෙදර්ලන්තය, ලෙබනනය, සහ මාලදිවයින යන රටවල සිරබත් කමින්ද සිටිති.


මෑත ඉතිහාසයේ කළ ලොකුම මත්කුඩු වැටලීම්

  1. 2019 අප්‍රේලි 23 ත්‍රිකුණාමල මුහුදේදි හලාවත ධීවරයින් පිරිසක් සමග කුඩු කිලෝ 274ක් රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නාවික හමුදාවේ සහය ඇතිව අත්අඩංගුවට ගැනීම.
  2. කොල්ලුපිටිය මරීනා මෝල් සාප්පු සංකීර්ණයේ රථ ගාලේදී කරන වැටලීමකින් වෑන් රථ දෙකක සැඟවූ කිලෝ 294ක් 2019 පෙබරවාරි 23 වෙනිදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගැනීම.
  3. ගල්කිස්ස පංසල පාරේ බ්ලූඬේෂන් තට්ටු නිවාස සංකීර්ණයේ දී සහ කවුඩානේ නිවසක තිබී බංගලාදේශ ජාතිකයන් 05 දෙනෙක් සමග 2018 දෙසැම්බර් 31 හෙරොයින් කිලෝ 278ක් සහ කොකේන් කිලෝ 05ක් කේක් පෙට්ටිවල අසුරා තිබියදී විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සොයා ගැනීම.
  4. කොල්ලුපිටියේ අයිස්ලන්ඞ් ලෑන්ඞ් තට්ටු නිවාස සංකීර්ණයේ වැටලීමකින් ඇමරිකානුවන් 02යි, ඇෆ්ගන් 01යි, ඇතුළු 05 දෙනෙක් සමග 2018 වසරේ දෙසැම්බර් 20 වෙනිදා හෙරොයින් කිලෝ 97ක් අත්අඩංගුවට ගැනීම.
  5. 2013 වසරේ අගොස්තු 23 වෙනිදා ග්‍රීස් ටින්වල සඟවා හෙරොයින් කිලෝ 262ක් ගෙනවිත් තිබියදී රේගුව විසින් සොයාගනී.
  6. බේරුවලින් හෙරොයින් කිලෝ 231ක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය 2018 දෙසැම්බර් 06 වෙනිදා සමත්විය.
  7. නවගමුව පොලිස් ස්ථානාධිපති මංජුල සිල්වාට ලැබුණු තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් නාවික හමුදාවත් සමග දකුණු මුහුදේ වැටලීමක් කර කිලෝ 111ක් සමග කුඩා නැවක් ඉරාන් ජාතිකයන් 11 දෙනෙක් සමග අත්අඩංගුවට ගැනීම 2017.

කොකේන් ඇල්ලීමේ ඉතිහාසය

2016 ජුනි 14 සීනි කන්ටේනරයකින් කිලෝ 85 ඔරුගොඩවත්ත රේගු අංගණයේදී.
2016 ජුනි 21 පෑලියගොඩ නුගේ පාරේ සීනී ගබඩාවකින් කිලෝ 301ක්.
2016 නොවැම්බර් 09 පෙතියාගෙඩ සීනි ගබඩාවෙන් කිලෝ 32යි.
2016 දෙසැම්බර් 09 කොළඹ වරායේදී තේක්ක කොටන් පැටවූ කන්ටේනරයකින් කිලෝ 928යි.
2017 ජූලි 19 සතොස ගබඩාවේ තිබුණු සීනි කන්ටේනරයකින් කිලෝ 219යි.
2016 නොවැම්බර් 24 ඔරුගොඩවත්තෙ රේගු අංගනයේදී සීනි කන්ටේනරයකින් කිලෝ 220යි.

අපේ රටේ මත්කුඩු ව්‍යාප්තියේ ඉතිහාසය

අපේ රටේ තරුණ පරම්පරාව අතර හෙරොයින් නැමැති මත්කුඩු වර්ගය ප්‍රචලිත වන්නේ 70 දසකයේ අවසන් භාගයත් 80 දසකයේ මුල් භාගයත් අතර කාලවකවානුවේදීය. ඒ “හිපියන්“ ලෙසින් මෙරට සංචාරයට පැමිණි විදේශිකයන් පිරිසක් මගිනි. මුලින්ම හෙරොයින් භාවිතයට ඇබ්බැහි වන්නේ සංචාරක මග පෙන්වන්නන්ය. පොලිස් සංඛ්‍යා දත්ත අනාවරණය කරන ආකාරයට අනුව 1981 වර්ෂය වන විට හෙරොයින් ළඟ තබාගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් ගණන 08 දෙනෙකි.එහිදී ඔවුන් සතුව තිබී සොයා ගන්නා හෙරොයින් ප්‍රමාණය ග්‍රෑ 277 කි.
හෙරොයින් නැමැති මත්කුඩු වර්ගය කොතරම් වේගයෙන් අපේ රටේ තරුණ පරපුර බිළිගත්තේදැයි සඳහන් කළහොත් 1982 වර්ෂය වන විට හෙරොයින් භාවිතා කිරීම් සහ ඡාවාරම් කිරීම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගැණුනු සංඛ්‍යාව 309 දෙනෙකි. ඔවුන් සතුව තිබී සොයාගත් හෙරොයින් මත්කුඩු ප්‍රමාණය පමණක් කිලෝ 08යි ග්‍රෑම් 340කි.
ඉතා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පැවැති මෙම මත්කුඩු වර්ගයට එරෙහිව ක්‍රියාත්මක වීමට එතරම් ශක්තිමත් නීති පද්ධතියක් අපේ රටේ එකල නොවීය. ඒ අනුව බලධාරීන් වහාම ක්‍රියාත්මක වෙමින් අබිං සහ අන්තරාදායක ඹෟෂධ වර්ග පිළිබද ආඥාපනත 1984 අංක 13 දරණ සංශෝධන පනතින් ශක්තිමත් කරන්නේ මත්කුඩු ජාවාරමට එරෙහිව ඉහළම දඬුවම වන මරණිය දණ්ඩනය පවා ලබාදිය හැකි ආකාරයටය.
ගංජා, අබිං, සහ අනෙකුත් අන්තරාදායක මත්ද්‍රව්‍ය භාවිතා කිරීම්, ප්‍රවාහනය, කිරීම් සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම් ඒවා මර්දනය කිරීම් සහ විමර්ශනය සදහා 1973 වර්ෂයේ අප්‍රේල් 01 වෙනිදා පිහිටුවනු ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවා ඒ වන විටත් පැවැතියේ ප්‍රාථමික මට්ටමේය. ඒ මට්ටමින් හෝ මෙවන් ආයතනයක් පිහිටුවන්නට දුරදක්නා නුවනින් කටයුතු කර ඇත්තේ සුන්දරලිංගම් නැමැති නියෝජ්‍ය පොලිස්පතිවරයාය. අද වන විට දකුණු ආසියාතික කලාපයේ මත්ද්‍රව්‍ය පාලනයේ මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වන්නේද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විම විශේෂත්වයකි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සංඛ්‍යා දත්තයන් අනාවරණය කරන ආකාරයට 1995 වසරේ සිට 2019 වසර දක්වා ගෙවී ගිය 25 වසර තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝ 4550කට අධිකය. ඒ වැටලීම් හාරලක්ෂයකට ආසන්න ප්‍රමාණයකදීය. එම වැටලීම්වලින් අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ හතරකට වැඩිය. එක් පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග කිහිප වරක් පොලිස් අත්අඩංගුවට පත්වීම්ද ඒ තුළ අන්තර්ගතය.

2020 වැටලීම් 33,000ක් – ඇල්ලූ කුඩු කිලෝ ගණන 1700ක්

දෙදහස් විස්ස අවුරුද්ද ගෙවී යන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, නාවික හමුදාව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ පොලිස් ස්ථාන සහ විශේෂ පොලිස් ඒකක විසින් කළ මෙහෙයුම්වලින් අල්ලාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝ 1700කට වැඩිය. ඒ වැටලීම් තිස්තුන් දහසකදීය. එහිදී අල්ලාගත් සැකකරුවන්ගේ ගණනද තිස්තුන් දහසකට අධිකය. සින්තටික් නැතිනම් කෘත්‍රිම මත්ද්‍රව්‍ය ගණයට වැටෙන අයිස් නැමැති මත්ද්‍රව්‍යද මේ කාලය තුළ කිලෝ 900කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැටලීම් එක්දහස් හාරසියක වැඩි ප්‍රමාණයකදීය. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන එක්දහස් පන්සීයකි.
මේ ආකාරයට ගෙවී ගිය වසර 25 තුළ හෙරොයින් භාවිතා කිරීම් සහ ජාවාරම් සම්බන්ධයෙන් වැඩියෙන්ම අත්අඩංගුවට අරගෙන තියෙන්නේ සිංහල ජාතිකයන්ය. ප්‍රතිශතයක් ලෙස ගත්කල එම ප්‍රමාණය සමස්ත සැකකරුවන්ගෙන් සියයට 50කට වැඩිය. මේ කාල සීමාව තුළ වැඩියෙන්ම අත්අඩංගුවට අරගෙන තියෙන්නේ වයස අවුරුදු 30 වැඩි පිරිස්ය. ප්‍රතිශතයක් ලෙස ගත් කල එම සංඛ්‍යාව සියයට 50කට වැඩිය. දෙවැනි තැන ගන්නේ වයස අවුරුදු 25ත් 29 අතර පසුවන්නන්ය. එම සංඛ්‍යාව සියයට 32කි. වයස අවුරුදු 20ත් 24ත් අතර පසුවන්නන් සිටින්නේ තෙවැනි තැනය. එම සංඛ්‍යාව සියයට 10ත් 12ත් අතර ප්‍රතිශතයකි.
මේ කාලය තුළ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයගෙන් සිය ගණනක් මරණිය දණ්ඩනයට නියම වී ඇතත් ඒ අයගෙන් ඇතැම් සිරකරුවන් අභියාචනා මතත්, පොදු සමාවන්ට යටත්ව දඬුවම් වෙනස් වීමත් මරණිය දණ්ඩනය නියම වූ විදෙස්ගත සිරකරුවන් සිරකරුවන් හුවමාරුකිරීමේ වැඩ සටහන් යටතේ සිය මව් රටවලට භාරදීමත් හේතුවෙන් අද වන විට ස්ථිර වශයෙන්ම මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වී සිටින්නේ 86 දෙනෙක් පමණි. ඔවුන්ගෙන් 74 දෙනෙක් මෙරට පුරවැසියන්ය. ඒ අයගෙන් 07 දෙනෙක්ම කාන්තාවන්ය. සෙසු 12 දෙනා විදේශිකයන්ය. ඒ අතර වැඩියෙන්ම සිටින්නේ ඉන්දියානුවන් සහ පකිස්තානුවන්ය. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබ සිටින්නන්ද 197 දෙනෙක් සිටිති. ඒ අයගෙන් 102 දෙදෙනෙක් මෙරට වැසියන්ය. ඒ අය අතර කාන්තාවන් 27 දෙනෙකි. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින්නන් අතරද විදේශිකයන් 95 දෙනෙක් සිටින අතර ඒ අය අතරද කාන්තාවන් 04 දෙනෙක් සිටිති.

පොලිසියේත් කුඩු බොන අය 400ක්!

අපේ රටේ මත්කුඩු භාවිතයට සැබෑ ලෙසම ඇබ්බැහි වී සිටින සංඛ්‍යාව අදටත් නිශ්චිතවම ගණනය කර නැත. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ තක්සේරුවට අනුව එම සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇත. ඒ අනුමාන කිරීමක් මිස සැබෑ සංඛ්‍යාන නොවේ. එම ගණන් මිනුම්වලට පොලිසීයේ සහ ආරක්ෂක අංශවලට සම්බන්ධ මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් ඇතුළත් වන්නේ නැත. ඒ අය සමාජයට නිරාවරණය නොවන අය වන බැවිනි; එහෙත් මේ වන විට පොලීසිය තුළ සිටින මත්කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින්නන් තුන් හාරසියයක් පමණ පොලීසිය පැත්තෙන් කළ විමර්ශනයකදී හඳුනාගෙන හමාරය. ඒ අය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන හමාරය. එසේම වෙනත් ආරක්ෂක අංශවලද පොලීසියේ ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් සිටින බව හඳුනාගෙන හමාරය. ඒ අය මේ වන විටත් හමුදාවෙන් නෙරපා ඇත්තේ ඔවුන් හමුදාවට තර්ජනයක් බව බලධාරීන් හදුනාගෙන ඇති බැවිනි.

බොන අය අල්ලන්න අලුත් ගැජට් එකක් ගෙන්වයි

පොලීසියේ සහ හමුදාවේ පමණක් නොව, දේශපාලන ක්ෂේත්‍රයේත් කලා ක්ෂේත්‍රයේත්, මාධ්‍ය වෘත්තියේත් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් සිටිති. ඊට අමතරව දැවැන්ත ව්‍යාපාරිකයන් පවා ඒ ගොන්නේ සිටිති. මේ අය අපේ රටේ මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යා දත්තයන්ට ඇතුළත්ව නැත. මෙවන් සැඟවුණු චරිත හදුනා ගැනීමට හැකියාවක් වැඩි කල් යන්නට මත්තෙන් අපේ රටේ ආරක්ෂක අංශවලට හැකියාව ලැබෙනු ඇත. ඒ කේඨය මගින් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සහ භාවිතා කර ඇති මත්ද්‍රව්‍ය වර්ගය හදුනා ගැනීමට හැකියාව ඇති උපකරණ රැසක් ශ්‍රී ලංකා පොලීසියේ භාවිතයට නුදුරේම ලැබීමට නියමිතව ඇති බැවිනි. ඒ තුළින් මුලින්ම 80000කට ආසන්න පොලිස් බළකායේ නිලධාරීන් අහඹු පරීක්ෂාවකට ලක්කිරීමට මේ වන විටත් පොලිස් බලධාරීන් තීරණය කර හමාරය. අනතුරුව සෙසු ආරක්ෂක අංශ නිලධාරීන් පරීක්ෂාවට ලක්වනු ඇත. අනතුරුව මත්පැන් පානයකර රිය පදවන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගන්නා ආකාරයට මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම් කරන පුද්ගලයින් හඳුනා ගැනීමට මෙම උපකරණ භාවිතා කරනු ඇත. ඒත් සමග අපේ රටේ බීමත් රිය ධාවනයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීති සංශෝධනයක්ද සිදුවනු ඇත.

සී.ඩී. වැඩ පටන් අරන්

මේ වන විට අපේ රටේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව නිශ්චිතව කොපමණදැයි කියන්නට හැකියාවක් නැතත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සතුව මත්කුඩුවලට ඇබ්බැහිවූවන්ගේ ලේඛනයක් ඇත්තේ මත්කුඩු භාවිතා කිරීම් සම්බන්ධයෙන් පොලීසිවලට පසුගිය කාලය තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දත්තයන්ට අනුවය. පළාත් මට්ටමින් නම් ගම් සහිතව එම පුද්ගල ලේඛනය මත්ද්‍රව්‍ය කාර්යාංශය සකස්කර ඇත්තේ වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ උපදෙස්වලට අනුවය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

මාස 6ක් බඩු 10ක් එකම මිලට දෙන සූදානමක්

Next Post

‘Best of ඩයලොග් රිදී රැයක්’ 31 රාත්‍රී 8.30ට ස්වර්ණවාහිනීයෙන්

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.