හතු පිපිනෙවා වගේ බිහිවන රියැලිටි තරු අතර තම දක්ෂතාවන් ඉදිරියට රැගෙන යමින් සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ අතළොස්සක් පිරිසක්. එසේ දක්ෂතාවත්, ජනප්‍රියත්වයත් එකසේ රඳවාගෙන සිටින නව පරපුරේ ගායිකාවන් අතර අමිලා නදීශානිට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මෙසේ ගායනය තුළින් රසිකයන් අතරට පැමිණි අමිලා නදීශානි ගායනය පැත්තකින් තියල මේ වෙනකොට අලුත් වැඩක් පටන් අරගෙන. ඒ අලුත්ම වැඬේ මොකක්ද කියලත්, සංගීත ක්ෂේත්‍රයේ අලුත්ම වැඩ ගැනත් අමිලා අපිත් එක්ක කිව්වෙ මේ විදිහට.
අමිලා සින්දු කියන එක පැත්තකින් තියල අලුත් වැඩක් පටන්ගත්ත නේද?
ඔව්. පහුගිය කාලෙ අපිට ලොකු නිවාඩුවක් ලැබුණනෙ කොවිඞ් හින්ද. ඉතින් ඒ වෙලාවෙ නිකන් ඉන්න හින්ද මගේ යූටියුබ් චැනල් එකේ වැඩ ආයිත් අලුතින් පටන් ගත්ත. ඒ වැඩ දැන් හොඳින් කරගෙන යනව.
යූටියුබ් චැනල් එකක් පටන් ගත්තෙ ජනප්‍රිය වෙන්න බලාගෙනද?
මම අමුතුවෙන් ජනප්‍රියත්වයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. ඒත් දේශීය සංස්කෘතියට, ඒ වටිනාකම්වලට යම්කිසි තැනක් දෙන්න ඒ වෙනුවෙන් කතා කරන්න ඕන හින්ද තමයි මම චැනල් එක පටන්ගන්න හේතු වුණේ. ඊට අමතරව මේ හරහා අපි තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න හිතාගෙන ඉන්නව ‘සිංහල ගම්මානය’ කියල. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ අපි කාලයක් තිස්සෙ පවත්වාගෙන ආපු පාරම්පරික ගොවිතැන ඇතුළුව දේශීය සංස්කෘතියෙ ඇති වටිනාකම් මිනිස්සුන්ට කියලදෙන එක. ඔය වගේ මගේ යූටියුබ් චැනල් එකෙන් කතා කරන්න බැරි මාතෘකා ගැන කතා කරන්න ‘ආයුබෝවන් ශ්‍රී ලංකා’ කියල මගේ අලුත් යූටියුබ් චැනල් එකකුත් මේ වන විට පවත්වාගෙන යනවා.
ඔබ කියන විදිහෙ ආගම, සංස්කෘතිය, පාරම්පරික දේවල් කතා කරන යූටියුබ් චැනල් මේ වෙනකොට විශාල ප්‍රමාණයක් දකින්න තියෙනව. ඔබත් ඇයි ඒ විදිහෙ චැනල් එකක් කරන්න හිතුවෙ?
ඇත්තටම ඔය මාතෘකා කතා කරන චැනල් ගොඩක් තියෙනව තමයි. ඒත් ඒවයින් අපේ සංස්කෘතිය, ආගම ගැන හරි දේවල් කතා කරනවද. ඔවුන් කරන්නෙ ජනප්‍රියතාව බලාගෙන මොකක්ද හරි මිත්‍යා මතයක් පතුරුවන එක. නමුත් මට උවමනා වෙලා තියෙන්නෙ හරි දේ සමාජගත කරන්න. උදාහරණයක් විදිහට කිව්වොත් මම උත්සාහ කරන්නෙ සරල විදිහට බුද්ධාගම පන්සිල් පද ආරක්ෂා කාරීමේ ඉඳල ඉතා ගැඹුරට යනකම්ම බුදු දහමෙ තියෙන සත්‍ය කරුණුත් එක්ක මිනිස්සුන්ට අවබෝධයක් දෙන්න. ඔය වගේ සත්‍ය, නිරවුල් කරුණු පදනම් කරගෙන තමයි මගේ වැඩසටහන් මම කරන්නෙ. ඒ අතරෙදි මමත් ගොඩක් දේවල් ඉගෙන ගන්නව. ඊට අමතරව අපේ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්නෙ ඒ සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන අය. ඉතින් මගේ චැනල් එක හරහා හැම වෙලේම ප්‍රේක්ෂකයන්ට ලැබෙන්නෙ සමාජයට යමක් දෙන්න පුළුවන් ගුණාත්මක වැඩසටහන්.
ඉදිරියෙදි චැනල් එකෙන් වෙනත් දේවල් ගැන කතා කරන්න අදහසක් නැද්ද?
ඇත්තටම මම එක තැනකට විතරක් කොටුවෙලා වැඩ කරන්න කැමැති කෙනෙක් නෙමෙයි. මම මේ වෙනකොට සාමාන්‍යයෙන් යූටියුබ් චැනල්වලින් කතා කරන්නෙ නැති මාතෘකා ගොඩක් ගැන ඉදිරියෙදි වැඩසටහන් කරන්න හිතාගෙන ඉන්නෙ. ඒ අතර ඩොක්ට කෙනෙක් සම්බන්ධ කරගෙන ‘අමිලා විත් ඩොක්ට’ කියල වැඩසටහනක් කරන්න ඉදිරියෙදි දකින්න ලැබෙයි. ඒකෙන් සාමාන්‍යයෙන් අපි කතා කරන්න මැලිවෙන, ලැජ්ජා වෙන මාතෘකා, සෞඛ්‍ය ගැටලු, මානසික ප්‍රශ්න ගැන පවා කතා කරල දැනුම ලබාදෙන්න හිතාගෙන ඉන්නව.
ඔය වැඩත් එක්ක සංගීත වැඩකටයුතු අතපසු වුණේ නැද්ද?
නෑ. ඇත්තටම මම අලුතෙන් ගීත හතරක් නිර්මාණය කළා. රඹුක්කන සිද්ධා හාමුදුරුවො ලියපු ගීතයකුත් එක්ක මේ දවස්වල බෞද්ධ ගීත හතරක වැඩ කරගෙන යනවා. ඊට අමතරව මගේ සැමියගෙ අදහසක් අනුව පහුගිය දවස්වල සෑහෙන මහන්සි වෙලා ත්‍රිවිධරත්නය වන්දනා කිරීම ගැන සජ්ජායනාත්මක ගායන නිර්මාණයක් කළා. ඒක අලුත් වැඩක්. ඔය වගේ වැඩ ටිකක් සංගීතය පැත්තෙන් පසුගිය දවස්වල කළා.
ඉදිරියෙදි අපිට අමිලගෙන් දකින්න ලැබෙන්නෙ ආගමික නැඹුරුවක් තියෙන නිර්මාණ විතරද?
නෑ එහෙම වෙන එකක් නෑ. ඇත්තටම බෞද්ධ ගීත නිර්මාණය කළේ මගේ ‘ධම්ම ටීවී’ කියන චැනල් එකේ වැඩසටහන්වලට. අනිත් එක මම බෞද්ධ ගීත කරල තියෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ හින්ද තමයි තව බෞද්ධ ගීත කීපයක් කරන්න හිතුවෙ. ඊට අමතරව මගේ වෙනත් ගීත නිර්මාණ කිහිපයක්ම කරල තියෙනව. ඉදිරියෙදි ඉඩකඩ ලැබෙන විදිහට තවත් නිර්මාණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
ඉන්දික වික්‍රමරත්න











