ජීවිතයේ අපිට අහන්න දකින්න ලැබෙන සමහර සිදුවීම් හිතාගන්නවත් බැරි තරම් හදවත කම්පා කරවනවා. ඒවා නිකම්ම අපරාධ නෙවෙයි. ඒවා ආදරය අමනාපකම් කෝපය හෝ නොකියූ වේදනා එකට එකතු වූ කතාවක්. මේ සිදුවීම අපට බොහෝ දේ මතක් කර දෙනවා. තාත්තා කියන්නේ බොහෝම නිහඬ චරිතයක්. ඔහුගේ ආදරය වචනවලින් නෙවෙයි කැපකිරීම්වලින් කියැවෙන දෙයක්. පුංචි කාලේ පියෙකු දරුවකු හදන්නේ කොයි තරම් දුක් මහන්සි වෙලාද? සමහර වෙලාවට තමන්ගේ බඩට බත් වේලක් නැතිව, දරුවන්ට බිරිඳට තමන්ගේ බත් වේල කැප කරලා බඩ පුරවන්න ඇතිද? කකුල් ගෙවෙනකල් සෙරෙප්පු ගෙවෙනකල් පාරේ ඇවිදලා එදා වේල හම්බ කරන් ඇවිත් දරුවන්ව සතුටු කරනවා. තාත්තලාගේ හැටි එහෙමයි. ඔවුන් පෙන්නන්නේ නැහැ ලෝකේට ආදරේ. ඒත් දහස් වරක් හදවතින් හඬනවා. ඒ බොහෝ තාත්තලාගේ හදවතේ හැටි. තමන්ගෙන් දරුවන්ට වෙන්න ඕනෙ යුතුකම් ඉෂ්ට කරලා, කසාද බැන්දාට පස්සේ ඒ දරුවෝ මේ වගේ යුතුකම් ඉෂ්ට කළ තාත්තාව අමතක කරන හැටි මේ රටේ සිදුවන බොහෝ සිදුවීම් සාක්ෂි දරනවා. එහෙම ලොකුමහත් වුණු දරුවෝ කටයුතු කරන්නේ සමහර වෙලාවට තමන් අම්මා තාත්තා නැතුව මේ ලෝකෙ එළිය දුටුවා වගෙයි.Sri Lanka Latest News
මේ කතාව අපිට අසන්නට ලැබෙන්නේ උතුරු කළුතර බෝසිරිපුර දුම්රියපළට ආසන්න ප්‍රදේශයෙන්. තමන්ට පුංචි කාලේ කන්න දීලා පාසල් යවලා උගන්වලා දීග දුන්නට පස්සේ ඒ තාත්තා තම දියණියගේ ගෙවත්තේ කොස් ගසකින් ගෙඩියක් කඩාගන්න එක වරදක්ද? කොයි තරම් සතුටක් දැනෙන් ඕනෙද දරුවෙකුට තමන්ගේ වත්තෙන් තාත්තා කොස් ගෙඩියක් කඩා ගත්තාම. ඒ අනුව යතුරුපැදියකින් දියණිය එතැනට එනවා. නමුත් ඒ සතුට හරි සතුටක්ද කියලා හිතලා බලන්න. කෙනකුගේ හදවතට දුකක් දීලා ලබන සතුට මොකද්ද? වයස අවුරුදු 63ක් වෙච්ච මේ පියා සේවය කරලා තියෙන්නේ රජයේ මුද්‍රණාලයේ. වසර 10ක කාලයක සිට දරුවන් සහ බිරිඳ ඉඩම් ආරවුලක් මත මේ පියාගෙන් වෙන්ව ජීවත් වෙලා තියෙනවා. පියා තනිවම නිවසක ජීවත්වෙලා තිබෙන බවයි පොලිසිය අනාවරණය කරලා තිබුණේ. වසර දෙකක කාලයක සිට මෙම දියණිය ජීවත් වෙලා තිබුණේ පියාගේ නිවසට ආසන්න නිවසකයි. ‘අනේ මේ කොස් ගෙඩියක් කැඩුවේ අපේ තාත්තනේ… කොයි තරම් සතුටක්ද…?’ නමුත් අද සමාජයේ එහෙම හිතන දරුවෝ හරිම අඩුයි. අපි අහලා තියෙන විදියට ‘ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු – නෙක පුන් සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු’. කොයි තරම් දරුවෝ හිටියත් වැඩක් නැහැ ගුණවත් දරුවෝ හැදුවේ නැත්නම්. මොකද එක ගුණවත් දරුවෙක් හරි හිටියොත් ඒ දරුවා ඇති පවුලකට එළිය දෙන්න. පුතෙක් වගේ නෙවෙයි දුවෙක් කියන්නේ කොයි තරම් නිවුණු හදවතක් තියෙන කෙනෙක්ද? ඒත් මේ කතාව ඇසුණාම අපේ හදවත කම්පනයට පත්කරනු ලැබුවා.
තමන් හදාවඩාගත්ත තාත්තා තමන්ගේ වත්තෙන් කොස් කැඩුවාම ඒකට උරණ වෙලා දුවෙක් ඇවිත් දෝෂාරෝපණය කිරීම නිසා පියෙකු යකඩ පොල්ලකින් පහරදී එම දියණිය ඝාතනය කර ඇත. පොලිසිය පවසන්නේ මේ සිදුවීම එදින සිදුවුණත් පැරැණි ආරවුලක් හේතුවෙන් මෙම සිද්ධිය ඇතිවී ඇති බවයි. දියණිය ජීවත්වූ නිවස තිබෙන්නේ පියාගේ නිවස අසලයි. නමුත් අසල්වැසියකු කළ විනාශයක් නිසා අද ජීවිතයක් අහිමි වෙලා. අසල්වැසියකු දුරකතන ඇමතුමක් දී දියණියට පවසා තිබුණේ තමන්ගේ වත්තේ පියා විසින් කොස් කඩන බවයි. බොහෝ අසල්වැසියන් මේ වගේ කේළාම් කියලා සතුටක් ලබනවා. නමුත් මේ කේළාම් නිසා අද ජීවිතයක් නැතිවෙලා. ඔවුන් අමුනුස්සයො වගේ. ගෙවල්වල ප්‍රශ්න පවුල් ඇතුළේම විසඳගන්න ඉඩ දීලා ඉන්න එක තමයි නුවණක්කාරම වෙන්නේ.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ උතුරු කළුතර බෝසිරිපුර පදිංචිව සිටි 35 හැවිරිදි දිලිනි මධුෂිකා නමැති එක්දරු මවකි. කලක සිට පවතින ආරවුලක් හේතුවෙන් දියණිය පදිංචිව තිබුණේ වෙනත් නිවසක බවයි පොලිසිය අනාවරණය කර තිබුණේ. මේ සිදුවීම සිදුව තිබුණේ පසුගිය 04 වැනිදා පෙරවරුවේදියි. පියා, දියණිය පදිංචිව සිටි නිවස පිහිටි ඉඩමේ ගසකින් තමයි කොස් ගෙඩිය කඩා තිබුණේ. මේ වෙලාවේ දියණිය යතුරුපැදියකින් පැමිණ පියාට දොස් පවරද්දී බහින් බස්වීම දුරදිග ගොස් උරණ වූ පියා හදිසි කෝපය පාලනය කරගැනීමට නොහැකිව දියණියට යකඩ පොල්ලකින් පහරදී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ. පසුව දැඩි ලෙස තුවාල ලැබූ දියණිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර, පසුව ඇය මෙලොව හැරගොස් තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
පියා දියණියට පහරදී තිබුණේ පොල් උලකින්. උලත් අරගෙන පියා පොලිසියට එනවා. මේ කොස් ගහ දිහා බලන ඕනෑම කෙනකුට පෙනෙන්නේ කොයිතරම් කොස් ඵලදාවක් ගහේ තිබෙනවාද කියන එකයි. ඒත් එක ගෙඩියකට ඇයි මෙහෙම රණ්ඩු සරුවල් ඇතිකරගත්තේ කියලා හිතෙනවා. පියා පොලිසියට පවසා තිබුණේ මෙවැන්නකි.
‘මම වසර 10ක කාලයක සිට තනියෙන් ජීවත් වෙනවා. රජයේ ඉඩමක් සම්බන්ධව ඇතිවෙච්ච ආරවුලක් නිසා බිරිඳ සහ දියණියන් වසර 10ක සිට වෙන්ව ජීවත් වෙනවා. දියණිය රජයේ ඉඩමක් සම්බන්ධව මා සමග දිගින් දිගටම ආරවුල් ඇතිකර ගත්තා. මේ දියණිය ඇවිත් කොස් කඩාගත්තා කියලා යතුරුපැදියෙන් ඇවිදින් මට බැණ වැදිලා ඇවිදින් ගිහින් නැවත ආවා. මා කුස්සියේ දොර වසාගෙන සිටින විට මට බැණවැදී පිටව යාමට සුදානම් වෙද්දී මම පොල් ලෙලි ගහන යකඩ උලෙන් මම ඇගේ හිසට පහරදුන්නා. එවිට දියණිය යතුරුපැදිය සමග බිම වැටිලා සිහිසුන් වුණා. මම ඉතින් යකඩ උල සමග පොලිසියට ආවා…’
මේ කතාව හරිම ඛේදනීය එකක්. හදිසි කෝපය නිසා සිදුවුණේ අහස පොළොව නූහුලන අපරාධයක්. අවසානයේ නැති වුණේ වටිනා ජීවිතයක්. වස්තු තණ්හාව අවසාන වෙන්නේ මේ වගේ ඛේදවාචකවලින්. මේ හැම දේපළකටම වඩා වටිනා දෙයක් තියෙනවා. ඒ තමයි ජීවිතය. අද ඒ පියාට දියණියක් නැහැ. පොඩි දරුවාට අම්මා නැහැ. පවුලක ආදරයෙන් පිරුණු මතක වෙනුවට අමතක නොවන වේදනාවක් ජීවිතයේ ඉතිරි වෙලා. හිතලා බලන්න එක කොස් ගෙඩියක් එක දුරකතන ඇමතුමක් ක්ෂණික කෝපයක් අවසාන වුණේ ජීවිතයක් අහිමි වීමෙන්. කතාබහ කරලා විසඳාගත යුතුව තිබුණු ප්‍රශ්න මේවා. වරද ඇත්තේ පියාගේ අතේද දුවගේ අතේද කියලා ඔබම තේරුම් ගන්න… ඒක ඔබටම භාරයි.

නිලන්ති රේණුකා










