“ශ්‍රී ලංකාව වැනි රටවල් තුළ තිබුණු ජනවාර්ගික ඝාතනයන් වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු රටවල් සිදුකළ ක්‍රියාකලාපය ඉතාම පසුගාමී එමෙන්ම ඉතාමත් අසාර්ථක තත්ත්වයකයි තිබුණේ. එසේම සෝමාලියාව වැනි අසාර්ථක රාජ්‍යයන් නැවැත ප්‍රතිනිර්මාණය කිරීමට හෝ ශ්‍රී ලංකාව වැනි වාර්ගික අරගල ඇති රටවල් එම තත්ත්වයෙන් මුදාගැනීමට හෝ කිසිදු ක්‍රමවේදයක් හෝ කැමැත්තක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්වලට තිබුණේ නෑ. කොහොම වුණත් ලංකාවේ යුද්ධය අවසන් අදියරේදී බර අවි භාවිතා නොකරන ලෙසට මම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියා. ඒ වගේම එල්.ටී.ටී.ඊ. එකෙනුත් ඉල්ලා සිටියා ඒ අය ග්‍රහණයට අරගෙන සිටි සිවිල් වැසියන් වහාම නිදහස් කරන්න කියලා. නමුත් ඒවා ඉෂ්ඨ වුණේ නෑ…”
මේ කතාව කීවේ වෙන කවුරුවත් නොව ලෝකෙටම ලොක්කා විදිහට සැලකෙන ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයා වන බැරැක් ඔබාමාය. ඔබාමා මේ කතාව කීවේ සිය ජනාධිපති ධුර කාලය පිළිබඳව පිටු 768කින් යුතු පොතක් එළිදක්වමින්ය. “අ ප්‍රොමිස් ලෑන්ඞ්” යනුවෙන් නම් කර තිබූ මෙම පොතෙහි වෙනම පරිච්ඡේදයක්ම ලංකාව ගැන සඳහන් කිරීමට ඔබාමා කටයුතු කර තිබිණ. දැනටමත් මේ පොතේ පිටපත් මිලියන 1.7ක් විකිණී අවසන්ව තිබේ.
ලෝකෙටම ඇහෙන්න ඔබාමා ලංකාව ගැන මේ කියපු කතාවේ හැංගුණු කතාවක්ද තිබේ. ඒ වෙන මොකක්වත් නොව ලෝකයේම ප්‍රබල සංවිධාන යැයි කියැවෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය එපා කියද්දීත්, ලෝකෙටම ලොක්කා යැයි කියන ඇමෙරිකානු ජනාධිපතිවරයා එපා කියද්දීත් ලංකාවේ රාජපක්ෂලා බය නැතිව යුද්දෙ කළා කියන එකය. එහෙම යුද්දෙ කරලා යුද්දෙ දින්නා කියන එකය. ඒ ආපු බලපෑමට රාජපක්ෂලා මුහුණදීලා යුද්දෙ ඉවර කරපු බව ඔබාමාගේ මේ පොතෙන් හොඳටම පැහැදිලිය.
“ඒ කියන්නේ ඒ දවස්වල කොහොම හරි යුද්දෙ නවත්තගන්න යූ.එන්. එක ට්‍රයි කළා කියන එකද?”
“ලෝකයේම සුපිරිම ආණ්ඩුව යුද්දෙ වහාම නවත්වන්න කියලා ලංකාවට බලපෑම් කළා කියන එකද?”
ඔබාමාගේ පොතෙන් ඔප්පු කරලා තියෙන්නේ ඒකය. යූ.එන්. එකටවත්, ඔබාමාටවත් රාජපක්ෂලා යුද්දෙ කරලා එල්.ටී.ටී.ඊ.ය පරද්දපු එක නවත්වන්න බැරිවුණා කියන එකය.
‘එදා ඉඳන් ඇමෙරිකාව රාජපක්ෂලාට පන්න පන්න ගහන්නේ ඒ නිසාද?’
‘රාජපක්ෂලාගේ ආණ්ඩුවක් තියෙන හැම කාලෙම ඇමෙරිකාව මේ විදිහට ගහන්නේ ඒ වෙච්ච මදිපුංචිකම නිසාද?’
‘ඇමෙරිකාව මේ කරන්නේ ඇරියස් එකක් කවර් කරගන්න එකද?’
ඇත්තම කතාව ඒකය. එදා වගේම අදත් ඇමෙරිකාව ලංකාව පස්සේ පන්නන්ගේ තමන්ගේ අණට පිටුපාලා යුද්දෙ දිනපු ඒ මදිපුංචිකමට පළිගන්නටය. වෛරය පිරිමහන්නටය.
මේක හොඳටම පැහැදිලි වන්නේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමෙරිකාව කටයුතු කරපු ආකාරයෙන්ය. මොකද ශවේන්ද්‍රව හමුදාපති කළේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. ඒ 2019 අගෝස්තු 19 වැනි දිනය. හැබැයි මෛත්‍රි ශවේන්ද්‍රව හමුදාපති කරද්දී ඇමෙරිකාව කටක්වත් හෙල්ලුවේ නැත. මොකද ඒ කාලයේදී ඇමෙරිකාව යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා වූ රනිල් එක්ක හිටියේ කරට අත දමාගෙනය.
හැබැයි 2019 තිබ්බ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීමත් සමඟ ඇමෙරිකාව ශවේන්ද්‍රට එරෙහිව තම රටට ඇතුළු වීම තහනම් කරමින් නියෝගයක් පැනවූයේය. ඒ 2020 පෙබරවාරි 14 වැනි දිනය. ශවේන්ද්‍රට පමණක් නොව ශවේන්ද්‍රගේ පවුලේ උදවියට පවා වලංගු වන ලෙස ඇමෙරිකාව මෙම නියෝගය නිකුත් කළේය. ඒ නියෝගය ආවේ ශවේන්ද්‍ර හමුදාපති ධුරයේ වැඩ බාර අරන් මාස හයක් පමණ ගියාට පසුවය. ඒකෙන් පැහැදිලි වන්නේ එකම එක දෙයකි. එනම් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුද්ධය දින්න තරහව තවමත් හිතේ තියාගෙන ලංකාවටත්, රාජපක්ෂවරුන්ටත් දඬුවම් දෙන්න ලොකු උවමනාවකින් සිටිනවා කියන එකය. ඒ වෛරය ගිනි කන්දක් වගේ හිතේ පැහැවමින් තියෙනවා කියන එකය.
ඔබාමා මේ විදහට ලංකාව ගැන කතා කරල ඉවර වෙනවත් එක්කම බොරිස් ජොන්සන්ගේ අගමැතිත්වයෙන් යුත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේද ලංකාවට එරෙහිව කවදාවත් සිදු නොවුණු දෙයක් සිදුවිය. ඒ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හෙවත් වෙස්ට්මිනිස්ටර් මන්දිරයේ ඉදිරිපස බිත්තියෙහි තේමිස් නදිය හරහා වැටුණු ලේසර් ආලෝකවලින් සම්පූර්ණයෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාතික මල ලෙස සැලකෙන නියඟලා මල වර්ණ ගැන්වී තිබීමය. මෙය සිදුකර තිබුණේ බ්‍රිතාන්‍යයේ සිටින කොටි ඩයස්පෝරාවය. හැබැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නිල ඇනුමැතියක් නැතිව මෙවැනි කටයුත්තක් සිදුකරන්නට කිසිවකුටත් හැකියාවක් නැත.
හැබැයි වැඬේ කියන්නේ මෛත්‍රි – රනිල් හවුලේ ආණ්ඩු කරපු පහුගිය අවුරුදු පහටම මේ වගේ දෙයක් බ්‍රිතාන්‍යයේ සිදු නොවී තිබීමය. යහපාලන ආණ්ඩුව පැවැති පසුගිය අවුරුදු පහටම මහවිරු සැමරුම් පහක් බ්‍රිතාන්‍යයේ සමරා තිබිණ. ඒ මහවිරු සැමරුම් පහේදීම ඩයස්පෝරාවේ කිහිපදෙනකු එක්වී එල්.ටී.ටී.ඊ. කොඩි ඔසවා, පහන් ආලෝක දල්වා එය සැමරීමට කටයුතු කර තිබුණද කවදාවත් මේ විදිහට තේම්ස් නදිය හරහා ලේසර් කිරණ දල්වා වෙස්ට්මිනිස්ටර් මාලිගාවේ නියඟලා මල් පත්තුකොට යකා නැටීමට ඩයස්පෝරාව කටයුතු කර තිබුණේ නැත.
ඒකෙන් පැහැදිලි වන්නේ මේ සියල්ලන්ම රාජපක්ෂවරුන් බලයට ආවාට තරහෙන් සිටින බවය. ඒ නිසා ඒ අය බලන්නේ ආපහු කොටින්ට ඔක්සිජන් දී කොටින්ව නැඟිට්ටවා ගන්නටය. යහපාලන ආණ්ඩු කාලයේ දමනය වී සිටි කොටින්ට යළි ඔක්සිජන් ගසා රාජපක්ෂලාට එරෙහිව උසිගන්වන්නටය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ලංකාවත්, රාජපක්ෂවරුනුත් රැගෙන ගොස් මානව හිමිකම් තොණ්ඩුවේ හිර කරන්නටය. ලංකාවට එරෙහිව යුද්ධය දිනා දුන් රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ලකොට ඔවුන්ව දඬුකඳේ ගසන්නටය.
හැබැයි කරුමෙ කියන්නේ මේ ඇත්ත ජනතාවට තේරුම්කර දීමට තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුවට තවම බැරිවී තිබීමය. බටහිර රටවල් මේ හදන්නේ කොරෝනාවෙන් විශාල අර්බුදයකට මුහුණදී සිටින ලංකාවට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා කියන්නා වගේ ඒ ගැනවත් හිතන්නේ නැතිව මානව හිමිකම් ප්‍රශ්නයක පටලවා ලංකාව තවත් හිර කරන්නටය.
ඒ නිසා රටේ ජනතාව තේරුම්ගත යුතු එක දෙයක් තිබේ. ඒ මේ වෙලාවේ රටේ ජනතාව හිතන්න ඕනේ ආණ්ඩුව ගැන නොව රට ගැන කියන එකය. ආරක්ෂා කළ යුත්තේ ආණ්ඩුව නොව රට කියන එකය.
හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුවවත්, ආණ්ඩුවේ ප්‍රචාරණ යාන්ත්‍රණයවත් තවමත් ජනතාවට මේ ඇත්ත තේරුම් කර දීමට පියවර ගෙන නොතිබීමය. අඩුම තරමින් ඒක තේරුම් කරන්න උත්සාහ ගන්නා පාටක්වත් තවමත් ආණ්ඩුව පැත්තෙන් පේන්නට නැත.
විමලසිරි ජයලත්










