බන්ධනාගාර කොරෝනා පොකුරෙන් වාර්තා වන පළමු මරණය වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා කරමින් එහි රඳවා සිටි 82 හැවිරිදි රැඳවියෙක් මියගොස් ඇත.
පිළිකා රෝගයකින් පෙළී ඇති එම රැඳවියා වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත්තේ 2006 වසරේදීය.
ඉකුත් දා බන්ධනාගාර රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් එහි සිටි රැඳවියන් 112 දෙනෙකු මහර බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවිණ.
ඒ අතර සිටි රැඳවියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පසුව තහවුරු කර ගැනුණේ සිදුකළ PCR පරීක්ෂණවලින් පසුවය.
ඒ අනුව ඔවුන් කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරු කර යවා තිබේ.
කෙසේවෙතත් එම රැඳවියාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු රාගම ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී රැඳවියා මියගොස් ඇති බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.
දේහය සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂණයකදී ඔහුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇත.










