‘පොඩි කාලේ මරඳ වැල්ලේ’ ගීතය හරහා ගායන ක්ෂේත්‍රයට පිවිසි ඔහු අද වන විට දෙස්, විදෙස් රසික හදවත් සිය කටහඬින් අමන්දානන්දයට පත්කර හමාරයි. ඒ බැඳීම සදාකාලික ආදරණීය බැඳීමක්. ඉතින් ඔන්න අපි ඔබ වෙනුවෙන් ඔහුට කතා කළා. කිංස්ලි පීරිස් නම් ඒ සොඳුරු ගායන ශිල්පියාගේ අලුත් වැඩකටයුතු මොනවාදැයි අපි ඔහුගෙන්ම අහමු.
කිංස්ලි නිතර දෙවේලේ විදේශගත වෙන්නේ ලංකාවේ ප්‍රසංග අඩු නිසාද?
විදේශීය ප්‍රසංගවලින් ආරාධනා ගලාගෙන එනවා. මේ මාසේ 19 මම නැවත යුරෝප් යනවා. නැවත එන්නේ මාස 1 1/2කින් විතර තමයි.
පසුගිය අප්‍රේල් 21 සිද්ධ වුණ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රසංග කලාව කඩාවැටුණා නේද?
ඒ සිද්ධිය ප්‍රසංගවලට පමණක් බලපෑ සිද්ධියක් නෙමේ. සමස්තයක් වශයෙන් ගත්තොත් සියලුම ජනතාවට එය බලපෑවා. අදටත් ඔවුන් සිටින්නේ භීතියකින්. ව්‍යාපාර ක්ෂේත්‍ර කඩාවැටුණා. අසරණ මිනිසුන් තවමත් දුක් විඳිනවා. ලංකාවේ ප්‍රසංග අඩු වීමට ප්‍රධානම හේතුවත් එයයි. දැන් නම් ටිකක් හොඳ වාතාවරණයක් සහ පසුබිමක් තියෙනවා. ඒත් ආරක්ෂාකාරීව කටයුතු කිරීම වැදගත්. සිද්ධවෙන්නේ නොහිතපු දේවල්නෙ.
සංගීත කණ්ඩායම් නායකයන් පසුගියදා ජනාධිපති හමුවීමට ගියා නේද? එහිදීවත් සාධාරණ පිළිතුරක් ලැබුණේ නැද්ද?
සංගීත කණ්ඩායම්වල නායකයන් කිහිපදෙනකු ගිහින් තිබෙනවා ජනාධිපතිතුමන් හමුවීමට. ෆ්ලෑෂ්බැක් එකේ කවුරුවත්ම ගියේ නැහැ.
‘ෆ්ලෑෂ් බැක්’වලින් අයින් වෙලා පුතාගේ සංගීත කණ්ඩායමට බැඳෙන්න අදහසක් නැද්ද?
මම මුල අමතක කරන්නෙ නැහැ. ෆ්ලෑෂ් බැක් සමග මම දිගටම වැඩ කරනවා. අනෙක් කාරණය ඒ සංගීත කණ්ඩායම පුතාගේ නෙවෙයි. ඔහු සෙල්ලම් කරනවා පමණයි. ඉතින් මට ආරාධනා ලැබුණාම ගිහින් සින්දුවක් කියලා එනවා.
මේ දවස්වල දමිත් අසංකට අන්තර්ජාලය හරහා මඩ ගහනවා. එය ගැන ඔබේ අදහස?
අපිටත් කනගාටුයි ඒ සිද්ධිය ගැන ඇහුවාම. මොකද දමිත් හිත හොඳ කොල්ලෙක්. ඔහුට හොඳ රසික පිරිසක් ඉන්නවා. මෙවැනි පුද්ගලයෙක්ව විවේචනය කිරීම, කොන් කිරීම අපරාධයක් කියලයි මට හිතෙන්නේ. හැබැයි ඒ වගේම තමයි දමිත් අන්තර්ජාලය හරහා වීඩියෝ ක්ලිප් දානවා. එහෙව දැක්කම දමිත්ට පිස්සු කියනවා. මටත් හිතාගන්න අමාරුයි මේ කියන දේවල්වල ඇත්ත නැත්ත. අසනීපයක් තිබෙනවා නම් ප්‍රතිකාර ගන්න එක තමා හොඳම දේ.
ඔය කියන අන්තර්ජාලය නිසා කිංස්ලිත් නිහඬ වුණා නේද?
දැන් යන රටාවත් එක්ක සී.ඩී. හෝ කැසට් කරලා කලාකරුවන්ට මුදල් උපයන්න අමාරුයි. අපට එයින් යමක් නොලැබෙන එක කනගාටුයි. සී.ඩී., කැසට් නැත්තටම නැතිවුණා. කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා.
වසන්ත විතාරණගේ