ශ්‍රියානි අමරසේන නම් වූ සිනමා තාරකාව ගැන සම්මානනීය වූ ප්‍රවීණ රංගවේදිනිය ගැන අටුවා ටීකා ලියන්නට ගියහොත් එය කොතැනින් පටන්ගෙන කොතැනින් අවසන් කරන්නදැයි සිතාගැනීමට මඳක් අසීරුය. කෙටියෙන් යමක් කියන්නේ නම් වේදිකාව හරහා ‘නරි බෑණා’ සමග අත්වැල් බැඳගෙන ‘ගම දුව’ වී පැමිණි ඇය එයට පසු සිංහල සිනමාවේ අහිංසකාවිය ලෙසත්, කඳුළු බින්දුව ලෙසත් ප්‍රේක්ෂක සිත් තූළ නොමැකෙන මතකයක් නිධන්ගත කළාය. අසූ වැනි විය සපිරුණද තවමත් ඈ සිය රංගන කලාවට තිත තබන්නට හිත හදාගෙන නැතිවා සේය. හිටි අඩියේම ‘සෙලියුලොයිඩ් ප්‍රේමයක්’ ගැන අලංකාර කතාවක් කියන්න මේ ප්‍රවීණ කලාකාරිනිය වේදිකාවට ගොඩවූයේ ඒකය.
ඉතින් කියන්න මේ දවස්වල ඔබ බොහොම කාර්යබහුලයි?
ඔව්. ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ නිසා මේ දවස්වල වේදිකාව සමග හරි හරියට ගැටෙනවා. හැබැයි ඒ ගැටීම හරිම සුන්දරයි. මට වෙහෙසක් දැනෙන්නේ නැහැ.
‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ කියන ඔය අමුතු නමේ අදහස ගැන ඩිංගක් කියන්නකෝ?
‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ කියන නම තුළ හැමෝම අමුත්තක් දකිනවා. ඒක හිතට වදින නමක් කියලයි හැමෝම කියන්නේ. එහෙම නමක් දාන්න හේතු වෙච්ච කතාව සරලව කියනවා නම් මේ නිර්මාණය තුළින් කියැවෙන්නේ 70 දශකයේ ඉතා ජනප්‍රිය තාරකාවක් ලෙස හිටපු සිනමා නිළියක් එයින් විශ්‍රාම ගත් පසුව තමන් නිළියක ලෙස ප්‍රසිද්ධියට පත්ව ගතකළ අතීතයත්, එයට පසුව විශ්‍රාම ලබා ගෙවන වර්තමානයත් එකට තබා ඒ පිළිබඳ සංසන්දනයක යෙදෙන කතන්දරයක්.
තාක්ෂණය ඉතා දියුණු මට්ටමකට අද මේ විදියට ඇවිදින් තිබුණට 70 දශකය පුරාම චිත්‍රපට කලාව දිව්වේ ජයකෙහෙළි නැංවූයේ සෙලියුලොයිඩ් පට හරහානේ. අද කාලේ තරුණ පිරිස සෙලියුලොයිඩ් කියන නම දන්නෙත් නැති තරම්. ඒ හින්දම තමයි ඉතින් විශ්‍රාම ගිය ඒ සිනමා තාරකාවගේ සමාලෝචනය ගැන කියන මේ වේදිකා කතන්දරයට ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ කියලා නම දාන්න හිතුවේ.

ප්‍රවීණයන් පිරිසක් එකතු කරගෙනයි මේ සොඳුරු මෙහෙවරට අතගැහුවේ?
ඔව්. වේදිකාවෙන්ම පැමිණි ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ රත්නා ලාලනී ජයකොඩි සමග රොෂාන් පිලපිටිය, ගිහාන් ප්‍රනාන්දු, රුවන් වික්‍රමසිංහ, දේවින්ද වික්‍රමසිංහ, කීර්ති රංග, යශෝදරා මානගේ මේ ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ ගැන කියන්න වේදිකාවට ගොඩවෙනවා. පෙබරවාරි 21 එල්ෆින්ස්ටන්හි සවස 3.30ට ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ වේදිකාගත වීමට නියමිතයි. මේ දවස්වල දුවන්නේ පනින්නේ ඒ වෙනුවෙන් තමයි. පළමු දර්ශනය 3.30ට. දෙවැන්න ප.ව. 7.00ට වේදිකාගත වෙනවා. ඊට පළමුව පෙරහුරුවක් ලෙස පසුගිය නොවැම්බර් මස ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේදී ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ වේදිකාගත කළා. එයට පසු දෙසැම්බර් මාසයේ බොරැල්ල වයි.එම්.බී.ඒ. ශාලාවේ දෙවැනියට ප්‍රදර්ශනය කළා. ලොකු ප්‍රසිද්ධියක් එක්ක කරන තුන්වැනි දැක්ම තමයි පෙබරවාරි 21 වේදිකාවට ගෙන එන්නේ.
ඔබ ඉන්නේ අලුතින්ම රංගනයට ආවා වගේ ප්‍රබෝධයකින්?
සත්තකින්ම ඔව්. මම විතරක් නෙවෙයි නාට්‍ය කණ්ඩායමේ හැමෝම ඉන්නේ පුදුම ප්‍රබෝධයකින් සහ සතුටකින්. ඒ වගේම ඔවුන් මට දෙන සහාය ගැන කියන්න වචන නැහැ. එකාවන්ව ඉතා සංයමයෙන් සුහදව ඒ හැමෝම මා සමග කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරනවා. අනෙක මේ ප්‍රබෝධය වෙනුවෙන් මූලික වන තවත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ, මම නැවත වේදිකාව මතට පැමිණීමයි. මගේ ගමන ආරම්භ වුණේ වේදිකාවෙන්. තම්මැන්නාව නාට්‍යය හරහායි. එයිට පස්සේ දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ ‘නරි බෑණා’ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මට ලබාදුන්නා නරි බෑණාහි ගම දුවගේ චරිතයෙන්. අද වගේ මතකයි නව යෞවනියක කාලේ ‘නරි බෑණා’ නාට්‍ය කණ්ඩායමත් එක්ක මම රට වටේම ගියා. ඒ සොඳුරු මතකයන් කවදාවත් අමතක වෙන්නේ නැහැ.
ඔය තරම් සොඳුරු මතක සටහන් ඇති වේදිකාව හරි ඉක්මනින් අතහැරියේ ඇයි?
මම වේදිකාවට හුඟක් ආදරෙයි. ශ්‍රියානි අමරසේන නම් කලා ශිල්පිනිය අද කොතැනද ඉන්නේ, එතැනට ඇයට එන්න ආරම්භය දුන්නේ වටිනාකම දුන්නේ වේදිකාවයි. හිතාමතා මම එය අතහැර දැමුවේ නැහැ. ‘ගොළු හදවත’ චිත්‍රපටයෙන් පස්සේ හිතපු නැති විදියට එක දිගට මට චිත්‍රපට ලැබෙන්න ගත්තා. ප්‍රවීණ නිර්මාණකරුවන්ගෙන් ලැබුණා. ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න බැරිව ගියා. නොසිතූ ජනප්‍රියත්වයක් ඒ විදියට අහඹුවක් වගේ මාව හොයාගෙන එනකොට වේදිකාව වෙනුවෙන් කාලය දෙන්න මම අපොහොසත් වුණා.
දුක් වෙනවද ඒ අතහැරුණු කාලය ගැන?
සිනමාව තුළ මා ලද, අදටත් තවමත් ප්‍රේක්ෂකයන් මට දක්වන ළෙන්ගතුකම සහ පිළිගැනීම ගැන මම අසීමිතව සතුටු වෙනවා. ඒ වගේම අතහැරුණු දේ ගැන පසුතැවෙනවට වැඩිය නැවත ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ හරහා මම වේදිකාවට පැමිණීම ගැන මා අතිශයින් සතුටට පත්වෙනවා. අනෙක ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ වේදිකා නාට්‍යයේ තිරපිටපතට, අධ්‍යක්ෂණයට, නිෂ්පාදනයට වගේම ප්‍රධාන චරිතයෙනුත් මගේ දායකත්වය දෙනවා. ඒ හැම දේකින්ම මා ලබන ආත්ම ශක්තිය අතිවිශාලයි.
ධනාත්මක උත්තරයක් ඔබ දුන්නේ?
මම කොහොමත් ධනාත්මකව හිතන්න කැමැති කෙනෙක්.
හිටි අඩියේ ටෙලි නිර්මාණ කලාවට තිත තැබුවේ ඇයි කියලා ඇහුවොත්?
ඒ ගැන කතා කරන්නවත් කැමැති නැති තරම් කලකිරීමක ඉන්නේ. ඒ තරමට අද ටෙලිනාට්‍ය කලාව අභාවයට ගිහින්. නිර්මාණශීලී නාට්‍ය කලාවට වැඩිය වාණිජ රැල්ලටයි දැන් ආලින්දයේ සිනමාව දුවන්නේ. ඉතින් එහෙම තැනක අපිට කරන්න යමක් ඉතිරිව නැහැ. බොහෝ විට වේදිකාවට යළි එන්න මගේ හිත පෙලඹුණෙත් ඔය කාරණාව නිසයි.
නැවත වේදිකාවට පය තැබීම ඔස්සේ දිගු ගමනක් යමින් තව තව නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවද?
කාලයට ඉඩ දීලා බලමු. ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ බලන්න එන්න. රසවිඳින්න. සතුටු වෙන්න වගේම එහි අඩුපාඩු සහ හරි වැරැදිත් පෙන්වන්න කියා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා.
මල්මි කෞෂල්‍යා











