ඔක්කොම කරන්නෙ අඩු බජට්…
ටෙලිනාට්‍ය, ගුවන්විදුලිය, වේදිකාව කියන මේ සියලු ක්ෂේත්‍රයන් ජයගත් ඇය එදා මෙන්ම අදද ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබාගන්නා සොඳුරු කලාකාරිනියකි. ඒ තරමටම විවිධ වූ චරිතයන් හරහා පුංචි තිරයෙන්, වේදිකාවෙන් ප්‍රේක්ෂක හදවත් සතුටු කළ අතර ඇයගේ හඬ ශ්‍රාවක සිත් සතන්හි සදා නොමැකෙන අපූර්ව හඬක් බවටද පත්වී ඇත. එලෙස සිය කලා දක්ෂතාවයන් තුළින් ප්‍රේක්ෂකයාට අමතක නොවන චරිත රැසක් ලබාදෙමින් පුංචි තිරය, වේදිකාව, ගුවන්විදුලිය හැඩගන්වන ඇය ෆර්නි රෝෂිණීය.
ඉතින් මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?
මේ දවස්වල හිරු ටීවී නාළිකාවේ විකාශනය වන ‘අකුරු මැකී නෑ’ ටෙලිනාට්‍යයේ ගුරුවරියකගේ චරිතයකින් සහ ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘ඉඟිබිඟි’ නාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයන් අතරට එනවා. පසුගියදා ගුවන්විදුලියේ 95 වැනි සංවත්සරය සැමරුවා. ඒ එක්කම රාජකාරි පැත්තෙන් මේ දිනවල නම් ගොඩක් කාර්යබහුලයි. ඉතින් අනිත් ඒවටත් පුළුවන් විදිහට සහභාගි වෙනවා.
ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ වේදිකාවෙන්. ඒ ගැන කතා කළොත්?
ඔව්. වේදිකාව තමයි මගේ අත්පොත. එයටත් මූලාරම්භය වුණේ ගුවන්විදුලිය. ඉතින් එතැනට ආපු නිසා තමයි මට වේදිකාවෙන් ඉදිරියට යන්න පුළුවන් වුණේ. මම අවුරුදු 20ට වඩා වැඩි කාලයක් වේදිකාවත් සමඟ බැඳී ඉන්නවා. කොරෝනා ප්‍රශ්නය නිසා වේදිකා නාට්‍යවලට දැන් නම් සම්බන්ධ වීමට හැකියාවක් නැහැ. ඉතින් කවදා මේවා පටන් ගන්න පුළුවන් වේවිද දන්නෙ නැහැ. හැබැයි පුංචි තිරයෙ නම් මම විවිධ චරිතවලින් විවිධ නාළිකා ඔස්සේ විවිධ නාට්‍ය තුළින් පෙනී සිටිනවා.
හඬකැවීම් ශිල්පිනියක් ලෙස ඔබ දායක වූ අලුත් නිර්මාණ මොනවාද?
දැනට ස්වර්ණවාහිනියේ විකාශනය කෙරෙන ‘ඇලඩින්’, දෙරණ නාළිකාවේ විකාශනය වන ‘චූටි දූ’ යන නාට්‍යවල හඬකැවීම් කටයුතු කරනවා. ඊට අමතරව චිත්‍රපට කීපයකම හඬකැවීම් සිදුකළා. ඉතින් ඔය විදියට හඬකැවීම් කටයුතුවල නිරත වෙනවා.
ටෙලිනාට්‍ය කලාව, වේදිකාව, ගුවන්විදුලිය කියන ක්ෂේත්‍ර අතුරින් ඔබ වෘත්තීය ලෙස තෝරාගෙන ඇති ක්ෂේත්‍රය කුමක්ද?
ඇත්තෙන්ම මම වෘත්තීය වශයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රකාශන අංශයේ සහකාර අධ්‍යක්ෂිකාවක් විදිහට කටයුතු කරනවා. ඊට අමතරව තමයි මම රංගනය, හඬකැවීම් කරගෙන යන්නෙ. ඒවා කිසි දෙයක් අතැරලා නැහැ. ඒ සියල්ල එක ලෙස කරගෙන යනවා.
වර්තමානයේ නිර්මාණ තුළ කිසිම ගුණාත්මක බවක් නැති බවට බොහෝදෙනා විවේචන එල්ල කරනවා..?
මෙහෙමයි. අපට හොඳ පිටපත් රචකයොත් ඉන්නවා. හොඳ අධ්‍යක්ෂවරුත් ඉන්නවා. සමහර වෙලාවට මිලක් නියම කරන්න තැනක අපි නැහැ. එතකොට හොඳ නිර්මාණ බිහිවෙන්නෙ නැහැ. එයට අදාළ රංගන ශිල්පීන් සමහර තැන්වල යොදාගනු ලබන්නෙ නැහැ. හැමෝම නෙමෙයි. සමස්තයක් විදියට ටික දෙනෙක්. ඉතින් වැඬේ තියෙන්නෙ අපේ ඒ නිර්මාණයකට සරිලන මුදලක් ගෙවීමත් නොකරන එක. ඒ නිසා හොඳ නිර්මාණකරුවකුට හොඳ අවස්ථාවක් නැති වෙනවා. එම නිර්මාණ කරන්න ලොකු වියදමක් යන නිසා එහෙම නිර්මාණ කෙරෙන්නෙ නැහැ. ගොඩක් වෙලාවට මිනිස්සු නිර්මාණකරණයට දායක කරගන්නෙ අඩුවෙන් බජට් කරල. එතකොට ඉතින් ප්‍රවීණ රංගන ශිල්පීන් එතැන නැහැ. ඒ නිසා හොඳ, හරවත් නිර්මාණ බිහිවෙනවා හරි අඩුයි. නිර්මාණකරණයට සරිලන මුදලක් ගෙවනව නම් හොඳ නිර්මාණ බිහිවෙනව වගේම විවේචන එල්ල වෙන එකත් අඩුවෙයි කියලා මම හිතනවා.
සිනමාවට දායකත්වය ලබාදෙන්නෙ හරි අඩුවෙන් නේද? ඔබට සිනමාව වෙනුවෙන් මීට වඩා යමක් කරන්න ඕනෙ කියලා හිතෙන්නෙ නැද්ද?
ඔව්. ඇත්තටම මම අඩු නිර්මාණ සංඛ්‍යාවකට තමයි සිනමාවෙන් දායක වෙලා තියෙන්නෙ. ඉතින් සිනමාවට ආරාධනා කිරීම කොයි විදයටද සිදුවෙන්නෙ කියලා මටත් තේරුම් ගන්න බැහැ. සිනමාවට අපිව ගැළපෙනවද නැද්ද කියන එක තාම දන්නෙ නැහැ. කොහොම වුණත් හරි සිනමාවේදියකු සමඟ ඉස්සරහට වැඩ කරන්න සතුටින් බලාගෙන ඉන්නවා. මොකද හොඳ නිර්මාණයක් කරන්න තමයි හැම වෙලාවෙම කවුරුත් ආසාවෙන් ඉන්නෙ. ඉතින් ඒ හින්දා හොඳ නිර්මාණයක් කරන්න සිනමාවෙත් කවදා හරි ඉඩක් ලැබෙයි කියලා හිතාගෙන ඉන්නවා.
ඔබ මේ දක්වා පැමිණි ගමන ගැන මොකද හිතෙන්නෙ?
මං ආපු ගමන දිහා ආපස්සට හැරිලා බලනකොට මට ගොඩක් සතුටුයි. මං කරපු දේවල්වලට වඩා මට තව කරන්න තියෙන දේවල් බොහොමයි කියලා හිතෙනවා.
ඒ ආපු ගමන අතරවාරයේ ඔබට මොනවගේ රසික ප්‍රතිචාරද ලැබුණෙ?
ඔව්. අපේ නිර්මාණයන් දිහා බලලා මිනිස්සු ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම එම නිර්මාණය ඇතුළටම කිඳාබැහැලා බැනුනුත් අහන අවස්ථාවන් තියෙනවා. ඒ කියන්නෙ අපි ඒ චරිතය හරියාකාරව කරන නිසා. අපි කෙනකුගේ නිර්මාණයකට දායක වෙලා මම නොවන වෙනත් චරිතයකට රංගනයෙන් දායකත්වය ලබාදීලා ඒ තුළින් අපි පුදුම සතුටක් විඳිනවා.
පවුලෙ තොරතුරු ගැන කතා කළොත්?
මගේ පවුලෙ හතරදෙනයි. මමයි, මහත්තයයි, දියණියන් දෙන්නයි. ඔවුන් දෙදෙනා දැනට උසස් අධ්‍යාපනය හදාරනවා. ඉතින් එයාලත් කලාවට ඉතාම ළැදියි සහ කලාවට හරිම ආදරෙයි. මං හිතනවා එයාලත් යම්කිසි නිර්මාණයකට මොනයම් විදියකින් හෝ කලාවට සම්බන්ධ වෙයි කියලා.
ඒ කියන්නෙ ඔබේ දරුවන් කලාවට සම්බන්ධ වෙනව නම් ඔබ කැමතියි?
ඔව්. මම හරිම කැමතියි. මොකද කලාව කියන්නෙ ආදරණීය තැනක්. රසවිඳින්න පුළුවන්, තව කෙනකුගේ හදවතක් දිහා හොඳින් බලන්න පුළුවන්, තව කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන්, සමාජයේ ඕනෑම තැනකට ගිහින් ඉන්න පුළුවන් සංවේදී හදවතක් තියෙන පිරිසක් තමයි කලාකාරයො කියන්නෙ. ඉතින් මගේ දරුවො එහෙම පුද්ගලයො වෙනවට මම හරිම කැමතියි.
ජෙහානි සිල්වා











