• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්මන්පිලගේ බිලියන 15ක පත්‍රිකාව කැබිනට්ටුවෙන් විසිවෙයි (රාජ්‍ය රහස්)

December 27, 2020
in Exclusive, Rajya Rahas, Uncategorized
Reading Time: 10 mins read
A A
ගම්මන්පිලගේ බිලියන 15ක පත්‍රිකාව කැබිනට්ටුවෙන් විසිවෙයි (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව ඇතුළේ මේ වන විට බරපතළ වංචා දූෂණ සිදුවීම් පවතින බවට විපක්‍ෂයෙන් මේ දිනවල චෝදනා එල්ල වෙමින් තිබේ. ඉන් එකක් වන්නේ සීනි සම්බන්ධයෙන් සිදුවී ඇතැයි කියන වංචා දූෂණයන්ය. විශේෂයෙන්ම සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්නත්, ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායකත් පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් මෙම දූෂණ හරහා රුපියල් බිලියන ගණනක අක්‍රමිකතාවක් සිදුවී ඇතැයි කියා සිටියේය. ආණ්ඩුව සිය ගජමිතුරන්ට මේ හරහා මුදල් උපයා ගැනීමට ඉඩ ලබා දී ඇති බවද ඔවුහු එහිදී චෝදනා කර සිටියහ. කෙසේ වෙතත් මේ චෝදනා සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. එහි ප්‍රතිඵලයක් වූයේ පසුගිය සතියේ සතොස ආයතනයේ සභාපතිවරයා වන නුෂාඞ් පෙරේරා මහතා එම තනතුරෙන් ඉවත් කිරීමය. ඒ වෙනුවට සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පත්කර ඇති බවද රාජ්‍ය රහස් තීරයට ආරංචිය. කෙසේවෙතත් පසුව නුෂාඩ් කියා තිබුණේ අධික රාජකාරී හේතුවෙන් තමන් සතොස සභාපති ධූරයෙන්ඉල්ලා අස්වූවා යැයි කියාය.

ගම්මන්පිලගේ බිලියන පහළොවේ කැබිනට් පත්‍රිකාව විසිවෙයි

කෙසේ වෙතත් මේ ආකාරයේ තවත් සිදුවීමක් පසුගිය සතියේ සිදුවිණි. ඒ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් මුල්කරගෙනය. එම කැබිනට් පත්‍රිකාව මගින් ගම්මන්පිල මහතා සඳහන් කර තිබුණේ රට හරහා ගමන් කරන ඉන්ධන නළ මාර්ගයක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 15ක මුදලක් අවශ්‍ය කර ඇති බවකි. සපුගස්කන්ද, කටුනායක, මුතුරාජවෙල ඇතුලු ස්ථාන රැසක් යා කරමින් මෙම භූගත නළ මාර්ගය ඉදිකෙරෙන බවද එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් විය.
මෙම කැබිනට් පත්‍රිකාව ගම්මන්පිල ඉදිරිපත් කිරීමත් සමඟ විශාල විරෝධයක් ආණ්ඩුව ඇතුළෙන්ම ඊට එල්ල වූ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම බොහෝ දෙනා කියා සිටියේ රට දැවැන්ත ආර්ථික අර්බුදයක මුවවිටට පැමිණ ඇති මොහොතක මේ ආකාරයේ බිලියන 15ක් වැය කරමින් රට හරහා නළ මාර්ගයක් ඉදිකිරීම තේරුමක් නැති කටයුත්තක් බවය. එය ජනතා මුදල් නාස්ති කිරීමක් බවය. එමෙන්ම මේ වන විටත් එල්.එන්.ජී, බලාගාර තුනක් ඉදිකිරීමට චීනය, ඉන්දියාව ජපානය සමඟ ගිවිසුම් අස්සන් කර ඇති නිසා ඉදිරියේදී විදුලි අර්බුදයක් මතුවීමේ අවදානම අවම බවද ඔවුහු සඳහන් කර සිටියහ. එමෙන්ම මීට සති දෙකකට පෙරදී මන්නාරමේ සුළං විදුලි බලාගාරයක් විවෘත කිරීමත් සමඟ ඒ හරහාද ජාතික විදුලි පද්ධතියට විශාල ධාරිතාවක් එකතු වූ බවද ඔවුන් පෙන්වා දී තිබිණි. එම නිසා මේ මොහොත් රුපියල් බිලියන 15ක මුදලක් වැය කොට භූගත නළ මාර්ගයක් ඉදිකිරීම කිසිසේත්ම නුවණැති එකක් නොවන බවද ඔවුන් දැනුම් දී තිබිණි.
මේ ආකාරයට මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු ගම්මන්පිලගේ කැබිනට් පත්‍රිකාවට එරෙහිව විරෝධය පළකිරීමත් සමඟ පසුගිය සතියේ ජනාධිපතිවරයාද එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගත්තේය. ඒ අදාළ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමටය. ඒ අනුව පසුගිය සතියේ කැබිනට්ටුවට අදාළ ව්‍යාපෘතිය අත්හිටුවීමේ පත්‍රිකාවද ඉදිරිපත් කර තිබූ බවක් ආරංචිය.

අගමැති කාර්යාලය කැළඹූ පුවත

මේ දිනවල ලංකාවේ ප්‍රධාන මාතෘකාව වන කොරෝනා සමඟ එකට කියැවෙන ඊළඟ වචන දෙක වන්නේ කොරෝනා එන්නත සහ කොරෝනා පැණියය. මේ වන විට කොරෝනා වෛරසයට එරෙහිව නිපදවා ඇති එන්නත් හතරක් ලංකාවටද නිර්දේශ කර ඇති අතර, 2021 මාර්තු මාසය පමණ වන විට ඉන් ලංකාවට ගැලපෙනම එන්නත ගෙන්වා ගැනීමේ හැකියාව ඇති බව ආණ්ඩුව ඇතුළේ සිදුවන සංවාදවලින් කියැවෙන්නකි. ඒ අතර වාරයේ පැණි කතන්දරද බොහෝ තිබේ. එක් මාධ්‍ය ආයතනයක් ධම්මික බණ්ඩාර කපු මහතාගේ කොරෝනා පැණියට විශාල ප්‍රචාරයක් ලබාදෙද්දී, තවත් මාධ්‍ය ආයතනයක් පසුගිය සතියේ වෙනත් පැණියක් සිය ආයතනයේ සේවකයන්ට ලබාදීමටද පියවර ගත්තේය.
මේ අතරවාරයේ පසුගිය සතියේ එන්නත සම්බන්ධයෙන් අපූරු සිදුවීමක් සිදුවිය. ඒ වෙබ් අඩවියක පළවූ පුවතක් මුල්කරගෙනය. ‘ලංකා සී නිවුස්’ නම් වෙබ් අඩවියේ අතිවිශේෂ පුවතක් ලෙස පසුගිය අඟහරුවාදා දින පළ කළ පුවතකින් කියැවුණේ කොරෝනා එන්නත අගමැතිට ලබාදීමට කටයුතු සූදානම් කොට ඇතැයි කියාය. එම පුවතේ මෙසේ සඳහන් විය.
“කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කරන ලද එන්නතක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතට මෙම එන්නත සංකේතාත්මකව ලබාදෙනු ඇතැයි වාර්තා වෙයි. කොරෝනා වෛරසය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරියේදී අනුමත කරන එන්නතක් ශ්‍රී ලංකාවට මාත්‍රා ලක්ෂ 20ක් ලබාදීමට නියමිතය. මෙය ලබාදීම සිදුකිරීමට නියමිතව ඇත්තේ ඒ සංකේතාත්මකව භාරදීමයි. ඉන් අනතුරුව නියම කරන දිනයකදී එම වැඩපිළිවෙළට අනුව එන්නත් ලබාදීමට නියමිතව ඇත…’ යනුවෙන් එම පුවතේ සඳහන්ව තිබිණ.

එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් ඇවිත්

අදාළ වෙබ් අඩවියේ මෙම පුවත පලවීමත් සමඟ දේශපාලන ක්ෂේත්‍රයේ ඒ සම්බන්ධයෙන් විශාල කතාබහක් මතුවන්නට විය. ඒ අනුව අප කළ විමසීමකදී අපටද දැනගන්නට ලැබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් කණ්ඩායමක් එදින අගමැතිවරයා මුණගැසීමට සූදානමින් සිටින බවත්, එන්නත් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත්ය. ඒ අනුව මව්රට වෙබ් අඩවියද ‘කොරෝනා එන්නත අද මහින්දට දෙයි’ යන හිසින් යුතුව පුවතක් පළකිරීමට කටයුතු කර තිබිණ. එහි සඳහන්ව තිබුණේ මෙසේය.
‘කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කරන ලද එන්නත් අද දිනයේදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බවත්, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙම එන්නත සංකේතාත්මකව අද දිනයේදී පිරිනමනු ඇති බවත් වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය සඳහා ඉදිරියේදී අනුමත කරන එන්නතක් ශ්‍රී ලංකාවට මාත්‍රා ලක්ෂ 20ක් ලබාදීමට නියමිතය. අද දිනයේදී සිදුකිරීමට නියමිතව ඇත්තේ එය සංකේතාත්මකව භාරදීමයි….‘ යන්න එම පුවතින් කියවිණ.

අගමැති ඒකකයෙන් මව්රටට ඇමතුමක්

කෙසේ වෙතත් අප මෙම පුවත පළකර පැය කිහිපයක් ඉක්ම යෑමත් සමඟ අගමැති මාධ්‍ය ඒකකයේ චතුර නමැති අයකු අප පුවත්පතට කතාකොට මෙම පුවත පිළිබඳව විමසා සිටීමට පියවර ගෙන තිබිණ. අදාළ පුවත පැමිණියේ කොහෙන්ද, එය ලබාදුන්නේ කවුරුන්ද යනාදී වශයෙන් විමසා සිටි හෙතෙම එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, ඒ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ නීතිඥ මණ්ඩලයක් නීත්‍යානුකූල පියවර ගැනීමට සූදානමින් සිටින බවත් දැනුම් දී සිටියේය.
කෙසේවෙතත් පුවත ලැබුණු ආකාරය සහ එහි මූලාශ්‍ර හෙළිකළ නොහැකි බව දැනුම්දීමෙන් පසු අප කියා සිටියේ අවශ්‍ය නම් නිවැරැදි කිරීමක් එවන ලෙසත්, මාධ්‍ය සදාචාරයට අනුව යමින් එය පළ කිරීමට අප සූදානම් බවත්ය. ඒ අනුව නිවැරැදි කිරීමක් පළකරන ලෙසට අපෙන් කළ ඉල්ලීමට අනුව එම නිවැරැදි කිරීමද අප වෙබ් අඩවියේ පළකිරීමට පියවර ගත්තෙමු. “කොරෝනා එන්නත මහින්දට දෙන කතාව බොරුවක්” යන හිසින් යුතුව එම පුවත පළ කළේ ඒ අනුවය. අප එම පුවත පළකොට මොහොතක් ගතවීමට මත්තෙන් ලංකා සී නිවුස් වෙබ් අඩවියද නිවැරැදි කිරීමක් කර නොතිබුණත් තමන් පළමුවෙන් පළකොට පුවත සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබිණි.

ජනපති වැඩේ ලලිත්ට පවරයි

කෙසේ වෙතත් මෙම සිදුවීම වී පැය කිහිපයක් යෑමට මත්තෙන් අගමැති මාධ්‍ය ඒකකයෙන් තවත් නිවේදනයක් නිකුත් විය. එම නිවේදනයෙන් කියැවුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඞ්සේ මහත්මිය සහ යුනිසෙෆ් නියෝජිත ටිම් සූටන් මහතා එදින අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇති බවත්, කොරෝනා එන්නත ලංකාවට ලබාදීම සහ එය පරිපාලනයට සහාය ලබාදෙන බවට සහතිකයක් අගමැතිවරයා වෙත ලබාදීමට පියවර ගෙන ඇති බවත්ය. ඊට අගමැතිවරයාද වසංගතය අවසන් කළ හැකි එකම පියවර එන්නත ලබා දීම බව පෙනෙන්නට ඇති බව ප්‍රකාශ කොට ඇතැයිද එම නිවේදනයේ සඳහන්ව තිබිණ. අප මේ බවද අප වෙබ් අඩවියේ පළකිරීමට පියවර ගත්තෙමු.
කෙසේ වෙතත් අගමැතිවරයා මේ ආකාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර නියෝජිතයන් සමඟ එන්නත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට මොහොතක් යෑමට මත්තෙන් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් තවත් නිවේදනයක් නිකුත් වූ අතර, ඉන් කියැවුණේ එන්නත ගෙන්වා ගැනීමේ සම්බන්ධීකරණ කටයුතු සියල්ල ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාට පැවරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇතැයි කියාය.

චන්ද්‍රිකා කියපු එන්නත් රහස

මේ අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද පසුගිය සතියේ මේ කොරෝනා එන්නත සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළාය. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් පළ කරමින් හිටපු ජනාධිපතිවරිය කියා සිටියේ ආණ්ඩුව වහාම ලංකාවට එන්නත ලබාගැනීමට අවශ්‍ය කටයුතු සැලැසුම් කළ යුතු යැයි කියාය. දැනටමත් ඒ සඳහා ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක් බලපත්‍ර ලබාගෙන ඇති බව කී හිටපු ජනාධිපතිවරිය එම සමාගමට අදාළ ඖෂධය ගෙන්වීමට අවසර ලබාදීමට ආණ්ඩුව පියවර ගත යුතු බවද සඳහන් කර සිටියාය.
එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පසුගිය සතියේදී ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් වහාම මෙම එන්නත ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කිරීමට පියවර ගෙන තිබිණ.

බැසිල් බස්නාහිරින් අරලියගහ මැදුර පුරවයි

මේ දිනවල ‘ගම සමඟ පිළිසඳරක්’ තුළින් වැඩ සමඟ යළි ගමට’ යන තේමාව යටතේ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා රට පුරා පවත්වාගෙන යනු ලබන රැස්වීම් මාලාවේ තවත් එක් අදියරක් පසුගිය සතියේදී අරලියගහ මන්දිරයේ පැවැත්විණ. ඒ, බස්නාහිර පළාත සඳහාය. මෙම රැස්වීමට බස්නාහිර පළාත නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන්ට, දේශපාලන මණ්ඩලයට මෙන්ම නිලධාරී මණ්ඩලයටද ආරාධනා කර තිබූ හෙයින් මුළු අරලියගහ මන්දිරය පිරෙන්නම පිරිස එක්රැස් වීම තිබීම විශේෂ සිදුවීමක් විය. කෙසේ වෙතත් සෞඛ්‍ය නීතීන් අකුරටම පිළිපදිමින් රැස්වීම සංවිධාන කිරීමටද බැසිල් කටයුතු කර තිබිණ.

අමාරුකම් එළිපිටම කියයි

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීමක් වූයේ සිය කතාව අතරතුරදී බැසිල් එළැඹෙන වසරේදී රටට මුහුණදීමට ඇති දැවැන්ත අභියෝග පිළිබඳව එළිපිටම කරුණු දැක්වීමය. සාමාන්‍යයෙන් වෙනදා නම් ආණ්ඩුවේ මෙවැනි රැස්වීමකදී ධනාත්මක සංවර්ධන කටයුතු පිළිබඳව අදහස් දැක්වීමක් පමණක් සිදුකෙරුණද, මෙදින බැසිල් සම්ප්‍රදායෙන් පිට පනිමින් අලුත් වසරේ ආණ්ඩුවට මුහුණදීමට ඇති අභියෝග පිළිබඳව රැස්ව සිටි පිරිස දැනුවත් කිරීමට කටයුතු කළේය. එම අභියෝග ඉතා බරපතළ බවත්, ඊට මුහුණදීමේදී විශාල ගැටලුවලට මුහුණදීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවත් හෙතෙම එහිදී දැනුම් දී සිටියේය. එමෙන්ම මෙවර අය වැයෙන් වැඩිම මුදලක් නාමල් රාජපක්ෂ මහතා යටතේ පවතින තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට වෙන්කර ඇති බවත්, එය මුදලින් රුපියල් මිලියන 8400ක් බවත් බැසිල් එහිදී කියා සිටියේය.

විමල්-උදය රැස්වීමට නෑ

කෙසේ වෙතත් මෙහිදී සියලු දෙනාටම තවත් එක් විශේෂ කාරණාවක්ද දැකගත හැකි විය. ඒ බස්නාහිර පළාත නියෝජනය කරන සියලුම මැති ඇමැතිවරුන්ට මෙම රැස්වීමට සහභාගි වන ලෙස දැනුම්දී තිබියදීත් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකුගේ මුහුණු එම රැස්වීමේදී දැකගැනීමට නොහැකි වීමය. ඒ ඇමැතිවරුන් දෙදෙනා වෙන කවුරුවත් නොව විමල් වීරවංශත්, උදය ගම්මන්පිලත්ය. වෙනත් රාජකාරි හේතුකොටගෙන විමල් සහ උදය බැසිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට නොපැමිණියාද, එසේත් නැත්නම් උවමනාවෙන්ම ඊට සහභාගි නොවී සිටියාද යන්න පිළිබඳව දන්නේ ඔවුන් දෙදෙනාම පමණි.

අමරිකාවෙන් තිරය පිටුපස ජිනීවා මෙහෙයුමක්

එළිපිට නොපෙනුනත් මේ දිනවල ආණ්ඩුව ඇතුළේ ප්‍රධාන තැන්වල සාකච්ඡාවට ලක්වන විශේෂ මාතෘකාවක් වන්නේ ලබන මාර්තු මාසයේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් රැස්වීමය. දැනටමත් ලංකාව මුල්කරගෙන බටහිර සහ යුරෝපා රටවල් එක්ව ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාවක් සම්මත කර ගැනීමේ සූදානමක් ඇති බවට වූ ලකුණු පහළ කර තිබීම මෙම සාකච්ඡාවලට හේතුපාදක වී තිබේ.
ආණ්ඩුව මේ ආකාරයට ඊට මුහුණදීම සඳහා සැලැසුම් සකස් කරන අතරවාරයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල්ද ආණ්ඩුව මෙවර මානව ජිනීවා මානව හිමිකම් උගුලේ සිර කිරීමට අවශ්‍ය සැලැසුම් හිමින් සීරුවේ ක්‍රියාත්මක කරමින් සිටින ආකාරයක් පෙනෙන්නට තිබේ. එහි එක් පියවරක් වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ සහාය මෙම ලංකාවට එරෙහි යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ලබාගැනීමට තිරය පිටුපස මෙහෙයුමක් දියත් වී තිබීමය. ඒ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ වෙන කවුරුවත් නොව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වන ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මියය. ඒ අනුව පසුගිය සතියේ ටෙප්ලිට්ස් දෙමළ ජාතික සන්ධානයේ දෙවැනියා ලෙස සැලකෙන එම්.ඒ. සුමන්තිරන් මහතා කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති නිල නිවසට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබිණ.

බ්‍රිතාන්‍යයත් වැඩේ බසී

මෙම සාකච්ඡාවේදී ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ලංකාවට එරෙහි නව යෝජනාවක් රැගෙන ඒමට නියමිත බවත්, ඊට දෙමළ සන්ධානයේ සහාය ලබාගැනීම පිළිබඳව අවධානය යොමුකර ඇති බවත් දැනගන්නට ඇත. තානාපතිවරියගේ මෙම යෝජනාවට දෙමළ ජාතික සන්ධාන පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවක්ද ආරංචිය.
මීට අමතරව ලබන සතියේදී බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයද, දෙමළ ජාතික සන්ධානය මුණගැසීමට සැලැසුම් සකස් කර ඇති බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඒ අනුව ලබන සතියේදී දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සහ බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් අතර ජිනීවා යෝජනා සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවක්ද දැනගන්නට තිබේ.

සම්බන්ධන්ගෙන් රහස එළියට පනී

දෙමළ ජාතික සන්ධානයේ මේ උත්සාහය පසුගිය සතියේ එම සන්ධානයේ නායකයා වන ආර්. සම්බන්ධන් මහතාගේ කටින් පැන්න ආකාරයක් දක්නට ලැබිණ. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සම්බන්ධන් කියා සිටියේ එළැඹෙන ජීනීවා මානව හිමිකම් සැසිවාරයේදී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය ගෙන ඒමට නියමිත යෝජනාව ඉතා දරදඬු එකක් විය හැකි බවත්, එම වගවීමෙන් මිදීමට ආණ්ඩුවට නොහැකි වනු ඇති බවත්ය. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳව දෙමළ ජාතික සන්ධානයද යෝජනා හා අදහස් මාලාවක් විදෙස් රටවල් වෙත ඉදිරිපත් කරන බව සම්බන්ධන් කියා සිටියේය. යුද සමයේදී සිදුවූවා යැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් මඟින් අගතියට පත් දෙමළ ජනතාවට යුක්තිය ඉටුකරලීමෙන් මිදී යෑමට ශ්‍රී ලංකාවට කිසි ලෙසකින්වත් ඉඩ නොතබන බවද සම්බන්ධන් මෙහිදී පවසා තිබීම විශේෂ සිදුවීමකි.
එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව මෙම නව යෝජනාව ඉදිරිපත් කිරීමේ මහමොළකරු ලෙස කටයුතු කරන්නේ අප මීට මාසයකට පමණ ඉහතදී රාජ්‍ය රහස් තීරය ඔස්සේ පළමු වතාවට රටට අනාවරණය කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන හා සාමය ගොඩනැඟීමේ කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම්වරිය වන රෝස්මරී ඒ ඩිකාලෝ මහත්මියය.

ඥානසාර හිමි වෙනස් වුණේ කොහොමද?

කොරෝනා මළ සිරුරු ආදාහනය සහ භූමදානය සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති කතිකාව මේ වන විට අවසන්ව ඇති බවක් පෙනෙන්නට ඇත. තවමත් මුස්ලිම් සමාජය සිය අයිතීන් ඉදිරිපත් කරමින් කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමේ ඉඩකඩ ලබාදෙන ලෙසත්, තවත් පාර්ශ්වයක් පවතින නීතිය යටතේ කොරෝනා සිරුරු ආදාහනය කළ යුතු බවත් කියමින් කඹ ඇදිල්ලක නිරත වන නිසා තවමත් ආණ්ඩුව අවසන් තීන්දුවක් ඒ සම්බන්ධයෙන් නොගෙන කල් මරමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ.
කෙසේ වෙතත් පසුගිය සතියේ ආණ්ඩුවට ඉදිරිපත් වූ යෝජනාවකින් කියැවුණේ කොරෝනා මළ සිරුරු ආදාහනය නොකොට අධිශීතාගාර බහාලුම්වල තබා ඒවායේ විෂබීම විනාශ වූ පසු භූමදානය කිරීමට ඉඩ ලබාදිය යුතු යැයි කියාය. අධිකරණ අමාත්‍යාංශයෙන්ද ඊට අනුමැතිය ලැබී තිබූ අතර, මේ හේතුව නිසාම සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් රට පුරා ස්ථාන පහක පිහිටුවීමට අවශ්‍ය අධිශීත බහාලුම් ලබාදෙන ලෙසට ඉල්ලීමක්ද කර තිබිණ. නමුත් තවමත් එය ක්‍රියාත්මක මට්ටමට පත්ව ඇති බවක් දැකගන්නට නැත.
තත්ත්වය මෙසේ තිබියදී පසුගිය සතියේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කොරෝනා මළ සිරුරු භූමදානය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමට පියවර ගත්තේය. සාමාන්‍යයෙන් ඥාණසාර හිමියන් සැලකෙන්නේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව දැඩි සහ ඍජු අදහස් පළ කරන හිමිනමක් ලෙසටය. මේ නිසාම බොහෝ දෙනා සිතා සිටියේ මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මුස්ලිම් සමාජයේ ඉල්ලීමක් වන කොරෝනා මළ සිරුරු භූමදානය සම්බන්ධයෙන් ඥාණසාර හිමියන් දැඩි විරෝධාකල්පයක සිට අදහස් පළකරනු ඇතැයි කියාය. නමුත් ඒ සියල්ලන්ම පුදුමයට පත්කරමින් ඥානසාර හිමියන් කියා සිටියේ ඉස්ලාම් ආගමිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීම ඉස්ලාම් සංස්කෘතිය බවත්, එය ඔවුන්ගේ අයිතියක් බවත්ය. ජීවය පොළොවෙන් හටගන්නා බව ඔවුන් විශ්වාස කරන බවත්, එම නිසා එම ජීවය පොළොවටම පොහොර විය යුතු බවත් ඔවුන්ගේ විශ්වාසය බවද ඥාණසාර හිමියෝ කියා සිටියහ. මෙය ජාතිවාදී ප්‍රශ්නයක් නොව ආගමික ප්‍රශ්නයක් බවත්, එම නිසා එවැනි ප්‍රශ්න ඉතා සංවේදී බවත් කියා සිටි ඥානසාර හිමියෝ මේ ගැන විශ්ලේෂණයක්, හැදෑරීමක් නැතිව ජනප්‍රිය මතය වෙනුවෙන් පෙනී හිඳීමෙන් ආණ්ඩුව පවා මේ වන විට නරක තත්ත්වයට පත්ව ඇති බවද කියා සිටියහ. තමන් වහන්සේ පෙනී සිටින්නේ නිවැරැදි දේ වෙනුවෙන් මිස ජනප්‍රිය මතය වෙනුවෙන් නොවන බව එහිදී කියා සිටි ඥානසාර හිමියෝ මුස්ලිම් ජනතාවට වළදැමීමට ඇති අයිතිය වැළලීමෙන් ආණ්ඩුව තවත් ගැටලු රැසක් ඇති කරගෙන ඇති බවද කියා සිටියේය.

සජිත් යළි ගමට යයි

සමගි ජන බලවේගයේ බිම් මට්ටමේ පක්ෂ සාමාජිකත්වය ප්‍රවර්ධනය පසුගිය සතියේදී යළිත් ආරම්භ වූයේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්ය. බදුල්ල දිස්ත්‍රික් ‘දිනමු‘ වැඩසටහන සාර්ථක කරගැනීමට හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා සතියකට පෙර බදුල්ලට ගොස් සිටියේය.
චමින්ද විජේසිරි, රවි සමරවිර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, වඩිවෙල් සුරේෂ් ඇතුළු මන්ත්‍රිවරුන් එකා මෙන් වැඩ කර තිබුණේ මේ වැඩසටහන සාර්ථක කරගැනීමටය.
බදුල්ලට පැමිණි විපක්ෂ නායක සජිත් පාක්ෂිකයින් හමුවෙමින් දිනමු වැඩසටහන ක්‍රියාත්මක කරන අතරවාරයේදී සාමාන්‍ය ජනතාවට අතරට ගොස් ඔවුන්ගේ ගැටලු ගැන සොයා බැලීමටද අමතක කළේ නැත.
මේ අතර සිය පියාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති උදා ගම්මානය වෙත යාමටද විපක්ෂ නායකවරයා අමතක කළේ නැත. රණසිංහ ප්‍රේ්‍රමදාස ජනාධිපතිවරයා විසින් ඉදිකළ පළමු උදාගම් අතර වාසනාගමද විය. එහි නිවාස සියයක් වු අතර ඒ නිවාසවල පදිංචිකරුවන් හමුවී සුහද කතාබහක යෙදීමටද විපක්ෂ නායකවරයා කටයුතු කළේය.
විපක්ෂ නායකවරයා මෙහිදී සංවේදී කතාවක්ද කළේය. ජනතාවගේ දෙපතුළ ළගට පැමිණ දුක් විමසන බව කී විට ජනාධිපතිවරණය කාලයේදී සමච්චලයෙන් කතා කළ අය ගැන සිහිපත් කළ විපක්ෂ නායකවරයා කීවේ ජනතාවගේ දෙපතුළ ළගට පැමිණෙනවාය යන්නෙන් අදහස් කරන්නේ මේ ආකාරයට ජනතාව හමුවට පැමිණ ඔවුන්ගේ සුව දුක් විමසීම බවයි.

සජබ ව්‍යවස්ථාවේ වෙනස්කම්

සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව එළි දැක්වීම තිබුණේ ද බදුල්ලේ දීය. එහි විශේෂත්වයක් වූයේ ඒ තුළ වූ දැඩි ප්‍රජාතන්ත්‍රවාදයය.
පක්ෂ ව්‍යවස්ථාවක ඇතුළත් කර ඇති පරමාර්ථ, ප්‍රතිපත්ති හා මූලධර්ම තුළින් ගම්‍යමාන වන්නේ අදාළ පක්ෂය බලයට පත්වූ අවස්ථාවක රාජ්‍ය පාලනය මෙහෙයවන ආකාරයේ දළ සැලැස්මකි. එහිදී ආර්ථික, සමාජීය, දේශපාලනික හා සංස්කෘතික පැතිකඩයන් සම්බන්ධයෙන් පක්ෂයේ විග්‍රහය කුමක්ද යන්න සම්බන්ධයෙන් මනා ලෙස අවබෝධ කර ගත හැකිවේ.
සමගි ජන බලවේගය පක්ෂ ව්‍යවස්ථාවේ වගන්තීන් 06ක් ඔස්සේ පක්ෂයේ පරමාර්ථ, ප්‍රතිපත්ති හා මූලධර්ම මනා ලෙස ඇතුළත් කර ඇති අතර එහිදී විශේෂයෙන්ම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් සද්ජාතිකත්වය තහවුරු කිරීම කැපී පෙනෙන ලක්ෂණයකි. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ පක්ෂයේ පරමාර්ථ වගන්තීන් 03ක් ඔස්සේ දක්වා ඇති අතර බුද්ධාගම සම්බන්ධයෙන් ස්වකීය ස්ථාවරය කුමක්ද යන්න සම්බන්ධයෙන් පවා එකී ව්‍යවස්ථාව නිහඬය.
සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධානතම ව්‍යුහය එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලය වන අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලය පැහැදිලිවම වෙනස් බවක් පෙන්වයි.

විපක්ෂ නායක ජංගම සේවය සමග සජිත්ගෙන් මෙහෙයුම් තුනක්

මේ අතර සජිත් රටපුරා යමින් පක්ෂ යාන්ත්‍රණය සවිබල ගන්වන මෙහෙයුම් තුනක් ක්‍රියාත්මක කරයි.
එකක් දිනමු වැඩසටහනය. තව එකක් ගමින් ගමට දොරින් දොරට වැඩසටහනය. අනෙක විපක්ෂ නායක ජංගම සේවයය.
“ලංකාවේ මුලින්ම ජංගම සේවය පටන් ගත්තේ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතුමා විපක්ෂයේ ඉන්න කොටයි ඒ වැඬේ පටන් ගත්තෙ. ඔබතුමත් ඒ වගේම ගමින් ගමට යන මේ වැඬේ හරිම වටිනවා” විහාරාධිපති හිමිනමක් සජිත්ට කීවේය.
බදුල්ලේ දිනමු වැඩසටහන් අවසන් කළ විපක්ෂ නායකවරයා පැමිණියේ ගාල්ලටය. ඒ බද්දෙගම ආසනයේ ආසන බලමණ්ඩල පිහිටුවීමටය.ඒ දොරින් දොරට ගමින් ගමට වැඩසටහනය. බන්දුලාල් බණ්ඩාරිගොඩ හිටපු මන්ත්‍රීවරයා විසින් සංවිධානය කළ එම බල මණ්ඩල රැස්වීමට ගයන්ත කරුණාතිලක මන්ත්‍රිවරයාත් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාත් එක්ව සිටියහ.
බල මණ්ඩල රැස්වීම අවසන් කළ විපක්ෂ නායකවරයා පැමිණියේ බද්දෙගමටය. ඒ ඔහුගේ පැරණි දේශපාලන මිතුරෙක් වන ආනන්ද ලැනරෝල්ගේ නිවසටය.
ආසන බල මණ්ඩල රැස්වීම්වලට සහභාගීවීමට අමතරව අහුංගල්ල ධීවර වරායේ ධීවරයින්ගේ ජන දුක විමසීමටද විපක්ෂ නායකවරයා ඉදිරිපත් විය. ඒ ”විපක්ෂ නායක ජංගම සේවය”ය. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හිටපු ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මෙන්ම ගාල්ලේ මනුෂ නානායක්කාර මන්ත්‍රිවරයාද එයට එක්ව සිටියහ.
ධීවර ජනතාවගේ ගැටලුවලට කන් දුන් විපක්ෂ නායකවරයා ඇතැම් ගැටලු පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් විමසන බවට සහතිකයක් දුන්නේය. ඒ අතරම ඉදිරියේදී පිහිටුවන සමගි ජන බලවේගය ආණ්ඩුවක් තුළින් ධීවර ජනතාවගේ සියලුම ගැටලුවලට විසඳුමක් ලබාදෙන බවටද විපක්ෂ නායකවරයා සහතිකයක් දුන්නේය.

චම්පික 43 වන සේනාංකයට බැදෙයි

මේ අතර පසුගිය සතිය වන විට සජිත් සමඟ ඉකුත් ජනාධිපතිවරණයේදී එකට හිටගත් සහ සමඟි ජන බලවේගයෙන් තරග වැදී පාර්ලිමේන්තුවට පිවිසි චම්පික රණවක මහතා සම්බන්ධයෙන්ද විශේෂ පුවතක් වාර්තා විය. ඒ, චම්පික හෙළ උරුමයෙන් ඉවත්වී සමඟි ජන බලවේගය සමඟ එක්වනවා වෙනුවට හෙළ උරුමයෙන් ඉවත්ව “43 වන සේනාංකය” යනුවෙන් නව සංවිධානයක් පිහිටුවීමට පියවර ගැනීම හරහාය. සාමාන්‍යයෙන් චම්පික සැලකෙන්නේ දේශපාලනයේදී මෙවැනි සංවිධාන, පෙරමුණු, සංගම් පිහිටුවීමේ සහ ඒවා සංවිධානය කිරීමේ රුසියකු ලෙසටය. විශ්වවිද්‍යාල සමයේ සිටම චම්පික ඊට විශාල දක්ෂතාවයක් පෙන්වීය. එසේම චම්පික ඒ ආකාරයට බිහිකළ සංවිධාන ඒ ආසන්නයේ පැවැති මැතිවරණවල ජයග්‍රහණය සඳහා විශාල දායකත්වයක්ද ලබාදී තිබූ ආකාරයක් දැකගත හැකි විය.
ඒ අනුව “43 වැනි සේනාංකය” නමින් චම්පික හිටිහැටියේම මෙසේ අලුත් සංවිධානයක් බිහිකිරීම පිළිබඳව බොහෝ දෙනා චම්පිකට කතාකොට ඒ පිළිබඳව විමසීමට කටයුතු කළේය. එහිදී කතා කළ සියලු දෙනාටම චම්පික කියා සිටියේ සජිත් සමඟ තමන්ට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත්, මෙවැනි සංවිධානයක් තමන් බිහි කළේ ඍජුව සමඟි ජන බලවේගය සමඟ එක්ව දේශපාලනය කිරීමට නොහැකි සිවිල් සංවිධාන සහ පුරවැසි කණ්ඩායම් සියල්ල ඒකරාශී කිරීමේ ක්‍රියාන්විතයක් ලෙසට යැයි කියාය. ඒ අනුව තීරණාත්මක අවස්ථාවකදී ඒ සියල්ලන්ම එක් වේදිකාවකට ගොනුකිරීම චම්පිකගේ අරමුණ වී ඇති බවක් පෙනෙන්නට ඇත. ලබන ජනවාරියේදී මෙම සංවිධානය නිල වශයෙන් ජනගත කිරීමටද චම්පික මේ වනවිට සැලසුම් කර ඇත.

මෛත්‍රී ආණ්ඩුවට ටොකු අනියි

මේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදු පෙරමුණ අතර කිසියම් බල අරගලයක් නිර්මාණය වී ඇති බවක් දැකගන්නට තිබේ. ශ්‍රිලනිප පාර්ශ්වයෙන් ඊට හේතුව වශයනේ කියැවෙන්නේ පොහොට්ටුව ඔවුන්ව තඹයකට මායිම් නොකර කටයුතු කරනවා කියාය. මේ නිසාම ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රසිද්ධියේම කියා සිටියේ තමන් මේ වන විට දැඩි කලකිරීමකට පත්ව අසරණව සිටින බවකි. ජනාධිපතිවරයා පවා තම පක්‍ෂයට සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලබා නොදුන් බව කියා සිටි දයාසිරි බැසිල් සමඟ කළ සාකච්ඡා පලක් නොමැති බවද කියා සිටියේය.
මෙවැනි පසුබිමක් යටතේ සියල්ලන්ම බලා සිටියේ මේ සම්බන්ධයෙන් ශ්‍රිලනිප සභාපතිවරයා වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දක්වන ප්‍රතිචාරය පිළිබඳවය. මෛත්‍රි මේ සම්බන්ධයෙන් කිසිම තැනක ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ නොකළත් පසුගිය සඳදා දිනයේදී (21) මෛත්‍රි පළමු වතාවට මේ පිළිබඳව අදහස් දැක්වීමට පියවර ගත්තේය. ඒ ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ ජපානයේ පැවැති ජාත්‍යන්තර සමුළුවක් අමතමින්ය.
‘ආසියාවේ අපට පොදු ප්‍රජතාන්ත්‍රවාදී අගයක්’ යන මැයෙන් පැවැත්වුණු මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම භාරව තිබුණේ මෛත්‍රිපාලටය. සෙසු කතිකයන් වූයේ ජපාන අග්‍රාමාත්‍ය සුගා මහතාත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිත්ය.
කෙසේ වෙතත් මෙම සමුළුව අමතමින් මෛත්‍රි පළමු වතාවට තමන් ජනාධිපති ධුරයේ සිටියදී ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ ආකාරය පිළිබඳව අදහස් දැක්වූයේ ආණ්ඩුවට හීනියට ටොකු කිහිපයක්ද අනිමින්ය. එහිදී මෛත්‍රි කියා සිටියේ තමන් කිසිදු පැකිලීමකින් තොරව බලය අත්හැරීමට කටයුතු කළ බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව මානව හිමිකම් සුරක්‍ෂා කරමින් පාලනය ගෙන ගිය බවත්ය. එමෙන්ම ඒකාධිපතිත්වයකින් තොරව තමන් පාලනය ගෙන ගිය බවත්, ඇතැම් පාලකයන් ජනතාව රවට්ටමින් බලය ලබා ගැනීමට කටයුතු කරන බවත් මෛත්‍රි එහිදී කියා සිටියේය.
නමුත් මෛත්‍රිට මේ කතාව සිදුකර වැඩි වේලාවක් සැනසිල්ලේ සිටින්නට ලැබුණේ නැත. මෛත්‍රි ජනාධිපති වී සිටි සමයේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ කාලය තවත් මාසයකින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ ඊට සුලු මොහොතකට පසුය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

අහඹු පරීක්ෂණවලින් කොරෝනා 98ක් මතුවෙයි

Next Post

ආදාහන-භූමදාන ගැන බොරු දාන්න එපා -සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලයි

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.