මේ මාෆියාව නවත්වන්න රජය මැදිහත් විය යුතුයි…
මම දේශපාලනයට ආවේ ෆොන්සේකා නිසා…
නලීන් ප්‍රදීප් උඩුවෙල කියන නම කලා ලෝකයේදී අපිට මුලින්ම අහන්න ලැබුණේ 90 දශකය ආරම්භයේදී. එදා ඉඳන් අදටත් ඒ නමට හිමි ජනප්‍රියත්වය ඒ වගේමයි. ඒ ජනප්‍රියත්වය එක්ක ඔහු එක්තරා කාලයකදී දේශපාලනය සමඟත් සම්බන්ධ වෙනවා. කවදත් වැඩි සද්දයක් නැති කලාකරුවෙක් ලෙස සැලකෙන නලීන්, කලකට පස්සේ අපිත් එක්ක කතාබහකට එකතු වුණේ මෙහෙමයි.
වර්තමානය හැමෝටම බොහොම නරකයි. කලා කටයුතුත් එක්ක ඔබට කොහොමද ඒක බලපාලා තියෙන්නේ?
ඇත්තටම කරගෙන ආව හැම දෙයක්ම නතර වුණා. වේදිකා නාට්‍ය සියල්ලම නතර වෙලා. හුනුවටයේ කතාව වේදිකා නාට්‍යයේ විතරක් දර්ශනවාර සෑහෙන්න ප්‍රමාණයක් අවලංගු වුණා. බාර ගත්ත චිත්‍රපටයක වැඩ කටයුතුත් අතරමඟ නතර වුණා.
ඒ කියන්නේ මේ දවස්වල කලා කටයුතු මොකුත්ම කෙරෙන්නේ නැහැ කියන එකද?
ඔව්. වැඩ ඔක්කොම වගේ නතර වෙලා තියෙන්නේ. මේ වෙද්දී අකුරු මැකී නෑ ටෙලිනාට්‍යය විතරයි ඉදිරියේදී වැඩ ආරම්භ කරන්න දින දීල තියෙන්නේ.
කොහොමත් පසුගිය කාලේ ඔබ නිතර පේන්න හිටියේ නැහැ කිව්වොත් ඒක හරි නේද. විශේෂයෙන්ම මෙගා ටෙලිනාට්‍යවල?
කොහොමත් ඔය මෙගා කියන දේට මම මුල ඉඳලම කැමැති වුණේ නැහැ. මම මුලින් ඒවට සම්බන්ධ වුණෙත් නැහැ. ඒත් අපේ වෘත්තියක් එක්ක ඒක අමාරු දෙයක්. බට්ටි ටෙලිනාට්‍ය වුණත් අපි මුලින් පටන් ගත්තේ කොටස් පනහකට විතරයි. පස්සේ ඒ රූපවාහිනී නාළිකාවේ ඉල්ලීමට තමයි ඒක දීර්ඝ කරන්න සිද්ධ වුණේ. මෙගා හින්ද අපේ වෘත්තිය හෑල්ලු වෙනවා කියලයි මම හිතන්නේ. රංගන ශිල්පීන් විතරක් නෙවෙයි ටෙලිනාට්‍ය කලාවට සම්බන්ධ අනෙක් කාර්මික ශිල්පීන්ට පවා ඒක බලපානවා. කොටස් 500ක්, 600ක් එකම ටෙලිනාට්‍ය විකාශනය වෙද්දී හැමදාම එකම පිරිසකට විතරයි වැඩ තියෙන්නේ. මේ තත්ත්වය යටතේ මං වැඩ කෙරුව ටෙලිනාට්‍ය 25ක් විතර තියෙනවා පෙන්වගන්න බැරුව. ඒ නිෂ්පාදකයෝ අන්ත අසරණ වෙලා ඉන්නේ.
ඔබ හිතන විදියට මොකක්ද එහෙම වෙන්න හේතුව. මේකට විසඳුමක් නැද්ද?
රූපවාහිනී නාළිකා ටෙලිනාට්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වුණු එක තමයි ඒකට හේතුව. මේක නවත්වන්න නම් රාජ්‍ය මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි. ලංකාවේ මෙගා ටෙලිනාට්‍ය විතරක් නෙවෙයි විදේශීය ටෙලිනාට්‍ය ගෙනත් හඬ කවලා පෙන්වන එකත් අපේ කර්මාන්තයට විශාල තර්ජනයක්. මං හිතන්නේ රාජ්‍ය මැදිහත් වීම යටතේ මණ්ඩලයක් හදලා ඒවා නියාමනය කිරීම අත්‍යවශ්‍යයි.
අපි පොඞ්ඩක් අතීතය ගැන කතා කරමු. මං හිතන්නේ ජුලියට්ගේ භූමිකාව තමයි ඔබේ කලා ගමනේ ආරම්භය?
නැහැ. මං මුලින්ම කලාවට එකතු වුණේ දයාරත්න රටගෙදර මහත්මයාගේ දුර ගමනක් ටෙලිනාට්‍යයෙන්. ඒ 1991දි. ඊට පස්සේ අන්දරේ ටෙලිනාට්‍යයේදී මට ප්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණා. ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ජුලියට්ගේ භූමිකාවේ රඟපෑවේ ඊට පස්සේ. හැබැයි ඒක ප්‍රධාන චරිතයක් නෙවෙයි.
කලාකරුවෙක් විදියට කොහොමද ඒ කාලේ මතක් කරද්දී දැනෙන හැඟීම?
ඇත්තටම හරිම සුන්දරයි. ග්‍රැන්විල් රොද්‍රිගූ, දයා අල්විස් වගේ ප්‍රවීණයොත් එක්ක වැඩ කරලා ඒ අයගෙන් ප්‍රායෝගිකව බොහෝ දේවල් ඉගෙන ගන්න අපිට අවස්ථාව ලැබුණා. පිටපත අතට ලැබුණම ඒ චරිතය ගැන අධ්‍යයනය කරලා ප්‍රවීණයන්ගේ උපදෙස් අරගෙන චරිතයට හොඳින් අවතීර්ණ වෙන්න අපට කාලය තිබුණා. සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන වගේ ප්‍රවීණයන් යටතේ බොහෝ දේ ඉගෙන ගනිමින් රඟපාන්න අපිට ඉඩකඩ ලැබුණා. අපි ආව මුල් කාලේ කලාව ප්‍රශස්ත මට්ටමක තිබුණා කිව්වොත් හරි. ඒත් අද වෙද්දී සමහර ටෙලිනාට්‍යවල දර්ශන තලයට ගියාම තමයි පිටපත හම්බ වෙන්නේ.
කලාකරුවෙක් විදියට ජනතාවගේ ආදරය දිනාගත්ත ඔබ දේශපාලනයට යොමු වුණේ කොහොමද?
ඇත්තටම දේශපාලනයට යොමු වෙන්න මගේ කිසිම අදහසක් තිබුණේ නැහැ. අපේ රටේ තිබුණු කුරිරු යුද්ධය නිමා කිරීමත් එක්ක සරත් ෆොන්සේකා කියන රණවිරුවා ගැන අපේ හිතේ ලොකු ගෞරවයක් තිබුණා. එතුමා එක්ක අපේ ලොකු බැඳීමකුත් තිබුණා. ඒ වගේ රණවිරුවෙක් හිරේ විලංගුවේ වැටිලා ඉන්න එක ගැන අපිට ලොකු දුකකුත් තිබුණා. එතුමා හිරේ ඉන්න කාලෙත් මම එතුමාව බලන්න ගියා. ඊට පස්සේ එතුමා පක්ෂයක් නිර්මාණය කරද්දී, ඒකට සම්බන්ධ වෙන්න කියලා අපිටත් ආරාධනා කළා. එතුමා එක්ක තිබුණු පෞද්ගලික හිතවත්කම සහ ගෞරවය හින්දයි මම දේශපාලනයට ආවේ. නැතිව කාටවත් ගැතිකම් කරන්න නෙවෙයි.
ඔබගේ සමකාලීනයන් බොහෝ දෙනෙක් අද වෙද්දී අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙලා. නලීන් ප්‍රදීප් උඩුවෙල කියන අධ්‍යක්ෂවරයාව අපිට කවදද දකින්න ලැබෙන්නේ?
චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක් කියන කෙටි නාට්‍ය මම අධ්‍යක්ෂණය කළා. ඒකෙන් පස්සේ අධ්‍යක්ෂණයට සම්බන්ධ වෙන්න කියලා මට ඉල්ලීම් රාශියක් ආවා. ඒත් නිෂ්පාදකයෙක් නිර්මාණයක් කරන්නේ නිකම් අත පිහ දාගන්න නෙවෙයිනේ. ඒ හින්දා අනුන්ගේ සල්ලි එක්ක සෙල්ලම් කරලා ඒ අයව අමාරුවේ දාන්න මම කැමැති නැහැ. නාට්‍ය හදාගෙන චැනල් ගානේ ගිහින් රස්තියාදු වෙන්නත් මට බැහැ. ඒ හින්දා මේ තියන මාෆියාව ඉවර වෙලා රාජ්‍ය මැදිහත් වීමක් යටතේ නියමිත ප්‍රමිතියකින් වැඩ කරන්න පුළුවන් වුණු දවසකට තමයි මම අධ්‍යක්ෂණයට යොමු වෙන්නේ. ඒක සුබවාදී බලාපොරොත්තුවක් කියලයි මම හිතන්නේ.
චන්දන පොන්නම්පෙරුම











