පසුගිය පෙබරවාරි 22 වැනි දින ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් අප කියා සිටියේ ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ රැස්වීමකදී දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර ලේකම් කෝල් කපූර් මහතා ලංකාව චීන ග්රහණයෙන් මුදාගැනීම සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකොට ඇති බවකි. එදා අප කළ එම හෙළිදරව්ව මෙසේය.Sri Lanka Latest News
‘පසුගිය සතියේ ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ රැස්වීමක් පැවැති අතර, ඊට දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර ලේකම් කෝල් කපූර් මහතාද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී සාකච්ඡාව කේන්ද්‍ර වී තිබුණේ දකුණු ආසියානු කලාපය තුළ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහ ඊට අදාළ උපාය උපක්‍රම තේරීම සම්බන්ධයෙන්ය. මෙම සාකච්ඡාවේදී කිසිවකුත් නොසිතූ ආකාරයට ලංකාව සම්බන්ධයෙන් අතිශය වැදගත් කතාවක් මේ පෝල් කපූර්ගෙන් එළියට පැමිණියේය. එහිදී ඇමෙරිකානු බලධාරීන් ඉන්දීය සාගර කලාපය ඇතුළත දියත් කළ යුතු ඉදිරි සැලසුම් මොනවාද යන්න පිළිබඳ විමසද්දී කෝල් කපූර් ලංකාව සම්බන්ධයෙන් අතිශය වැදගත් කරුණු කීපයක් අනාවරණ කිරීමට පියවර ගත්තේය.
‘මේ වෙද්දි ලංකාව ඉන්දියන් සාගරයේ සහ දකුණු ආසියානු කලාපයේ තියෙන වැදගත්ම මුහුදු මාර්ගය බවට පත්වෙලා අවසානයි. මැදපෙරදිග තෙල් නැව් විතරක් නෙවෙයි ආනයන අපනයන සිදුකරන ප්‍රධාන මුහුදු මාර්ගයන් වැටිලා තියෙන්නේ ලංකාව ආසන්නයෙන්. පහුගිය කාලෙදි වොෂින්ටන් මැප් එකේ ලංකාවටයි, ලංකාවේ මුහුදු තීරයටයි ලොකු අවධානයක් යොමුවෙලා නොතිබුණත්, මේ වෙද්දී මතුවෙලා තියෙන තත්ත්වය අනුව ලංකාව තවත් දකුණු ආසියාවේ සාමාන්‍ය රටක් විදියට පිළිගන්න බෑ. මේක කල්තියා තේරුම් අරගෙන වෙන්න ඇති චීනය බරපතළ විදියට ලංකාව ඇතුළේ බලය අත්පත් කරගන්න හදන්නේ. ඔවුන් දැනටමත් හම්බන්තොට වරාය අත්පත් කරගෙන අවසන්. ඒක ඔවුන්ට විශාල හයියක්. ඒ වගේම 2022 චීන පර්යේෂණ නෞකාවේ ලංකා ගමනත් අතිශය භයානකයි. ඒක අපිට දීපු ලොකු සංඥාවක්. ඒ නිසා මින් ඉදිරියට ඇමෙරිකාවටයි ඉන්දියාවටයි මේ ගැන ඉතා සමීපව ඇහැ ගහගෙන ඉන්න වෙනවා’ යැයි කී කපූර් තවත් පුදුමසහගත ප්‍රකාශයක් කිරීමට මෙහිදී පියවර ගත්තේය. ඒ, චීනය මුල්කරගෙන මතුවී ඇති ඉන්දු-පැසිෆික් කලාපයේ ගැටුම දෙස ඇමෙරිකාව ඉතා සමීපව නිරීක්ෂණය කළ යුතු බවකි.
මොකද කරන්න ඕනෑ
ඒ අනුව සෙනට් කමිටුව කපූර්ගෙන් නැවතත් ප්‍රශ්න කර සිටියේ එසේ නම් ලංකාව නැවතත් ඇමෙරිකාව දෙසට හරවා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන් මොනවාදැයි කියාය. ඊට කපූර් දුන්නේ මෙවැනි පිළිතුරකි.
ලංකාව මේ වෙද්දී විශාල ආර්ථික අර්බුදයකින් ගොඩ එමින් ඉන්නේ. නමුත් ඒ අයට මේ අර්බුදයට මුහුණ දෙන්න නිසි ආර්ථික සැලැස්මක් නැහැ. ඒ හින්දා අපි ඒ අයට ආර්ථික සැලැස්මක් හදන්න ඕනේ. ඒකට මූල්‍ය අරමුදලේ සහාය ලංකාවට අපි දෙන්න ඕනේ. ඒ වගේම ලංකාව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නයක හිරවෙලයි ඉන්නේ. ආයෝජන ගලා ඒමේ ප්‍රශ්නයකත් ලංකාව හිර වෙලා ඉන්නවා. ඒ හින්දා අපි පුළුවන් තරම් ඉන්දියාවත් එක්ක සම්බන්ධය හදාගන්න ලංකාවට උදව් කරන්න ඕනේ.මේ වෙද්දී ලංකාව චීන ග්‍රහණයට අහුවෙලා ඉන්නේ. චීනයෙන් විශාල වශයෙන් ලංකාව ණය අරගෙන ඉන්නවා. ඒකෙන් නිදහස් වෙන්න ඔවුන්ට බැහැ. යටිතල පහසුකම්වලට විශාල වශයෙන් චීන ණය අරන් තියෙනවා. ඒ ගෙවන්න තියෙන ණය දැන් ටිකක් අඩු කරලයි තියෙන්නේ.
ඒ වගේම ලංකාව එක්ක ඇමෙරිකාව යුදමය සහයෝගිතාව ශීඝ්‍රයෙන් වැඩි කරන්න ඕනේ. මම නම් කියන්නේ ඒකට ලංකාව ඇතුළේ ඇමෙරිකානු හමුදා කඳවුරක් හදනවට වඩා ඉන්දියාවත් එකතු කරගෙන නාවික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහෙයුම් කරන්න ඕනේ කියලයි. ලංකාවට ඒකට අවශ්‍ය යුද උපකරණ ලබාදෙන්න ඕනේ‘ යනුවෙන් කපූර් එහිදී යෝජනා කර සිටියේය. ඒ හරහා කපූර් පෙන්වා දුන්නේ ඇමෙරිකානු කඳවුරක් ලංකාවේ ස්ථාපිත කරනවාට වඩා හමුදාමය පුහුණු මෙහෙයුම්, බුද්ධි සේවා, යුද උපකරණ සම්බන්ධයෙන් තවදුරටත් ලංකාව සමග ගිවිසුම්වලට එළඹිය යුතු බවකි. එමෙන්ම ඉන්දීය සාගරයේ සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම නිරීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද කපූර් මෙහිදී ඇමෙරිකානු සෙනට් කමිටුවට පෙන්වා දුන්නේය.
ඒ අනුව බැලීමේදී කපූර්ගේ මේ ප්‍රකාශය හරහා එක්තරා ආකාරයකට ලංකාවට පැහැදිලි වාසිසහගත තත්ත්වයක් ගොඩනැගී තිබේ. විශේෂයෙන්ම ලංකාවට ආයෝජන ලබාගැනීම සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැවැන්ත සහායක් කපූර්ගේ මෙම ප්‍රකාශය හරහා උදාකර ගැනීමේ අවස්ථාවක් උදාවී ඇති ආකාරයක් දැකගත හැකිය.’
2026 පෙබරවාරි 22 (‘රාජ්‍ය රහස්’)
වරාය බලන්නත් යනවා
අද අප හදිසියේම ‘රාජ්‍ය රහස්’ තීරයෙන් මේ කියන කෝල් කපූර් පිළිබඳ පාඨකයන්ට යළි මතක් කිරීමක් කළේ ලබන 22, 23 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට කෝල් කපූර් සූදානමින් සිටීම නිසාය. කපූර් මෙවර පැමිණෙන්නේ ඇමෙරිකානු රජය මගින් ලංකාවට ලබාදුන් ආපදාවලදී භාවිත කළ හැකි ජීවිතාරක්ෂක හෙලිකොප්ටර් යානා 8 ලංකාවට ලබාදීමේ නිල උත්සවයට එක්වීම සඳහාය. ජනාධිපතිවරයා විසින් එය භාරගැනීමට නියමිතව ඇත්තේ රත්මලාන ගුවන් තොටුපළේදීය.
මේ ආකාරයටම පසුගිය මාසයේ ඇමෙරිකාව විසින් ලංකාවට ලබාදුන් වෙරළාරක්ෂක නෞකාවක් භාරදීමේ උත්සවයට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයකු ලෙස සර්ජියෝ ගෝර් මහතා සහභාගි වීමට නියමිතව සිටියද අවසන් මොහොතේ ඔහු එම අවස්ථාවට සහභාගි වීමෙන් වැළකී සිටියේය. ඊට හේතු වී තිබුණේ ඉරානයට එරෙහිව ඇමෙරිකාව විසින් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අස්සන් තැබීම ශ්‍රී ලංකාව මගින් ප්‍රතික්ෂේප කොට තිබීම නිසාය. ලංකාව ඊට අස්සන් නොකළද අතිබහුතරයක් රටවල් ඊට අස්සන් තැබීම හරහා මේ යෝජනාව ආරක්ෂක මණ්ඩලයේදී සම්මත කරගැනීමට ඇමෙරිකාවට හැකිවී තිබිණි. නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් ලංකාවේ පැවැති උත්සවය වර්ජනය කිරීමට ගෝර් කටයුතු කොට තිබූ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයේ අප මීට පෙර වාර්තා කර සිටියෙමු.
කෙසේ වෙතත් ලබන 22 සහ 23 යන දෙදින කෝල් කපූර් ලංකාවට පැමිණ ජනාධිපතිවරයාට හෙලිකොප්ටර් යානා භාරදීමෙන් පසු කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට සැලසුම් කොට තිබේ. ඒ, කෝල් කපූර් විසින්ම මීට පෙර ඇමෙරිකානු සෙනෙට් සභාවට ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු තහවුරු කිරීම සඳහා බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
මේ ආකාරයටම ඉකුත් අවස්ථාවේදී සර්ජියෝ ගෝර් ලංකාවට පැමිණි විටද කොළඹ වරායට ගොස් බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබිණි. ඒ අනුව කෝල් කපූර්ද ලංකාවට පැමිණෙන්නේ වරායේ එම පර්යන්තයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බව පැවැසේ.










