ලෝකයේ උසම කන්ද ලෙස සැලකෙන “එවරස්ට් කන්ද” පිළිබඳව යළිත් ලෝකය තුළ කතාබහක් ඇතිව තිබේ. එමෙන්ම එම කතාබහට මූලික වන කාරණයද එසේ මෙසේ කාරණයක් නම් නොවේ. සැබෑවටම ඊට හේතුව එවරස්ට් කන්දේ උස මට්ටම ඉහළට ගොස් ඇති බවට නේපාලය විසින් පළකරන ප්‍රකාශයයි. මේ අතර මීට ඉහතදී එනම් 2015 වර්ෂයේදී නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පනයක් නිසා එවරස්ට් ගිලාබැස එහි උස මට්ටම අඩුවී ඇති කතාවක්ද ඔවුන් ප්‍රකාශ කර තිබුණි. මෙම පරස්පර ප්‍රකාශ හමුවේ දැන් සමස්ත ලෝකයාගේ අවධානය දිනාගැනීමට යළිත් එවරස්ට් කන්දට හැකියාව ලැබී ඇත. විශේෂයෙන්ම එවරස්ට් කන්ද එවන් අවධානයක් දිනාගැනීමට එකම හේතුව වන්නේ එවරස්ට් යනු ලෝකයේ උසින් වැඩිම කන්ද ලෙස සමස්ත ලෝකයම පිළිගැනීමයි.
එවරස්ට් කන්දේ සැබෑම උස ලෙසින් සටහන් වන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 8848කි. එසේ නැතහොත් අඩි 29029කි. විශේෂයෙන්ම මෙදා ආසියාවේ හිමාලය කඳුකරයේ කොටසක් වන එවරස්ට් කන්ද නේපාලයට අයිති සාගර මාතා ප්‍රදේශයේ සහ චීනයට අයිතිව ඇති ටිබෙටයේ මායිමේ පිහිටා තිබේ. එවරස්ට් කන්ද මුලින්ම තරණය කළ පුද්ගලයන් ලෙස දැනටත් සැලකෙන්නේ නවසීලන්ත ජාතික “එඞ්මන්ඞ් හිලරි” සහ නේපාල ජාතික “ෂිර්පා ටෙන්ෂිං” යන අයයි. ඔවුන් එම තරණය සිදුකර ඇත්තේ වර්ෂ 1953 මැයි මස 29 වෙනිදාය. තවද ලෝකයේ උසම කන්ද මෙය වන බැවින් කඳු නගින්නන්ගේ සහ විශේෂ ගවේෂණ කණ්ඩායම් තුළ සැලකිය යුතු අවධානයක් මීට ලැබී තිබේ. එසේම ඒ හරහා වර්තමානය වෙනවිටත් එවරස්ට් කඳු මුදුන වෙත නැගීමේ මාර්ග මාලාවක්ම තිබේ.
එඞ්මන්ඞ් හිලරි ඇතුළු පිරිස 1953 වර්ෂය තුළදී එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට පෙර එවරස්ට් කන්ද පැවතුණේ කිසිදා නැගීමට අපහසු කඳු මුදුනක් ලෙසිනි. සැබෑවටම එම කියමනට බලපා තිබුණේ එහි උස ප්‍රමාණයයි. කෙසේ වුවද එඞ්මන්ඞ් හිලරි ඇතුළු පිරිස එවරස්ට් කඳු මුදුන තරණය කිරීමෙන් පසු විවිධ පිරිස් මහත් උද්‍යෝගයෙන් එවරස්ට් කන්ද තරණයට කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙසින් 1987 වර්ෂය වෙන විට එවරස්ට් කන්ද වෙත කඳු නගින්නන් දෙසීය දෙනෙක් පමණ ගොස් තිබුණි. මේ අතර මීට වසරකට දෙකකට පෙර ශ්‍රී ලාංකික ධජයද එවරස්ට් කඳු මුදුන වෙත ගෙන යමින් එවරස්ට් කන්ද මුලින්ම තරණය කළ ශ්‍රී ලාංකික පළමුවෙනි කාන්තාව බවට පත්වීමට “වීරහැන්නැදිගේ ජයන්ති කුරු උතුම්පාල” නම් අභීත කාන්තාව සමත්විය. එහෙත් කිව යුතුම කාරණාවක් වන්නේ එවරස්ට් කන්ද තරණයට ගොස් ඉතා විශාල පිරිසක් දැනටමත් මියගොස් ඇති බවයි.
මුලදී අප පැවසූ පරිදි 2015 වසරේදී නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් එවරස්ට් කන්ද ගිලා බැස ඇති බවට සැකයක් මතු විය. එම නිසා එහි නියම උස තහවුරු කරගැනීම සඳහා විශේෂඥයින් ප්‍රමුඛ විශේෂිත කණ්ඩායමක් එවරස්ට් කඳු මුදුනට ගිය බවට එකල ආරංචි විය. එදා නේපාලයට බලපෑ රික්ටර් පරිමාණ 7.8ක දැවැන්ත භූ කම්පනය හමුවේ එවරස්ට් කන්දේ උස අඟලකින් පමණ අඩු වී ඇති බව ඔවුන්ගේ විශ්වාසය විය. එහෙත් හරියටම ඊට වසර පහකට පසු එනම් මෙම 2020 දී එම නේපාලයම දැන් එවරස්ට් කන්ද තිබූ උස ප්‍රමාණයට වඩා උස ගොස් ඇති බව ප්‍රකාශ කිරීම ලෝකයේම අවධානය දිනාගත් කරුණක් විය. එම නිසාවෙන් අපද උණු කැවුම් මෙන් විකිණෙන එම කරුණ පසුපස පසුගියදා පන්නන්නට විය. මෙතැන් සිට ඔබ කියවන්නේ එම පැන්නිල්ල තුළ අප සොයාගත් තොරතුරුය.

මේ අනුව චීනය සහ නේපාලය ඒකාබද්ධව දැන් නිකුත් කර ඇති නිවේදනයට අනුව සඳහන් වන්නේ වත්මන් ලොව උසම කන්ද වන එවරස්ට් කන්දේ උස මීටරයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි. දෙරටේම එකඟතාවය මත නිකුත් කර ඇති මිනුම් ගණනයට අනුව එවරස්ට් කන්දේ වැඩිවී ඇති උස ප්‍රමාණය මීටර් 0.86ක් බව එම නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව දැනට අලුතින්ම නිකුත් කළ නිල නිවේදනයට අනුව මෙම එවරස්ට් කන්දේ උස මීටර 8848.86 හෙවත් අඩි 29032කි. නේපාලයේ විදේශ අමාත්‍යාංශයේ සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ දෙරටේම බලධාරීන්ගේ සම්බන්ධීකරණය ඇතිව කන්දේ නව උස පිළිබඳව එකඟතාවයකට පැමිණි බවයි.
මේ අතර එවරස්ට් කන්දේ උස වෙනස් වූයේ ඇයිද යන්න ප්‍රශ්නාර්ථයකි. එයට පිළිතුරු දෙමින් නේපාල බලධාරීන් පවසන්නේ ඔවුන් වත්මන් එවරස්ට් කන්දේ උස ප්‍රමාණය ගණනය කළ බවයි. කෙසේ වුවද මෙම එවරස්ට් කන්දේ උස ගණනය කිරීමේදී එහි පාෂාණ මතුපිට කන්දේ මුදුන ලෙස සලකා මැනීම් සිදු කළ යුතු බව චීන බලධාරීහු වරක් පවසා ඇති අතර නේපාල බලධාරීන්ගේ තර්කය වී ඇත්තේ එහි මතුපිට තිබෙන හිම තට්ටුවද කන්දේ උසට එක්විය යුතු බවකි. කෙසේ හෝ අවසානයේදී තමන් නීර්ණය කළ උස පිළිගන්නා ලෙසට චීනයෙන් නේපාලයට යම් පීඩනයක් එල්ලවීම හේතුවෙන් එවරස්ට් යළිත් මැන බැලීමට නේපාලය තීරණයක් ගත් බව නේපාල බලධාරීන් විසින් පසුගිය සතියේ පවසා තිබිණි. එතෙක් ඔවුන් පිළිගෙන තිබුණේ 1954 වසරේදී ඉන්දියාව විසින් සිදුකරනු ලැබූ ගණනය කිරීමේ මිනුම් ප්‍රතිඵලයයි.
එවරස්ට් කන්දේ සමස්ත උස මැනීමට නේපාලයේ මිනින්දෝරු කණ්ඩායම පසුගිය වසරේ කඳු මුදුනට ගිය අතර එහිදී අදාළ මිනුම් උපකරණ සවිකිරීමේදී එහි පැවති අධික ශීත තත්ත්වය නිසා පාදයේ හටගත් තුවාලයක් හේතුවෙන් මිනින්දෝරු කණ්ඩායමේ සිටි නායක ඛිම්ලාල් ගෞතම්ට සිය පාදයේ ඇඟිල්ලක්ද අහිමි වූ බව සඳහන්ය. මීට පෙර එවරස්ට් මත සිදුකර තිබූ මැනීම් කටයුතුවලට වඩා වෙනස්ව යමින් තම කණ්ඩායම මැනීම් සිදුකළේ හිමිදිරි පාන්දර 3.00ට පමණ බවත් පැවසෙන අතර ඊට හේතුව වී ඇත්තේ දහවල් කාලයේ හිරු එළිය නිසා මිනුම්වලට ඇතිවිය හැකි බලපෑම අවම කිරීමයි. මේ අතර මෙම එවරස්ට් කන්දේ උස යළිත් ගණනය කිරීම පිළිබඳ සිය අදහස් දක්වමින් නේපාලයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක දමොදාර් ධකාල් පවසන්නේ එවරස්ට් කන්දේ උස මැනීමට 2015දී නේපාලයේ ඇති වූ භූමිකම්පාවද හේතුවක් වූ බවයි.
එවරස්ට් කන්දේ උස ගණන ගණනය කිරීම පිළිබඳවද කියවන ඔබ දැනගත යුතුය. සාමාන්‍යයෙන් මෙදා කඳු මුදුනක උස ගණනය කරනු ලබන්නේ මුහුදු මට්ටමේ සිටය. එම නිසා කන්දේ පතුල සොයනවාට වඩා මුහුදු මට්ටමේ සිට කඳු මුදුනට ඇති උස සෙවීම පහසුය. ඒ අනුව මෙදා නේපාලය මුහුදු මට්ටම ලෙස යොදාගත්තේ බෙන්ගාල බොක්කය. අනතුරුව එහි සිට දෘෂ්ටි රේඛා සටහන් මඟින් එවරස්ට් කන්දේ පහළ සිට ඉහළට යන පරිදි ස්ථාන පෙළක් සලකුණු කරගනු ලබන අතර පසුව එම ස්ථාන පෙළ වෙන වෙනම මැන ගැනීමෙන් පසු මුළු අගය මෙසේ ගණනය කරයි. මෙය “ත්‍රිකෝණමිතික ගණිත ශාස්ත්‍රය” ලෙස හැඳින්වෙන අතර මෙම ගණනය කිරීම තුළ එවරස්ට් කන්දේ ඇති ඉහළම ස්ථානයේ දිළිසෙන පහන් කණුවක් සවිකිරීම විශේෂත්වයකි. මේ අනුව දැන් එවරස්ට් කන්දේ උස තිබූ ප්‍රමාණයට වඩා යම් ප්‍රමාණයක් ඉහළ ගොස් ඇති බව සොයාගෙන තිබේ.
රුවන් එස්. සෙනවිරත්න











