1818 මෙරට ඉතිහාසය ගැන උනන්දු වෙන කිසිවකුට ලේසියෙන් අමතක නොවන වසරකි. ලංකා ඉතිහාසයට මෙන්ම අනාගතයට සුවිශේෂී බලපෑමක් සිදු කරමින් කන්ද උඩරට කැරැල්ල සිදුවූයේ 1818දීය. එනිසාම කාලයත් සමඟ විවිධ කරුණු කාරණා අතරේ 1818 ගැනත් 1818 කැරැල්ලට මූලිකත්වය ගත් විරුවන් ගැනත් කතා කිරීමට බොහෝදෙනෙක් උනන්දු වන ආකාරය දැකිය හැකිය. 1818 ගැන කතා කරන විට වැඩි පිරිසකට මඟහැරෙනවාදෝයි සිතෙන නම් අතර ලෙව්කේ රාළ අමතක කළ නොහැකි චරිතයකි.
හතර කෝරලේ ගල් අතර නමින් ප්‍රසිද්ධ ඉතා රමණීය වූ ගම් පියසක ජීවිකාවේ උරුම හිමිකම් කියූ ලෙව්කේ පරපුරේ අවසන් උරුමකරුවා ඔහුයි. 1730-1750 අතර කාලයේ ශ්‍රී විජය රාජසිංහ රජුගේ පාලනය යටතේ තුන් කෝරලය සහ සතර කෝරලය බාරව කටයුතු කළ ප්‍රධානියා වන පළමු ලෙව්කේ දිසාව මොහුගේ පියාය.
එකල මෙරට පාලි භාෂාව පිළිබඳව ප්‍රවීණයන් සිටියේ අතලොස්සකි. ඒ අතරින් මොහුට ප්‍රධාන තැනක් හිමිව ඇත. ඔහු කාලයක් පැවිදිව සිටි බවත්, එම කාලයේ තරුණ භික්ෂුවක වූ වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ට පාලි භාෂාව පිළිබඳව දැනුම ලබාදුන් බවත් ඉතිහාස සාක්ෂි සාධක ඇසුරේ කියැවේ. කොළඹ ලන්දේසි පාලකයින් හා මහනුවර රාජ්‍ය අතර බොහෝ ගනුදෙනු මොහුගේ පාලන ප්‍රදේශය හරහා සිදුවී ඇති අතර එම කටයුතු නිසි අධීක්ෂණයකට ලක්කර ඇත්තේද ලෙව්කේ දිසාවේ විසින්මය. එකල රජු හා ලන්දේසි පාලකයන් අතර තිබූ සමඟිය සහ සහජීවනය පවත්වාගෙන යෑමට මොහුගේ රාජතාන්ත්‍රිකත්වයත්, රාජපාක්ෂික භාවයත් මනා පිටිවහලක් වූ බවද පැවසේ. මොහු මුලදී නානායක්කාර පාලනයට විරුද්ධ වුවත් පසුකාලීනව පත්වූ සියලු පාලකයන්ට අවංකව සහ කැපවීමෙන් කටයුතු කර ඇත. මොහුගේ රාජපාක්ෂිකභාවය නානායක්කාරවරුන් තම දේශපාලන වාසි සඳහා යොදාගත් බවද කියැවේ. එමෙන්ම ලෙව්කේ යනු ඇහැලේපොළ ප්‍රමුඛ කණ්ඩායමේ ප්‍රබල ප්‍රතිවාදියකු ලෙසටද හඳුන්වාදිය හැකිය.
පෙර සඳහන් කළ ආකාරයට හතර කෝරලයේ වංශවත් ප්‍රභූ පවුලක් වූ ලෙව්කේ පරපුරට රජු විසින් ‘විජේසුන්දර’ නමැති උසස් කුල නාමය ලබාදුන් බවද කියැවේ. ඒ අනුව අප මේ කතා කරන ලෙව්කේ රාළ ‘ලෙව්කේ විජේසුන්දර රාජකරුණා සෙනෙවිරත්න හේරත් වාසල මුදියන්සේ’ යන නාමයෙන් හඳුන්වා ඇත. තම පියාගෙන් පසුව හතර කෝරළයේ දිසාවේ තනතුර මොහුට නිතරගයෙන්ම හිමිවූ අතර පියාගේ රාජතාන්ත්‍රික සහ රාජපාක්ෂිකභාවයට සමානම දක්ෂතාවයක් සහ හැකියාවක් මොහු තුළද දක්නට ලැබී ඇත. සිය පියාගේ කලාකාමී හැකියාවන් එලෙසින් පිහිටා තිබූ ලෙව්කේ ඉතා දක්ෂ අංගම් සටන් ශිල්පියෙකි. හෙතෙම කාය ශක්තිය අතින්ද විශිෂ්ටයෙකි. එකල මොහුගේ කවි ගායනා ඇසීමට කීර්ති ශ්‍රී රාජසිංහ රජුද ප්‍රිය කළ බව කියැවෙ. විවිධාකාර වූ දක්ෂතාවයන්ගෙන් හෙබි ලෙව්කේ ඒ සියලු ක්‍රියාවන්ගේ දක්ෂයකු ලෙසද ප්‍රකටව සිට ඇත.
අති දක්ෂ සටන් සූරයකු වූ ලෙව්කේ තමාටම ආවේණික සටන් ක්‍රම ශිල්පද අනුගමනය කරමින් කටයුතු කළ අයකු බව පැවසෙන අතර ඒ තුළින් විවිධ වූ විස්කම් පෑ බවද ඉතිහාසයේ සඳහන්වේ. එක්තරා අවස්ථාවක මොහුගේ කාය ශක්තිය පරීක්ෂා කිරීමේ අදහසින් එංගලන්තයෙන් ආ පිරිසක් මොහු හා සටනට ඉන්දියානු මල්ලවපොරකාරයකු ගෙන්වා ඇති අතර එම පිරිස තරගයට පෙර බියකර පලවා හැරීමේ රසවත් කතා පුවතක් ලෙව්කේ රාළගේ ජීවිත කතාව හා බැඳී පවතී.
එකල මොහු කිරිබත් සමඟ කොට්ටපොල් කිරි කෑමට ඉතා ප්‍රිය කළ බවත් මල්ලවපොර තරගයට සතියකට පෙර තම ප්‍රතිවාදියා වූ ඉන්දියානු මල්ලවපොර සූරයා ඉදිරියේ කොට්ටපොලයක් අතින් මිරිකා කිරි රැගෙන ඒවා සමඟ කිරිබත් කෑ බවත් කියැවේ. මේ සිද්ධිය දැකීමෙන් බියටත් තැතිගැන්මටත් පත්වූ ප්‍රතිවාදියාත් අධීක්ෂණ කණ්ඩායමත් පෙරළා ආපසු යෑමට කටයුතු කළ බවත් පැවැසේ.
එකල රජ වාසලේ රාත්‍රි ආරක්ෂක කටයුතු ඉඳහිට හෝ පරීක්ෂා කිරීම මොහුගේ පුරුද්දක් සහ විනෝදාංශයක්ව තිබී ඇති අතර, එම පරීක්ෂාවන්ට අනුව නුසුදුසු ආරක්ෂකයන් විශේෂිත ස්ථානවල රාජකාරි කටයුතුවලින් ඉවත් කර ඇත. එක්තරා දිනක රාත්‍රියේ එවැනි අධීක්ෂණ කටයුත්තකට වෙස්වලාගෙන පැමිණි මොහු රජ වාසලේ පිටත ඇති තල් ගසකට පිටදී රස්තියාදුකාරයකු මෙන් කටයුතු කර ඇත. මෙය ආරක්ෂකයින් දුටුවද හැඩිදැඩි පෙනුම නිසා ඔහු අසලට පැමිණ අත්අඩංගුවට ගැනීමට ආරක්ෂකයන් පසුබට වී ඇත. එනිසා ‘තෝ ඔතන මොකද කරන්නේ’ යනුවෙන් ආරක්ෂකයින් ප්‍රශ්න කර ඇත. ‘මං මෙතන මොනවා කළාම ඔය අප්පුහාමිලාට මොකදැයි’ ලෙව්කේ ප්‍රති උත්තර සපයා ඇත. එහිදී ආරක්ෂකයින් පවසා ඇත්තේ ‘තොගේ ඔය තල් ගහත් අරගෙන ඔතනින් පල’ යනුවෙනි. ඊට පිළිතුරක් ලෙස ලෙව්කේ තල් ගස උදුරාගෙන කර තබාගෙන ගිය බවද ජනප්‍රවාදයන්හි සඳහන්වේ.
මේ සියලු හපන්කම් අතරේ ඔහුද සිය පියා මෙන්ම බුදු දහමට ඉතා ලැදිව කටයුතු කළ අයකු බවද පැවසේ. ඔහු හතර කෝරලයේ විහාර කිහිපයක්ම ප්‍රතිසංස්කරණයට පියවර ගත්තේය. ඔහුගේ අක්කර 366ක් වූ නින්දගම් සමූහයෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් විහාර කිහිපයකටම පූජා කළ බවත් පැවසෙයි. එසේම ඔහු දන්කිරිගල විහාරය ප්‍රතිසංස්කරණයට කටයුතු කරද්දී සිදුකළ අපූරු හපන්කමක් ගැනද ජනප්‍රවාදයේ සඳහන්වේ. එකල දන්කිරිගල විහාරයට යෑමට හරිහැටි මාර්ගයක් තිබී නැත. එනිසා විහාරයට යෑමට තමන්ගේ මහන්සියෙන් පඩිපෙළක් සෑදිය යුතු යැයි සිතූ ලෙව්කේ තමා විසින්ම කපා සකස් කරගත් විශාල ගල් කුට්ටි 367 විටින් විට මාඔයේ නෑමට එන අතරතුර තනිවම ඔසවාගෙන විත් විහාරය අසල ස්ථානගත කර තිබේ. ඔහු මෙම ගල් කුට්ටි රැගෙන විත් ඇත්තේ කිසිවකුට නොපෙනෙන පරිදි ගොම්මන් වෙලාවල්වලදී බවටද පැවසේ. එසේ කර ඇත්තේ තම කාය ශක්තිය වෙනත් අයකු දකිනවාට ඇති අකමැත්ත නිසාවෙනි. කෙසේ නමුත් ලෙව්කේගේ මේ හිතුවක්කාර ඉදිකිරීමට විහාර භූමියට අරක්ගත් බහිරවයෙක් උරණ වී ලෙව්කේගෙන් පළිගන්නට වෙලාව පැමිණෙන තුරු බලා සිටි බවටද ජනප්‍රවාදයන්හි පැවසේ.
ලෙව්කේ සටනෙහි අති දක්ෂයෙකි. එහෙත් ඔහු සාමාන්‍ය ජීවිතයේදී සරල සාමාන්‍ය මිනිසකු ලෙස කටයුතු කරන්නෙකි. අංගම් සටන් ශිල්පයේ ලෙව්කේ තරම් ප්‍රවීණයෙක් එවකට නොසිටි තරම්ය. එහෙත් ඔහුගේ සටන් ක්‍රමය තුළ සැඟවුණු විශේෂිත රහස් තිබූ බවද පැවසෙයි. ඔහු නිතරම සටන් කර ඇත්තේත් අන් අයව පුහුණු කර ඇත්තේත් සටන් කරන්නා තුළ සටන් බලන්නකුද සිටිය යුතුමයි යන නියමයට අනුවය. කෙසේ නමුත් එය සටනේදී ජය ලැබීමට මනාව ඉවහල් වූ කාරණයක් බවත් පැවසේ. ඔහු මේ ක්‍රමය ලෞකික සමාධියක් දක්වා දියුණු කර තිබූ බවටද මතයක් පවතී.
එකල එක් අවස්ථාවක රජු විසින් දිවයින පුරා සිටි සටන් ශිල්පීන් සහ කාය ශක්තියෙන් පිරිපුන් තරුණයින් මහනුවරට කැඳවා ඔවුන්ව විශේෂ පරීක්ෂාවකට යොමුකර ඇත. එහිදී ඔවුනට ඉදිරිපත් කර ඇත්තේ කිරීමට අපහසුම අභියෝග කිහිපයකි. එහි අවසන් අභියෝගය තෙක්ම සුදුසුකම් ලැබුවේ තරුණයන් දෙදෙනෙකි. ඉන් පළමුවැන්න ලෙව්කේය. අනෙකා කප්පාගොඩ නම් විය. තරගයේ අභියෝගාත්මකම වටය වූයේ අවසන් වටයයි. යකඩ කුරුසයක් පතුලට සවිකළ ඇත් දළක් පොළොවෙන් පිටතට අඟලක් දෙකක් පමණක් සිටින සේ පොළොව යට වළලා එහි පොළොවෙන් මතුපිට ඇති කොටසේ තලතෙල් තවරා ඇත. තරගයට අනුව එය අතින් ඇද ගලවා ඉවත් කළ යුතුය. ඉතිහාස සටහන්වලට අනුව ලෙව්කේ එම අභියෝගය ජයගෙන තෑගිබෝග ලබාගෙන ඇත. කොතරම් අභිමානවත් ලෙස ජීවත් වුවද ලෙව්කේ රාළටද උඩරට බොහෝ රදළවරුන්ට අත්වූ ඉරණමම අත්විඳින්නට සිදුවීම ශෝචනීයය. එනිසාම ඔහුගේ අවසානයද ඉතා අමිහිරි කටුක එකක් ලෙස සඳහන් කළ හැකිය. රජුට කේලාම් කීමේ රදලවරුන් සතු ජන්ම පුරුද්දේ තවත් ගොදුරක් වන්නට ලෙව්කේට සිදුවූයේ අවාසනාවන්ත අයුරිනි. කෙසේ නමුත් කිසිදු සටනකදී පරාජය වී නොමැති ලෙව්කේට සේනාධි නායක තනතුරද හිමිව තිබුණේය. එහෙත් 1803 දී හංවැල්ල සටනේදී පසුබෑමට ලක්වූ රජුගේ සේනාව අවිස්සාවේල්ලේදී වාඩිලා නතර විය. එදින ලෙව්කේ රාළත් ඔහුගේ මහා මොහොට්ටාලත් වෙල්යාය අද්දරට වී කුරුම්බා බොමින් විවේකී සුවයෙන් සිටින බවට කවුරුන් හෝ රජු සමඟ කේලමක් පවසා තිබිණි. ඒ අනුව එතැනට පැමිණි රජු ලෙව්කේගේ සහ මහා මොහොට්ටාලගේ හිස් ගසා දමන්නට කටයුතු කර ඇත.
මේ සිදුවීම සම්බන්ධව ජනප්‍රවාදයේ තවත් මතයක් වෙයි. ඒ හිස් ගැසුම් කෑවේ දන්කිරිගල විහාරයේ සිට ලෙව්කේගේ රුවින් පෙනී සිටි බහිරවයා බවත්, ඒ මොහොතේ ඒ තත්ත්පරයේම සැබෑ ලෙව්කේ සටන් පිටියේදී මියගිය බවත්ය. කෙසේ නමුත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිය පාලන දිවියේ කරගත් බලවත්ම පාඩුව ලෙව්කේ ඝාතනය බවටත් සැලකේ. එසේම පසු කලෙක රජු මේ සම්බන්ධව පසුතැවුණු බවටද මතයක් වෙයි.
එමෙන්ම මෙම මරණයත් සමඟ ලෙව්කේට නෑකම් කියූ බොහෝ රදලයන් රජුට විරුද්ධ වූ බවද පැවසේ. කෙසේ නමුත් ලෙව්කේ පරපුරේ අවසානය ඉතා කනගාටුදායක විය. ඊට හේතුව දෙල්ගොඩ කුමාරිහාමි සමඟ විවාහ වී සිටි ඔහුට දාව උපන් දියණියන් තිදෙනා විවාහ වුවද ඔවුන් තිදෙනාටම දරුවන් නොලැබුණු බැවිනි. පසුකාලීනව එම දියණියන්ව විවාහ කරගෙන සිටි පුරුෂයන්ගේ සහෝදරයින් ලෙව්කේ නාමය සිය පෙළපත් නාමයට ඈඳාගත් බවත් කියැවේ.
කුමාර රත්නායක











