රටේ ආර්ථිකය බිද වැටී ජනතාව අසීරුතාවයට පත්ව සිටීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.
මේ ඒ සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයය.
කොවිඩ් වසංගතය හමුවේ බිඳ වැටී ඇති සංචාරක ක්ෂේත්රයේ සෘජුව හා වක්‍ර ආකාරයෙන් රැකියාවන්වල නිරත වී සිටි ලක්ෂ ගණනකගේ රැකියාද මේ වන විට අහිමි වේ ගොස් ඇත. මීට අමතරව, රජය විසින් පනවා ඇති භාණ්ඩ ආනයන තහනම හේතුවෙන් අමුද්‍රව්‍ය සපයාගත නොහැකිව කර්මාන්තකරුවන්ද, විවිධ භාණ්ඩ ආනයන සමාගම් හා ව්‍යාපාරිකයින්ද, ආනයනයන කරන ලද භාණ්ඩ විකිණීම ජීවිකාව කොට ගත් තනි පුද්ගල ව්‍යාපාර හිමිකරුවන් විශාල ප්‍රමාණයක්ද අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත. මෝටර් සයිකල් හා වෙනත් වාහන මෙන්ම මෝටර් රථ අමතර කොටස් ආනයන තහනම හේතුවෙන් කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක්ද අඩපණ වී පවතී.
අනෙක් අතට අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉතා අධික ලෙස වැඩි වී තිබේ. සහල් සඳහා පාලන මිලක් නියම කළද එම මිලට සහල් විකුණා ලාභයක් ලැබිය නොහැකි බැවින් කුඩා පරිමාණ වෙළෙන්දන් සහල් විකිණීම අත්හැර දමා ඇත. පොල් විකිණීමට පෙර එම පොල් ගෙඩිවල වටප්රමාණයන් එකින් එකට මැන බලා මිල නියම කිරීමට සිදු වීම හේතුවෙන් හා එම පාලන මිලට විකිණීම සඳහා පොල් සොයා ගත නොහැකි හෙයින් එම වෙළෙන්දන් හා අතරමැදියන් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු අත්හැර දමා ඇත. මේ හේතුවෙන් වැඩි මිලට වුවද ජනතාවට මිලදී ගැනීම සඳහා සහල් හා පොල් වෙළඳපොළේ නොමැති තත්ත්වයක්ද උද්ගත වී ඇත.
2020 ඔක්තෝබර් මස 06 වෙනි දිනට අදාළ ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික මිල වාර්තාව අනුව කැරට්, තක්කාලි, වම්බටු, වට්ටක්කා හා පතෝල වැනි එළවළු මිල එක දිනක් තුළදී 5%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. මීට අමතරව, රතු ළූණු, ලොකු ළූණු හා අමු මිරිස් කිලෝවක සිල්ලර මිල එක දිනකදී රුපියල් විස්ස බැගින් වැඩි වී තිබේ. මේ ආකාරයට ආර්ථික වශයෙන් රටේ සෑම අංශයක්ම බරපතල කඩාවැටීමකට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් ගෘහ ආර්ථිකයට අතිශයින් අහිතකර බලපෑම් එල්ල වී ඇත. ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද මෙමගින් එල්ලවන බලපෑම සුළුපටු නොවේ. දීර්ඝ කාලීන ලෙස මෙහි අහිතකර ප්‍රතිඵල අනිවාර්යයෙන් අත්විදීමට අපට සිදුවනු ඇත.
මීට අමතරව, රජය විසින් ණය හා ලීසිං වාරික ගෙවීම සඳහා මහජනතාවට ලබා දී තිබූ සහන කාලය පසුගිය මාසයෙන් අවසන් වූ අතර එම ණය වාරික ගෙවීමට ලබා දී තිබූ සහන කාලය සඳහා අමතර 7% ක වාර්ෂික පොළියක් අයකිරීමට රජය කටයුතු කොට ඇත. ඒ අනුව, ලබා දී තිබූ සහන කාලයද වංචාවක් බව නිරීක්ෂණය වන අතර ඔක්තෝබර් මාසයේ සිට නැවත වාරික ගෙවීමට ශක්තියක්ද මහජනතාවට නොමැත.
මෙම සියලුම කරුණු සම්පිණ්ඩනය කොට බැලීමේදී ඉතා පැහැදිලිව පෙනී යන කාරණයක් වන්නේ රජයට මහජනතාවගේ ජනජීවිතය පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බවත් ජනතාව ජීවත් කරවීම පිළිබඳව රජය කිසිදු තැකීමක් සිදු නොකරන බවත්ය. දැනට රටේ නිර්මාණය වී ඇති මෙම ඛේදනීය තත්ත්වය ජාතික වැදගත්කමකින් යුතු හදිසි කරුණක් වන බැවින් ඒ පිළිබඳ පහත සඳහන් ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.
1) ආර්ථික වශයෙන් රටේ බොහෝ අංශ කඩා වැටී ඇති අවස්ථාවක එම අංශ සම්බන්ධ කටයුතු තම ජීවනෝපාය කොට ගත් ලක්ෂ ගණනක් මේ වන විට අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බව රජය පිළිගන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?
2) එසේ අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති මහජනතාවගේ එදිනෙදා ජීවිතය හෝ ගෙනයාමට පුළුල් වැඩපිළිවෙලක් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවට රජය පිළිගන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?
3) අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය, එළවළු හා පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා ගැසට්පත්‍ර මගින් පාලන මිල නියම කිරීමෙන් ඔබ්බට ගොස් නිෂ්පාදකයින්, අතරමැදියන් හා පාරිභෝගිකයින් යන සියල්ලන්ම ආරක්ෂා වන පරිදි පුළුල් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට රජය පිළිගන්නේද? එසේ නම් ඒ සඳහා ගැනීමට අපේක්ෂිත පියවරයන් කවරේද?
4) දැනට රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව සාමාන්‍ය ජනතාවට ණය වාරික හා ලිසිං වාරික ගෙවීමට ආර්ථික ශක්තියක් නොමැති බව රජය පිළිගන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?
5) රජය විසින් ජනතාවට ලබා දී තිබු ණය හා ලීසිං වාරික ගෙවීමේ සහනය අවම වශයෙන් තවත් මාස 06 කින් වත් දීර්ඝ කිරීමට රජය කටයුතු කරන්නේද? පසුගිය සහන කාලසීමාව සඳහා අය කිරීමට තීරණය කොට ඇති 7% ක අමතර පොළිය කපා හැරීමට රජය කටයුතු කරන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?










