පාරිසරික විවිධත්වය සහ ජෛව විවිධත්වය අතින් ඉතාම ඉහළ වටිනාකමක් සහිත තවත් ජාතික වනෝද්‍යානයක් වන වස්ගමුව ගැන තමයි මේ සතියේ කැලෑ කොලමෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අවතැන් වූ වනසත්ව ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා 1984 දී තමයි වස්ගොමුව ජාතික වනෝද්‍යානයක් ලෙස නීතිගත කළේ. නමුත් ඊට පෙර 1938 සහ 1970 වසරවලදී මේ භූමිය සංරක්ෂණය කළ යුතු බවට යෝජනා සහ මූලික අඩිතාලම සකස් වෙලා තියෙනවා.
විශේෂයෙන්ම අනෙක් ජාතික වනෝද්‍යාන සමඟ සසඳලා බලද්දී, ගංගාධාර පද්ධතියකින් සමන්විත වුණු වනෝද්‍යානයක් ලෙස වස්ගොමුව හඳුන්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මහවැලි ගඟ සහ අඹන් ගඟ වස්ගොමුව පෝෂණය කරමින් ගලා බහිනවා. ඒ අතරින් මහවැලි ගඟ ආශ්‍රිතව තමයි වස්ගොමුවේ ප්‍රධාන පෝෂක කලාපය පිහිටලා තියෙන්නේ. ඒ හේතුවෙන් වෙනත් ජාතික වනෝද්‍යානවල පිහිටි ශාකවලට වඩා හොඳින් වැඩුණු විශාල ශාක වස්ගොමුවට යන සංචාරයකුට දැක ගන්න පුළුවන්. ඒ අතරේ පිහිටා ඇති ඇතැම් කුඹුක් ගස්වල වට ප්‍රමාණය අඩි 60කටත් වඩා වැඩියි. සාමාන්‍යයෙන් එක වර පුද්ගලයන් 10 දෙනකුටත් වට කරන්න බැරි තරමට ඒ ශාක විශාලයි. මහවැලි ගඟෙන් ලැබෙන පෝෂණය තමයි ඒ සඳහා ප්‍රධාන හේතුව බවට පත් වෙලා තියෙන්නේ.
වස්ගමුව යන නම ලැබීම පිළිබඳවත් මතිමතාන්දර කිහිපයක් තියෙනවා. වලසුන් විශාල ප්‍රමාණයක් ජීවත් වීම නිසාවෙන් වලස්ගොමුව ලෙස නම් තබා පසුව එය වස්ගොමුව බවට පත් වීම ඒ අතරින් එක් මතයක්. ඊට අමතරව විල්ලු විශාල ප්‍රමාණයක් පිහිටා තිබීම මත භාවිතයට එක් වූ විල්ගොමුව යන නම පසුව වස්ගොමුව බවට පත් වූ බව තවත් මතයක්. එම මතයට එක් සාක්ෂියක් සපයමින් විල්ගොමුව නමින් ගම්මානයක් අදටත් වස්ගොමුව ජාතික වනෝද්‍යානය අසල පිහිටලා තියෙනවා.
කොළඹ සිට වස්ගොමුව දක්වා යෑම සඳහා ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක් භාවිතා කරන්න පුළුවන්. කොළඹ, මහියංගණය ප්‍රධාන පාරේ ගොස් හසලක නගරයෙන් හැරී විල්ගොමුව හරහා වස්ගොමුවට ළඟා වීම ඒ අතරින් එක් මාර්ගයක්. ඊට අමතරව දඹුල්ල හරහා බකමූණට ගොස් එතැනින් වස්ගොමුව කරා ළඟා වෙන්නත් හැකියාව තියෙනවා.
වර්තමානයේදී මේ මාර්ග දෙකම ඉතාම හොඳ තත්ත්වයේ පැවතුණත් වස්ගොමුව කියන්නේ තවමත් අපේ රටේ බොහෝ දෙනකු සංචාරය කරන ඉසව්වක් නෙවෙයි. ඒ හේතුව හින්දම අදටත් වස්ගොමුව ලංකාවේ අනෙක් ජාතික වනෝද්‍යාන තරම් පාරිසරික විනාශයකට ලක් වෙලා නැහැ. නමුත් අනෙක් ජාතික වනෝද්‍යානවල දැක ගන්න ලැබෙන සෑම සත්වයෙක්ම වස්ගොමුවෙදිත් දැක ගන්න පුළුවන්.
රංචු වශයෙන් සැරිසරන විල්ලු අලි තමයි ඒ අතරින් ප්‍රධාන වෙන්නේ. මේ ආකාරයේ විල්ලු අලි රංචු 150ක්, 200ක් පමණ වස්ගොමුවේදී දැක ගන්න පුළුවන්. මේ විල්ලු අලි ලංකාවේ අනෙක් ජාතික වනෝද්‍යානවලදි අපි දකින අලින්ට වඩා තරමක් වෙනස්. මේ විල්ලු අලි හොඳින් වැඩුණු සහ පෘශ්ඨිමත් කොට්ඨාසයක්.අලි ඇතුන්ට අවශ්‍ය පෝෂක ආහාරවලින් වස්ගොමුව පිරී ඉතිරී තිබීම තමයි එයට හේතුව. විල් අලින්ගේ ආහාර ගැන කතා කිරීමේදී වස්ගොමුවටම ආවේණික ඇබේ ගැන කතා අමතක කරන්න බැහැ. එක්තරා කාලයක ගංගා ජලයෙන් යට වෙන සහ පසුව ඒ ජලය බැස යන ප්‍රදේශ තමයි මේ ආකාරයෙන් ඇබේ ලෙස හඳුන්වන්නේ. නෙළුම් ඇබේ නැමැති එවැනි එක් ප්‍රදේශයක් බොහෝ අවස්ථාවල මුළුමනින්ම නෙළුම් මලින් පිරී ගොස් තිබෙනවා. නමුත් ජලය දැක ගන්න නැහැ. මේ ආකාරයේ ඇබේ නැමැති ප්‍රදේශවල අලින් කැමැති විශේෂ තෘණ වර්ග විශාල වශයෙන් වැවෙනවා. ඒ වගේම වස්ගොමුවට එන සංචාරකයන්ගේ ප්‍රමාණය අඩු වීම හින්දම උන් මිනිසුන් ඉදිරියේ යම් කිසි කලබලකාරී සහ ප්‍රචණ්ඩ බවක් දක්වනවා.
වස්ගොමුවේ ජීවත්වෙන විල්ලු අලින්ගේ ජීවන චක්‍රයත් විශේෂ එකක්. වස්ගොමුවට හොඳින් වර්ෂාව ලැබෙන වසන්ත කාලයට එහි ජීවත්වන වන අලි වර්ෂාව නොලැබෙන කාලවලදී මහවැලි ගඟ හරහා පොළොන්නරුවට නුදුරින් පිහිටි ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා කවුඩුල්ල දක්වාම ගමන් කරනවා. වස්ගොමුවට වර්ෂාව ලැබෙන කාලයේදි ඒ අලි නැවතත් තමන්ගේ නිජ භූමිය කරා ගමන් කරනවා. මෙය වාර්ෂිකව සිදුවන දෙයක් බව පර්යේෂකයන් සොයා ගෙන තියෙනවා.
වස්ගොමුව ජාතික වනෝද්‍යානයට ලැබෙන ඓතිහාසික වටිනාකමත් සුළුපටු එකක් නෙවෙයි. එහි පිහිටා තිබෙන යුදගනා පිටියේ එළාර- දුටුගැමුණු යුද්ධය සිදුවූ බව එක් පුරාවෘත්තයක්. ඒ වගේම වස්ගොමුවේ පිහිටි මීටර් 450ක් පමණ උස සුදුකන්ද සම්බන්ධ පුරාවෘත්තය රාවණා යුගය තෙක්ම දිව යනවා. නමුත් මේ කිසිවක් තවම නිශ්චිත වශයෙන් සනාථ වී නොමැති බවත් පැවසිය යුතුයි.
මේ හැම දෙයක් එක්කම වස්ගොමුවට හිමි වෙන වටිනාකම වැඩි වෙලා තියෙනවා. අලි ඇතුන් පමණක් නෙවෙයි වස්ගමුවේ තවත් සත්ව විශේෂ ගණනාවක් ජීවත් වෙනවා. ඒ හැම දෙයක් එක්කම වස්ගොමුව ගැන තවත් බොහෝ තොරතුරු අපි ලබන සතියේ කැලෑ කොලම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
සමන් හල්ලොලුව











