ආණ්ඩුව තෙලේ බැදෙයිද?
පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් ප්‍රධානම අර්බුදය වූයේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම සම්බන්ධ ප්‍රශ්නයය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යුද්ධයක් දියත් කිරීමත් සමග ලංකාවට පමණක් නොව ලෝකයටම එක රැයින් මුහුණ දීමට සිදුවූ ප්‍රධානම ප්‍රශ්නය වූයේද මේ කියන ඉන්ධන මිල ගණන් ඉහළ යාමේ අර්බුදයය. එය පැහැදිලිවම දැකගන්නට ලැබුණේ යුද්ධය ආරම්භ වී දින දෙක තුනක් තුළ ලෝක වෙළෙඳපළේ බොර තෙල් බැරලය ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ඉහළ නැගීම නිසාය. ඉරානය විසින් ලෝකයේ දෛනික තෙල් පරිභෝජනයෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කරනු ලබන හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදමන බවට තර්ජනය කිරීමත්, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන ඇමෙරිකානු සහ ඊශ්‍රායල හිතවාදී රටවලට අයත් සියලු ඉන්ධන නෞකාවලට ප්‍රහාර එල්ල කරන බවට ප්‍රකාශ කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඇමෙරිකානු ඩොලර් 120 ආසන්නයට ඉහළ ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. බොර තෙල් පමණක් නොව මෙන්ම ගෑස් මිල ගණන්ද මේ හරහා ඉහළ යෑම අනිවාර්ය විය.Sri Lanka Latest News
ඒ අනුව පසුගිය සතිය වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවටද මැදපෙරදිග යුද්ධයේ තෙල් සහ ගෑස් මිල ඉහළ යාමේ උණුසුම දැනෙන්නට වැඩි වේලාවක් ගියේ නැත. ඊට වඩාත්ම හේතුවී තිබුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පෙරළී යෑමට මුලින්ම බලපෑ හේතුව වූයේත් තෙල් සහ ගෑස් අර්බුදය වීමය. 2021දී ගෝඨාගේ ආණ්ඩුවට ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්ධන සහ ගෑස් නැව් ගෙන්වා ගැනීමට අවශ්‍ය මුදල් නොතිබුණු අතර, ඒ අනුව රට පුරා එක රැයින් තෙල් සහ ගෑස් අර්බුදයක් නිර්මාණය විය. ජනතාව තෙල් සහ ගෑස් ලබාගැනීම සඳහා කිලෝමීටර් ගණන් දිග පෝලිම්වල දිවා රෑ නොබලා දින 4-5 ලැගගෙන සිටියහ. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ගෝඨාගේ රජයට එරෙහිව ජනතා අරගලයක් ආරම්භ වී ගෝඨාට ජනාධිපති පුටුවද අහිමි වී යෑමය. තවමත් එම අරගලය අවසන් වී ගෙවීගොස් ඇත්තේ වසර 4ක පමණ කාලසීමාවකි. එම නිසා ජනතාවගේ හිත්වල තවමත් එම අරගලයේ උණුසුම මැකී ගොස් නොමැති බව ආණ්ඩුව නොදන්නවා නොවේ. අවුරුදු 76කට පසු ජවිපෙ වැනි සියයට 3ක සිටි වාමාංශික පක්ෂයකට බලය ගැනීම සඳහා මාර්ගය පෑදුණේද එම ජනතා අරගලය හේතුකොට ගෙනය. එම නිසා තෙල් සහ ගෑස් අර්බුදයක් පැමිණියහොත් ඊට මුහුණ දීම ඉතා අසීරු බව ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වී දින කිහිපයක් යෑමට මත්තෙන් ආණ්ඩුවේ ප්‍රධාන නායකකාරකාදීන්ට වැටහී ගොස් තිබිණි.
අනුර අත දමයි
ඒ අනුව පසුගිය සතිය ආරම්භ වන විටදීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කළේ වහ වහා පැමිණිය හැකි මෙම තෙල් සහ ගෑස් අර්බුදයේ දිග පළල කුමක්ද යන්න හරිහැටි දැනගැනීමට කටයුතු කිරීමය. ඒ අනුව ජනාධිපතිවරයා මෙම විෂයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සමග සතිය ආරම්භයේදීම වෙන වෙනම සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට පියවර ගත්තේය. එහිදී දීර්ඝතම සාකච්ඡා වට කීපය පැවැත්වුණේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමගය. ඒ වනවිටත් ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබූ බැවින් සියලු දෙනාගේම ස්ථාවරය වී තිබුණේ නුදුරේදීම මෙම තෙල් සහ ගෑස් ප්‍රශ්නයට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවත්, දැන්ම තියා වහ වහා ඊට පිළියම් යෙදීමට සහ තත්ත්වය කළමනාකරණය කිරීමට පියවර නොගතහොත් බරපතළ අර්බූදයකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවත්ය. එහිදී නිලධාරීන් ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවේ ප්‍රධානීන්ටත් පෙන්වා දුන්නේ ලංකාවට ගෙන්වා ඇති තෙල් තොග තවත් දින 40කට ආසන්න කාලයකට ප්‍රමාණවත් බවත්, එමෙන්ම තවත් ඉන්ධන නැව් කිහිපයකටම මේ වනවිට මුදල් ගෙවා ඇති බවත්ය. කෙසේ වෙතත් ඉන් අනතුරුව ඉන්ධන මිලට ගැනීමේදී ලෝක වෙළෙඳපළේ නව මිල ගණන්වලට ඉන්ධන මිලට ගැනීමට සිදුවනු ඇති බව පෙන්වා දුන් නිලධාරීහු ඒ අනුව අනිවාර්යයෙන්ම පවතින ඉහළ මිල ගණන් යටතේ ඉන්ධන සහ ගෑස් මිලට ගැනීමට සිදුවනු ඇති බවද ජනාධිපතිවරයාට දැනුම් දී සිටියහ. ඒ හරහා අනිවාර්යයෙන්ම ඉන්ධන සහ ගෑස් මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවත් ඔවුහු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ. එසේ නොකළහොත් තෙල් මිලදීගැනීමේ බරපතළ අර්බුදයකට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඔවුහු ජනාධිපතිවරයාට පැහැදිලි කර සිටියහ.
ඒ අනුව ජනාධිපතිවරයා වහාම ඔවුන්ට දැනුම්දී සිටියේ දැනට ලෝක වෙළෙඳපළේ පවතින මිල ගණන් සහ ලංකාවේ ඉන්ධන සහ ගෑස් වැඩි කළ යුතු මිල ගණන් සංසන්දනය කොට වහාම වාර්තාවක් තමන්ට ලබාදෙන්නැයි කියාය. ඒ අනුව නිලධාරීන් දිනක් ඇතුළත එම මිල ගණන් සංසන්දනය කොට අර්බුදය කළමනාකරණය කරගැනීමට අවශ්‍ය තෙල් මිල ඉහළ දැමීමේ මිල ගණන් ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයාට ලබාදීමට කටයුතු කළහ. එම වාර්තාව මගින් ඔවුන් පෙන්වා දී තිබුණේ තත්ත්වය කළමනාකරණය කරගැනීමට නම් ඉන්ධන ලීටරයක් රුපියල් 80කින් ඉහළ නැංවිය යුතු යැයි කියාය. එම යෝජනාව දුටු සැණින් ජනාධිපතිවරයාගේ ඇස් නළලට ගිය ආකාරයක් බොහෝ දෙනාට දැකගන්නට ලැබිණි. මන්ද යත් එවැනි ආකාරයේ විශාල මිල ඉහළ දැමීමක් එක්වරම සිදුකළහොත් එය කිසිසේත්ම ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් වීමත්, ඒ හරහා විශාල දේශපාලන අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකි වීමත් ඊට හේතු වීමය. ඒ අනුව එවැනි විශාල ප්‍රමාණයකින් ඉන්ධන ලීටරයක මිල ඉහළ නොදමා මුල් අදියරේදී ජනතාවට දරාගත හැකි මිලකින් මිල ඉහළ දමා ප්‍රශ්නය කළමනාකරණය කරගැනීමටත්, ඉතිරි මුදල සහනාධාරයක් ලෙස ආණ්ඩුව දැරීමටත් එහිදී යෝජනා විය.
මේ අතරවාරයේ ජනාධිපතිවරයා ලංකාව තුළ මතුවෙමින් පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් යුද්ධයට සම්බන්ධ ජාත්‍යන්තරයේ අනෙකුත් පාර්ශ්වයන් සමග ද සාකච්ඡා ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී එම පාර්ශ්වයන් ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේ මාස 2ක් වැනි කාලයක් ඇතුළත යුද්ධය අවසන් කිරීමට හැකිවනු ඇති බවකි. ඒ අනුව මුල් අදියරේදී ජනාධිපතිවරයාගේ සැලසුම වූයේ භාණ්ඩාගාරයේ පවතින මූල්‍ය තත්ත්වය අනුව ඉන්ධන මිල ජනතාවට දරාගත හැකි මිලකින් ඉහළ නංවා නැවත මිල වැඩිවීමක් නොකොට වැයවන අතිරේක මුදල් සඳහා මාස 3ක කාලයක් ඉන්ධන වෙනුවෙන් සහනාධාරයක් ලබාදීමටය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව විසින් මෙම තීන්දුව ගැනීමත් සමග පැමිණි ඊළඟ ප්‍රශ්නය වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම යෝජනාවට කෙසේ ප්‍රතිචාර දක්වනු ඇතිදැයි කියාය. මන්ද යත් ඉකුත් අවස්ථාවේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුමේ තිබූ එක් කොන්දේසියක් වන්නේ කිසිදු හේතුවක් මත රජය මගින් ජනතාවට සහනාධාර ලබාදීමට කටයුතු නොකළ යුතු බවය. ඒ අනුව ජනාධිපතිවරයා තීන්දු කළේ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග සාකච්ඡා කොට ඊට ඔවුන්ගෙන් අවශ්‍ය අනුමැතිය ඉල්ලා සිටීමටය. මූල්‍ය අරමුදලෙන් ඊට අනුමැතිය නොලැබුණහොත් ආණ්ඩුවට ඇති එකම විකල්පය වූයේ ඉන්ධන ලීටරය රුපියල් 80කින් පමණ ඉහළ නැංවීමටය.
මූල්‍ය අරමුදලත් කැමැතියි
ඒ අනුව මතුව ඇති තත්ත්වය පිළිබඳ වහාම ජනාධිපතිවරයා මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට පියවර ගත්තේය. එහිදී ජනාධිපතිවරයා මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට පෙන්වා දුන්නේ දැන්ම තියා මතුවෙමින් පවතින තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමට සූදානම් විය යුතු බවත්, නොඑසේ නම් බරපතළ ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුණ දීමට රටට සිදුවනු ඇති බවත්ය. ඒ අනුව මුල් අදියරේදී මාස 3ක කාලයක් දක්වා ජනතාවට දැරිය හැකි මුදලකින් තෙල් මිල ඉහළ නංවා මාස 3ක කාලයකට ආණ්ඩුවෙන් ඉන්ධන සඳහා සහනාධාරයක් ලබාදීම සුදුසු බව ජනාධිපතිවරයා එහිදී මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට පැහැදිලි කර සිටියේය. ඒ වනවිටත් යුද්ධය හේතුවෙන් ගෝලීය වශයෙන් මතුවිය හැකි ආර්ථික අර්බුදයක් සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ බලධාරීන්ද නව පුරෝකථනයක් ඉදිරිපත් කොට තිබීම නිසා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ නිලධාරීන් ඉදිරිපත් කළ එම යෝජනාවට එකඟතාව පළකිරීමට මූල්‍ය අරමුදලද පියවර ගත්තේය.
අනෙක් පැත්තෙන් පසුගිය මාස කීපය ඇතුළත ඛනිජ තෙල් සංස්ථාව දැවැන්ත ලාභයක් වාර්තා කොට තිබීමද මෙම සහනාධාර ලබාදීම සඳහා අවශ්‍ය තීන්දුව ගැනීමට ජනාධිපතිවරයාට පහසුවක් වී තිබිණි. පසුගිය මාස කීපය පුරාම මෙරට තෙල් මිල ලෝක වෙළෙඳපළේ සිදුවූ උච්චාවචනයන්ට අනුව ගැළපීම සිදුකොට තිබූ නිසා දැවැන්ත ලාභයක් ඒ හරහා උපයා ගැනීමට සංස්ථාවට හැකියාව ලැබී තිබිණි. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාව ත්‍රිකුණාමලය, සපුගස්කන්ද, මුතුරාජවෙල ආදී ස්ථානවල අමතර තෙල් ටැංකි කීපයක්ම ඉදිකිරීමට කටයුතු සිදුකරමින්ද තිබිණි. එම තෙල් ටැංකි ඉදිකිරීම සඳහා යොදාගෙන තිබුණේ මහා භාණ්ඩාගාරයේ මුදල් නොව පසුගිය මාස කීපය පුරා ඛනිජ තෙල් සංස්ථාව ලාභ වශයෙන් ඉපයූ මුදලෙන් කොටසක්ය. ඒ අනුව ජනාධිපතිවරයාද මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට පෙන්වා දී තිබුණේ මාස 2ක් වැනි කාලයක් ඇතුළත යුද්ධය අවසන් කිරීමට හැකි බවට තමන්ට තොරතුරු ලැබී ඇති නිසා, මාස 3ක කාලයක් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට රජයට හැකියාව පවතින බවකි. ඒ අනුව ජනාධිපතිවරයා කළ පැහැදිලි කිරීමෙන් පසු මූල්‍ය අරමුදලේ නිලධාරීන් ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේ ඒ ආකාරයෙන් ලබාදීමට සූදානම් සහනාධාරය පිළිබඳ වාර්තාවක් සකස් කොට තමන්ට ලබාදෙන ලෙසටය. ඒ අනුව වහාම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ඊට අදාළ වාර්තාව සකස් කොට ආණ්ඩුව පළමු වටයේදී තෙල් මිල ඉහළ දමන්නේ කුමන ප්‍රමාණයකින්ද, ඒ සඳහා ලබාදීමට බලාපොරොත්තු වන සහනාධාරය කොපමණ ප්‍රමාණයක්ද යන්න පිළිබඳ වහාම වාර්තාවක් සකස් කිරීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව මුලින් යෝජනා වූයේ රුපියල් 50කින් ඉන්ධන ලීිටරයක් ඉහළ නංවා ඉතිරි රුපියල් 30 ආණ්ඩුවේ සහනාධාරයක් වශයෙන් ලබාදීමටය. නමුත් නිලධාරීන් ඉදිරිපත් කොට තිබූ මෙම යෝජනාවට ජනාධිපතිවරයා කිසිසේත්ම එකඟතාව පළකළේ නැත. එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට පෙන්වා දුන්නේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් එක්වරම රුපියල් 50ක් වැනි ඉහළ මිලකින් ඉහළ දැමුවහොත් එය ජනතාවට කිසිසේත්ම දරාගත නොහැකි එකක් වනු ඇති බවත්, ඒ හරහා රට ඇතුළේ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගොස් බරපතළ ආර්ථික සහ දේශපාලන අර්බුදයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි වනු ඇති බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයා නිලධාරීන්ට කියා සිටියේ ඊට අඩු ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ නැංවුවහොත් ආණ්ඩුවට සහනාධාර ලෙස දැරිය යුතු වියදම වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන ලෙසය.
ඒ අනුව වහාම නිලධාරීන්ද රුපියල් 50කින් ඉන්ධන මිල වැඩිකළහොත් ආණ්ඩුව ලබාදිය යුතු සහනාධාර මිල ගණන්වලට අමතරව රුපියල් 40කින්, රුපියල් 30කින් සහ රුපියල් 20කින් ඉන්ධන ලීටරයක් ඉහළ දැමුවහොත් ආණ්ඩුව ඊට දැරිය යුතු සහනාධාර මිල ගණන් ඇතුළත් වාර්තාවක් සකස් කොට ජනාධිපතිවරයා වෙත ලබාදීමට පියවර ගත්තේය. එහිදී අදාළ වාර්තා අධ්‍යයනය කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබුණේ ලෝක වෙළෙඳපළේ බොර තෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 70ට පැවැති සමයේ රැගෙන ආ තොග තවත් මාසයකට ආසන්න කාලසීමාවකට ප්‍රමාණවත් බැවින් විශාල මිලකින් ඉන්ධන ලීටරයක් ඉහළ නංවනවා වෙනුවට ජනතාවට දැරිය හැකි ආකාරයට රුපියල් 25කින් පමණ ඉන්ධන ලීටරයක මිල ඉහළ නැංවීම සිදුකළ යුතු බවය. කෙසේ වෙතත් පවතින ඉන්ධන තොග අවසන් වීමෙන් පසු ගෙන්වන ඊළඟ ඉන්ධන නෞකාවලට ඉහළ මිලක් ගෙවිය යුතු නිසා දෙවැනි අදියරේදී නැවත වතාවක් ඊට අනුරූපීව ඉන්ධන මිල ඉහළ නැංවීමටද එහිදී තීන්දු විය.
හෝමුස් මරුමුස් වෙයිද?
ඉන්ධන මිල සම්බන්ධයෙන් මෙම තීන්දුව ගැනීමෙන් පසු ආණ්ඩුව හමුවේ තිබූ ඊළඟ ප්‍රශ්නය වූයේ යම් හෙයකින් ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදැමුවහොත් ඊට මුහුණ දීමට ආණ්ඩුව ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්දැයි කියාය. ඒ වනවිටත් ඉරානය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට කටයුතු කරන බවත්, එක තෙල් කඳුළක් හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පිටට යෑමට ඉඩ නොතබන බවත්ය. මේ හරහා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය තම රටට එරෙහිව ගෙන යන යුද්ධයට සහාය දෙන අනෙකුත් රටවල් සහ ඇමෙරිකාව දැඩි පීඩනයකට ලක්කිරීම ඉරානයේ සැලසුම වී තිබිණි.
එහිදී යෝජනා වූයේ යම් හෙයකින් ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදැමුවහොත් ආණ්ඩුවට ගත හැකි ඊළඟ හොඳම විකල්පය වන්නේ ඉන්දියාවෙන් තෙල් මිලදී ගැනීම යැයි කියාය. මන්ද ඒ වනවිටත් ඉන්දියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් යම් වාසිසහගත තත්ත්වයක් නිර්මාණය වී තිබීම ඊට හේතුව විය. එක් පැත්තකින් ඉන්දියාව පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආණ්ඩුවේ බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කොට තිබූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් දින 30ක කාලයකට රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමට පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ට්‍රම්ප් තීරණය කොට තිබිණි. ඒ අනුව කලින් කළා සේම රුසියාවෙන් බොර තෙල් මිලදී ගැනීමට ඉන්දියාවට අවස්ථාව හිමිව තිබිණි.
අනෙක් අතට ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදැමීමත් සමග මතුවන අර්බුදය සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී අර්බුදය පිළිබඳ ඉරාන බලධාරීන්ට පැහැදිලි කිරීමෙන් අනතුරුව ඉන්දීය ධජය යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඉන්ධන නෞකාවන්ට ප්‍රහාර එල්ල නොකිරීමේ ස්ථාවරයකට ඉරාන බලධාරීන් ගෙන ඒමට ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහතාට හැකියාව ලැබී තිබිණි. ඒ අනුව ඉරානයෙන් එවැනි වරප්‍රසාදයක් ලැබූ එකම රට වී තිබුණේ ඉන්දියාවය. ඒ අනුව පැති දෙකකින්ම ඉන්දියාවට මෙම අර්බුදයේදී තෙල් ලබාගැනීමේ මාර්ගයන් විවරව තිබීම විශේෂ සිදුවීමක් විය.
ඒ අනුව ආණ්ඩුවේ ප්‍රධානීන් වහාම කළේ ඉන්දීය බලධාරීන් සමග ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වටයක් ආරම්භ කිරීමය. එහිදී ඉන්දියාවද ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම්දී සිටියේ ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හේතුකොටගෙන ඉන්දියාවටද බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව ඇති බවත්, ඉන්දියාවේද තෙල් මිල ගණන් ඉහළ නැංවීමට සැලසුම් කොට ඇති බවත්ය. කෙසේ වෙතත් අපට ඇති ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ මෙම සාකච්ඡාවේදී ඉන්දියාව පිරිපහදු කරන ලද තෙල් ලංකාවට ලබාදීමට එකඟතාව පළකොට ඇතැයි කියාය. පිරිපහදු නොකළ බොර තෙල් මිලට ගැනීම සඳහා ලංකාව යෝජනා කොට තිබුණද ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති නොවූ බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඉන්දියාව තෙල් නිෂ්පාදනය නොකරන රටක් වීම හේතුවෙන් එසේ බොර තෙල් ලබාදීමට අපහසු බව ඉන්දියාව පාර්ශ්වයෙන් ආණ්ඩුවට දැනුම්දී තිබූ බවක්ද ආරංචිය.
මීට අමතරව විදේශ අමාත්‍ය විජිතද පසුගිය සතියේදී රුසියානු විදේශ අමාත්‍යවරයා සිය අමාත්‍යංශයට කැඳවා රුසියාවෙන් බොරතෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණ. ඊට රුසියානු තානාපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
ඒ අනුව ඉන්දියාවෙන් බොර තෙල් මිලදී ගැනීමටත්, මාස 3ක කාලසීමාවක් දක්වා රුපියල් 25කට ආසන්න මුදලකින් ඉන්ධන ලීටරයක් ඉහළ නංවා ඉතිරි රුපියල් 55ක මිල සහනාධාරයක් ලෙස ආණ්ඩුවෙන් දැරීමටද අවසානයේදී තීරණය කළද, ආණ්ඩුව බලාපොරොත්තු නොවන ආකාරයට මැදපෙරදිග යුද්ධය මාස 3කට වඩා පැවැතියහොත් පවතින තත්ත්වය සම්පූර්ණයෙන්ම කනපිට හැරෙනු ඇති බවත් බොහෝ දෙනාගේ අදහසය. මන්ද යත් මාස 3කට වඩා යුද්ධය ඇදී ගියහොත් එම කාලසීමාව ඇතුළත ඉතා දරුණු විනාශයක් මැදපෙරදිග කලාපයේ නියත වශයෙන්ම සිදුවනු ඇත. විශේෂයෙන්ම දැනටමත් අරාබිය, ඕමානය, සෞදිය ඇතුළු මැදපෙරදිග රටවල් කිහිපයකම තෙල් නිධි සහ තෙල් සංචිත සහිත ටැංකිවලට ඉරාන ප්‍රහාර එල්ල වෙමින් පැවැතීම නිසා මාස 3ක කාලයක් යුද්ධය ඇදුණහොත් ඉතා දරුණු විනාශයක් සහ හානියක් තෙල් සංචිතවලට සිදුවීම වැළැක්විය නොහැක. එවැනි තත්ත්වයක් යටතේ ලෝක වෙළෙඳපළේ බොරතෙල් මිල දරාගත නොහැකි ලෙස ඉහළ යෑමත්, ඉන්ධන හිඟයක් මතුවීමත් නොවැළැක්විය හැක්කකි. එවැනි වාතාවරණයක් මතුවුවහොත් ආණ්ඩුවටද තවදුරටත් ඉන්ධන මත ලබාදෙන සහනාධාරය දරාගත හැකිද යන ප්‍රශ්නය මතුවේ. ඒ වනවිට මතුවිය හැකි ආර්ථික තත්ත්වයන් සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලද දැඩි අවධානයකින් පසුවීම නිසා ඔවුන්ද මාස 3කට වඩා කාලයකට සහනාධාර ලබාදීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරනවා නොඅනුමානය.
එමෙන්ම ආර්ථික විශ්ලේෂකයන් ආණ්ඩුවට දැනටමත් දැනුම් දී ඇත්තේ යුද්ධයට සම්බන්ධ රටවල් ප්‍රකාශ කරන පරිදි සති 8ක කාලයකින් යුද්ධය අවසන් කිරීමට හැකි වුවහොත් බරපතළ අර්බුදයන්ට මුහුණ නොදී තත්ත්වය සමතයකට පත්කර ගැනීමට ආණ්ඩුවට හැකියාව ඇති බවකි. නමුත් යුද්ධය සති 8කට වඩා පවතින එකක් බවට පත්වුවහොත් අර්බුදය කොහෙන් කෙළවර වනු ඇද්දැයි සිතාගැනීමට නොහැකි බව ආර්ථික විශේෂඥයන්ගේද අදහස සහ ස්ථාවරය වී තිබේ. අපට ලැබෙමින් පවතින තොරතුරුවලින්ද කියැවෙන්නේ මාස 2ක කාලයක් ඇතුළත යුද්ධය අවසන් කිරීමට හැකි වුවහොත් බරපතළ ගැටලුවලට මුහුණ නොදී තත්ත්වය කළමනාකරණය කරගැනීමට ආණ්ඩුවට හැකි වනු ඇති බවත්, එසේ නොමැතිව යුද්ධය මාස 2කට වඩා ඇදී ගියහොත් එහි ප්‍රතිවිපාක ඉතා දරුණු විය හැකි බවත්ය.
ලාෆ්ස් ගෑස් අවුල
පවතින තත්ත්වය යටතේ ආණ්ඩුවට මුහුණ දීමට සිදුව ඇති ඊළඟ ගැටලුව වී ඇත්තේ මතුවෙමින් පවතින ගෑස් හිඟයය. මේ ගෑස් හිඟය ආරම්භ වූයේ මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමටත් පෙර සිටමය. මීට මාස කීපයකට පෙර මෙරට කෝටිපති ව්‍යාපාරිකයකු වූ ධම්මික පෙරේරා මහතා විසින් ලාෆ්ස් ගෑස් සමාගමේ 50-50 කොටස් හිමිකාරිත්වය යටතේ එම සමාගමද සිය ව්‍යාපාරික ජාලයට ඇතුළත් කරගැනීමට කටයුතු කොට තිබිණි. නමුත් ගැටලුව මතුවූයේ සැලසුම් කළ ආකාරයට සහ එකඟ වී තිබූ ආකාරයට ගෑස් තොග ගෙන්වා ගැනීමට ලාෆ්ස් ගෑස් සමාගම අපොහොසත් වී තිබීම නිසා ගෑස් හිඟයක් රට ඇතුළේ නිර්මාණය වීමය. ජනාධිපතිවරයාද පසුගිය අවස්ථාවකදී පාර්ලිමේන්තුවට පැමිණ මෙම ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ අතර, එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ දැනටමත් මෙම ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් අදාළ සමාගමේ නිලධාරීන් සමග සාකච්ඡා වටයක් ආරම්භ කර ඇතැයි කියාය.
ඒ අනුව ආණ්ඩුවේ ප්‍රධානීන් සහ ලාෆ්ස් ගෑස් සමාගමේ බලධාරීන් අතර පසුගිය සතියේ සාකච්ඡා වට කීපයක් පැවැත්වී ඇති අතර, ඉන් ඇතැම් සාකච්ඡා උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියකට අනුව දැනටමත් ලාෆ්ස් ගෑස් සමාගමට හම්බන්තොටින් අක්කර 200ක පමණ භූමිභාගයක් ලබාදීමට පියවර ගෙන තිබේ. එහිදී පැමිණ ඇති එකඟතාව වී ඇත්තේ ආනයනය කරනු ලබන ගෑස් හම්බන්තොට ඉදිකරනු ලබන ගෑස් පර්යන්තවල ගබඩා කොට ඒවා ලංකාවේ බෙදාහැරීමට අමතරව ප්‍රතිඅපනයනය කිරීමටද කටයුතු කළ යුතු යැයි කියාය. ඒ අනුව විශේෂ වරප්‍රසාද රැසක්ද ආයෝජන මණ්ඩලය විසින් ලාෆ්ස් ගෑස් සමාගමට ලබාදීමට කටයුතු කොට තිබිණි. නමුත් ගෑස් ගබඩා කිරීමේ පහසුකම් මේ දක්වාම වර්ධනය කොට ගැනීමට අදාළ සමාගම කටයුතු කොට නොතිබීම හේතුවෙන් එම සාකච්ඡාවලදී උණුසුම් වචන හුවමාරු වීම් අවස්ථා කිහිපයකදීම සිදුව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ පොරොන්දු වූ ආකාරයට සහ එකඟතාවන්ට පැමිණ ඇති ආකාරයට ලාෆ්ස් ගෑස් සමාගම ලංකාවට ගෑස් සැපයීමට තවදුරටත් කටයුතු නොකළහොත් ආයෝජන මණ්ඩලය හරහා ඊට ලබාදී ඇති අනුමැතිය සම්බන්ධයෙන් බරපතළ තීන්දුවකට යෑමට ආණ්ඩුව දැනටමත් තීන්දු කොට ඇතැයි කියාය. එම අවසන් තීන්දුව ගැනීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එවැනි තත්ත්වයක් මතුවුවහොත් දැනටමත් වෙළෙඳපළේ මතුව ඇති ගෑස් අර්බුදය ඉදිරි දින කීපය තුළ තවත් බරපතළ තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකිය.
මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසු ආණ්ඩුවට මේ වනවිට මුහුණ දීමට සිදුව ඇති ඊළඟ ප්‍රශ්නය වී ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාපයේදී විනාශ වූ ඉරාන නෞකාව සම්බන්ධ ප්‍රශ්නයය. ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයක මෙම අනතුර සිදුවීමෙන් පසු විවිධ පාර්ශ්ව විවිධ අදහස් මතුකරද්දී ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ මෙම ඉරාන නෞකාව ඇමෙරිකානු ප්‍රහාරයකින් ගිල්වා දැමූ බවත්, ඊට ඇමෙරිකානු සබ්මැරීනයකින් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කළ බවත්ය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කොට නෞකාවක් ගිල්වා දැමූ පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා පොත් අතරට එක්ව තිබිණි. එහිදී විපක්ෂය බරපතළ ප්‍රශ්නයක් මතුකරමින් ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේ මෙවැනි ආකාරයේ ප්‍රහාරයක් ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික මුහුදු කලාපයේදී එල්ල කිරීමට ඇමෙරිකාවට අවසර ලබාදී තිබුණේ කවුද, ඒ කුමන පදනමකින්ද, ඊට අවසර ලබාදුන්නේ කෙසේදැයි කියාය. නමුත් ආණ්ඩුව පැත්තෙන් ඊට නිසි පිළිතුරක් ලබාදුන් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
ගෝර් මැයි එනවා
කෙසේ වෙතත් මීට මාස කීපයකට ඉහත සිටම අප මෙම තීරයෙන් වාර්තා කර සිටි විශේෂ තොරතුරක් වූයේ ජනාධිපතිවරයා සහ ඇමෙරිකාව අතර ඉතා විශේෂ සබඳතාවක් ගොඩනැගෙමින් පවතිනවා යැයි කියාය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකාවට ගිය අවස්ථාවේදී එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය භාර විශේෂ නියෝජිතයා මෙන්ම ඉන්දියාවේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කරන සර්ජියෝ ගෝර් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ ආකාරයත්, ඉන් පසු අවස්ථාවකදීද ජනාධිපතිවරයා සහ ගෝර් අතර දුරකතන සාකච්ඡා සිදුව තිබූ ආකාරයත් අපි මෙම තීරයෙන් වාර්තා කළෙමු. එමෙන්ම ජනාධිපතිවරයා නවදිල්ලියේ පැවැති කෘත්‍රිම බුද්ධිය සමුළුව අතරතුරදීද මේ කියන සර්ජියෝ ගෝර් හමුවී සාකච්ඡා පැවැත්වූ බවත්, එහිදී ගෝර් ලංකාවේ සංචාරය කිරීමට සූදානමින් සිටින බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත් අප මෙම තීරයෙන් වාර්තා කර සිටියෙමු. ඒ අනුව මේ වනවිට අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ගෝර් ලබන මැයි මාසයේදී ලංකාවට පැමිණීමට තීන්දු කොට ඇතැයි කියාය. ඒ නිකන්ම නොව දැවැන්ත ඇමෙරිකානු නෞකාවක් සහ හෙලිකොප්ටර් යානා 10ක් ලංකාවට පරිත්‍යාග කිරීමේ අරමුණෙන් යුතුවය. මෙම නෞකා සහ හෙලිකොප්ටර් ලංකාවට ලබාදීමට යෝජනා වී තිබුණේ ඇමෙරිකාව සහ ලංකාව අතර ඇතිකොට ගෙන තිබූ ආරක්ෂක එකඟතාවකට අනුවය. ඒ අනුව මුල් අදියරේදී ඇමෙරිකාව වෙරළාරක්ෂක යාත්‍රා 4ක් ලංකාවට ලබාදීම සඳහා ඉකුත් ජනවාරි මාසයේ ඇමෙරිකාව සමග ගිවිසුමකට එළඹිණි. ඉන් නෞකා 3ක් මේ වනවිට ලංකාවට ලබාදීමට ඇමෙරිකාව පියවර ගෙන තිබිණි. ඒ අනුව සර්ජියෝ ගෝර් මැයි මාසයේ ලංකාවට පැමිණෙන්නේ මෙම ඉතිරි නෞකාව සහ හෙලිකොප්ටර් යානා 10 ලංකාවට ලබාදීමටය. එම නෞකාව සහ හෙලිකොප්ටර් භාරගැනීම වෙනුවෙන් ත්‍රිකුණාමල වරායේ දැවැන්ත උත්සවයක් සංවිධාන කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇති බවක් ආරංචිය. ඒ අනුව ඉදිරියේදී මෙම යාත්‍රාව සහ හෙලිකොප්ටර් සියල්ල ජාත්‍යන්තර මුහුදේ සිදුකරන මත්ද්‍රව්‍ය වැටලීම්, මිනිස් ජාවාරම මැඬලීම සහ සුපරීක්ෂණ කටයුතු වෙනුවෙන් යොදාගැනීමට නියමිතය.
ඒ අනුව දැනටමත් මෙම නෞකාව සහ හෙලිකොප්ටර් යානා 10 රැගත් විශේෂ නෞකාව ලංකාවට ඒමට ඇමෙරිකාවෙන් පිටත්ව ඇති අතර, ගුවන් හමුදාවට භාරදීමට නියමිත එම හෙලිකොප්ටර් යානා 10න් කොටසක් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරටත්, ත්‍රිකුණාමල චයිනා බේහි පිහිටි ගුවන් හමුදා කඳවුරටත් ලබාදීමට නියමිතය. ගෝර් ලංකාවට පැමිණෙන්නේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත මෙම උත්සවයට සහභාගි වීම සඳහාය.
සිරසට වාරණයක්?
මෙවැනි පසුබිමක් මධ්‍යයේ ලංකාව ඇතුළේ දේශපාලන උණුසුම තවත් ඉහළ නැගීම ආරම්භ වූයේ පසුගිය 08 වැනිදා පැවැති ජාත්‍යන්තර කාන්තා දිනය මුල්කර ගෙනය. පසුගිය මාර්තු 01 වැනි දින වෙළෙඳපළට නිකුත් වූ ‘මව්රට’ පුවත්පත ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ මාර්තු 08 වැනි දින කොළඹ දේශපාලන යුද්ධයක් ආරම්භ වීමට නියමිත යැයි කියාය. එහිදී අප කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය මැයි 08 වැනි දින කොළඹට සිව්දෙසින් කාන්තාවන් ගෙන්වා දැවැන්ත කාන්තා දින සැමරුමක් පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බවය. අප කළ එම අනාවරණය තහවුරු කරමින් පළමු වරට ජවිපෙ සිය දේශපාලන හයිය පෙන්වමින් කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී දැවැන්ත කාන්තා සහභාගිත්වයකින් යුතුව කාන්තා දිනය සැමරීමට පියවර ගෙන තිබිණි. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ අගමැති හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගිත්වයෙන් යුතුවය.
සජබය කාන්තා රැස්වීම මෙවර පළමු වරට පැවැත්වූයේ කොළඹ නෙලුම් පොකුණ කේන්ද්‍ර කරගෙනය. ඒ හරහා අප අනාවරණ කළ පරිදිම මෙවර කාන්තා දිනයේදී ජවිපෙ – සජබ දේශපාලන තරගය රටටම පැහැදිලිව දැකගන්නට ලැබිණි. එජාපය නම් සිරිකොතට කාන්තාවන් ගෙන්වා කුඩා සමරුවක් පැවැත්වූ අතර, ඊට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝ සහභාගි වී සිටියේ නැත. පොහොට්ටුවද මාතලේ කේන්ද්‍ර කොට ගෙන ඉතා සුළුවෙන් කාන්තා දින රැස්වීම පැවැත්වූ ආකාරයක් දැකගත හැකි විය.
මෙහිදී විශේෂම සිදුවීම දැකගන්නට ලැබුණේ නෙලුම් පොකුණේ පැවැති සජබ කාන්තා දින රැස්වීමේදීය. සජිත් රැස්වීම සංවිධාන කිරීම අවසන් මොහොතේදී භාරදී තිබුණේ සජබ මන්ත්‍රී මරික්කාර්ටත්, සමගි වන්තා බලවේගයටත්ය. ඒ අනුව රැස්වීමට දින කීපයක් තබා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පක්ෂ සංවිධායකවරුන්ට කාන්තා සංවිධානවලට, ආසන සංවිධායකවරුන්ට ඇමතුම් ලබාදෙමින් මරික්කාර් රැස්වීමට පිරිස් රැගෙන ඒම සම්බන්ධීකරණය කිරීමට කටයුතු කොට තිබිණි. ඒ අනුව මරික්කාර්ගේ ගණන් බැලීම වූයේද නෙලුම් පොකුණ පිරී ඉතිරී යන ආකාරයට කාන්තාවන් සහභාගි වනු ඇතැයි කියාය. නමුත් මරික්කාර්ට තරු පෙනුණේ ඉරිදා පෙරවරුවේ රැස්වීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා නෙලුම් පොකුණට පැමිණි අවස්ථාවේදීය. ඒ වනවිටත් නෙලුම් පොකුණේ ශාලාවේ ආසනවලට සරිලන අයුරින් කාන්තාවන් ඇතුළු කොට අවසන් වී තිබුණද, එළියේ විශාල පිරිසක් පොදිකමින් ඊට ඇතුළු වීමට උත්සාහ දරන ආකාරයක් මරික්කාර්ට දැකගන්නට ලැබිණි. ඒ අනුව වහාම මරික්කාර් සජිත්ට ඇමතුමක් ලබාදෙමින් කියා සිටියේ නොසිතූ ආකාරයේ කාන්තා සහභාගීත්වයක් රැස්වීමට පැමිණ ඇති බැවින් තත්ත්වය පාලනය කරගැනීම සඳහා මඳක් පමාවී උත්සවයට පැමිණෙන ලෙසය. මරික්කාර්ට අමතරව ඒ වනවිට පැමිණ සිටි තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ කාන්තා මන්ත්‍රීවරියන්ද සජිත්ට ඇමතුම් ලබාදෙමින් කියා සිටියේ පැය භාගයක් පමණ පමාවී උත්සවයට පැමිණෙන ලෙසටය. ඒ වනවිටත් සජිත් සිටියේ සිය බිරිය වූ ජලනි සමග උත්සවයට සහභාගී වීම සඳහා නිවෙසින් එළියට බසින්නට ඔන්න මෙන්නය.
එමෙන්ම තවත් යෝජනා කීපයක්ද එහිදී සජිත්ට ඉදිරිපත් විය. ඇතැමුන් කියා සිටියේ විශාල පිරිසක් එක්රොක්ව සිටීම හේතුවෙන් නෙලුම් පොකුණේ ඉදිරිපස දොරටුවෙන් පැමිණීමේදී යම් අසීරුතාවකට මුහුණ දිය හැකි නිසා නෙලුම් පොකුණේ පිටුපස දොරටුවෙන් රැස්වීම් ශාලාවට පැමිණීම සුදුසු යැයි කියාය. සජිත් නැවතත් ඒ සම්බන්ධයෙන් විපරම් කරද්දී මරික්කාර් ඇතුළු සියලු දෙනා ඊට විරෝධය පළකරමින් කියා සිටියේ සජිත් අනිවාර්යයෙන්ම ශාලාවේ ඉදිරිපස දොරටුවෙන් ඇතුළු වීමට කටයුතු කළ යුතු යැයි කියාය. මෙහිදී රැස්වීමට කාන්තාවන් පැමිණ සිටින ආකාරය දැකගැනීමට සජිත්ටද තිබුණේ මහත් නොඉවසිල්ලකි. ඒ අනුව මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම වීඩියෝ ඇමතුම් ගෙන ශාලාව ඇතුළේ පිරී ඉතිරී සිටින කාන්තාවන් මෙන්ම ශාලාවෙන් පිටත පොදිකමින් සිටින කාන්තාවන් සජිත්ට පෙන්වීමටද පියවර ගත්තේය.
ඒ අනුව ජවිපෙ මෙන්ම සජබයද අතිසාර්ථක කාන්තා දින රැස්වීමක් පවත්වා මේ හරහා ඊළඟ මැතිවරණයට අවශ්‍ය ශක්තිය ලබාගත් ආකාරයක් දැකගන්නට තිබිණි. මෙහිදී ඇතැමුන් මොන මොනවා කීවත් මාධ්‍ය සාකච්ඡා පවත්වා කුමන ප්‍රකාශ කළත් ඉදිරි මැතිවරණයකදී තීරණාත්මකම තරගය ඇත්තේ මෙම පක්ෂ දෙක අතර බව කාන්තා දින සැමරුමෙන්ද හොඳ හැටි පැහැදිලි විය.
මේ අතරවාරයේ පසුගිය සතියේ සජබය ඉහළ පෙළ නායකයන් අතර පැවැති සාකච්ඡාවකදී ඉතා දැඩි තීන්දුවකට යෑමට තීරණය කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, සිරස නාලිකාව මුල්කරගෙනය. කාලයක සිටම සජබ ප්‍රධානීන්ගෙන් සජිත්ට ලැබී තිබුණු පැමිණිල්ලක් වූයේ සිරස නාලිකාව හිතාමතාම සජිත් සහ සජබය අපහසුතාවට පත්වන ආකාරයේ මාධ්‍ය භාවිතයක යෙදී සිටිනවා යැයි කියාය. ඊට අවශ්‍ය බොහෝ උදාහරණද සහිතව ඔවුන් සජිත්ට මේ බව පෙන්වා දුන්නද, ඒ සෑම අවස්ථාවකදීම සජිත් කියා සිටියේ ‘මට ගැහුවට කමක් නෑ, අපි මාධ්‍යවලට ගහන්න යන්න ඕනෙ නෑ. සජබ කියන්නේ මාධ්‍ය අයිතිය සුරකින පක්ෂයක්. මාධ්‍යවේදීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක්. ඒ හින්දා කිසිම කෙනෙක් මාධ්‍යයට ගහන්න යන්න ඕනේ නෑ…’ යැයි කියාය. සිරසට අමතරව දෙරණ මාධ්‍ය නාලිකාවද සිය 360 දේශපාලන වැඩසටහන ඔස්සේ ඉතා සූක්ෂ්ම ආකාරයට සජිත්ට සහ සජබයට ප්‍රහාර එල්ල කරන මෙහෙයුමක සිටින බවට තොරතුරු ලැබී තිබුණද, සජිත් ඊටද වැඩිය කන් දුන් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
නමුත් පසුගිය සතියේ සිදුවූ එක්තරා විශේෂ සිදුවීමකින් මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළිණි. ඊට හේතු වූයේ සිරස නාලිකාවෙන් මෙහෙයවන සටන වැඩසටහන සඳහා සහභාගි කරවන ලෙසට සාමාන්‍ය මන්ත්‍රීවරයකුගේ නමක් යෝජනා කොට සජබයට එවා තිබීමය. සිරස එම මන්ත්‍රීවරයාගේ නම විශේෂයෙන් නම්කොට එවා තිබුණේ ඔහු හරහා සජිත්ව අපහසුතාවට පත්වන ආකාරයේ කුමක් හෝ ප්‍රකාශ කරවාගෙන ඊට සිය නාලිකාව ඔස්සේ සහ වෙනත් වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු ඔස්සේ ප්‍රචාරය කොට සජිත්ට ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් යුතුව බව ඒ නම දුටු බොහෝ දෙනාට වටහා ගැනීමට අපහසු වූයේ නැත. ඒ අනුව සිරසෙන් මෙම යෝජනාව පැමිණි වහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී බොහෝ දෙනෙක් කියා සිටියේ සිරසට අවශ්‍ය ආකාරයට මන්ත්‍රීවරුන් දේශපාලන වැඩසටහන් සඳහා නොයැවිය යුතු බවත්, පක්ෂයට අවශ්‍ය ආකාරයට, පක්ෂය විසින් නම්කරන මන්ත්‍රීවරුන් ඒ සඳහා යැවිය යුතු බවත්ය. ඒ අනුව සජබයෙන් සිරසට දැනුම් දීමක් කෙරුණේ එම දේශපාලන වැඩසටහන සඳහා සජබයේ සිටින දක්ෂ කථිකයන් වන වරුණ රාජපක්ෂ, මහේෂ් සේනානායක, ප්‍රසාද් සිරිවර්ධන හෝ චරිත් අබේසිංහ යන අයගෙන් එක් අයකු සහභාගි කරවිය හැකි බවකි. නමුත් ඊට සිරසෙන් දැනුම් දී තිබුණා යැයි කියන්නේ එය පිළිගත නොහැකි බවත්, තම නාලිකාවෙන් යෝජනා කොට ඇති මන්ත්‍රීවරයා ඊට සහභාගි කරවිය යුතු බවත් යැයි කියාය.
මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් මීට ඉකුත් සතියකදී සජබයට සම්බන්ධ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු සිරසට ගෙන්වාගෙන ඔහු කළ කී යම් යම් ප්‍රකාශ කොටස් වශයෙන් කපා සජිත්ට අපහාස වන ආකාරයට ප්‍රචාරය කළ ආකාරයද සජිත්ට මතක් කර දුන්නේය. ඒ ඇතැම් වීඩියෝ විවිධ පිරිස් සජිත්ටද එවා තිබිණි. ඒ අනුව මෙම රැස්වීමේදී සජබ ප්‍රධානීන් මින් ඉදිරියට සිරස දේශපාලන වැඩසටහන්වලට සහභාගි වීම වර්ජනය කිරීමට නිල නොවන ආකාරයේ තීරණයක් ගත් බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. පළමු වටයේදී එසේ සිරස වර්ජනය කිරීමටත්, දෙවැනි අදියරේදී එම වර්ජනය කිරීම සඳහා බලපෑ හේතු සම්බන්ධයෙන් රට දැනුවත් කිරීමටත්, පක්ෂය විසින් ගෙන ඇති තීන්දුවට පටහැනිව කටයුතු කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගනු ලබන තීරණ පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවක් ආරංචිය. කෙසේ වෙතත් මෙහිදී දෙරණ නාලිකාව සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බවක්ද ආරංචිය.
මේ ආකාරයට දේශපාලකයන් සහ දේශපාලන පක්ෂ ලංකාවේ ඇති නාලිකා වර්ජනය කිරීමත්, යම් යම් නාලිකා යම් යම් දේශපාලන න්‍යායපත්‍රයන්ට අනුව කටයුතු කිරීමත් අලුත් දෙයක් නොවේ. වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දින සිටම හිරු නාලිකාව සහ දෙරණ නාලිකාවට අවස්ථා ගණනාවකදීම ප්‍රසිද්ධියේ ප්‍රහාර එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය. එම නාලිකාවන්ද යම් යම් න්‍යායපත්‍රයන් මත පිහිටා හෝ යම් යම් අරමුණු මත ආණ්ඩුව විවේචනය කරන ආකාරයක්ද දැකගත හැකිය. ඒ අනුව දේශපාලනඥයන් මාධ්‍ය සම්බන්ධයෙන් දක්වන ආකල්පය සහ මාධ්‍ය දේශපාලනඥයන් සම්බන්ධයෙන් දක්වන ආකල්පය පිළිබඳ නැවත කියවීමක් සිදුවිය යුතු බව බොහෝ දෙනාගේ විශ්වාසයය.
වම තරුණයෙක් අතට
බොහෝ දෙනකුගේ අවධානයට යොමු නොවුණු විශේෂ දේශපාලන සිදුවීමක් පසුගිය සතියේ සිදුවිය. ඒ, ලංකාවේ පැරැණිතම දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරය තරුණයකු අතට පත්වීමය. 1943 ආරම්භ වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සභාපතිවරයා වූයේ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහය. එදා සිට මේ දක්වා ආණ්ඩු ගණනාවක් පිහිටුවීමට කොමියුනිස්ට් පක්ෂය ප්‍රධාන දායකත්වයක් සැපයුවද, පක්ෂ අභ්‍යන්තරයේ තිබූ ඒකාකාරී බව නිසා පසුගිය කාලය පුරාම එම පක්ෂය දියවෙමින් ගිය ආකාරයක් දැකගත හැකි විය. වරෙක පක්ෂය ඇතුළේ බරපතළ බෙදීමක් ඇතිකරමින් ලංකා සමසමාජ පක්ෂය යනුවෙන් කොමියුනිස්ට් පක්ෂය දෙකට බෙදුණු ආකාරයක්ද දැකගත හැකි විය.
කෙසේ වෙතත් සාමාන්‍ය කොමියුනිස්ට් පක්ෂවලට එල්ල වී තිබූ චෝදනාවම ලංකාවේ කොමියුනිස්ට පක්ෂයටද එල්ලවී තිබිණි. ඒ, පක්ෂයේ නායකයන් හැරමිටියෙන් යන තුරුම පක්ෂයේ ප්‍රධාන තනතුර වූ සභාපති ධුරයේ එල්ලී සිටීමට කටයුතු කරමින් සිටින බවය. ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට එය වලංගු චෝදනාවක් වූයේ එහි සභාපතිවරයා වූ ඩිව් ගුණසේකර අවුරුදු 91ක් වන තෙක්ම පක්ෂ සභාපති ධුරයේ රැඳී සිටීම නිසාය.
කෙසේ වෙතත් මෙම තත්ත්වය පසුගිය සතියේ කොළඹදී පැවැති 23 වැනි ජාතික සම්මේලනයේදී සම්පූර්ණයෙන්ම කණපිට පෙරළිණි. ඒ, ඉතිහාසයේ පළමු වරට පක්ෂ සභාපති ධුරය තරුණ නායකයකු වූ මාතර වීරසුමන වීරසිංහ මහතාට හිමිවීමත් සමගය. ඔහුගේ නම ඒ සඳහා යෝජනා කර තිබුණේද ප
ක්ෂ සභාපති ඩිව් ගුණසේකර විසිනි. වීරසුමන යනු 2020-2024 යන කාලසීමාව තුළ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි එකම මන්ත්‍රීවරයාය. එම කාලයේදී වීරසුමන ලංකාවේ ප්‍රධාන පක්ෂ කීපයක් සමගම උරෙනුර ගැටෙමින් සිය දේශපාලන කටයුතු සිදුකළේය. මහින්දලා සමග එකට කටයුතු කළේය. විමල් වීරවංශලා සමග දේශපාලන ගනුදෙනු සිදුකළේය. පාර්ලිමේන්තුවේ කමිටුවල කැපීපෙනෙන වැඩකොටසක් කළේය.
එමෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරය මාතර වීරසුමන වීරසිංහට හිමිවීමේ තවත් විශේෂත්වයක් තිබේ. ඒ, දෙවැනි වතාවට පක්ෂ සභාපති ධුරය මාතර දිස්ත්‍රික්කයට ලැබීම නිසාය. පළමු වතාවට පක්ෂ සභාපති ධුරය හිමිවූයේ වෙන කාටවත් නොව, මාතරින් පැමිණි පක්ෂයේ පළමු සභාපතිවරයා වූ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහටය.
සජිත්-රනිල් එකට
සමගි ජන බලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් ඒකාබද්ධ වීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවල අභ්‍යන්තර තොරතුරු පිළිබඳ පසුගිය කාලසීමාවේ අවස්ථා කීපයකදීම ‘රාජ්‍ය රහස්’ තීරයෙන් විශේෂ හෙළිදරව් කිරීම් රැසක් සිදුකිරීමට අපි කටයුතු කළෙමු. එහිදී සජිත් සහ එජාප නායකයන් අතර පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් සහ එම සාකච්ඡා කඩාකප්පල් කිරීමට එජාපය ඇතුළේ දියත් වූ කුමන්ත්‍රණ සම්බන්ධයෙන්ද අප එහිදී තොරතුරු වාර්තා කළෙමු. විශේෂයෙන්ම තෙල් අර්බුදය සහ ආර්ථික අර්බුදය මුල්කරගෙන ආණ්ඩුව වැටෙනු ඇති බවටත්, යළිත් රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වනු ඇති බවටත් කියමින් පසුගිය සතිය වනවිට එජාපයේ සිටින සූත්තර පුංචෙකු ජ්‍යොතිෂමය වශයෙන් තෙලක් බෙදමින් සිටින ආකාරය පිළිබඳවද අපි පසුගිය සතියේ වාර්තා කළෙමු. ඒ අනුව ඇතැමුන් සිතා සිටියේ වැඩි සද්දයක් බද්දයක් නොමැති නිසා මේ වනවිට සජබ-එජාප එකමුතු වීමේ සාකච්ඡා අතරමග නැවතී ඇතැයි කියාය. නමුත් අපට ඇති තොරතුරුවලට අනුව නම් එය එසේ නොවේ.
ඒ අනුව මෙවර අප තොරතුරු වාර්තා කරන්නේ ලබන 20 වැනිදා සිදුවීමට නියමිත විශේෂ සිදුවීමක් පිළිබඳවය. එහි ඇති විශේෂත්වය වන්නේ මෙම අවස්ථාවට සජබයේ සහ එජාපයේ ඉහළ පෙළේ සියලු නායකයන් සහභාගි වීමට දැනටමත් තීරණය කොට තිබීම නිසාය. මෙම අවස්ථාව කුමක්ද යන්න සම්බන්ධයෙන් 20 වැනි දින ආසන්න කොට රටට හෙළිදරව් කිරීමට අප සුදානම්ය. කෙසේ වෙතත් අප සියලු මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටින්නේ ඔබ මෙතෙක් කල් පුල පුලා බලා සිටි සුවිශේෂ ඡායාරූපයක් ගැනීමේ අවස්ථාව සඳහා කැමරා කාචයන් සූදානම් කර තබාගන්නා ලෙසටය. ඔබගේ වීඩියෝ කැමරා සක්‍රීය කොට තබාගන්නා ලෙසටය.
මේ සම්බන්ධයෙන් පසුගිය දින කීපය පුරාම තිරය පිටුපස සාකච්ඡා ගණනාවක්ම පැවැති අතර, ඊට සුවිශේෂ පුද්ගලයකු සම්බන්ධ වී සිටි ආකාරයද දැකගත හැකි විය. ඔහු දේශපාලන කරළියේ පෙරළි කළ ප්‍රබල චරිතයක පුතෙකි. පක්ෂ දෙකේම නායකයන් සම්බන්ධීකරණය කරමින් මෙම වැඩසටහන 20 වැනිදා කරළියට ගෙන ඒමට සියලු කටයුතු සැලසුම් කරන්නේ ඔහුය. ඒ අනුව මෙම අවස්ථාව පිළිබඳවත්, එය පැවැත්වෙන ස්ථානය පිළිබඳවත් ඉදිරියේදී මුළු රටම දැනුවත් කිරීමට අප සූදානම්ය.
ඊට සමගාමීව දින කීපයකට පෙර තවත් සිදුවීමක්ද සිදුවීමට නියමිතව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරය වෙත ආරංචිය. ඒ, කොළඹ එක්තරා ස්ථානයක රාත්‍රී කාලයේදීය. මෙහිදීද පක්ෂ දෙකටම සම්බන්ධ ප්‍රධාන පෙළේ නායකයන් එකතු වීමක් සිදුවීමට නියමිතව ඇති බවක් දැනගන්නට තිබේ. ඒ අනුව අපට කීමට ඇත්තේ පක්ෂ දෙකේ එකමුතුව දෙස බලාගෙන සිටින ලක්ෂ සංඛ්‍යාත සජබ-එජාප පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන ආකාරයේ සිදුවීම් කීපයක්ම ඉදිරි කාලයේදී සිදුවීමට නියමිතව ඇති බවක්ය.
කෙසේ වෙතත් මෙම සුබදායී සිදුවීම් වාර්තා කරන අතරවාරයේදීම මෙම එකමුතුව කඩාකප්පල් කිරීමට කටයුතු කරන කුමන්ත්‍රණකාරීන් පිළිබඳවද අප වාර්තා කරන්නේ ඔවුන්ගේ කුමන්ත්‍රණ පරාජයට පත්කොට ඒ කුමන්ත්‍රණකරුවන් කවුරුන්ද යන්න රටට හෙළිදරව් කිරීම සඳහාය. ඉදිරියේදී ඔවුන්ගේ නම්ගම් සහිතව රටට අනාවරණ කිරීමටද අප සූදානම්ය.










