ආදරණීය පාඨකයිනි,
මේ ඔබට ලියන්නේ ජීවිතයේ ඉතාම දුෂ්කර කාලයකය. එය මට සේම ඔබටද දැනෙමින් ඇති වග පැහැදිලිය. දෙවැනි කොරෝනා රැල්ල අපේ අත පොවනා මානයෙන් ඇරැඹී අප වටා මේ තරම්ම කිට්ටුවෙන් සැරිසරනු ඇතැයි මම කිසිම දිනක නොසිතුවෙමි. නමුත් දැන් කොරෝනා අප අසලටම පැමිණ තිබේ. මොහොතින් මොහොත අලුත් රෝගීන් ගැන ප්‍රවෘත්ති ලැබේ. එකින් එක නිවෙස් වැසී යයි.
සමහරු පී.සී.ආර්. පරීක්ෂාවන් සඳහා පිටත්ව යයි. තවත් සමහරු පිටත්ව යන්නේ ප්‍රථිකාර සඳහාය. මේ බොහෝ අය අප සමඟ අඩුම තරමේ සිනාසී ගනුදෙනු කළ අයය. ඔවුන්ගේ හැඬුම්බර මුහුණ දෙස බලා ඉන්නවා ඇර අපට ඔවුන් වැලඳගෙන සමුදිය නොහැක. පාසල් දරුවෝ සිය ගණන් නිවෙස්වලින් රැගෙන ගොස් ඇත. මිනිස්සු පාර දිගේ තැන් තැන්වල හඬා වැටෙනු දුටුවෙමි. සියල්ල උඩු යටිකුරු වෙමින් තිබේ. කොරෝනා දැන් අප වටකර අවසන්ය. අද හෝ හෙට එය මගේ නිවෙසටද කඩාවදින්නට ඉඩකඩ තිබේ. ඔහේ බලා හිඳිනු ඇර වෙන කළහැක්කක් නැත. දැන් සියල්ල සිදු වී අවසන්ය.
මේ කතාව බොහෝම දිගය. ඔබට වෙලාව ඇත්නම් කියවනු ඇතැයි සිතමි. මක්නිසාද යත් මෙය හුදෙක් මගේ කතාව නොවේ. ඒ දිවුලපිටිය – මිනුවන්ගොඩ අපේ කතාවයි. මේ ලියනා මොහොත වන විට ගේ-දොරවල හුදෙකලාව කල්ගෙවනා මිනිසුන්ගේ කතාවයි. පහුගිය සෙනසුරාදා රාත්‍රිය වන විට අලුත් කොරෝනා රැල්ල ඇරැඹෙන්නට පටන් ගත්තේය. අවාසනාවකට එය බලධාරීන් සිය බඩතුරේ සඟවාගෙන එදා රැය පහන් කළේය. දැන් මාධ්‍ය සන්දර්ශනවල කියවෙනා පරිදි සෙනසුරාදා රාත්‍රියේදී කිසිම දෙයක් සිදු වුණේ නැත. එදා ඒ වෙලාවේ නිවැරැදිව යම් දැනුවත් කිරීමක් ඇත්තටම වුණා නම් මේ ප්‍රශ්නය මේ තරම්ම උඩුදුවන්නේ නැත. නමුත් එය දැන් සිදුව අවසන්ය. කාලය යළි ආපසු හැරවිය නොහැක.
අපි දවස් යන දෙස බලා සිටිමු. විඩාබර හැන්දෑවල් ගත කරමු. ඈත අහසේ කුරුල්ලෙක් සේ පියාසැලූ ජීවිතයක් මට තිබුණේය. සමහර හැන්දෑවක යාපනේ නල්ලූර් පාරේ පරණපාට තෝසෙ කඬේකින් උණු උණුවේම හැදූ ගී තෝසයක් කමින් ඔහේ කයිය ගැසීමු. සමහර දහවලක පිටකොටුවේ ජනාකීර්ණ වීථි දිගේ ඇවිදිමින් සිටියෙමු. සමහර උදෑසනක යාල කැලේ මායිමේ මොණර සවුදන් මැද අවදිවුණෙමු. මහ කැලෑ මැද කූඩාරම් හෙවණක රාත්‍රිය ගතකළෙමු. කිලෝමීටර් හත – අටක දිග ගමන් පයින්ම ගියෙමු. පැය ගණන් පාළු රෑ මුහුදේ මාළු බෝට්ටුවල ගතකළෙමු. නමුත් ඒ කිසිවක් නැති මතක පමණක් ඉදිරි දින කිහිපයක් යළි ගතකළ යුතුය. දින, සති, මාස වී ඔහේ පාවී ගිය පහුගිය වසන්තය සේම මේ ගිම්හානයද නිමා වෙමින් යයි. ඒ යළි කොරෝනා අර්බුදය සමඟය. පළමු වතාවට දැන් අපි ජීවත් වීම සඳහා සටන් කරනා තැනට පත්ව තිබේ.
කොරෝනා කොතැන තිබේදැයි නොදැන ජීවිත් වීම පහසු නැත. ටී.වී. එකේ කියනා ඒවාත් අපේ ඇස් ඉදිරියේ සිදුවෙන ඒවාත් එකිනෙකට වෙනස්ය. අත්දැකීම් නම් ඕනෑ තරම්ය. නොහික්මුණු මිනිස්සු හැම ආයතනයකම ඉන්නා බව පමණක් හිතමින් අපි හිත් හදාගනිමු.
පාන්දර එකයි හතළිහට කොරෝනා ආසාදිත නිවෙසකට පැමිණි ආරක්ෂිත ඇඟලුම් ඇති නිලධාරීන් දිනක් ගමම අවදිකළේය. ඒ ඒ නිවෙසේ උන් හත්මස් ගැබිනියක නිරෝධායනයට ගෙන යන බව කියන්නටය.
‘සර් මට බබෙක් හම්බවෙන්න ඉන්නවා’
ඈ කීවා ය.
‘එව්වා අපිට වැඩක් නෑ.
ළමයි ඉන්න අයත් ඔය ඉන්නෙ.
ලෑස්ති වෙනවා විනාඩි පහයි දෙන්නෙ’
ඔවුන් කීවේ ය.
බ්‍රැන්ඩික්ස් ගිය වරදට ඔවුන් මහ රෑ පාරට වී බලා සිටියේය. වාහනය ආවේ පැයකට පසුවය. දවල් කාලයෙ කිසිවක් සැලසුම් කරගත නොහැකිවූ අය,
‘තමුසෙලා එහෙම නිදාගෙන හරියනවාද අසයි’
මේ කිසිවෙක් කුඩු හෝ ගංජා මේ රටට ගෙන්නූ අය නොවේ. සොච්චම් පඩියකට රෙදි මැසූ කාන්තාවන්ය. මේ අහිංසක මිනිස්සු පැය ගණන් වෙහෙසී ඉර – හඳ ඇල්ලූ අය නොවේ. යන්තමට බඩගින්න නිවාගත්තා පමණි. ජීවිතය ගැට ගහගත්තා පමණි. මහත්වරුණි,
හැකිනම් බ්‍රැන්ඩික්ස් ලොක්කාගේ ගෙදර ගොස් පාන්දර දෙකට කුදලාගෙන එන්න. හොම්බට දෙකක් අනින්න. හැබැයි මතක ඇතිව අත හෝදාගන්න. මතක තබා ගන්න, අපි කවුරුවත් මේ කාලයේ ආතල් එකේ ඉන්නේ නැත. අපේ බිත්ති අස්සේ ඇති ප්‍රශ්න දන්නේ අපය. ප්‍රශ්න ඕනෑ තරම්ය. ඒවා හැම එකම කාටවත් කියනා එක නොතරම්ය. වාසනාවට රජයෙන් බඩු මල්ලක් ඉතාම ඉක්මනින් ලැබුණේය. ඒ මල්ලේ අරවා නැතැයි, මෙව්වා නැතැයි කියන්නට තරම්ම අපි ගුණමකු නැත. හැකි ඉක්මනින් ඒ බඩුමල්ලත්, බෙහෙත් පැකට් දෙකකුත් අප වෙත එවූ රජයට ස්තූති වන්ත වෙමු. සමහර ගෙදර දත්බෙහෙත් ඉවරය. තව තැනක සබන් ප්‍රශ්නයකි. සනීපාරක්‍ෂක තුවා වැනි ප්‍රශ්න ප්‍රසිද්ධියේ කතා කළ නොහැක. අපේ ගෙදර දැන් තියෙන්නේ බාගයක් තීන්ත ඉවර වූ එකම එක පෑනක් පමණි. දවසකට වචන දහදාහකට එහා ලියනා අපේ ගෙදර පත්තරකාරයෝම දෙදෙනෙකි.අපේ ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා නන්දික රාජපක්ෂ මහත්තයාය. ඉන්දික අනුරුද්ධ ඇමැතිතුමාත්, නන්දික අයියාත් පෞද්ගලික මිනිස්සු ගැන සොයා බලමින් හිඳී. නිල්පනාගොඩ සඳුන් නම් වූ ප්‍රාදේශීය සභාවට ඡන්දෙ ඉල්ලූ කෙනාද එහෙමය. මේ අය කොරෝනාවට එරෙහිව සටන් කරමින් හිඳී. මේ ගේ අස්සේ රිංගා ඉන්නා මට වෙන කාගෙවත් නම්, ගම් හොයාගන්නට නොහැක. ඒ නිසා සමාවෙන්න. නමුත් අපි ඉන්නේ සතුටින් නොවනාවග ඔබට කියමු. මේ ජීවිතයේ දුෂ්කරම දවස්ය. ජීවිතයේ එක වරදකට වඩා කළ නොහැක. සමහර ගෙවල් සම්පූර්ණ රැයෙන් වසා දමා තිබේ. මධ්‍යම රාත්‍රියේ පවා ඇමැතුම් එන්නේ,
‘ලෙඞ්ඩු ගෙවල්වල එක්ක යන්න ආවෙ නෑ,
මොකක්ද කරන්නෙ?’ වගේ ඒවාය.
‘සුවසැරිය’ ඇතුළු කාර්ය මණ්ඩලය නිදිවර්ජිතව වෙහෙස බව මම පෞද්ගලිකව කියමි. මම ඔවුන් ඇමැතූ අවස්ථාවල විනාඩි ගානකින් විසඳුම් ලැබුණේය. නමුත් දරාගත හැකි ධාරිතාව දැන් අවසන්ය. කළ හැකි කොටස උපරිමය කළ පසු අපට කාට හෝ චෝදනා කළ නොහැක. නමුත් අප මේ ගැටලුවෙන් කෙසේ හෝ ගොඩ ආ යුතුය. අපි මේ කතාව කියන්නේ ඔබ කලබල කරවන්නට නොවේ.
ඔබ අපේ කතාව දැනගත යුතු නිසාය. අපිත් ඔබ සමඟ මේ පුංචි රටේ ජීවිතය බෙදා ගත් අය නිසාය. දැන් ඔබ අපි වෙන්ව සිටිමු. සමහර විටෙක දිනෙක අප මුණගැසෙනු ඇත. අපි යළි සිනාසෙමු. එතෙක් මේ කතාව කියවන්න.
දිවුලපිටියෙන් එක්කෙනෙක් හම්බවෙලාලු.
ඒ අපට ලැබුණු පළමු පුවතක් කියයි. සාමාන්‍යයෙන් ජන ඝනත්වය වැඩි ගම්පහ දිස්ත්‍රික්කයට මෙවන් තත්ත්වයක් යටතේ එය දරාගත නොහැකි බව සියලුම අංශ දැන සිටියේය. ඒ රෝගියා සම්බන්ධවද බොහෝ සෞඛ්‍ය අංශ කියන්නේ අමුතු කතාය.
‘අපි මේක මුල්ම අවස්ථාවේ අඳුනාගත්තා’
ඔවුන් කීවේය.
ඒ වන විට ඒ කාන්තාව තැන් කිහිපයකින්ම ප්‍රතිකාර ගෙන අවසන්ය. සෞඛ්‍ය අංශම කියන පරිදි ඉහත කාන්තාව ප්‍රතිකාර ගෙන නිවෙසට යන අවස්ථාවේ මොකක් දෝ අපි නොදන්නා හේතුවක් නිසා පී.සී.ආර්. පරීක්‍ෂාවකට ලක්කර තිබේ. ඇයට කොරෝනා වැලඳී ඇති බව හඳුනාගන්නේ, ඒ වෙලාවේය. පළමු, දෙවැනි හෝ තෙවැනි අවස්ථාවල හෝ රෝහලට ඇතුළු වූ අවස්ථාවේදී ද මේ කාන්තාවට කොරෝනා වැලඳී ඇති බව හඳුනාගන්නේ නැත. අන්තිම තත්පරේ ඇය හඳුනාගන්නා විට වෙන්නට අවශ්‍ය දේවල් ටික වී හමාරය.
ඒ අතර බ්‍රැන්ඩික්ස් ආයතනය අපූරු නිවේදනයක් නිකුත් කර තිබුණේය. ඒ සිය ආයතනය පූර්ණ සෞඛ්‍ය ආරක්‍ෂිත බව කියමින්ය. පූර්ණ සෞඛ්‍ය ආරක්‍ෂිත ආයතනයක් දහස් දෙනකුට කොරෝනා වැලඳුණු තත්ත්වයක වේ නම්, ඒ පූර්ණ ආරක්‍ෂාව ගැන වෙනමම අධ්‍යයනය කළ යුතුය. පහුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී කියැවුණේ හර්ෂ අබේවික්‍රම නමැත්තෙක්ගේ මාර්ගයෙන් නිරෝධායනයෙන් තොරව මේ පුද්ගලයා පැමිණි බවකි. ඒ ගැන අපි දන්නේ නැත. පාර්ලිමේන්තුවේදී කෙරෙනා කතාබහවල වගකීම ඒ ඒ අය සතුය. අපි දන්නේ පාර්ලිමේන්තුවේදී වගකීම් විරහිත ප්‍රකාශ නොකරනා බව පමණි. ඒවා කෙසේ වෙතත්, හිතාගන්නට බැරි තරමට ඉක්මනින් කොරෝනා දිවුලපිටියත්, මිනුවන්ගොඩත් වසා ගත්තේය. අපිට හිතන්නටවත් වෙලාවක් තිබුණේ නැත. සියල්ල උඩු යටිකුරු වෙන්නට පැය කිහිපයකට වඩා ගත වුණේද නැත.
‘දිවුලපිටියට, මිනුවන්ගොඩට අයිති ග්‍රාමසේවක කොට්ඨාස කිහිපයකට ඇඳිරි නීතිය දාලා.’
මේ ලැබුණු පළමු ආරංචියයි. ඒ ආරංචියත් සමඟ ඉරිදා උදේ එළැඹෙන්නට පෙර සැලැසුම් කර තිබූ සියලු වැඩපිළිවෙළවල් අවුල් විය. දහම් පාසල් වසා දැම්මේය. ඉරිදා දවස උදෙසා සැලසුම්ව තිබූ පෞද්ගලික පන්ති දෙගෙඩියාවට පත්විය. ප්‍රශ්න මිසක් උත්තර තිබුණේ නැත.
‘මොකක් වෙයිද?’
කලබලය දරුණු අතට හැරෙමින්,
‘මිනුවන්ගොඩටයි, දිවුලපිටියටයි ඇඳිරි නීතිය දාලා.’
කියන ප්‍රවෘත්තිය මතුවී ආවේය. මිනිස්සු කඩවල්වල පිරුණේය. යකහටුව බ්‍රැන්ඩික්ස් එකට අල්ලපු වැටේ කඩවල්වලද වෙනසක් නොවීය. ඒත් වැඩි වෙලා තිබුණේ නැත. ආරක්‍ෂක අංශවල නියෝග මත කඩවල් වසා දමනා අතර, මිනිසුන්ට අඩුම තරමේ කෑම බීමවත් රැස්කරගන්නට ඉඩක් ලැබුණේ නැත. කොරෝනා රැල්ල පැතිරෙන්නට පටන්ගත්තේය.
‘වේයන්ගොඩත් වහලා’
මිනුවන්ගොඩ සහ දිවුලපිටියෙන් පසු රැල්ල පැතිරුණේ වේයන්ගොඩටය.
‘පන්ති ඔක්කොම නවත්තලා’
ඊළඟට ආවේ ඒ ආරංචියයි. හදිසියේම පන්ති නතර වුණේය. අවුරුදු දෙකක උසස් පෙළ පන්ති ජීවිතයේ සමුගැනීම්, සාද උදෙසා සමහර පන්ති සූදානම් වෙමින් තිබුණේය. නමුත් ඒ කිසිවකට ඉඩ ලැබුණේ නැත.
ඒ අතර සඳුදා දින සිට පාසල් වසා දැමීමේ තීරණය ගත්තේය. පෞද්ගලික පන්තිත්, පාසලුත් නතර වූ පසු හැමෝම බලා උන්නේ උසස් පෙළත්, ශිෂ්‍යත්වයත් දෙසය. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියා කිව්වේ විභාග සුපුරුදු පරිදි තියනා බවය. ළමයින්ගේ සියලුම ප්‍රශ්න ඒ අය විසඳනා බව කියනා නිසා අපිට ප්‍රශ්නයක් නැත. නමුත් අමාත්‍යාංශ ලේකම්තුමා කියන්නේ මාර කතාවකි.
‘ඩෙංගුත්, යුද්ධෙත් තිබ්බ කාලෙ රටේ විභාග තිබ්බා.’
ඔවුන්ගේ තර්කය මාරය. ළමයින් ඔවුන් කතා කර කර විභාගය තියන්නට කියනා කතාවක් ඒ අය කියයි. මේ බය මාද විභාගයකට උත්තර ලියනා එක ගැන ඇමැතිලාට ලේකම්ලාට තේරෙන්නේ නැත. නමුත් මම ලිපිය ලියන්නට හිත එකඟ කරගත්තේ අතිශය අසීරුවෙනි. ඇම්බියුලන්ස් හඬ මැද,
‘අරයා අරගෙන ගියා…’
‘මෙන්න මෙයාවත් ගෙනියන්න එනවා’
කියනා අතර, විභාගයට උත්තර ලියන්නට හිත හදාගන්නා එක ඔබට වචනවලින් අවබෝධ කරවිය නොහැකිය. ඒ නිසාම විභාගය පැවැත්වෙනු ඇත. ආණ්ඩුවත්, ඇමැතිත්, ලේකම්ලාත් මේ විභාගයෙන් පාස්ය. දහතුන් වසක් නොකා නොබී නිදිවරා දැනුම රැස්කළ දරුවෝ ෆේල්ය. අවසන් තත්පරයේ හෝ අපේ දුක ඔබට වැටහේවායි අපි ප්‍රාර්ථනා කරමින් සිටිමු. වෙන අපට කරන්නට දෙයක් නැත.
ඊළඟට ඔබට කිවයුතුම කතාව, ගුවන් තොටුපොළ කතාවයි. සැකයට භාජනයට වෙන්නේ සැප්තැම්බර් 22 මත්තලට ආ ගුවන් යානයයි. ඒ ‘යූ.එල්. 1159’ දරන ගුවන් යානයයි. එය සවස 2.05 වන විට විශාකපට්ටනම් සිට මත්තලට පැමිණ තිබේ. එම ගුවන් යානය බ්‍රැන්ඩෙක්ස් ආයතනය මගින් සංවිධානය කළ ගුවන් ගමනක් සඳහා යොදාගත් බව ගුවන් තොටුපළේ ලේඛනවල සඳහන්ය. මේ අය 22 වැනිදා ලංකාවට පැමිණියේ නම් දින 14ක නිරෝධායනය අවසන් වෙන්නේ ඔක්තෝබර් 6 වැනිදාය. නමුත් ඔවුන් නිරෝධායනය වූ බවට කිසිම නිවැරැදි සඳහනක් නැත. නමුත් මේ ගැන ඉතාම ඉක්මනින් ලිපි ලේඛන සහිත, නම් ලැයිස්තු රෙජිස්ටර් පවා රූපවාහිනියෙන් ඔබට පෙන්වනු ඇත. නමුත් බඩුත්, නඩුත් දෙකම හාමුදුරුවන්ගේ බව අපි දනිමු.
කෙසේ වෙතත් අපි අසරණය. ජීවිතවල ඉලක්ක බොහෝය. දැන් මේ ලියන මොහොත වන විට මම මගේ නොව දවසේ කතාව ගැන අංශු මාත්‍ර සඳහනක් හෝ තැබිය නොහැකිය. සමහර විට ඔබ මේ ලිපිය කියවනා මොහොත වෙද්දීත් අපි නිවෙස්වල සතුටින් සිටිය හැකිය. නමුත් ඒ සමහර විටය.
ගම්මාන ගණනක් වසා දමා තිබේ. සමහර ගම්මානවල ලෙඩ වූ අය තිහ හතළිහකි. හැමෝගෙම වාර්තා දෙවැනි, තුන්වැනි වතාවේ හෝ පොසිටිව්ය. යකහටුව, හේන්පිටගෙදර, නිල්පනාගොඩ, මැඩෑමුල්ල මොහොතින් මොහොත අලුත් ප්‍රවෘත්ති මවයි. නමුත් ශ්‍රී ලංකාවාසී ආදරණීයනි. දිවුලපිටියේ හෝ මිනුවන්ගොඩ හෝ ගම්පහ හෝ අප වරදක් කළේ නැත. අපිත් ඔබ වගේම ජීවත් වෙමින් සිටියෙමු. කවුරුන් හෝ අප අසරණ කොට මේ ලියනා තත්පරයේ පවා තම තමන් සුඛෝපභෝගී ලෝකවල ජීවිත ගතකරමින් ඇතැයි සිතමි. එහෙම අපි හමුවෙමු. කවදා හෝ කොතැනක හෝ… එතෙක් ඔබ පරිස්සම් වෙන්න. නිවැරැදිව ‘මාස්ක්’ පලඳින්න. අත් සෝදන්න, සැනටයිසර් පාවිච්චි කරන්න. කිසිවෙක් කිසිවිට විශ්වාස නොකරන්න. කොරෝනා ඔබ අසලම විය හැකිය.
ජීවන පහන් තිළිණ











