• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙනදා ගියේ විපක්ෂයේ මන්ත්‍රීවරු! මාලිමා මන්ත්‍රීලාගේ CID පැමිණිලිවලට මොකද වුණේ? Sri Lanka Latest News

June 21, 2026
in Exclusive
Reading Time: 20 mins read
A A
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Share on WhatsAppShare on Facebook

මාලිමා ආණ්ඩුව තවමත් ඇත්තේ ළදරු අවධියේය. බලය පිහිටුවා මේ කෙටි කාලය තුළ මෙර‍ට වෙන කිසිදු ආණ්ඩුවක මැති ඇමැතිවරු නොකළ තරම් පැමිණිලිවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපිගොනු පුරවා ඇත. ඒ ඇතැම් පැමිණිලි ගමේ පොලිසියවත් භාරනොගන්නා තරමේ ඒවාය. ඇතැම් ප්‍රශ්න යටපත් කිරීමට මෙන්ම ජනතා අවධානයන් වෙනතකට යොමුකිරීමේ උප්පරවැට්ටියක් ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම මාලිමා ආණ්ඩුවේ ඇතැම් උදවිය විලාසිතාවක් බවට පත්කරගෙන ඇති බවක්ද පෙනෙන්නට ඇති කරුණකි. මාලිමා ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඇතුළු විවිධ පාර්ශ්ව විසින් කළ බොහෝ පැමිණිලි ඒ නිසාම ඇත්තේ හුදෙක් ලියවිල්ලක් බවට පමණක් පත්වය. ඒ ගැන ‘මව්රට’ සිදුකළ සොයාබැලීමකි මේ. Sri Lanka Latest News

  1. ජනපති අනුර කුමාර දිසානායක

පුද්ගලික රෝහල් ජාලයක ලාංඡනය සහ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස භාවිත කරමින්, ජනපතිවරණ ස‍මයේදී එකල ජනාධිපති අපේක්ෂකයකුව සිටි අනුර කුමාර මහතා දැඩි අසනීප තත්ත්වයකින් පසුවන බව හැඟවීමට මෙම ව්‍යාජ ලේඛනය සකසා තිබුණි. එය සමාජ මාධ්‍යවල හුවමාරුවීමත් සමග ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකරනු ලබන්නේ 2024 වසරේ සැප්තැම්බර් මස මුල් සතියේ දිනකදීය. ඒ නීතිඥ සුනිල් වටගල සහ සුනිල් හඳුන්නෙත්ති යන අය විසිනි.

‍මෙම පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම්වලින් අනතුරුව එවකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෙස සේවයේ නිරතව සිටි තිළිණ ගමගේ විසින් 2024 නොවැම්බර් 06 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ මෙම ව්‍යාජ වාර්තාව අන්තර්ජාලයට මුදාහළ ‘සුභාෂ්’ නමැති ගිණුම් හිමියා ඇතුළු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. දැන් එම නියෝගය මෙන්ම පැමිණිල්ලද සිදුකර වසර එකහමාරකට වැඩිය. තවමත් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවට තොරතුරක් වාර්තා වන්නේ නැත.

  1. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ‘ආචාර්ය’ ලෙස යෙදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ 2024 වසරේ දෙසැම්බර් 16 වැනිදාය. තමන් කිසිම දිනක එවැනි ආචාර්ය උපාධි නාමයක් භාවිත කර නොමැති බවත්, තමන් ඉදිරිපත් කළ ජීවදත්ත පත්‍රිකාවේද එය නිවැරදිව සඳහන් කර තිබූ බවත් සඳහන් කරමින් අමාත්‍යවරයා පැමිණිල්ල කර තිබුණේ තම දේශපාලන ප්‍රතිරූපය අපකීර්තියට පත්කිරීමේ හෝ ජනතා විශ්වාසය බිඳදැමීමේ චේතනාවෙන් යම් අයෙකු මෙම ව්‍යාජ දත්ත ඇතුළත් කර ඇති බවට සැකකරන බව පවසමිනි.

මෙම පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පාර්ලිමේන්තු මහලේකම්වරිය, සහකාර මහලේකම්වරයා සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් 08 දෙනකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගනු ලැබීය. ඉන් එහාට ඒ ගැන කළ විමර්ශනයක් සොයාගන්නට නැත. මෙම පැමිණිල්ල අවසානයක් නොමැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති තවත් ගොනුවක් බවට මේ වන විට පත්ව හමාරය.

03.කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

විදෙස්ගත ශ්‍රී ලංකිකයන් ඉලක්කරගෙන සිය නම හා අස්සන භාවිත කරමින් වට්ස්ඇප් සමූහයක් මගින් සිදුකරනු ලබන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරනු ලබන්නේ ඉකුත් 2024 වසරේ දෙසැම්බර් 24දාය.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුව කොළඹ අති‍රේක මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර ඇත. ඒ අනුව කළ විමර්ශනවලින් වංචාව සඳහා සම්බන්ධ බැංකු ගිණුම්, දුරකතන අංක සොයාගනු ලැබීය. එම පුද්ගලයාට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් නිල් නිවේදනයක්ද නිකුත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. මේ බව නොදත් මෙම සැකකරු ඩුබායි සිට මෙරටට පැමි‍ණෙන අතරතුර අත්අඩංගුවට ගන්නේ ඉකුත් මාර්තු 21දාය.

ප්‍රශ්න කිරීමේදී අනාවරණ වන්නේ සුනිල් හඳුන්නෙත්ති පමණක් නොව, නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය ඇමැති එරංග ගුණ‍සේකර මෙන්ම ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක්, මාධ්‍යවේදීන් දෙදෙනෙක්, සංගීතඥ‍යෙක් ඇතුළු සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන් 17 ‍දෙනෙක් ලෙස පෙනී සිටිමින් ‍වෙන වෙනම වට්ස් ඇප් සමූහයන් සකස්කරමින් ඔහු ඩුබායි සිට විදේශගත ශ්‍රී ලංකිකයන්ගෙන් මුදල් රැස්කරගෙන ඇති බවය.

  1. ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමාව ඉලක්ක කරගනිමින් අසත්‍ය සහ ද්වේෂසහගත තොරතුරු මෙන්ම පුද්ගලික අපහාස කිරීම් සම්බන්ධයෙන් කෞෂල්‍යා ආරියරත්න නියෝජ්‍ය ඇමැතිවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන්නේ 2024 දෙසැම්බර් 27දාය. මේ සම්බන්ධ‍යෙන්ද විමර්ශන තවමත් අවසන්ව නැති අතර සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමක් සිදුව නැත.

  1. පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි

තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ අපහාසාත්මක ප්‍රකාශයක් සංසරණය වන බව සඳහන් කරමින් ඇය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2024 වසරේ දෙසැම්බර් 31දා පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලබනුයේ ඇගේ නීතිඥ නාමල් රාජපක්ෂය. මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 ජනවාරි 03දා සැකකරුවෙක්ද අත්අඩංගුවට ගත්තේය. ඔහු මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයෙකි.

ඇය 2025 වසරේ පෙබරවාරි 20 වැනිදා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත පැමිණිල්ලක්ද කර තිබුණාය. ඒ ඇයට පක්ෂය විසින් මාධ්‍ය තහනමක් පනවා ඇති බවට ජාතික පුවත්පතක් විසින් පළකර තිබූ පුවතක් සම්බන්ධ‍‍‍‍යෙනි.

  1. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ

සමාජ මාධ්‍ය තුළ සිය කීර්තිනාමයට අපහාස වන අයුරින් ව්‍යාජ පුවත් හා විකෘති කළ පුවත් පළ කරන බව සඳහන් කරමින් චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනු‍‍වෙන් ඔහු‍ගේ මාධ්‍ය ලේකම් විසින් අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලබන්නේ 2025 අ‍ප්‍රේල් 13දාය. පරිගණක අපරාධ අපරාධ විමර්ශන අංශය මගින් ‍මේ ගැන විමර්ශන පවත්වන බව එකල කියැවුණද මෙතෙක් ඒ සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමක් තබා ප්‍රශ්න කිරීමකට ලක්වූ බවක් අනාවරණ වන්නේ නැත. ඒ අනුව මෙම පැමිණිල්ලද හුදෙක් පැමිණිල්ලක් බවට පත්ව ඇත.

මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂට එරෙහිව එන්තරවාසියක්ද යොමුකර ඇත්තේ යූටියුබ් නාලිකාවකින් අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බව කියමිනි. එම එන්තරවාසිය යොමුකර ඇත්තේ 2025 වසරේ ඔක්තෝබර් 27දාය.

  1. පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි

වත්මන් ආණ්ඩුව බලයට පත්වී ‍කෙටි කාලයක් තුළ වන අලින් කිහිප දෙනෙක්ම වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මියයාම මුල්කරගෙන පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ උපදෙස් මත පරිසර අමාත්‍යාංශයේ ‍ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා විසින් පොලිස්පතිවරයාට 2005 ජූලි 23 ‍වැනිදා පැමිණිල්ලක් යොමුකරමින් විමර්ශනයක් ඉල්ලා සිටියේය. එහිදී විශේෂ අවධානයක් යොමුකරනු ලැබුවේ සීගිරිය, දිගම්පතන සහ ගල්ගමුව ප්‍රදේශවල සිදුවූ වන අලි මරණ 04ක් මුල්කරගෙනය.

ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිතව ජීවත්වන අලි ඇතුන් ‍බොහෝ ‍දෙ‍නෙක් දඩයක්කරුවන්ගේ හෝ අනවසර ගිනි අවි දරන්නන්‍ හෝ ගොවීන්ගේ හෝ ප්‍රහාරයන්ට ලක්වන බවද මෙහිදී පෙන්වා දෙමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සුදුසු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස එමගින් ඉල්ලා තිබුණි. ඒ අනුව අලි ඝාතන පිටුපස පවතින බවට සැකකෙරෙන සංවිධානාත්මක කල්ලි හෝ දේශපාලන අනුග්‍රහය සහිත ජාල හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුව මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කළද එවැනි සංවිධානාත්මක අලි ඝාතනයක් ගැන තොරතුරු අනාවරණ වීමක් මෙතෙක් සිදුව නැත. නමුත් සිදුවූ සෑම අලි ඝාතනයක් සම්බන්ධයෙන්ම පාහේ සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර වැඩි දෙ‍නෙක් ගොවීන්ය. සිය වගා හානිකිරීම් සම්බන්ධයෙන් වන අලි සමග උරණව වන අලින්ට වෙඩිතබා ඇති බව විමර්ශනවලින් අනාවරණ වී තිබුණි.

  1. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල

කොළඹ ප්‍රසිද්ධ නිවාස සංකීර්ණයකින් තමා සුඛෝපභෝගී නිවසක් මිලදීගත් බවට සමාජ මාධ්‍ය හරහා අසත්‍ය හා ද්වේෂසහගත අපහාසාත්මක ප්‍රචාරයක් සිදුකළ බවට 2025 වසරේ සැප්තැම්බර් 16 වැනිදා නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. පොලිසිය භාර නියෝජ්‍ය ඇමැතිවරයා කළ එම පැමිණිල්ල සම්බන්ධයෙන්ද විමර්ශනයක් කළ බවක් හෝ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවක් අනාවරණ වන්නේ නැත.

මේ සම්බන්ධයෙන් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා පොහොට්ටුවට සම්බන්ධ ආචාර්ය මහින්ද පතිරණගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා එම වසරේම නොවැම්බර් 15 ‍වැනිදා එන්තර වාසියක්ද යොමුකර තිබුණි. අනතුරුව දෙසැම්බර් 24 වැනිදා කඩුවෙල දිසා අධිකරණයේ නඩු පැවරීමක්ද සිදුකර තිබේ.

  1. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ

විදෙස් සංචාරයක් සම්බන්ධයෙන් සිය මහජන සම්බන්ධතා නිලධාරිනිය ඉලක්කර ගනිමින් ව්‍යාජ තොරතුරු හා සංස්කරණය කරන ලද ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව සඳහන් කරමින් වසන්ත සමරසිංහ ඇමැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරනු ලබන්නේ 2025 වසරේ ඔක්තෝබර් 09 ‍වැනිදාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් පැමිණිල්ලේ නම් කර ඇති ෆේස්බුක් ගිණුම් 10 සහ වෙබ් අඩවිවල අයිතිකරුවන්, ඒවා ක්‍රියාත්මක කළ ස්ථාන ව්‍යාජ ඡායාරූප නිර්මාණය කළ ආකාරය පිළිබඳ තාක්ෂණික සාක්ෂි රැස්කිරීමේ මූලික විමර්ශන සිදුකළත් මේ දක්වා සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමක් සිදුව නැත. එම පැමිණිල්ලද විමර්ශන ගොනුවකට පමණක් මේ වනවිට සීමාවී ඇති බව සඳහන්ය.

  1. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් මගින් තම දරුවාට අපහාසයක් සිදුව ඇති බවට සඳහන් කරමින් සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලබන්නේ 2025 වසරේ ඔක්තෝබර් 09 වැනිදාය. අදාළ ප්‍රකාශයෙන් අනතුරුව තම දරුවාට එරෙහිව සමාජ මාධ්‍යවල සටහන් පළවීම සම්බන්ධයෙන්ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය හමුවේ පැමිණිලි ඉදිරිපත් කර ඇත.
මේ සම්බන්ධයෙන් ඵලදායී විමර්ශනයක් සිදුවූ බවට තොරතුරු අනාවරණ වන්නේ නැත. මෙම පැමිණිල්ලද හුදෙක් තවත් එක් පැමිණිල්ලක් බවට පත්ව ඇති බව පෙනීයයි.

  1. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර

මත්ද්‍රව්‍ය ජාවාරමට සිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් සම්බන්ධ බවට හැඟවෙන පෝස්ටුවක් මුහුණු පොත ඔස්සේ හුවමාරු වීම සම්බන්ධයෙන් චමින්ද ලලිත් කුමාර මන්ත්‍රීවරයා පැමිණිල්ලක් කරනු ලබන්නේ මීරිගම පොලීසියටය. ඒ 2025 වසරේ නොවැම්බර් 11 වැනිදාය. මත්ද්‍රව්‍ය සමග ඔහුගේ ලේකම්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් මන්ත්‍රීවරයා විසින් බලපෑම් කර ඔහුව නිදහස් කරගෙන ඇති බවටත් එමගින් කියැවී තිබුණි. එම පෝස්ටුව ඊට දින දෙකකට ‍පෙර සමාජ මාධ්‍යවල හුවමාරුවී ඇත.

සැබෑ ලෙසම එවැනි සිදුවීමක් වී ඇති බව අනාවරණ වන්නේ නැත. මන්ත්‍රීවරයා විසින් ඒ සම්බන්ධයෙන් මීරිගම පොලීසියට පැමිණිල්ලක් කළද එය හුදෙක් පැමිණිල්ලක් පමණක් බවට පත්ව ඇත. කිසිදු සැකකරුවෙක්ද අත්අඩංගුවට ගැනීමට හෝ ඒ ගැන පොලිසිය විමර්ශනයක් කර ඇති බවක්වත් දැනගන්නට නැත.

  1. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

බලපත්‍ර නොමැතිව මෙරටට ආනයනය කරන ලද බහාලුම් තොගයක් නිදහස්කර දීම සඳහා සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මැදිහත් වන බවට ඇඟවෙන සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය වූ හඬ පටයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ 2025 නොවැම්බර් 26දාය. මෙම පැමිණිල්ල සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේදී මෙදින විපක්ෂයේ මන්ත්‍රීවරු කළ දැඩි ප්‍රශ්න කිරීමකින් අනතුරුවය.

මේ ගැන වූ විමර්ශනවල අවසානයක් තවමත් නැති අතර හඬ පටය කෘත්‍රිම බුද්ධියෙන් සකස් කළ එකක්දැයි සොයාබැලීමට රස පරීක්ෂකවරයාට යොමුකර ඇතත් තවමත් එකී පැමිණිල්ල ඇත්තේ විමර්ශන තත්ත්වයේය.

  1. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල

සිය නම සහ අස්සන අවභාවිත කරමින් පුද්ගලයෙක් විසින් විදෙස් ගමන් බලපත්‍ර 17ක් ලබාගැනීමක් සම්බන්ධයෙන් වූ ජාවාරමක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරනු ලබන්නේ 2024 වසරේ දෙසැම්බර් 27 වැනිදාය. සුනිල් වටගල මහතා අමාත්‍ය ධුරයේ වැඩ බාරගත් මුල්ම දිනයේදී මෙම වංචාව සිදුවී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පැමිණි බව පවසමින් අමාත්‍යාංශ නිලධාරීන් මුළා කළ ‘නිශාන්ත’ නමැති බාහිර පුද්ගලයකු, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නියෝගයක් බව පවසා ගමන් බලපත්‍ර 17ක් රැගෙන පලාගොස් තිබුණි. එම පැමිණිල්ලට වූ දෙයක් සොයාගන්නට නැත. සැකකරු අත්අඩංගුවට ගැනීමක් ගැනද වාර්තා වන්නේ නැත.

  1. සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස

ඇමැති නලින්ගෙන් සිය නම භාවිත කරමින් මහජනතාවගෙන් මුදල් ලබාගන්නා ජාවාරමක් සිදුවන බවට පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙන්නේ පසුගිය මාර්තුවේදීය. අමාත්‍යවරයාගේ නමට සමාන වන පරිදි ව්‍යාජ බැංකු ගිණුම් සකස් කර, භික්ෂුන් වහන්සේ නමකට රෝද පුටුවක් ලබාදීමට මුදල් අවශ්‍ය බව පවසමින් සමාජ මාධ්‍ය සහ විවිධ මාර්ග ඔස්සේ මහජනතාවගෙන් ආධාර මුදල් එකතු කරමින් මෙම වංචාව සිදුව තිබුණි.

මෙම වංචාව සිදුකර තිබු‍‍ණේ විදේශගතව සිටි පිළිමතලාවේ පදිංචිකරුවෙකි. ඔහු තවත් ඇමැතිවරු කිහිප දෙනෙකු‍ ලෙස පෙනීසිටිමින් මෙම වංචාව සිදුකර ඇත. විදේශගතව සිටි ඔහු ‍මෙරටට පැමිණෙමින් සිටියදී අ‍ප්‍රේල් 06දා අත්අඩංගුවට ගත් අතර ඔහු සම්බන්ධයෙන් අධිකරණ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.

ඇමැති නලින්ද ජයතිස්ස විසින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක සහ විද්‍යුත් මාධ්‍ය නාලිකාවකට එරෙහිව රුපියල් බිලියනයක් ඉල්ලා අපහාස කිරීමකට එ‍රෙහිව එන්තරවාසියක් යොමුකරනු ලබන්නේ ඉකුත් පෙබරවාරියේදීය.

අසාදු ලේඛනගත ඖෂධ සමාගමක ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කර අමාත්‍යවරයා භාණ්ඩ මිලදී ගත් බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රසිද්ධ රැස්වීමකදී කළ චෝදනාවක් මුල්කර‍ගෙන එම එන්තරවාසිය යොමුකර තිබුණි. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹ දිසා අධිකරණයේ රුපියල් බිලියනයක වන්දි ඉල්ලා නඩුවක් ගොනුකර ඇත. මෙතෙක් එම නඩුව විභාගයට ගෙන ඇති බවක් අනාවරණ වන්නේ නැත.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් ලෙස මේ වනවිට කටයුතු කරන ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිවද ඇමැති නලින්ද ජයතිස්ස රුපියල් බිලියනයක් ඉල්ලා එන්තරවාසියක් යොමුකරන්නේ ජනවාරියේදීය. ඔන්ඩන් සෙට්‍රෝන් නමැති ඖෂධයේ කාණ්ඩ කිහිපයක් වෙළෙඳපොළෙන් ඉවත් කරගැනීමේ සිද්ධියක් මුල් කරගනිමින්, අමාත්‍යවරයාගේ නම ඈඳා කළ මාධ්‍යකරණයක් සම්බන්ධයෙන් තමාට අපහාස කිරීමට උත්සාහ කළ බව පවසමින් අමාත්‍යවරයා විසින් මෙම එන්තරවාසිය යොමුකර තිබුණි. එම එන්තරවාසිය ප්‍රතික්ෂේප කරමින් පිළිතුරු ලිපියක් යොමුකරමින් එම ලිපියෙන් තමාට අපහාසයක් වූ බව සඳහන් කරමින් ධර්ම ශ්‍රී කාරියවසම් විසින් ඇමැතිවරයාගෙන් රුපියල් බිලියන 02ක වන්දියක් ඉල්ලා තිබුණි.

අවසානයේදී සිදුවන්නේ නලින්ද ජයතිස්ස මහතා විසින් පසුගිය පෙබරවාරි 09 වැනිදා කැස්බෑව දිසා අධිකරණයේදී ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව නඩුවක් පැවරීමට පියවර ගැනීමය.
මැදපෙරදිග කලාපයේ ඇතිවූ යුදමය තත්ත්වය හමුවේ ඉන්ධන භාවිතය අවම කිරීමට රජය විසින් කිව්.ආර්. කේතය හඳුන්වා දුන්නේය. එම කේතය වංචනික ලෙස භාවිත කරන බවට පැමිණිල්ලක් පසුගිය මාර්තු 19 ‍වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු ලබන්නේ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ උපදේශන සුමුදු රත්නායක විසිනි.

අනතුරුව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මාර්තු 22 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම විමර්ශනවල ප්‍රගතිය ගැන සඳහන් කරමින් පවසන්නේ හඳුනාගත් 153කට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට සහ සී.අයි.ඩී.ය වෙත උපදෙස් දුන් බවය. එහෙත් අදටත් ඒ සම්බන්ධ‍යෙන් අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් සැකකරුවෙක් පමණි. ඒ මාර්තු 25 වැනිදාය.

පොල්ගස්ඕවිට පදිංචිකරුවෙක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගන්නා අවස්ථාවේදීය. මෙම සැකකරු ඇප් එකක් මගින් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර කුලී රථ සමාගමකට සම්බන්ධව මෝටර් රථයක් ධාවනය කරනු ලබන අයෙකි.

කාන්තාවකට අයත් මෝටර් රථයක චැසි අංකය සහ ලියාපදිංචි අංකය සොරා‍ගෙන මෙම පුද්ගලයා විසින් කිව්.ආර්. කේතය සකස්කරගෙන ඇතැයි විමර්ශනයේදී අනාවරණ වී තිබේ. ඒ හැරුණු කොට මේ දක්වා කිසිදු සැකකරුවෙක් කිව්.ආර්. කේතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවක් වාර්තා වන්නේ නැත.

  1. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වන්නේ මෙම වසරේ ජනවාරි මාසයේදීය. අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර තිබූ ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය වෙනස් කරමින් එම සයිබර් ප්‍රහාරය එල්ලකර තිබුණි.

රාජ්‍ය වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුළු වී සිදුකළ මෙම සයිබර් ප්‍රහාරය ගැන පසුගිය ජනවාරි 09 වැනිදා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු ලබන්නේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසිනි.
දැන් සැලකිය යුතු කාලයක් ගෙවී හමාරය. පොලිසිය භාර අමාත්‍යාංශයේ වෙබ් අඩවියට රිංගූ හැකර්වරුන් තාමත් සිටින්නේ නිදැල්ලේය.

● 2025 වසරේ පෙබරවාරි 09 වැනිදා මුළු රට පුරාම සිදුවූ විදුලි බිඳවැටීම ගැන ආණ්ඩුව පැත්තෙන් සැකමුසු චෝදනා එල්ල කරන්නට වූයේ එය විපක්ෂය විසින් කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවටය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද යන බවද කීය. පාර්ලිමේන්තුව තුළද පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් අතර දැඩි වාද විවාදයන්ද ඒ සම්බන්ධයෙන් සිදුවිය.

විදුලි බිඳවැටීමෙන් දින 03කට පසු ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් විසිනි. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ විදුලි සැපයුම් පද්ධතියේ පවතින අවදානම්සහගත තත්ත්වයන් මගහරවා ගැනීමට ගතයුතු පියවර නිසි පරිදි ඉටු නොකිරීම සහ ඒ පිටුපස පවතින වගකීම් පැහැර හැරීම් පිළිබඳ විධිමත් විමර්ශනයක් පවත්වන ලෙසය.

එම අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් අදහස් දක්වමින් එම සංගමයේ උපසභාපති නන්දන උදය කුමාර මහතා ප්‍රකාශ කළේ, ජාතික විදුලි සැපයුම් පද්ධතියේ පවතින අවදානම්සහගත තත්ත්වයන් මගහරවා ගැනීමට ගතයුතු නිසි පියවරයන් ඉටු නොකිරීම පිළිබඳ සොයාබැලීමට මෙම පැමිණිල්ල මගින් ඉල්ලා සිටින බවය. මේ හැරුණු කොට ආණ්ඩුව පාර්ශ්වයෙන් හෝ අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පොලිසියකට පැමිණිල්ලක් ඉදිරිපත් වූ බවක් සොයාගන්නට නැත.
විදුලි බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ආණ්ඩුව පැත්තෙන් සැක කළද අවසානයේදී රාජ්‍ය මට්ටමේ නිල තාක්ෂණික විමර්ශන වාර්තා මගින් විදුලිය බිඳවැටීමට බලපෑ සැබෑ හේතු තහවුරු වීමත් සමග ඒ හැම සැකයක්ම දුරුවන්නේ වඳුරෙකුට සියලු චෝදනා ගොනුවෙමිනි.

● ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පිරවුම්හල්වලට ඉන්ධන ලීටරයකින් ලැබුණු සියයට 03 වට්ටම අහෝසි කිරීම නිසා තෙල් ඇණවුම් නොකිරීමට 2025 වසරේ පෙබරවාරි අග සහ මාර්තු මුල ඉන්ධනහල් හිමියන් ගත් පියවර පිරවුම්හල් අසල දිගු රථවාහන පෝලිම් ඇතිවීම දක්වා දුරදිග ගියේය.

ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරයන් ප්‍රකාශයට පත්කරන විට අල්ලස්, දූෂණ හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමල් තුෂාර අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුවට ගොස් 2025 වසරේ මාර්තු 03දා පැමිණිල්ලක් කරනු ලබන්නේ මෙය කෘත්‍රිම ඉන්ධන හිඟයක් මවා මහජනතාව පීඩාවට පත්කිරීමට කුමන්ත්‍රණයක් බව පවසමිනි.

මෙම පැමිණිල්ල සිදුකර පැය 24ක් යන්නට මත්තෙන් ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයේ උපසභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්නුවේය. ඉන්ධන ඇණවුම් නොකර හැරීමට ගත් තීරණය සහ බෙදාහැරීම් ජාලය අඩාළ කිරීමට කුමන්ත්‍රණය කළේද යන්න පිළිබඳ ඔවුන්ගෙන් දීර්ඝ ප්‍රශ්නද කළේය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයද මෙහිදී නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අත්‍යාවශ්‍ය සේවාවක් වන ඉන්ධන සැපයුම සිතාමතා අඩාළ කරන, මහජනතාව පීඩාවට පත්කරන හෝ රජය අපහසුතාවට පත්කිරීමට කුමන්ත්‍රණය කරන සියලු පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය.
ඒ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වහාම මැදිහත් වී පිරවුම්හල් වෙත අවශ්‍ය තොග නිකුත් කිරීම වේගවත් කළේය. දින කිහිපයක් ඇතුළත දිගු පෝලිම් තත්ත්වය මගහැරී සැපයුම සාමාන්‍ය අතට පත්විය. ඒත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩිමුඩියේ කළ විමර්ශනයටද නැවතීමේ තිත තැබෙන්නේ එය තවත් හුදු විමර්ශනයක් බවට පත්වෙමිනි.

● රතු ලේබල් සහිතව අනිවර්ය පරීක්ෂාවට ලක්කළ යුතු බහාලුම් 323ක් 2025 වසරේ ජනවාරි මාසයේදී හොර රහසේ රේගුවෙන් පිටකිරීම සම්බන්ධයෙන් රටේම ලොකු ආන්දෝලනයක් ඇතිවන්නේ ආණ්ඩුවට කළු පැල්ලමක්ද ‍එක්කර දෙමිනි. මේ පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුලින්ම පැමිණිල්ලක් ගොනුකරන ලබන්නේ නීතිඥ නලින් සම්පත් කුමාරය.
මෙම කන්ටේනර් කතාව ගැන දිගින් දිගටම කියන්න වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලය. එම කන්ටේනර් නිදහස් වීමෙන් පසු රටේ අපරාධ වැඩි වී ඇති බවට ඔවුන් පවසන්නේ ඔවුන් කුමන හෝ කරුණු ඒ පිළිබඳ දන්නා විය හැකි බවත් ඔවුන් කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අදාළ ආයතන වෙත පැමිණිල්ලක් හෝ කර නොමැති නිසා ඔවුන් පවසන දේ සත්‍යද කියා තහවුරු කරගැනීමේ අවශ්‍යතාව පවතින බව නීතිඥ නලින් සම්පත් කුමාර පැමිණිල්ල ඉදිරිපත්කරමින් පවසා තිබුණේය.
මැයි මාසයේ කළ එම පැමිණිල්ලට අනුව සාක්ෂි ලබාගැනීමට හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිලව 2025 ජුනි 04 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබීය. ඊට සමගාමීව, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරව ඊට දින දෙකකට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන්කර ගත්තද අදටත් කන්ටේනර් සිද්ධිය ගැන පරීක්ෂණ ‍ඇත්තේ ඉබිගමනින්ය.

● වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරුන් 05 දෙනකු සහ එක් නියෝජ්‍ය අමාත්‍යවරයකු තම වත්කම් සොයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුවන්නේ 2025 වසරේ සැප්තැම්බර් 16 වැනිදාය.
අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර විසින් කළ පැමිණිල්ලට අදාළව අල්ලස් කොමිසම මුදල් විශුද්ධිකරණ පනත සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළේය. ඒ අනුව එම වසරේ දෙසැම්බර් 30දා පැමිණිල්ල ඉදිරිපත් කළ කමන්ත තුෂාරගෙන් පැය 03කට අධික කාලයක් තිස්සේ ප්‍රකාශ සටහන් කරගෙන ඇතත් තවමත් ඒ කියන ඇමැතිවරුන් 05 දෙනාගෙන් සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ බවක් නම් අනාවරණය වන්නේ නැත.

● ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජර්මන් සංචාරය ආන්දෝලනයට තුඩුදුන්නකි. ඒ එම සංචාරය ගැන සමාජ මාධ්‍යවල පළවූ විවිධ අදහස් මුල් කරගෙනය. මෙම සංචාරය ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ නිල ආරාධනයකට අනුව සිදුවූවකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම නිල ජර්මන් සංචාරයේ නිරත වූයේ 2025 ජුනි 11 වැනිදා සිට 13 වැනිදා දක්වාය.

මෙම සංචාරය මුල්කරගෙන ප්‍රකාශ වූ අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරනුයේ ජනපති අතිරේක ලේකම් සුභාෂ් චමින්ද රොෂාන්ය. ඒ 2025 ජුනි 13ය. ජනපතිවරයාගේ ජර්මන් සංචාරය ගැන විවිධ මත පළකළ අය අතර උදය ගම්මන්පිල මෙන්ම හිරුණිකා ප්‍රේමචන්ද්‍රද සිටියාය. මේ අය ගැනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

රජය සහ ජනාධිපතිවරයා අපහසුතාවට පත්කිරීමේ සහ ජනතාව කුපිත කිරීමේ අරමුණින් මෙම ප්‍රකාශ සිදුකර ඇති බැවින්, විමර්ශන කඩිනම් කර ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් 2025 ජූනි 18 වෙනිදා නියෝගයක් පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කළේය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බොහෝ අයගෙන් ප්‍රශ්න කළද ඉන් එහාට සිදුවූ දෙයක් සොයාගන්නට නැත.

● යහපාලන ආණ්ඩුව බලයට ඒමත් සමග හිටපු මැති ඇමැතිවරු පරිහරණය කළ වාහන ගොන්නක්ම පෝලිම් කර ලොකු මාධ්‍ය සංදර්ශනයක් මවා පෑවේය. එය වත්මන් ආණ්ඩුව යටතේද සිදුවූයේ ගාලුමුවදොර පිටියේ වාහන පෙළගස්වමිනි.

පසුගිය රජයන් විසින් පරිහරණය කළ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන බව පවා නිතරම මාලිමාවේ ආණ්ඩුවෙන් ඇසෙන්නට විය. ඒ අනුව ජනාධිපති කාර්යාලය සතු වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේ දෙවැනි අදියර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ තොරතුරක් අසත්‍ය බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2025 මැයි 17 පැමිණිල්ලක් ඉදිරිපත් කළද ඒ පැමිණිල්ලට පවා වූ දෙයක් නැත.

● හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා නිලධාරී ලෙස කටයුතු කරනු ලැබුවේ තුසිත හල්ලොලුවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ග්‍රීසියේ විශාල මුදලක් ආයෝජනය කර ඇති බවට ප්‍රකාශයක් ඔහු විසින් වරෙක සිදුකළේය. අනුර කුමාර ජනාධිපතිවරයාගේ උපදෙසින් මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරනු ලබන්නේ ජාතික ජන බලවේගයේ නීතිඥ සංගමයේ සක්‍රීය සාමාජිකයකු වන නීතිඥ අකලංක උක්වත්තය. ඒ 2025 මැයි මස 4 වැනිදා රාත්‍රියේදීය.
පැමිණිල්ල ඉදිරිපත් කර පැය කිහිපයක් යන්නට මත්තෙන් තුසිත හල්ලොලුව කැඳවා ප්‍රකාශයක්ද සටහන්කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වේගවත් විය. එහිදී ඔහු පවසන්නේ ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන තමන් සතුව ඇති බවය. එම ලේඛන ඉදිරිපත් කිරීමට හැකි බව ඔහු පැවැසුවද 2025 මැයි මස 17 වැනි සෙනසුරාදා රාත්‍රී 8.30ට පමණ නාරාහේන්පිටදී වෙඩිතබා පැහැරගත්තේ යැයි ඔහු කියන්නට වූයේ එම ලිපිගොනුවය. එහෙත් දැන් එය සත්‍යයෙන් තොර කතාවක් බව පැහැදිලි වී හමාරය. ඒ ගැන දැන් විමර්ශන සිදුවන්නේ ඔහු සැකකරුවෙක් කරමිනි.

● 6 ශ්‍රේණිය සඳහා 2026 වසරේදී හඳුන්වා දීමට යෝජිත වූ නව ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක නමක් ඇතුළත් වීම සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ විශාල ආන්දෝලනයක් ඇති විය. ගුරු වාත්තීය සමිති, දේශපාලනඥයන් මෙන්ම සමාජ ක්‍රියාකාරිකයන්ද ඒ සම්බන්ධයෙන් හඬ නැගුවේය. මෙම සිදුවීම මුලින්ම සමාජගත කළේද සමාජ ක්‍රියාකාරිනියකි. අනතුරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් ප්‍රධාන පැමිණිලි 3ක් ඉදිරිපත් විය.

ඒ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැවද සිටින්නේය. ඔහු විසින් පැමිණිල්ල කරනු ලබන්නේ 2025 වසරේ දෙසැම්බර් 31දාය. අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමිද තවත් එක් පැමිණිලිකරුවෙකි. විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව තුන්වැන්නාය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ පැමිණිල්ල ලැබුණු වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කළහ. එහිදී මෙම මොඩියුලය සැකසීමට ඍජුවම සම්බන්ධ වූ නිලධාරීන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනකුගෙන්ම ප්‍රකාශ සටහන් කර ගත්තේය.
ඒ අතර ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වූ මහාචාර්ය මංජුලා විතානපතිරණ තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වන්නේ විමර්ශන සඳහා සහාය දීමක් බව පවසමිනි.
ඒ අතර මූලික පරීක්ෂණ වාර්තාවලින් හෙළිවූ රාජකාරිමය නොසැලකිලිමත්කම මත පදනම්ව, මෙම විෂය මාලාව භාරව සිටි ජාතික අධ්‍යාපන ආයතනයේ උසස් නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනුණි. එය සිදුවන්නේ අභ්‍යන්තර පරීක්ෂණයක් ලෙසිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹන්නේ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමිනි. එහිදී මෙම සිද්ධියට ඍජුවම වගකිවයුතු සැකකරුවන් සිටී නම් ඔවුන්ව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කළේය. නමුත්, තවමත් කිසිවකුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නම් නැත.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

ලක්ෂ 39ක් මහජන මුදල් වියදම් කරලා ඇමැති නාමල් කරුණාරත්න කරපු රිලා සංගණනයේ අවසන් වාර්තාව අරන් ගිය රිලවා මොකාද? I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවට ගමේ මාලිමාවෙන් රතු එළි පත්තු වෙයි! අනුර-ටිල්වින් අලුත් ගේමකට ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News
Exclusive

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම!  Sri Lanka Latest News
Exclusive

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

ලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...

Read more
අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.