ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙලොව පහළවූදා පටන් උන්වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරන උන්වහන්සේ දෙසූ දහම අදහන කාගේත් කැමැත්ත අති උතුම් නිවනේ මඟ පාදා ගැනීමම පමණයි. නිවනේ මඟ එහෙම නැත්නම් නිවීම, නිවෙන මඟ, තවත් විදිහකට කිව්වොත් මම, මගේ යන සිතුවිල්ල නැතිකර ගැනීම මේ කොයි විදිහට කියන්නෙත් යළි යළිත් මේ සසර කතරේ නූපදිනවාය යන ස්ථිර සාර ප්‍රතිඵලය දක්වා සිය අධ්‍යාත්මික ජීවිතය දියුණු කරගැනීමයි. ඉතින් මේ විශිෂ්ට වූ ලැබීමට රහත් බව කියලා කිව්වත් වරදක් නෙවෙයි. ඇත්තටම මේ තරගකාරී ලෝකයේ තරගකාරී වටපිටාවේ එහෙම රහත් බව ලබන ස්වාමීන් වහන්සේලා හමුවිය හැකිද? කියලත් කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. එම ප්‍රශ්නයට ඉතා සාධාරණ පිළිතුරක් පසුගිය දින කිහිපය පුරාම කා අතරත් කතාබහට ගැනුණා. ඒ ඩෙන්මාර්ක් ජාතික ඥානදීප ස්වාමීන් වහන්සේ සම්බන්ධවයි.
සැබැවින්ම රහතන් වහන්සේ නමක පහළ වීම යම් දේශයකදී සිදුවේ නම් එය එම භූමියේත් වාසනාවකි. ඒ වගේම මුළු ලෝකයේම වාසනාවකි. එවන්වූ මහා වාසනාවක් ශ්‍රී ලංකා භූමියටත් ලෝකයටත් අත්කර දෙන්නට ඥානදීප හිමියන් කොතරම් වෙහෙස වූවාද, කෙතරම් ඇප කැප වූවාද යන්න දන්නේ උන්වහන්සේම පමණක් වුවද මේ මොහොතේ සාදු සිතින් යුතුව උන්වහන්සේ ගැන සිහිපත් කිරීමද මහඟු පුණ්‍ය කර්මයකි.
1950 දශකයේ අවසන් කාලය යනු බුදු සසුනේ විශේෂිත කාලයකි. එම යුගයේදී බුදු දහමේ සැබෑ අර්ථය සොයාගනු වස් මෙරට මහා යතිවරයාණන් වහන්සේලා මෙන්ම විදේශයන්ගෙන් මෙරටට වැඩම කළ යතිවරයාණන් වහන්සේලාත් වනගතව භාවනා කටයුතු සඳහා යොමුවූහ. ඇමෙරිකන් ජාතික කෝවිධ හිමි, බි්‍රතාන්‍ය ජාතික ඥානවීර හිමි, ජර්මන් ජාතික ඥානවිමල හිමි මෙම සංඝ පරම්පරාවේ වටිනාම සම්පත් වූ මාතර ඥානාරාම හිමි, කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ හිමි, මාවතගම ඥානානන්ද හිමි, නාඋයනේ අරියධම්ම හිමි වැනි ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන්ගේ කැපවීම මත බොහෝ පිරිසක් එම යුගයේදී දහම් මාවතට පිවිසුණහ.
මේ භික්ෂුන් වහන්සේලා අතරින් ඇමෙරිකන් ජාතික කෝවිධ හිමි සිය ජීවිතය අවසන් වන තෙක්ම ලග්ගල මහ වන මැද භාවනා කටයුතුවල යෙදුණු අතර බි්‍රතාන්‍ය ජාතික ඥානවීර හිමියන් බුන්දල වනෝද්‍යානය තුළ හුදකලාව භාවනානුයෝගී දිවියක් ගත කළේය. එහෙත් උන්වහන්සේට හදිසියේ තරුණ වයසේදීම ජීවිතය නිමා කරන්නට සිදුවිය. ඉන්පසු ජර්මන් ජාතික ඥානවිමල හිමි මෙන්ම මාතර ඥානාරාම හිමි සහ කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ හිමිවරුන්ගේ අපවත්වීමෙන් පසුව වනවාසී සඟ පරපුරේ පරමාදර්ශය වූයේ ඩෙන්මාර්ක් ජාතික ඥානදීප හිමියන්ය.
ලෝකයේ ධනවත් යැයි දියුණු යැයි සම්මත බටහිර යුරෝපීය කලාපයට අයත් ඩෙන්මාර්කයේ ධනවත් පවුලක ජන්ම ලාභය ලද උන්වහන්සේට තරුණ වයසේදීම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අසා දැන ඒ ගැන පැහැදී එම දහමේ සරණ යනවාදැයි සිතක් පහළ වී ඇත. පසුව උන්වහන්සේ තායිලන්තයට ගොස් පැවිදි දිවියට ඇතුළත්ව අධිශික්ෂාකාමී උපසම්පදාවද ලබාගත්තේ මහත් කැපවීමෙනි. උන්වහන්සේ තුළ තිබූ මනා වීර්යයත්, කැපවීමත් අන් අය කෙරේ ඇති මෛත්‍රියත් නිසාම අනෙක් භික්ෂුන් වහන්සේලා අතර උන්වහන්සේට ලැබුණේ විශේෂිත ස්ථානයකි.
උන්වහන්සේට ලෝකයේ විවිධ රටවලින් ආරණ්‍යවාසී ජීවිතයකට ආරාධනා ලැබුණද ඒ සියල්ල පසෙකලා 1960 දශකයේ මුල් භාගයේදී මෙරටට වැඩම කළ උන්වහන්සේ ලග්ගල පල්ලේගම ගම්මානය දෙසින් මහා වනාන්තරයට ඇතුළු වූයේ ජීවිතයේ උතුම්ම සම්පත වූ නිවන් මඟ අවබෝධ කරගන්නට ලක් පොළොව තරම් වටිනා බිමක් තවත් නැතැයි තීන්දු කරමිනි.
සාමාන්‍ය කෙනකුට කිසිදා ළඟාවීමට හෝ සිතීමටත් නොහැකි අලි, කොටි ග්‍රහන මහ කැලයට ඇතුළු වූ උන්වහන්සේ විෂඝෝර සර්පයන් පිරුණු වන මැද වැඩ සිටියේ දැඩි වීර්යය සිතින් යුතුවය.
වස්ගමුව ජාතික වන උද්‍යානය පහළ ලග්ගල මහ වන මැද වැඩ සිටිමින් අසල ගම්වලට පිඬුසිඟා වැඩි උන්වහන්සේ නිතරම වැඩම කර ඇත්තේ පල්ලේගම දිළිඳු ගම්මානයටය. නිතරම දුගී දුප්පත් මිනිසුන්ට යමක් ලබාදිය යුතුය යන හැඟීමෙන් කටයුතු කර ඇති උන්වහන්සේට එක්තරා අවස්ථාවක කුටියක් ඉදිකර දීමට කොළඹ ප්‍රදේශයෙන් පැමිණි ව්‍යාපාරිකයකුට උන්වහන්සේ පවසා ඇත්තේ එවැන්නක් අනවශ්‍ය බවයි. එම අවස්ථාව ගමේ දුප්පත් මිනිසුන්ට ලබාදිය යුතු බව පැවැසූ උන්වහන්සේ එම ව්‍යාපාරිකයාට පවසා ඇත්තේ ඔබලාට ජීවත් වීමට පින් තිබෙනවා. ඒත් පින් නැත්තේ මේ දුප්පත් මිනිසුන්ට යනුවෙනි.
ලග්ගල අවට ගම්මානවල මිනිසුන් ඥානදීප හිමියන්ව හඳුන්වන්නේ කුඩයක් නැතිව වැස්සේ නොතෙමී යන හාමුදුරුවෝ යනුවෙනි. එවැනි හාස්කම් උන්වහන්සේගේ ජීවිතයේ තිබූ බව ඒ අවට ගම් වැසියෝ හොඳින්ම දැන සිටියහ. එමෙන්ම උන්වහන්සේ ගම්මානවලට පිණ්ඩපාත වැඩියේ පා ගමනින්ද වෙනත් ක්‍රමයකින්ද යන්න තවමත් නොවිසඳුණු ප්‍රශ්නයකි. ගම්වැසියන් පවසන පරිදි උන්වහන්සේ ආගිය සලකුණක් මහ වනයේ කොතැනකවත් සොයා ගන්නට තිබී නැත. එවැනි විශේෂිත සිදුවීම් රාශියක් උන්වහන්සේගේ පැවිදි දිවිය තුළ සැඟවී තිබුණු බවද සත්‍යයකි.
කිසිදු අවස්ථාවක විශේෂිත කෑම බීම, සැප පහසුව, වරප්‍රසාද පිළිගැනීමට අකමැති වූ උන්වහන්සේ දුගී දුප්පත් මිනිසුන් පරිභෝජනය කළදෑ පණක් උන්වහන්සේටත් ලබාදෙන ලෙස ඉල්ලීම්ද කර ඇත. එසේම මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයකු උන්වහන්සේට අවශ්‍ය මොනවාදැයි විමසූ අවස්ථාවක තමාට තුන්පොට සිවුරයි පාත්තරයයි පමණක් සෑහෙන බව පවසා තිබේ.
වනවාසී දිවියක් ගත කළ බොහෝ ස්වාමීන් වහන්සේලාට ආදර්ශයක් දෙමින් කටයුතු කළ ඥානදීප ස්වාමීන් වහන්සේ සෑම විටම තරුණ ශ්‍රමණයන් වහන්සේට ලබාදුන් ගුරුහරුකම් බොහෝය. සැබෑ බුද්ධ පුත්‍රයකු සතු ආරක්ෂක මෙවලම සියලු සත්වයන් කෙරේ ඇතිකර ගත්තාවූ කරුණාව දයාව බවට විශ්වාස කළ ඥානදීප ස්වාමීන් වහන්සේ සිංහල සහ පාලි භාෂාව පිළිබඳව දක්වා ඇත්තේ හසළ නිපුණතාවයකි.
අලි ඇතුන්, වගවලසුන්, දිවියන්, කොටියන් ගහන මහ වනයේ දිවි ගෙවද්දී උන්වහන්සේ මුහුණදුන් සිදුවීම් අප්‍රමාණය. ඒ අතරින් විශේෂ සිදුවීම් කිහිපයක්ම කවුරුත් විශ්මයට පත්කරනසුලුය. එක්තරා අවස්ථාවක උන්වහන්සේ භාවනා කරමින් සිටියදී සිවුරුපොට තුළ පොළොන් වර්ගයේ ගැහැනු සතකු පැටවුන් දැමූ පුවත අසන්නන් මවිතයට පත්කරන්නකි. එමෙන්ම තවත් අවස්ථාවක හිමියන්ට හිතවත්ව සිටි අලි පැටවකුගේ සිරුරේ දැවටී උන්වහන්සේ ගිලන්ව බිම ඇදවැටී තිබේ. එහිදී දිනක පමණ කාලයක් එකම තැන රැඳී සිට ඇති අතර විෂ කඩින්ගේ ප්‍රහාරයකට ලක්වීමට ගිය උන්වහන්සේගේ ආරක්ෂාවට පැමිණ කඩින් ඉවත් කර ඇත්තේ වඳුරෙකි. එයද එක්තරා ආකාරයක හාස්කමකි.
දශක පහකට අධික කාලයක් එකම අරමුණකින් ජීවිතයේ අවසානය දක්වා ගමන් කළ උන්වහන්සේ 2016න් පසුව විවිධ රෝගාබාධයන්ට ලක්වුවද ඒ කිසිවකට නොසැලී සිය එකම අභිප්‍රාය වූ නිවන් මඟ සොයා ගැනීමේ කාර්ය අත් නොහල අතර ලෝසතට සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බව පසක් කර දෙමින් පසුගියදා ඉමහත් ශ්‍රද්ධාවෙන් දෙඅත් වැඳගෙන අපවත් වූයේ ජීවිතයේ තමන් ලබාගත් මහඟු පලය ගැන ලෝකයටම පසක් කරමිනි. සිනාමුසු මුහුණින් යුක්තව ජීවිතයෙන් සමුගත හැක්කේ අතිශය අල්ප වූ පිරිසකටය. ඩෙන්මාර්ක් ජාතික ඥානදීප හාමුදුරුවෝද ඒ මහඟු භාග්‍ය ලද ශ්‍රේෂ්ඨයෙකි. එයින්ම පැහැදිලි වන්නේ තමා සෙවූ මහඟු නිවන උන්වහන්සේට හමුවූ බව නොවේද?
කුමාර රත්නායක











