• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කබීර්ලා රනිල් එක්ක මුලින්ම සාකච්ඡා කළ හැටි! වෙලාව යොදාගත් හැටි! සජිත් දවස වෙනස් කළ හැටි! ගිනි තියපු පුස්තකාලය රනිල් සජිත්ට පෙන්නපු හැටි! කිසිම මාධ්‍යක ගියේ නෑ! සජිත් රනිල් පැය එකහමාරක හමුවේ සම්පූර්ණ කතාව මෙන්න! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

June 21, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 15 mins read
A A
Share on WhatsAppShare on Facebook

සජිතුයි රනිලුයි

‘මව්රට’ පුවත්පතේ ‘රාජ්‍ය රහස්’ තීරය ආරම්භ කළ දා සිටම සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් ඉතා ඕනෑකමින් යුතුව එහි ඇති සියලු තොරතුරු කියවන බව පසුගිය කාලය පුරාම අපට ලැබුණු ප්‍රතිචාර අනුව අප වටහාගෙන ඇති කාරණයකි. ඒ අනුව ඔවුන් ආරම්භයේ සිටම පුලපුලා බලා සිටියේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් එකතු වන දිනය කවදාද යන්න පිළිබඳවය. අවස්ථා කිහිපයකදීම පක්ෂ දෙක මගින්ම විවිධ කමිටු පත්කරමින් සහ විවිධ සාකච්ඡා ආරම්භ කරමින් ඒ සඳහා යම් උත්සාහයක් දැරුවද ඒ කිසිදු අවස්ථාවක ඒවා විවිධ හේතු මත සාර්ථක අවසානයක් කරා ඇදී ගියේ නැත. ඊට හේතු වූයේ සජබ නියෝජිත කණ්ඩායම් ඒ සඳහා අවංක උත්සාහයක් දැරුවද එක්සත් ජාතික පක්ෂයේ දෙතුන් දෙනකු විසින් ඒ ඇතිවීමට නියමිතව තිබූ සමගිය කඩා බිඳදමින් කටයුතු කරනු ලැබීම නිසාය.Sri Lanka Latest News

නමුත් ආණ්ඩු බලයක් ලබාගෙන දේශපාලන ජයග්‍රහණයක් කිරීමට නම් මේ පක්ෂ දෙක නියත වශයෙන්ම එකතු විය යුතු බවට පක්ෂ දෙකේම නායකයන්ගෙන් සහ පාක්ෂිකයන්ගෙන් ඉදිරිපත් වූ යෝජනා මත විපක්ෂ නායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා අවසානයේදී එම සාකච්ඡා තමන් යටතට ගැනීමට පියවර ගත්තේය. ඒ අනුව සජිත් සජබය සහ එජාපය එකතු කරන කාර්යය මුලින්ම ආරම්භ කළේ එජාපයේ දෙවැනි පෙළ තරුණ නායකයන් සමග කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ කලම්බෝ ක්ලබ්හිදී නව සාකච්ඡා වටයක් ආරම්භ කරමින්ය. ඒ අනුව මුලින්ම සජිත් එජාපයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් සහ උපසභාපති නවීන් දිසානායක යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය. එම සාකච්ඡා වටය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව සජිත් සහ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර එජාප මහලේකම්වරිය වූ තලතා අතුකෝරාල මහත්මිය සමග ටාජ් සමුද්‍රා හෝටලයේ කලම්බෝ ක්ලබ්හිදීම තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට පියවර ගත්හ. එයද සාර්ථක අවසානයක් කරා ගෙන යෑමට සමත් වීමෙන් පසු එජාපයේ ජාතික සංවිධායකවරයා වූ සාගල රත්නායක සමගද සජිත් ටාජ් සමුද්‍රා හෝටලයේ තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට පියවර ගත්තේය. ඒ අනුව එම සාකච්චා වට තුන සාර්ථකව අවසන් කිරීමෙන් පසුව ‘මව්රට’ ‘රාජ්‍ය රහස්’ තීරය පළමු වතාවට මෙම හමුවීම් සම්බන්ධයෙන් සහ සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකිරීමට පියවර ගත්තේය. ඒ අනුව ලක්ෂසංඛ්‍යාත වූ සජබ පාක්ෂිකයනුත්, එජාප පාක්ෂිකයනුත් විශාල බලාපොරොත්තු දල්වාගෙන පක්ෂ දෙක නිල වශයෙන් එක්වන දිනය පිළිබඳ සිහින මැවූ ආකාරයක් දැකගත හැකි විය.

මේ ආකාරයට පක්ෂ දෙක එකමුතු කරන කාර්යය පියවරෙන් පියවර ක්‍රමක්‍රමයෙන් සජිත් විසින් ඉදිරියට ගෙනයනු ලබද්දී එය කඩාබිඳ දැමීමට උත්සාහ කළ පිරිස්ද එජාපය ඇතුළේ නොසිටියා නොවේ. ඇතැම් විට රනිල් – වජිර පාර්ශ්වයම මෙම එකමුතුව කඩාබිඳ දැමීම සඳහා විවිධ කුමන්ත්‍රණ කළ ආකාරය ‘රාජ්‍ය රහස්’ තීරය හරහා සජබ සහ එජාප පාක්ෂිකයන් දැනුවත් කිරීමට අපි පියවර ගත්තෙමු. ඒ සඳහා සජබයෙන් දොට්ට දැමූ අජිත් මාන්නප්පෙරුම ඇතුළු පරාජිත දේශපාලනඥයන් කිහිප දෙනකු යොදවාගෙන සජිත්ට සහ සජබයට ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ ආකාරයද අප වරින් වර වාර්තා කළෙමු. විශේෂයෙන්ම ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ විවිධ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මාන්නප්පෙරුම යොදාගෙන සජිත්ට පහරදීමට සැලසුම් කළ කුමන්ත්‍රණ පිළිබඳවද අපි මෙම තීරයෙන් වාර්තා කර සිටියෙමු. මේ සියලු සැලසුම් හරහා එජාපයේ සිටින දෙතුන් දෙනකු උත්සාහ කළේ පක්ෂ දෙක අතර ගොඩනැගෙමින් පැවැති එකමුතුව තමන්ගේ ඉතා පටු අරමුණු මුල් කරගෙන කඩා බිඳදැමීමටය.

කබීර්-රංජිත්-ලකී රනිල් හමුවේ

කෙසේ වෙතත් මෙම තොරතුරු සියල්ල වාර්තා කළ අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ට බොහෝ සතුටු විය හැකි, උද්දාමයට පත්විය හැකි අතිශය ජයග්‍රාහී පුවතක්ය. ඒ, කිසිවකුටත් නොදැනෙන්නට අතිශය රහසිගත ලෙස සජබය සහ එජාපය එකතු කිරීම සඳහා පැවැත්වූ ඉහළ පෙළේ සාකච්ඡා වට දෙකක් පිළිබඳවය. ඉන් පළමු සාකච්ඡාව පැවැත්වුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ ඉහළම නියෝජිතයන් තිදෙනකු අතරය.

සාකච්ඡාව සඳහා පසුබිම සකස් වීමෙන් අනතුරුව එය පැවැත්වීමට තීරණය වූයේ රනිල්ගේ කොල්ලුපිටිය 5 වැනි පටුමගේ පිහිටි නිවසේදීය. දිනය ලෙස තීරණය වූයේ පසුගිය සෙනසුරාදා රාත්‍රියේය. ඒ අනුව වැඩි සද්ද බද්දයකින් තොරව මේ සාකච්ඡාවට සජබය නියෝජනය කරමින් සහභාගි වූයේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති කබීර් හෂීම් සහ සජිත්ගේ සමීප මිත්‍රයකු වූ ලකී ෆොන්සේකාය. සජබයෙන් නියෝජිතයන් තිදෙනකු සාකච්ඡා මේසයේ අසුන් ගන්නා විට එජාපය වෙනුවෙන් රනිල් තනිවම එම සාකච්ඡාවට සහභාගි වී සිටීම විශේෂ සිදුවීමක් විය. පැය එකහමාරක් පුරා පැවැති මෙම දීර්ඝ සාකච්ඡාව සම්බන්ධයෙන් සියලු තොරතුරු අප සතුව නැතත්, යම් යම් විශ්වාසකටයුතු ආරංචි මාර්ග අනුව පක්ෂ දෙක එකතු වීම පිළිබඳවත්, සන්ධානයක් ආකාරයට කටයුතු කරන ආකාරය පිළිබඳවත්, වෙන් වෙන්ව සටන් කළ යුතු ආකාරය පිළිබඳවත්, තීරණාත්මක අවස්ථාවේදී එක්ව ගමන් කළ යුතු ආකාරය පිළිබඳවත් පුළුල්ව සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට ඇත. මීට අමතරව මෙම සාකච්ඡාවේ ප්‍රධානම අරමුණ වී තිබුණේ පක්ෂ දෙකේ නායකයන් වූ සජිත් සහ රනිල් අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්වීම පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් රනිල්ගෙන් එම යෝජනාව ඉදිරිපත් වී තිබුණේ මීට මාස ගණනාවකට පෙරාතුව සිටමය. ඒ අනුව එහිදී තීරණය වී තිබුණේ ඊට පසු දිනම, එනම් ඉරිදා දිනයේදී සජිත් සහ රනිල් අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්වීමටය. මේ සම්බන්ධයෙන් සජිත් සමග සාකච්ඡා කොට දැනුම් දීමක් කළ හැකි බව සජබය පාර්ශ්වයෙන් රනිල්ට දැනුම් දීමට කටයුතු කොට තිබිණි.

ඒ සමගම මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් තහවරු නොකළ තවත් පුවතක්ද ‘රාජ්‍ය රහස්’ තීරය මගින් අනාවරණ කිරීමට අප සූදානම්ය. ඒ, පක්ෂ දෙක එකතු කිරීම යථාර්ථයක් වීමට පැවැති ප්‍රධාන බාධකය වූ නායකත්වය සම්බන්ධයෙන්ද රනිල් හා කබීර්, රංජිත්, ලකී අතර සාකච්ඡා වෙද්දී ඉතා සුබවාදී අදහසක් ඉදිරිපත් වී ඇති බවය. ඒ අනුව ඉදිරි සාකච්ඡා වටවලදී නායකත්වය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයේ නිල නොවන ආකාරයේ එකඟතාවක්ද මෙම සාකච්ඡාවලදී ඇති කරගෙන ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

රනිල් සමග පැවැති මෙම පළමු සාකච්ඡාව සාර්ථකව අවසන් වීමත් සමග කබීර්, රංජිත් සහ ලකී යන තිදෙනාම මුලින්ම පැමිණියේ විපක්ෂ නායක කාර්යාලයටය. ඒ, සාකච්ඡාව සම්බන්ධයෙන් සජිත්ට තොරතුරු වාර්තා කිරීම සඳහාය. ඒ අනුව, තිදෙනාම සාකච්ඡාවේ මුල සිටම කතාබහට ලක්වූ කරුණු එකින් එක පිළිබඳ සජිත්ව දැනුවත් කිරීමට පියවර ගත්හ. එමෙන්ම සජිත් සහ රනිල් අතර හමුවක් ඉරිදා දිනයේදී පැවැත්වීමේ යෝජනාවක් ඉදිරිපත් වූ බවද ඔවුහු සජිත්ට දැනුම්දී සිටියහ. එහිදී රනිල් හමුවී සාකච්ඡා පවත්වන ස්ථානය පිළිබඳවද යම් ගැටලුවක් මතුව තිබිණ. ඒ සඳහා ස්වාධීන ස්ථාන කිහිපයකම නම් යෝජනා වෙද්දී සජිත් පැහැදිලිවම පිරිසට දැනුම් දී සිටියේ මේ වනවිට රනිල් ශල්‍යකර්මයකට භාජනය වීමෙන් අනතුරුව විවේක සුවයෙන් කල් ගතකරන නිසා වෙනත් ස්ථානවලට රනිල්ව ගෙන්වා ගැනීම ඔහුගේ සෞඛ්‍යයට හිතකර නොවනු ඇති බවත්, එම නිසා රනිල්ගේ නිවසටම ගොස් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත්ය. නමුත් කල්තියා යොදාගත් වැඩකටයුතු කිහිපයක් හේතුවෙන් ඉරිදා දිනයේදී එම සාකච්ඡාව පැවැත්වීමට යම් අපහසුතාවක් මතුව ඇති බවද සජිත් පිරිසට දැනුම් දී සිටියේය. නමුත් බදාදා රාත්‍රියේදී එම සාකච්ඡාව පැවැත්විය හැකි බවද සජිත් කබීර්ටත්, රංජිත්ටත්, ලකීටත් සඳහන් කර සිටියේය. ඒ අනුව දිනය සහ වේලාව සම්බන්ධයෙන් නැවතත් සජබ නියෝජිතයන් රනිල් සමග සාකච්ඡා කරද්දී රනිල් දැනුම් දී සිටියේ එසේනම් බදාදා රාත්‍රී 7.30ට සිය නිවසේදී සජිත් හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවකි. ඒ බව සජිත්ටද දැනුම් දීමෙන් අනතුරුව සාකච්ඡාව ස්ථිර කරගැනීමට සජබ නියෝජිතයෝ සමත් වූහ.

සජිත් රනිල්ගේ ගෙදරට

ඒ අනුව පසුගිය බදාදා දිනයේදී හරියටම රාත්‍රී 7.30ට සජිත් කොල්ලුපිටියේ 5 වැනි පටුමගේ පිහිටි රනිල්ගේ නිවසට යෑමට පියවර ගත්තේය. පසුගිය කාලය පුරාම සජිත් සහ රනිල් අතර යම් යම් දේශපාලන මතගැටුම් තිබුණද මෙම හමුවේදී ඒ කිසිදු දේශපාලන මතගැටුමක් සාකච්ඡා සඳහා බාධකයක් වූ ආකාරයක් දැකගන්නට නොලැබුණේ ආරම්භයේ සිටම ඉතා සුහදශීලී අයුරින් එය ඉදිරියට ගලාගෙන යෑම හේතුකොට ගෙනය. ඒ අනුව පළමුවෙන්ම සජිත් රනිල්ගෙන් විමසා සිටියේ හෘදය සැත්කමෙන් අනතුරුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් දීර්ඝ වේලාවක් කතාබහ කිරීමෙන් අනතුරුව රනිල් පසුගිය අරගල සමයේදී යම් යම් පාර්ශ්වයන් මගින් සිය නිවසට ගිනිතැබීමෙන් අනතුරුව විනාශයට පත්වූ තමන්ගේ පෞද්ගලික පොත්පත් එකතුව සජිත්ට පෙන්වීමට කටයුතු කළේය. එම ගින්නෙන් තමන් සතුව තිබූ අතිශය වටිනා කියන පොත්පත් රැසක් නම්වලින්ම සඳහන් කළ රනිල්, අවසානයේදී තමන්ට ඉතිරි වූයේ මේ පොත්පත් කිහිපය පමණක් බව සිය පෞද්ගලික පුස්තකාලය පෙන්වමින් සජිත්ට කියා සිටියේය. ඉන් අනතුරුව සාකච්ඡා මේසයේදී තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ම මෙහිදී දෙදෙනා අතර අදහස් හුවමාරු වී තිබූ ආකාරයක් දැකගත හැකි විය.

මේකත් කඩාකප්පල් කරයිද?

ඒ අනුව ලක්ෂසංඛ්‍යාත සජබ සහ එජාප පාක්ෂිකයන්ට අප මෙවර තහවුරු කොට සිටින්නේ පක්ෂ දෙක එකතු කිරීම සම්බන්ධයෙන් සජබය සහ එජාපය අතර පැවැති මෙම සාකච්ඡා දෙකම ඉතා සුබවාදීව අවසන් වී ඇති බවකි. කෙසේ වෙතත් පක්ෂ දෙක එකතු කිරීම සඳහා මෙවැනිම ආකාරයේ ස්වර්ණමය අවස්ථාවක් මීට පෙරද රනිල් සහ සජිත් අතර මතුවිය. ඒ, දූෂණ චෝදනා මත රනිල් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය. ඒ අවස්ථාවේදී සජිත් පරණ දේශපාලන තරහමරහා, මතගැටුම් සියල්ල පසෙක දමා රනිල් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමට තීරණය කළේය. එමෙන්ම සිය පක්ෂය වූ සජබයද සම්පූර්ණයෙන්ම රනිල් බේරාගැනීම සඳහා යොමු කිරීමටද සජිත් පියවර ගත්තේය. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සජිත් දිනපතාම පාහේ වැලිකඩ බන්ධනාගාරයට ගොස් රනිල්ගේ තත්ත්වය සොයා බැලීය. ඉන් අනතුරුව රනිල් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවද දිනපතාම උදේ සවස යමින් රනිල්ගේ සුවදුක් විමසීමට සජිත් පියවර ගත්තේය. සජිත් එය කළේ වංක හෝ ව්‍යාජ අරමුණකින් නොව ඉතාම අවංක අරමුණකින් බව පක්ෂ දෙකේ සියලු දෙනාම ඒ වනවිටත් වටහාගෙන සිටියේය. අවසානයේදී රනිල් සමග සිටින පාක්ෂිකයන් දහ දෙනකු හෝ සොයාගැනීමට නොහැකි යම් යම් දේශපාලන පක්ෂ පසෙකට වද්දී රනිල් වෙනුවෙන් දහස් සංඛ්‍යාත පාක්ෂිකයන් කොළඹට ගෙන්වා රනිල්ට ශක්තියක් දීමටද සජිත් පියවර ගත්තේය.

මේ ආකාරයට සජිත් ඉතා අවංකව රනිල් වෙනුවෙන් පෙනී සිටියද රනිල් සහ සජිත් අතර ජාතික රෝහලේදී සිදුවූ අවසාන හමුවේදී රනිල් කළේ සජිත්වද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව කියමින් සජිත්ව බිය වැද්දීමට උත්සාහ කිරීමය. එමෙන්ම රනිල්ගේ පවුලට අයත් පුවත්පත් ඔස්සේ සජිත් අත්අඩංගුවට පත්වීමේ සූදානමක් ඇති බව කියමින් සජිත්ව අපහසුතාවට පත්කිරීමටද රනිල්ගේ ‘නිවුස් ප්ලාන්ට් කල්ලිය‘ පියවර ගත්හ. ඒ හරහා රනිල් පාර්ශ්වයේ සැලසුම වී තිබුණේ දිගට හරහට සජිත්ට පහරදී, සජිත් බියවද්දා එජාපයේ සහ රනිල්ගේ දෙපතුල ළඟට ගෙන්වා ගැනීමටය. නමුත් ‘මව්රට’ මෙම කුමන්ත්‍රණය මුල සිටම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කිරීමට කටයුතු කිරීම නිසාම රනිල් සහ රනිල් සමග සිටින කුමන්ත්‍රණකාරී දෙතුන් දෙනකුගේ කල්ලිය දියත් කිරීමට සූදානම් කොට තිබූ දේශපාලන මෙහෙයුම ආපසු කැරකී ගිය ආකාරයක් දැකගත හැකි විය.

ඒ අනුව අප ඉදිරියේදී රනිල් සමග සිටින මේ ‘නිවුස් ප්ලාන්ට් කල්ලිය‘ සම්බන්ධයෙන්ද නම් ගම් සහිතව විශේෂ අනාවරණයක් කිරීමට සූදානම්ය. මේ ආකාරයේ සජබය සහ සජිත් අපහසුතාවට පත්කරමින් බොරු පුවත් පළකිරීමට කටයුතු කළේ කවුද, ඒ සඳහා මුදල් ලබාදුන්නේ කවුරුන් විසින්ද, එමෙන්ම මුදල් ගෙවා එම ව්‍යාජ පුවත්වලට ප්‍රසිද්ධිය දුන් යූටියුබ් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍යවේදීන් කවුද යනාදී වශයෙන් ඉදිරි සිදුවීමකදී එම සියලු දෙනාගේම තොරතුරු එම හෙළිදරව්වේදී රටට ඉදිරිපත් කිරීමටද අප සූදානම්ය.

එදා අප එම කුමන්ත්‍රණ පිළිබඳ සඳහන් කළ ආකාරයටම සජබය සහ එජාපය අතර ගොඩනැගෙමින් පවතින මෙම අලුත් සබඳතාව පිළිබඳවත්, සජිත් සහ රනිල් අතර සිදුවූ සුබවාදී සාකච්ඡාවේ ඉදිරිය පිළිබඳවත් එදා වගේම අදද තොරතුරු වාර්තා කිරීමට කටයුතු කරන්නෙමු. නමුත් දැන් අප බලා සිටින්නේ රනිල් සහ සජිත් අතර පැවැති මෙම හමුව සම්බන්ධයෙන් මෙම නිවුස් ප්ලාන්ට් කල්ලිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවය. යම් හෙයකින් මෙම නිවුස් ප්ලාන්ට් කල්ලිය මෙම රනිල්-සජිත් හමුව පිළිබඳ වෙනදා මෙන්ම අසත්‍ය පුවත් යම් යම් මාධ්‍ය හරහා රටට ගෙන යෑමට කටයුතු කිරීමට උත්සාහ කරන්නේ නම් අන්න ඒ අවස්ථාවේදී සජිත් සහ රනිල් හමුවේ සාකච්ඡා වූ සියලු සත්‍ය තොරතුරු රටට ඉදිරිපත් කිරීම අප සූදානම් බවද මෙහිදී කිව යුතුය. එමෙන්ම එජාපයේ වජිර ඇතුළු දෙතුන් දෙනකු හැසිරෙන ආකාරය පිළිබඳවත්, ඒකාබද්ධ විපක්ෂය නමැති බෝඩ් ලෑල්ලි පිටුපස සිට සිදුකරන දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳවත් විශාල තෛාරතුරු රැසක් රටට හෙළිදරව් කිරීමට ‘රාජ්‍ය රහස්’ තීරය කටයුතු කරන බවද මෙහිදී සඳහන් කර සිටිමු.

හැබැයි සජිත් පරෙස්සම් වෙන්න

කෙසේ වෙතත් මෙහිදී තවත් එක් විශේෂ කාරණාවක්ද අවසන් වශයෙන් මෙහි සටහන් කර තැබීමට අප සූදානම්ය. ඒ, සජබ – එජාප සාම සාකච්ඡාවලදී එජාපයේ කකුලෙන් අදින්නන්ගෙන් පමණක් නොව සජබය ඇතුළේ සිටින ප්‍රබලයකුගෙන්ද සජිත් ප්‍රවේසම් විය යුතු බවය. මන්ද යත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ මේ සජබ ප්‍රබලයා එජාපයේ සිටින සජබ-එජාප එකමුතුව කඩන ලොකුම භූතයකු සමග සමීප සබඳකම් පවත්වන බවකි. ඔහුව නිතර නිතර හමුවන බවකි. එමෙන්ම තවත් එජාප ප්‍රබලයකු නිතර නිතර හමුවී මේ සජබ ප්‍රබලයා සාකච්ඡා පවත්වමින් සිටින බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මේ සජබ ප්‍රබලයා සම්බන්ධයෙන් ඉදිරියේදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ හෙළිදරව්වක් කිරීමටද අප සූදානම්ය.

නවීන් මහනුවර වර්ජනයක

සජිත් සහ රනිල් අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට දින කිහිපයකට පෙරාතුව දහ දොළොස් දෙනකුවත් පාක්ෂිකයන් නොමැති දේශපාලන පක්ෂ කිහිපයක් විසින් අටවාගත් ඒකාබද්ධ විපක්ෂය නමැති සංවිධානයේ සාකච්ඡාවක් කොළඹදී පැවැත්විණි. එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්වූයේ මහනුවර පැවැත්වීමට නියමිතව තිබූ මෙම පාර්ශ්වයේ සම්මන්ත්‍රණය සාර්ථක කරගන්නා ආකාරය පිළිබඳවය. ඒ අනුව එම සාකච්ඡාවේදී එජාප මහලේකම් තලතා හරහා නවීන්ට නිකුත් කළ නියෝගයකින් දැනුම් දී තිබුණේ සම්මන්ත්‍රණයේ සංවිධාන කටයුතු සිදුකරන ලෙසටය. නවීන් එජාපයේ මහනුවර නායකයා ලෙස කටයුතු කිරීම ඊට හේතුවී තිබිණි.

කෙසේවෙතත් මෙම සම්මන්ත්‍රණය සාර්ථක කරගැනීම සඳහා වූ තවත් සාකච්ඡාවක් ඊට දින කිහිපයකට ඉහතදී මහනුවරදීද පැවැත්විණි. ඊට එජාපය නියෝජනය කරමින් තලතාද සහභාගි වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. නවීන්ද ඊට එක්ව සිටි අතර, රනිල්ගේ මොළයයි සජිත්ගේ කඳයි එකතු විය යුතු බවට වූ ප්‍රකාශය මාධ්‍ය හමුවේ නවීන් සිදුකර තිබුණේ මෙම සාකච්ඡාව අවසානයේදීය. ඒ අනුව එජාපයේ සියලු දෙනාම පාහේ සිතා සිටියේ ඡන්දයක් දිනීමට නොහැකි, ඡන්ද 10ක් හෝ නොමැති පක්ෂ කිහිපයක් විසින් අටවාගෙන කරනු ලබන මෙම මහනුවර සම්මන්ත්‍රණයට නවීන්ද එකතු වනු ඇතැයි කියාය. ඒකාබද්ධ විපක්ෂය මෙවැනි හමුවක් මහනුවර පැවැත්වීමට යෝජනා කොට තිබුණේද කෙසේ හෝ නවීන්ව එම සම්මන්ත්‍රණයට එකතු කරගැනීම සඳහාය.

ඒ අනුව පසුගිය ඉරිදා දිනයේදී මහනුවර පිහිටි කුඩා ශාලාවක මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට පිරිස කටයුතු කර තිබිණි. නමුත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ නවීන් කෙළින්ම මෙම සම්මන්ත්‍රණය වර්ජනය කිරීමට පියවර ගෙන තිබීමය.

එමෙන්ම මෙම සම්මන්ත්‍රණයට පෙරාතුව රනිල්ගේ හෘදය සැත්කමෙන් පසුව පැවැත්වූ එජාපයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීද නවීන් ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රකාශයක් සිදුකොට ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී නවීන් පැහැදිලිවම කියා ඇත්තේ එජාපය ඡන්ද නැති ඒකාබද්ධ විපක්ෂයට ඡන්ද හදාදීමට කිසිලෙසකින්වත් කටයුතු නොකළ යුතු බවකි.
‘මේ ඒකාබද්ධ විපක්ෂයට ඡන්ද නෑ. එතන පක්ෂ නායකයන් කියලා හිටියට ඒ අය ඡන්ද තියෙන අය නෙමෙයි. මේ අය හදන්නේ අපේ මිනිස්සුගේ ඡන්ද ටික අරගෙන ඒ අය ගොඩයන විදිහක් හදාගන්නයි. ඉතින් අපි මොකටද ඒ අයට අපේ මිනිස්සුන්ගේ ඡන්ද අරන් දෙන්න හදන්නේ…’ යනුවෙන් නවීන් කියද්දී වහාම නවීන්ගේ කතාවට බාධා කොට ඇති රනිල් කියා තිබුණේ, ‘දැන් මගේ කඳයි මොළෙයි දෙකම හොඳට වැඩ කරනවා. ඒ හින්දා ඔක්කොම එකතු කරන වැඩේ අපි දැන් කරන්න ඕනෙ’ යැයි කියාය.
රනිල් එසේ කියා තිබියදී පවා ඒකාබද්ධ විපක්ෂයේ මහජන සම්මන්ත්‍රණය වර්ජනය කිරීමට නවීන් කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.

රුවන්ගෙනුත් විරෝධයක්

එමෙන්ම මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනද රනිල් හමුවී පවතින දේශපාලනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි. එහිදී සාකච්ඡාවට ලක්ව තිබූ එක් ප්‍රධාන මාතෘකාවක් වී ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමය. එහිදී රුවන් සලේ සම්බන්ධයෙන් තිබූ එජාපයේ මුල් ස්ථාවරය පසුව වෙනස් කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදුකිරීමට පියවර ගෙන තිබූ බවක් ආරංචිය.

‘පාස්කු ප්‍රහාරය වෙලාවේ අපේ තිබ්බ ආණ්ඩුව සලේ සම්බන්ධයෙන් යම් ස්ථාවරයක් අරන් තිබ්බා. හැබැයි මේ වෙද්දී ඒ ස්ථාවරය වෙනස් වෙලා තියෙනවා. ඒ හින්දා ගොඩ දෙනෙක් දැන් අපිව විවේචනය කරනවා පාස්කු ප්‍රහාරයේ ස්ථාවරය වෙනස් කිරීම සම්බන්ධයෙන්. මොකද අපි තමයි මුලින්ම කිව්වේ මේ ප්‍රහාරය පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා…’ යනුවෙන් රුවන් කියද්දී රනිල් ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ එජාපය මේ මොහොතේ ගතයුතුව ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාව ගෙන ඇති ස්ථාවරය යැයි කියාය.

‘එහෙම නෙවෙයි, අපි දැන් මේ වෙලාවේ කරන්න ඕනේ ඇමෙරිකාව කියන දේ. එෆ්.බී.අයි. එක වාර්තාවක් දීලා කියනවා මේ ප්‍රහාරය පිටිපස්සේ අයි.එස්.අයි.එස්. එක ඉන්නවා කියලා. ඒ හින්දා අපි පෙනී ඉන්න ඕනේ ඇමෙරිකාව කියන ඒ මතයටයි…’ යන්න රනිල්ගේ ස්ථාවරය වී තිබිණි. නමුත් රනිල්ගේ මේ ප්‍රකාශයට පිළිගැනීමට රුවන් සූදානම් වූයේ නැත. ඒ වෙනුවට ඔහු කියා තිබුණේ ඇමෙරිකාව කෙසේ වුවද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එජාපය මේ මොහොතේ ගත් ස්ථාවරය නිවැරැදි නොවන බවය.

‘ඒ කොහොම වුණත් පාස්කු ප්‍රහාරය ගැන එජාපය මේ මොහොතේ ගත්ත ස්ථාවරය වැරැදියි. ප්‍රහාරය ගැන අපි මුලින්ම ගත් ස්ථාවරයේ දිගටම ඉන්න ඕනේ. දැන් බලන්න සජිතුයි සජබයයි මොන විවේචන ආවත් කොයිම අවස්ථාවකවත් ඒ අය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මුලින් ගත්ත ස්ථාවරය වෙනස් කළේ නෑ. ඒක තමයි හරි ප්‍රතිපත්තිය…’ යනුවෙන් එහිදී රුවන් රනිල්ට දැනුම් දී තිබිණ.
එමෙන්ම රුවන්ද ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර සම්මන්ත්‍රණයට එක් නොවීම කැපීපෙනෙන සිදුවීමක් විය. සාමාන්‍යයෙන් රුවන් සහ නවීන්ද සැලකෙන්නේ එජාපයේ සැබෑ උරුමක්කාරයන් ලෙසටය. ඒ අනුව මේ වනවිට සිදුවන සිදුවීම්වලින් පෙනී යන්නේ එජාපයේ දෙවැනි පෙළේ සැබෑ උරුමක්කාරයන් මේ වනවිට පක්ෂය නිවැරැදි විය යුතු බවට වූ දැඩි ස්ථාවරයක සිටින ආකාරයය.

ජවිපෙට ගමෙන් රතු එළි

පසුගිය මහ මැතිවරණයේදී තුනෙන දෙකක බහුතර බලයක් ලබා මාලිමා ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවද මේ වනවිට මාලිමාව යටපත් කොටගෙන ජවිපෙ ඉදිරියට එමින් සිටින බවට වූ මැසිවිල්ල මාලිමාවේ බොහෝ දෙනාගෙන් ප්‍රසිද්ධියේම ඉදිරිපත් වන ආකාරයක් දැකගන්නට තිබේ. එය සත්‍යයක් බවට පත්කරමින් අද වනවිට මාලිමාවක් සොයාගන්නට නොහැකි වී ඇති අතර, ජවිපෙ පැලවත්ත මූලස්ථානයේ සිට පක්ෂයේ සියලු දේශපාලන කටයුතු සියතට ගෙන හසුරුවමින් සිටින ආකාරයක් දැකගන්නට පුළුවන.

සාමාන්‍යයෙන් ජවිපෙ මාස කිහිපයකට වරක් ආණ්ඩුවේ ගමන් මග සම්බන්ධයෙන් සහ ජනතාව ආණ්ඩුවට දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් සිය පක්ෂ ජාලය හරහා යම් මතවිමසීමක නිරත වන අතර, ඒ අනුව යමින් මීට සති කිහිපයකට ඉහතදී රට වටා පිහිටි සෑම පළාත් පාලන ආයතනයක් වෙතින්ම සහ සෑම පක්ෂ ශාකාවකින්ම ආණ්ඩුව සම්බන්ධයෙන් වාර්තා කැඳවීමට කටයුතු කොට තිබිණි. වෙනදා නම් මෙසේ ලැබෙන තොරතුරු විශ්ලේෂණය කළේ පැලවත්ත පක්ෂ කාර්යාලයේ පිහිට වෙනම කාමරයකය. නමුත් මේ වනවිට එය වැඩිදියුණු කොට නවීන පරිගණකවලින් සමන්විත වෙනම ඒකකයක් දක්වා වර්ධනය කිරීමට ජවිපෙ පියවර ගෙන තිබේ. ඒ අනුව ජවිපෙ ගමේ, රටේ දේශපාලන නාඩිය අල්ලන්නේ රට වටා පිහිටි සිය පක්ෂ ජාලයෙන් මෙම ඒකකයට ලැබෙන තත්ත්ව වාර්තා අනුවය.

ඡන්ද නම් තියන්න එපා

ඒ අනුව පසුගිය සතිය වනවිට මෙසේ ගම් මට්ටමේ බිම් මට්ටමේ ශාඛාවන්ගෙන් පක්ෂ මූලස්ථානයට ලැබුණු වාර්තාවල තිබූ පොදු කරුණක් වූයේ මොන යම් හේතුවකටවත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන ලෙසටය. යම් යම් කොට්ඨාසවලින් ඒ සඳහා විවිධ හේතු ඉදිරිපත් කොට තිබුණද මෙසේ පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙසට අතිබහුතරයක් දැනුම් දීමට පියවර ගෙන තිබූ ප්‍රධාන හේතුවක් වී තිබුණේ මාලිමාව දිගින් දිගටම ගම් මට්ටමේ පවත්වන සමූපාකාර ඡන්ද පරාජයට පත්වීමය. යම් යම් අවස්ථාවලදී මාධ්‍ය මගින් මෙසේ සමූපාකාර ඡන්දවලින් මාලිමාව පරාජයට පත්වීම පිළිබඳව ජවිපෙ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කරද්දී ඔවුන් එය විහිළුවට කාරණාවක් ලෙස ගනිමින් ප්‍රශ්නවලින් මගහැර යෑමට කටයුතු කොට තිබුණද, ගම් මට්ටමෙන් ජවිපෙට ලැබුණු මෙම පණිවුඩයෙන් කියැවුණේ දිගින් දිගටම සමුපකාර ඡන්ද පරාජයට පත්වීම සැහැල්ලුවට නොගන්නා ලෙසත්, එය ජනතාව ගම් මට්ටමෙන් ආණ්ඩුවට දැල්වූ රතු එළියක් බවත්ය. ඒ අනුව ඔවුන් වැඩිදුරටත් පක්ෂ මූලස්ථානයට දැනුම් දී තිබුණේ එම අනතුරු ඇඟවීම අවතක්සේරු නොකරන ලෙසත්, පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් නියත වශයෙන්ම මාලිමාව පරාජයට පත්වී විපක්ෂය ඒකාබද්ධව පළාත් සභාවල බලය අල්ලන බවත්ය. ඒ අනුව වහාම ගම් මට්ටමෙන්, බිම් මට්ටමෙන් සංවර්ධන කටයුතු ආරම්භ කරන ලෙසටත්, මේ වනවිට අලසභාවයට පත්ව ඇති ගම් මට්ටමේ පක්ෂ ක්‍රියාකාරීත්වය යළි සක්‍රීය කරන ලෙසටත් එහිදී යම් දැනුම්දීමක් සිදුකර ඇති බවක්ද ආරංචිය. කෙසේ වෙතත් විවිධ අදහස් සහ යෝජනා ගම් මට්ටමෙන් පැලවත්තට පක්ෂ මූලස්ථානයට පැමිණියද පොදුවේ 90%ක්ම දෙනා එහිදී පක්ෂයට දැනුම් දී තිබුණේ කුමන තත්ත්වයක් යටතේ වුවද පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙසටය. මේ අදහස කෙතරම් දුරට පැලවත්තේ හදවතටම වැදිලා තිබෙනවාද කියනවා නම් ටිල්වින් සිල්වා යාපනයේ කළ සංචාරය අතරතුරදී නොදැනුවත්වම ඔහුගේ කටින් මෙය එළියට පැන්න ආකාරයක් දැකගත හැකි විය. එහිදී ටිල්වින් කියා සිටියේ පළාත් සභා මැතිවරණය මේ වසරේ නොපවත්වන බවත්, හැකියාවක් ලැබුණහොත් පමණක් එය ලබන වසරේදී පවත්වන බවත්ය.

අනුර ගේමට බසී

කෙසේ වෙතත් පසුගිය සතිය වනවිට ගම් මට්ටමෙන් පැලවත්තට ලැබුණු මේ අතිභයානක ප්‍රතිචාරය ආණ්ඩුවේ ඉහළ තැන්වලටද වාර්තා කිරීමටද පියවර ගෙන තිබිණි. ඒ අනුව මේ සතියේ අප ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් පිළිබඳ පළමු වතාවට ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම්ය. නමුත් මෙම සංවර්ධන වැඩපිළිවෙළ මේ වසරේ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට අපහසු වී ඇත්තේ තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුම ක්‍රියාත්මක වෙමින් පවතින නිසාය. මන්ද යත් එම ගිවිසුමේ වගන්තිවලට අනුව ආණ්ඩුවට සහනාධාර සඳහා හෝ වෙනත් වැඩකටයුතු සඳහා සිතූ සිතූ ආකාරයට මුදල් වියදම් කළ නොහැකිය. භාණ්ඩාගාරයේ ටි්‍රලියන ගණනින් මුදල් ඉතිරිව තිබුණද ආණ්ඩුවට ඒවා වියදම් කිරීමට නොහැකිව ඇත්තේ එම හේතුව නිසාය.

ඒ අනුව අප මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කළ පරිදිම ජනාධිපතිවරයා මේ වනවිට තීන්දු කොට ඇත්තේ ලබන වසරේ මාර්තු මාසයේ අයි.එම්.එෆ්. සමග අස්සන් කළ ගිවිසුමේ කාලසීමාව අවසන් වීමෙන් පසු නව ගිවිසුමකට නොගොස් එය අවසන් කිරීමටය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා තීන්දු කොට ඇත්තේ ලබන මාර්තු මාසයෙන් පසු භාණ්ඩාගාරයේ ඉතිරි වී ඇති ටි්‍රලියන ගණන් මුදල් උපයෝගී කොටගෙන මුළු රටම ආවරණය වන පරිදි ගම් මට්ටමෙන් දැවැන්ත සංවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමටය. ඒ අනුව ගම්වල සියලු පාරවල්, පාලම්, බෝක්කු ආදිය සංවර්ධනය කිරීමටත්, දැනට ඉතිරිව ඇති අධිවේගී මාර්ගවල ඉදිකිරීම් වහාම අවසන් කිරීමටත් ජනාධිපතිවරයා තීන්දු කොට අවසානය. ඊට අමතරව ගමට විශාල වශයෙන් සංවර්ධන ප්‍රතිලාභ බෙදීයන දැවැන්ත ව්‍යාපෘති රැසක්ම දියත් කිරීමටත් ජනාධිපතිවරයා තීන්දු කොට ඇති බවක් දැනගන්නට ඇත.

එම සංවර්ධන වැඩපිළිවෙළ මාර්තු මාසයේ ආරම්භ කිරීමෙන් පසු ජනාධිපතිවරයා තීන්දු කොට ඇත්තේ 2027 මැද භාගයේදී, එනම් අගෝස්තු මාසය පමණ වනවිට පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කිරීමටය. එමෙන්ම මෙම සංවර්ධන කටයුතු දියත් කිරීමේදී මාලිමාවට බලය හිමි සියලු පළාත් පාලන ආයතන මෙන්ම ජවිපෙ ආසන සංවිධායකවරුන්, ගම් මට්ටමේ ජවිපෙ ක්‍රියාකාරීන් සම්පූර්ණයෙන්ම ඊට අනුයුක්ත කොට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බවක් ආරංචිය.

උතුරට වෙනම වැඩපිළිවෙළක්

මීට අමතරව ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර පළාත් වෙනුවෙන්ම වෙනම සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද මේ වනවිට සැලසුම් කරමින් සිටින බවක් දැනගන්නට තිබේ. මන්ද යත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් යද්දී එහි උණුසුම වඩාත් දැනෙන්නේ දකුණටත් වඩා උතුරටය. මන්ද යත් පළාත් සභා ලංකාව ඇතුළේ පිහිටෙව්වේම උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමුණෙන් වීම නිසාය. ඒ අනුව යම් හෙයකින් පළාත් සභා පවත්වන ලෙස ඉල්ලා උතුරේ ප්‍රබලම දේශපාලන පක්ෂය වූ තමිල් අරසු කච්චි පක්ෂය එළියට බැස්සහොත් එය අහිතකර ආකාරයට දකුණේ ආණ්ඩුවට බලපෑම වැළැක්විය නොහැක.

අනෙක් අතට පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දමන්න දමන්න ඊට ඉන්දියාව දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් සහ තමිල්නාඩු මහඇමැති තලපති විජේ දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන්ද ආණ්ඩුවට යම් කියවීමක් තිබේ. ඒ අනුව මේ සියල්ල සමබර කරගැනීම සඳහා පළාත් සභා මැතිවරණය පවත්වන තෙක් උතුරට සහ නැගෙනහිරට වෙනම සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කිරීම කෙරෙහිද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

අනුර තද තීන්දුවක

මේ දිනවල බොහෝ දෙනා මෙගා නාට්‍යයක් බලන ආකාරයට ඇස් කන් දල්වාගෙන බලා සිටින්නේ දිනපතාම පාහේ අත්අඩංගුවට පත්වන විපක්ෂයේ නියෝජිතයන් දෙසය. පසුගිය සතියේ රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් සිව්දෙනකු වූ බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහිව විශේෂ තීන්දු කිහිපයක්ම අධිකරණය මගින් නිකුත් විය. එමෙන්ම ගෝඨාභයගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා වූ සුගීශ්වර බණ්ඩාරව අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම කටයුතු කළ අතර, පසුව ඔහුව ජූලි 01 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පියවර ගැනිණි. මේ අතරවාරයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ විමර්ශනද මේ වනවිට සමාජය තුළ දැඩිව කතාබහට ලක්වන සිදුවීමක් බවට පත්ව අවසානය.

කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපතිවරයාගේ පැත්තෙන් දැඩි තීන්දුවක් ගෙන ඇත්තේ කොපමණ බලපෑම් සහ විවේචන එල්ල වුවද දූෂණයට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග ඒ ආකාරයටම ඉදිරියට රැගෙන යෑමටය. ඇතැම් ස්ථානවලදී යම් යම් විමර්ශන හරහා ආණ්ඩුවට දරුණු ප්‍රතිචාරවලට මුහුණ දීමට සිදුවුවද ඒ සියල්ලට මුහුණ දීමටද ජනාධිපතිවරයා තීන්දු කොට ඇති බවක් ආරංචිය. ඒ අනුව ඉදිරි වසර දෙකක කාලය ඇතුළත නියත වශයෙන්ම දූෂණ විරෝධී සටනේ විශාල ප්‍රගතියක් අත්පත් කරගැනීමට ජනාධිපතිවරයා සැලසුම් කරමින් සිටින බව දැනගන්නට තිබේ.

සජිත් වෙනම සටනක

ඒ සමගම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය තවත් අලුත් දේශපාලන සටනක් ආරම්භ කොට තිබේ. ඒ, දැනට උපරිමාධිකරණවල හිස්ව පවතින විනිසුරු ධුර 8ක් පිරවීමට ජනාධිපතිවරයා කටයුතු කොට නොමැති බවට චෝදනා කරමිනි. ඒ අනුව පසුගිය සතියේදී සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් කතානායකවරයාට විශේෂ ලිපියක් කතානායකවරයා වෙත භාරදීමට පියවර ගෙන තිබිණි. පහත දැක්වෙන්නේ එම ලිපියය.

2026 ජුනි 12
ගරු කථානායකතුමා
පාර්ලිමේන්තුවේ කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සභාපති
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නොකඩවා පවතින අධිකරණ පුරප්පාඩු

ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතරක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතරක්, පිළිගත නොහැකි තරම් දීර්ඝ කාලයක් තිස්සේ නොපුරවා පවතින තත්ත්වය පිළිබඳ වහාම අවධානය යොමු කිරීම සඳහා මෙම ලිපිය ඉදිරිපත් කරන්නෙමු. මෙම දිගුකාලීන අපොහොසත් වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කළ යුතු බවට පනවනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) වගන්තියට පටහැනි බව පෙනී යයි.

ගරු අග්‍රවිනිශ්චයකාරවරයා විසින් මෙම පුරප්පාඩු පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෝ ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සොයා බලන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එවැනි දැනුම්දීමක් සිදු කර නොමැති නම්, එම මගහැරීමට හේතු විමසා බලන ලෙසද ඉල්ලා සිටිමු.

මෙම පුරප්පාඩු අඛණ්ඩව පැවතීම, උසස්වීම් සඳහා සුදුසුකම් ලබන ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් අධෛර්යමත් කිරීමට හේතු විය හැකි අතර ඔවුන්ගේ වෘත්තීය ප්‍රගතිය පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති කළ හැකිය. සාධාරණ සහ කාලෝචිත ආකාරයකින් තමා උසස්වීම් සඳහා සලකා බලනු ඇතැයි එවැනි විනිසුරුවරුන් විසින් සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකිය. එබැවින්, මෙම පුරප්පාඩු පිරවීමේ දිගුකාලීන ප්‍රමාදය විසින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති නීතියේ සමාන ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු කිරීමට ඉඩ ඇත.

පුද්ගලික මට්ටමේ බලපෑම්වලින් ඔබ්බට ගමන් කරමින්, මෙම පුරප්පාඩු අධිකරණ පරිපාලනයේ කාර්යක්ෂමතාවයට අහිතකර ලෙස බලපාන අතර, දැනට සිටින විනිසුරුවරුන්ගේ කාර්යභාරය පුළුල් කරමින් අධිකරණ පද්ධතිය කෙරෙහි පවත්නා මහජන විශ්වාසය පළුදු කරන සුළු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) ව්‍යවස්ථාව යටතේ, නිසි ලෙස ස්ථාපිත උසාවි හරහා අධිකරණ බලය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මූලික ව්‍යවස්ථාපිත වගකීමකි.

පාර්ලිමේන්තුවේ කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති යන ඔබගේ ද්විත්ව ධුරයන්හි කාර්යභාරය උපයෝගී කරගනිමින්, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම කරුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලෙසත්, පෙරකී 4(ඇ) ව්‍යවස්ථාව යටතේ පවතින මෙම ව්‍යවස්ථාමය ගැටලුව වෙත පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන ලෙසත් ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

අනුර සජිත් එක මතයක

මීට අමතරව පසුගිය සතියේ පැවැති සාකච්ඡා කිහිපයකදීම සජිත් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවධාරණය කොට කියා සිටි විශේෂ කරුණක් තිබේ. ඒ, දැනට විමර්ශන සිදුකෙරෙන දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ කිසිවකු වෙනුවෙන් කිසිදු ආකාරයකින් හෝ සජබය පෙනී නොසිටින බවය. එමෙන්ම මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කොට ඇති යම් යම් පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් පළ නොකරන බවද එහිදී සජිත් අවධාරණය කර සිටියේය. ඇතැම් අවස්ථාවලදී එම විමර්ශනයන්ට සජබය සමග එක්ව සිටින ඇතැම් සහෝදර දේශපාලන පක්ෂ සම්බන්ධ වී තිබුණද ඒ කිසිවකට සජබය කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බවත්, පාරට බැස උද්ඝෝෂණ හෝ විරෝධතා ව්‍යාපාර නොපවත්වන බවත්, සත්‍යග්‍රහ හෝ එවැනි කිසිදු අවස්ථාවකට සම්බන්ධ නොවන බවත් සජිත් පැහැදිලි කොට සිටියේය. එම ප්‍රකාශය කිරීමට සජිත්ට එක්තරා හේතුවක්ද තිබිණි. ඒ, මේ වනවිට සජබය දූෂිතයන්ගෙන් තොර පිරිසිදු පක්ෂයක් බවට පත්ව තිබීමය.
‘අපේ පක්ෂයේ ඉන්න කිසිම කෙනෙක් කිසිම දූෂිත ගනුදෙනුවකට සම්බන්ධ වෙලා නෑ. මෙතෙන ඉන්න කිසිම කෙනෙක් හොරකම් කරලා නෑ. ඒක ජනතාව දන්නවා. ඉතින් අපිට කිසිම දූෂිත ගනුදෙනුවකට හරි ඒ වෙනුවෙන් ගෑවුණු පුද්ගලයන් වෙනුවෙන් හරි ඒ විමර්ශනවලට හරි සම්බන්ධ වෙන්න විදියක් නෑ. මොකද මුළු රටම දන්නවා මෙතන දූෂිත පුද්ගලයන් නෑ කියලා. ඒක තමයි අපිට ඉදිරි මැතිවරණවලදි තියෙන එකම වාසිය. ඒ හින්දා කොයි තරාතිරමක අයෙක් වෙනුවෙන් වුණත් අපි පෙනී ඉන්න යන්නේ නෑ…’ යනුවෙන් සජිත් එහිදී දැඩිව කියා සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව මේ වනවිට දැකගැනීමට ඇති කාරණයක් වන්නේ දූෂණයට එරෙහි සටනේදී ජනාධිපතිවරයා මෙන් විපක්ෂ නායක සජිත්ද එකම ස්ථාවරයකට පැමිණ ඇති බවකි.

කපූර් ලංකාවට එනවා

පසුගිය පෙබරවාරි 22 වැනි දින ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් අප කියා සිටියේ ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ රැස්වීමකදී දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර ලේකම් කෝල් කපූර් මහතා ලංකාව චීන ග්‍රහණයෙන් මුදාගැනීම සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකොට ඇති බවකි. එදා අප කළ එම හෙළිදරව්ව මෙසේය.

‘පසුගිය සතියේ ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ රැස්වීමක් පැවැති අතර, ඊට දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර ලේකම් කෝල් කපූර් මහතාද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී සාකච්ඡාව කේන්ද්‍ර වී තිබුණේ දකුණු ආසියානු කලාපය තුළ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහ ඊට අදාළ උපාය උපක්‍රම තේරීම සම්බන්ධයෙන්ය. මෙම සාකච්ඡාවේදී කිසිවකුත් නොසිතූ ආකාරයට ලංකාව සම්බන්ධයෙන් අතිශය වැදගත් කතාවක් මේ පෝල් කපූර්ගෙන් එළියට පැමිණියේය. එහිදී ඇමෙරිකානු බලධාරීන් ඉන්දීය සාගර කලාපය ඇතුළත දියත් කළ යුතු ඉදිරි සැලසුම් මොනවාද යන්න පිළිබඳ විමසද්දී කෝල් කපූර් ලංකාව සම්බන්ධයෙන් අතිශය වැදගත් කරුණු කීපයක් අනාවරණ කිරීමට පියවර ගත්තේය.

‘මේ වෙද්දි ලංකාව ඉන්දියන් සාගරයේ සහ දකුණු ආසියානු කලාපයේ තියෙන වැදගත්ම මුහුදු මාර්ගය බවට පත්වෙලා අවසානයි. මැදපෙරදිග තෙල් නැව් විතරක් නෙවෙයි ආනයන අපනයන සිදුකරන ප්‍රධාන මුහුදු මාර්ගයන් වැටිලා තියෙන්නේ ලංකාව ආසන්නයෙන්. පහුගිය කාලෙදි වොෂින්ටන් මැප් එකේ ලංකාවටයි, ලංකාවේ මුහුදු තීරයටයි ලොකු අවධානයක් යොමුවෙලා නොතිබුණත්, මේ වෙද්දී මතුවෙලා තියෙන තත්ත්වය අනුව ලංකාව තවත් දකුණු ආසියාවේ සාමාන්‍ය රටක් විදියට පිළිගන්න බෑ. මේක කල්තියා තේරුම් අරගෙන වෙන්න ඇති චීනය බරපතළ විදියට ලංකාව ඇතුළේ බලය අත්පත් කරගන්න හදන්නේ. ඔවුන් දැනටමත් හම්බන්තොට වරාය අත්පත් කරගෙන අවසන්. ඒක ඔවුන්ට විශාල හයියක්. ඒ වගේම 2022 චීන පර්යේෂණ නෞකාවේ ලංකා ගමනත් අතිශය භයානකයි. ඒක අපිට දීපු ලොකු සංඥාවක්. ඒ නිසා මින් ඉදිරියට ඇමෙරිකාවටයි ඉන්දියාවටයි මේ ගැන ඉතා සමීපව ඇහැ ගහගෙන ඉන්න වෙනවා’ යැයි කී කපූර් තවත් පුදුමසහගත ප්‍රකාශයක් කිරීමට මෙහිදී පියවර ගත්තේය. ඒ, චීනය මුල්කරගෙන මතුවී ඇති ඉන්දු-පැසිෆික් කලාපයේ ගැටුම දෙස ඇමෙරිකාව ඉතා සමීපව නිරීක්ෂණය කළ යුතු බවකි.

මොකද කරන්න ඕනෑ

ඒ අනුව සෙනට් කමිටුව කපූර්ගෙන් නැවතත් ප්‍රශ්න කර සිටියේ එසේ නම් ලංකාව නැවතත් ඇමෙරිකාව දෙසට හරවා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන් මොනවාදැයි කියාය. ඊට කපූර් දුන්නේ මෙවැනි පිළිතුරකි.

ලංකාව මේ වෙද්දී විශාල ආර්ථික අර්බුදයකින් ගොඩ එමින් ඉන්නේ. නමුත් ඒ අයට මේ අර්බුදයට මුහුණ දෙන්න නිසි ආර්ථික සැලැස්මක් නැහැ. ඒ හින්දා අපි ඒ අයට ආර්ථික සැලැස්මක් හදන්න ඕනේ. ඒකට මූල්‍ය අරමුදලේ සහාය ලංකාවට අපි දෙන්න ඕනේ. ඒ වගේම ලංකාව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නයක හිරවෙලයි ඉන්නේ. ආයෝජන ගලා ඒමේ ප්‍රශ්නයකත් ලංකාව හිර වෙලා ඉන්නවා. ඒ හින්දා අපි පුළුවන් තරම් ඉන්දියාවත් එක්ක සම්බන්ධය හදාගන්න ලංකාවට උදව් කරන්න ඕනේ.මේ වෙද්දී ලංකාව චීන ග්‍රහණයට අහුවෙලා ඉන්නේ. චීනයෙන් විශාල වශයෙන් ලංකාව ණය අරගෙන ඉන්නවා. ඒකෙන් නිදහස් වෙන්න ඔවුන්ට බැහැ. යටිතල පහසුකම්වලට විශාල වශයෙන් චීන ණය අරන් තියෙනවා. ඒ ගෙවන්න තියෙන ණය දැන් ටිකක් අඩු කරලයි තියෙන්නේ.

ඒ වගේම ලංකාව එක්ක ඇමෙරිකාව යුදමය සහයෝගිතාව ශීඝ්‍රයෙන් වැඩි කරන්න ඕනේ. මම නම් කියන්නේ ඒකට ලංකාව ඇතුළේ ඇමෙරිකානු හමුදා කඳවුරක් හදනවට වඩා ඉන්දියාවත් එකතු කරගෙන නාවික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහෙයුම් කරන්න ඕනේ කියලයි. ලංකාවට ඒකට අවශ්‍ය යුද උපකරණ ලබාදෙන්න ඕනේ‘ යනුවෙන් කපූර් එහිදී යෝජනා කර සිටියේය. ඒ හරහා කපූර් පෙන්වා දුන්නේ ඇමෙරිකානු කඳවුරක් ලංකාවේ ස්ථාපිත කරනවාට වඩා හමුදාමය පුහුණු මෙහෙයුම්, බුද්ධි සේවා, යුද උපකරණ සම්බන්ධයෙන් තවදුරටත් ලංකාව සමග ගිවිසුම්වලට එළඹිය යුතු බවකි. එමෙන්ම ඉන්දීය සාගරයේ සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම නිරීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද කපූර් මෙහිදී ඇමෙරිකානු සෙනට් කමිටුවට පෙන්වා දුන්නේය.
ඒ අනුව බැලීමේදී කපූර්ගේ මේ ප්‍රකාශය හරහා එක්තරා ආකාරයකට ලංකාවට පැහැදිලි වාසිසහගත තත්ත්වයක් ගොඩනැගී තිබේ. විශේෂයෙන්ම ලංකාවට ආයෝජන ලබාගැනීම සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැවැන්ත සහායක් කපූර්ගේ මෙම ප්‍රකාශය හරහා උදාකර ගැනීමේ අවස්ථාවක් උදාවී ඇති ආකාරයක් දැකගත හැකිය.’

2026 පෙබරවාරි 22 (‘රාජ්‍ය රහස්’)

වරාය බලන්නත් යනවා

අද අප හදිසියේම ‘රාජ්‍ය රහස්’ තීරයෙන් මේ කියන කෝල් කපූර් පිළිබඳ පාඨකයන්ට යළි මතක් කිරීමක් කළේ ලබන 22, 23 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට කෝල් කපූර් සූදානමින් සිටීම නිසාය. කපූර් මෙවර පැමිණෙන්නේ ඇමෙරිකානු රජය මගින් ලංකාවට ලබාදුන් ආපදාවලදී භාවිත කළ හැකි ජීවිතාරක්ෂක හෙලිකොප්ටර් යානා 8 ලංකාවට ලබාදීමේ නිල උත්සවයට එක්වීම සඳහාය. ජනාධිපතිවරයා විසින් එය භාරගැනීමට නියමිතව ඇත්තේ රත්මලාන ගුවන් තොටුපළේදීය.

මේ ආකාරයටම පසුගිය මාසයේ ඇමෙරිකාව විසින් ලංකාවට ලබාදුන් වෙරළාරක්ෂක නෞකාවක් භාරදීමේ උත්සවයට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයකු ලෙස සර්ජියෝ ගෝර් මහතා සහභාගි වීමට නියමිතව සිටියද අවසන් මොහොතේ ඔහු එම අවස්ථාවට සහභාගි වීමෙන් වැළකී සිටියේය. ඊට හේතු වී තිබුණේ ඉරානයට එරෙහිව ඇමෙරිකාව විසින් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අස්සන් තැබීම ශ්‍රී ලංකාව මගින් ප්‍රතික්ෂේප කොට තිබීම නිසාය. ලංකාව ඊට අස්සන් නොකළද අතිබහුතරයක් රටවල් ඊට අස්සන් තැබීම හරහා මේ යෝජනාව ආරක්ෂක මණ්ඩලයේදී සම්මත කරගැනීමට ඇමෙරිකාවට හැකිවී තිබිණි. නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් ලංකාවේ පැවැති උත්සවය වර්ජනය කිරීමට ගෝර් කටයුතු කොට තිබූ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයේ අප මීට පෙර වාර්තා කර සිටියෙමු.

කෙසේ වෙතත් ලබන 22 සහ 23 යන දෙදින කෝල් කපූර් ලංකාවට පැමිණ ජනාධිපතිවරයාට හෙලිකොප්ටර් යානා භාරදීමෙන් පසු කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට සැලසුම් කොට තිබේ. ඒ, කෝල් කපූර් විසින්ම මීට පෙර ඇමෙරිකානු සෙනෙට් සභාවට ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු තහවුරු කිරීම සඳහා බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
මේ ආකාරයටම ඉකුත් අවස්ථාවේදී සර්ජියෝ ගෝර් ලංකාවට පැමිණි විටද කොළඹ වරායට ගොස් බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබිණි. ඒ අනුව කෝල් කපූර්ද ලංකාවට පැමිණෙන්නේ වරායේ එම පර්යන්තයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බව පැවැසේ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

මේවා මාසයකට දෙකකට කලින් ගත්ත තෙල්! මේ වෙලාවේ තෙල් මිල අඩු කරන්න බෑ.. -අගමැති! මේ ලංකාවේ..! VIDEO I Sri Lanka Latest News

Next Post

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News

MORE NEWS

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News
Exclusive

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News
Exclusive

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News

හරිනිට දැන් වැඩ වැඩියිලු! වෘත්තීය සමිති එක්ක කතාකරන්නවත් වෙලාවක් නැතිලු! අඟහරුවාදා ලොකු දෙයක් වෙන්න යනවලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේවා මාසයකට දෙකකට කලින් ගත්ත තෙල්! මේ වෙලාවේ තෙල් මිල අඩු කරන්න බෑ.. -අගමැති! මේ ලංකාවේ..! VIDEO I Sri Lanka Latest News

ඉම්රාන්ව හිරේට දාලා පාකිස්තාන අගමැති පාර්ලිමේන්තුව විසුරුවන්න තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අඩු වීමේ වාසිය ජනතාවට දෙන්න! වහාම තෙල් මිල අඩු කරන්න.. -අගමැති! මේ පකිස්තානේ..! I Sri Lanka Latest News

Load More
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

රජ කාලේ රජවරුන්ට රටේ තත්ත්වය, රට වැසියන් කියන්නේ මොනවාද කියලා දැනගන්න පුරෝහිතයන්ද කේවට්ටයන්ද අන්දරේලාද ඕනේ තරම් හිටියේය. ඒ හැබැයි දුරකතන,...

Read more
ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.